2021 ජනවාරි 09 වන සෙනසුරාදා

කොවිඩ් නීති නැවූ යුක්රේන සංචාරක “නියමු” ව්‍යාපෘතිය

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග විසින් මෙහෙයවනු ලබන යුක්රේන සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ආණ්ඩුව ඇතුළේම මතභේදකාරී තත්ත්වයක් ඇතිකර තිබේ. එම සංචාරක කණ්ඩායම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් පනවා තිබෙන කොවිඩ් ආරක්ෂක උපදෙස් උල්ලංඝනය කරමින් කලින් යොදාගත් විවිධ නැරඹුම් ස්ථාන කරා කැඳවාගෙන යාම එම අධිකාරියේ විරෝධයට ලක් වී තිබේ. 

පසුගිය දෙසැම්බර් 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි පළමු යුක්රේන සංචාරක කණ්ඩායම පී.සී.ආර්. පරීක්ෂණ නෙගටිව් වී තිබීම හේතුවෙන් මෙසේ නැරඹුම් ස්ථාන කරා රැගෙන ගොස් ඇත්තේ අනිවාර්ය නිරෝධායන කාලසීමාව වන දින 07 පවා සම්පූර්ණ වීමට කලිනි. දින 05කදී ඔවුන් තම සංචාරය අරඹා තිබීම හේතුවෙන් යාල සෆාරියට සංචාරකයන් කැඳවාගෙන ගිය බස් රථ සහ ජීප් රථවල සිටි පිරිස් දින 14ක නිරෝධායන කාලයකට යටත් කරනු ලැබූහ. එයට ඔවුන්ගේ දැඩි විරෝධය එල්ල වූයේ සංචාරය සංවිධානය කළ පුද්ගලයන් තමන්ට නිසි තොරතුරු සපයා නොතිබීම හේතුවෙනි. තවත් පිරිසක් මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීම සඳහා රැගෙන ගොස් තිබිණි. මේ සංචාරක සැලසුම් කිසිවක් පිළිබඳව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට කිසිදු දැනුම්දීමක් කර නොතිබීමෙන් ගැටලු මතුවිය.

යුක්රේන සංචාරකයන් ගෙන්වීම මුළුමනින්ම පාහේ හසුරුවන්නේ උදයංග වීරතුංග විසිනි. ඔහු රජයේ කිසිදු නිලයක් දරන්නේ නැත. නිල ලිපිනය වශයෙන් ඔහු ලබාදී ඇත්තේ “අරලියගහ මන්දිරය, කොළඹ 03” යන්නයි. යුක්රේනය සංචාරක ආයතන 03ක් වන කොම්පාස්, ජොයින් අප් සහ ට්‍රැවල් ප්‍රොෆෙෂනල් ග_ප් විසින් මේ සංචාරකයන්ගේ ගමන් සැලසුම් කර තිබේ. මුලදී තීරණය කර තිබුණේ යුක්රේන සංචාරකයන්ගේ ශ්‍රී ලංකාව තුළ ගමන් බිමන් සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සම්බන්ධීකරණය කළයුතු බවය. අධිකාරිය මගින් සකස් කරන රියැදුරු, ගයිඩ්වරු සහ සහායකවරුන්ගේ ලැයිස්තුවකට අනුව ඔවුන්ගේ සේවය ලබාගත යුතු වූ අතර සියලුදෙනා “ජෛව ආරක්ෂක බුබුළක්” වශයෙන් ක්‍රියාකළ යුතුව තිබිණි.

එහෙත් යාල සෆාරියේදී සංචාරක අධිකාරියේ ලැයිස්තුගත සේවක පිරිසට පිටින් තිස්සමහාරාමයෙන් ජීප් රථ 28ක සේවය ලබාගැනීමට ක්‍රියාකර තිබිණි. මිරිස්සට ගිය පිරිසට බෝට්ටුද වෙන්කරවා ගෙන තිබූ අතර එම මුහුදු ගමන ගිවිසගත් සැලැස්මට අයත් වූවක් නොවීය. සෞඛ්‍ය හේතූන් මත සෆාරි ගමන ප්‍රතික්ෂේප කළ එක් රියැදුරකු ප්‍රකාශ කර තිබුණේ සංචාරය සැලසුම් කළ පිරිස විසින් ගෙවන ලද “වැඩිපුර මුදල්” හේතුවෙන් සෙසු පිරිස යාල සෆාරියට ගිය බවයි. ඔවුන්ට මේ ගමනින් පසුව දින 14ක නිරෝධායන කාලසීමාවකට යටත්වීමට සිදුවන බව දැනුම් දුන් බවද ඔහු කියයි.

