2021 ජනවාරි 09 වන සෙනසුරාදා

ඉන්දියාව කතාකරන ලංකාවේ 13

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

පළාත් සභා ඡන්දය පවත්වනවාද නැද්ද යන්න රට තුළ විවාදයක් පවතිද්දී ඉන්දියාවෙන් ප්‍රබල පණිවුඩයක් ලැබී තිබේ. තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඉන්දියාවේ විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අත ඉන්දියාව මේ පණිවුඩය එවා තිබිණි. එයින් කියැවුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ඇතුළු අර්ථාන්විත බලය බෙදීමක් සඳහා ශ්‍රී ලංකා රජය කැපවිය යුතු බවය. එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය, සාධාරණය, අභිමානය හා ගෞරවය රැකෙන පරිදි දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකිරීම ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන බවය.

මේ අනුව ඉන්දීය රජයේ අපේක්ෂාව වන්නේ දෙරට අතර අත්සන් කෙරුණු 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ශ්‍රී ලංකාවේ කැපවීම තිබිය යුතුය කියාය. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාද ළඟ තබාගෙන පැවැත්වූ දෙරට අතර ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවේදී ජයශංකර් මහතා මේ කරැණු කියා තිබිණි. කලාපය තුළ සාමය සහ සුබසාධනය ප්‍රවර්ධනය කරන අතරදීම ශ්‍රී ලංකාවේ එක්සත් බව, ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ඉන්දියාව කැප වී සිටින බවද ඔහුගේ ප්‍රකාශය සඳහන් විය.

ඉන්දියාව මේ කියන්නේ ශ්‍රී ලංකාව පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටිමින් එම ක්‍රමය අහෝසි කර්මයට යාමට පාර කැපීමට සූදානම් වන්නේ නම් එයට ඉඩ නොදෙන බවය. එහෙත් ඒ බව කියා ඇත්තේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමකින් මිස තර්ජනාත්මකව නොවේ. එනමුත් ඉන්දියාවේ පණිවුඩය හරිහැටි ග්‍රහණය කර ගනිමින් අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකාව උනන්දු විය යුතුය. ආර්ථික වශයෙන් දැඩි අවදානමක සිටින රට කලාපීය වශයෙන්ද තවත් අවදානමකට වැටිය යුතු නැත. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම රජයේ අභිප්‍රාය විය යුතුය.

පළාත් සභා ඡන්දයට මුල්ම ඇණය ගැසුවේ පැවැති යහපාලන ආණ්ඩුවය. ඔවුන් සංහිඳියාව සහ ප්‍රතිසංධානයද බලය බෙදීමද පිළිබඳව කටින් බතල කොළ සිටුවමින් එම ක්‍රමවේදයට කොකා පෙන්නුවේ පළාත් සභා ඡන්දය කල් දැමීමෙනි. එය කල්දැම්මා මදිවාට සීමා නිර්ණය පනත ගෙන ඒම හරහා ලේසි පහසුවෙන් එම ඡන්දය පවත්වා ගැනීමට තිබූ අවස්ථාවද අහිමි කළේය. මෙහි වඩාත්ම අවාසනාවන්ත සිද්ධිය වන්නේ බලය බෙදීම වෙනුවෙන් ගිරිය පුප්පාගෙන කෑගැසූ උතුරේ දමිළ නායකයන්ද යහපාලන ආණ්ඩුවේ ක්‍රියාව අනුමත කිරීමය. හරි නම් විය යුතුව තිබුණේ එදා විපක්ෂයේ සිටි ටී.එන්.ඒ. නායකයන් පළාත් සභා ඡන්දය පවත්වන්නැයි බලකළ යුතු වීමය. එම බල කිරීම් මැද පැවැති රජය සමඟ තිබූ ඇයි හොඳැයිකම් උපයෝගී කරගනිමින් ඡන්දය කෙසේ හෝ පවත්වා ගැනීමට මාර්ගය විවෘත කර ගැනීමය. නමුත් සිදුවූයේ තමන්ගේ ජාතික අවශ්‍යතාවට වඩා උතුරේ නායකයන් එදා පැවැති යහපාලන ආණ්ඩුවේ වුවමනා එපාකම්වල ඉත්තන් බවට පත්වීමය. එහි ප්‍රතිඵලය තවමත් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පළාත් සභා අක්‍රිය වී තිබීමය.