පළමුවෙන් පැමිණි සංචාරකයන් 180 අතුරින් 06 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණවලදී පොසිටිව් වී තිබූ අතර ඉන් එක් අයෙක් දෙවැනි පරීක්ෂණයේදී නෙගටිව් විය. ආසාදිතයන් පස්දෙනා කොතලාවල ආරක්ෂක රෝහලේ ප්‍රතිකාර සඳහා යොමුකරනු ලැබූහ.
මේ අතර දැනගන්නට ලැබුණේ යුක්රේන සංචාරකයන් සඳහා දින 07ක කාලයකට වෙන්කරවාගෙන තිබූ සංචාරක හෝටල්වල ගාස්තු පවා දැඩිව බලපෑම් සිදුකර අඩුකර ගැනීමට ක්‍රියාකර ඇති බවය. එක් දිනක් සඳහා අමෙරිකානු ඩොලර් 250ක් (යුරෝ 206) අයකරනු ලබන එක් හෝටලයක ගාස්තුව ඩොලර් 100ක් (යුරෝ 83) දක්වා අඩුකරගෙන තිබිණි. තරු 04 තවත් හෝටලයක ඩොලර් 970ක් (යුරෝ 799) වූ එක්දින ගාස්තුව ඩොලර් 107ක් (යුරෝ 88.77) දක්වා අඩුකර තිබුණේ දින 09ක කාලයක් සඳහාය. තවත් හෝටලයක් ඩොලර් 133ක් (යුරෝ 110) දක්වා ගාස්තුව අඩුකර තිබිණි.

මෙම “නියමු” ව්‍යාපෘතිය සඳහා යුක්රේන සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරුණේ මුලසිටම නීති නැවීමෙනි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනිවාර්ය නිරෝධායන දින 14 සීමාව දින 07 දක්වා අඩුකර තිබිණි. පළමු පී.සී.ආර්. පරීක්ෂණ නෙගටිව් නම් “ජෛව ආරක්ෂක බුබුළක” ආකාරයෙන් හඳුනාගත් නැරඹුම් ස්ථාන කරා යාමටද අවසර හිමිවිය.

එහෙත් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමටත් පෙර සිටම ඔවුන්ට මුහුදු වෙරළ පරිහරණයට ඉඩ ලැබිණි. ඒ සඳහා ආරක්ෂක වළල්ලක්ද ක්‍රියාත්මක විය. කෙසේ වුවද ඒ අවස්ථාවලදී ඔවුන් හෝටල් සේවකයන් ඇතුළු සෙසු පිරිස් සමඟ සම්බන්ධ වීම වළක්වා තිබිණි.

මේ වසරේ එන සංචාරකයන් ගැන රජයේ අනාවැකිය

මේ අතර රජය පසුගිය අඟහරුවාදා (05) ප්‍රකාශ කළේ මේ වසර තුළදී සංචාරකයන් මිලියන 1.5ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකි වනු ඇති බවය. කොවිඩ් - 19 සෞඛ්‍ය සහ ආරක්ෂක වැඩපිළිවෙළට අනුගත වී ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසුව සංචාරකයන් පැමිණෙනු ඇති බවට රජය විශ්වාසය පළකර තිබිණි.

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ ජනවාරි 23 වැනිදා සියලු වාණිජ ගුවන් ගමන් සහ සංචාරකයන් සඳහා ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් විවෘත කරන බවය. ඒ සඳහා 21 වැනිදා චාම් උත්සවයක් පැවැත්වීමටද නියමිතය. පසුගිය වසරේ කොවිඩ් හේතුවෙන් ගුවන් තොටුපළ වසා දැමීමට පෙර මෙරටට පැමිණ තිබූ සංචාරකයන් සංඛ්‍යාව පන් ලක්ෂ අටදහසක් වශයෙන් සඳහන් විය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු සංචාරකයන් පි.සී.ආර්. පරීක්ෂණවලට පෙනී සිටිය යුතු අතර අවම වශයෙන් දින 14ක කාලයක් මෙරට රැඳී සිටිය යුතු බවය. සහතික ලත් හෝටල් 131ක් තුළ කලින් වෙන්කරගෙන සිටින “සංචාරක බුබුළු*” වශයෙන් ඔවුන්ට මෙරට කාලය ගතකිරීමට ඉඩ සලසා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබුණේ සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා ඇති උපමාන වලට අනුකූලව සංචාරක ක්ෂේත්‍රය ක්‍රියා කළ යුතු බවය. යුක්රේන සංචාරකයන් ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරිය නිසි පරිදි දැනුම්වත් නොකිරීම හේතුවෙන් එහි බරපතළ අඩුපාඩුකම් මතුවූ බවද ඒවා ඉක්මණින් යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවූ බවද සභාපතිනිය සඳහන් කර තිබිණි.

- සන්ඩේ ටයිම්ස් සහ ඩේලි එෆ්.ටී.