පළාත් සභා නොතිබීම රටට මහ ලොකු ගැටලුවක් නොවන බව මේ ගෙවී ගිය අවුරුදු දෙක තුළදී පැහැදිලි විය. රටේ පළාත් නවයේම පළාත් මට්ටමින් සියලු වැඩකටයුතු සිදුවෙමින් තිබේ. අඩුවකට ඇත්තේ පළාත් සභාවේ මහජන නියෝජිතයන් නැතිවීම පමණි. ආණ්ඩුකාරවරයා සහ නිලධාරීන් විසින් එම සභාවල කටයුතු පවත්වාගෙන යනු ලැබේ. නමුත් ප්‍රාදේශීය සභා සහ පාර්ලිමේන්තුව අතර සිටිය යුතු දේශපාලනඥයන් පිරිසක් මේ හේතුවෙන් අතරමංව සිටිති. ඔවුන්ගේ දේශපාලනය දිගටම කරගෙන යාමට අවස්ථාව අහිමිව තිබේ. එය රටේ පළාත් පරිපාලනයට එතරම් බලපෑමක් නොකළද දේශපාලනමය හිඩැසක් නිර්මාණය කර තිබේ. එම හිඩැස ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද බලපෑම් ඇතිකරන බව ඉන්දියාවේ විදේශ කටයුතු ඇමැතිගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.

රජය මෙහිදී වඩාත් වගකීමකින් යුතුව ක්‍රියාකිරීම අවශ්‍ය වෙයි. දකුණු ආසියා කලාපයේ ඉන්දියාව ශ්‍රී ලංකාවට සුපිරි බලවතෙකි. එසේම ළඟම අසල්වැසියාය. එරට සමඟ කටයුතු කිරීමේදී දෙරටේම අභිමානය, ගෞරවය රුකගනිමින් සියලු කාරණා වෙත ප්‍රවේශවීම අවශ්‍යය. ද්විපාර්ශ්වික සබඳතා අවබෝධයකින් යුතුව පවත්වාගෙන යා යුතුය. එය පළුදු නොවන ආකාරයට කටයුතු කිරීම දෙපාර්ශ්වයේම වගකීමකි.

ඉන්දියාව උතුරේ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි මේ ආකාරයට සංවේදීව ප්‍රතිචාර දැක්වීම ගැන මෙරට නායකයන් අසහනයට පත්විය යුතු නැත. එසේම උතුරේ නායකයන් නිරතුරුවම ඉන්දියාවේ සරණ යාමද අනුමත කළ නොහැක. ඔවුන් ඒ ආකාරයට හැම කාරණාවකදීම ඉන්දියාව දෙසට හැරෙන්නේ මෙරට නායකයන් අතින් වැදගත් කාරණා ගිලිහෙන විටය. ප්‍රමුඛත්වය දියයුතු ගැටලුවලට විසඳුම් ලබාදීම ප්‍රමාද කරන විටය. බලය බෙදීම ඉතා සංකීර්ණ මාතෘකාවක් බව සැබෑය. එහෙත් පළාත් සභා ඡන්දය පැවැත්වීම සරල කාරණයකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ මුදල් පමණි. කොවිඩ් ආසාදනය මැද්දේ මහ මැතිවරණය පැවැත්වූ මැතිවරණ කොමිෂන් සභාවට පළාත් සභා ඡන්දය පැවැත්වීම අමාරු වැඩක් විය නොහැක.

පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් මුලින්ම රජය තුළ ඒකමතික අදහසක් තිබීමද මෙහිදී වැදගත් වෙයි. එක් එක් මැති ඇමැතිවරුන් තම තමන්ගේ සිතට එන සියලු අදහස් ප්‍රකාශ කිරීමෙන් මේ ගැටලුව විසඳිය නොහැක. මේ නිසා පළාත් සභා පිළිබඳව රජයේ සියලු පාර්ශ්වවලට එක හඬක් නැගිය හැකි නම් ඉන්දියාව යළිත් ශ්‍රී ලංකාවට මෙවැනි පණිවුඩ ලබා නොදෙනු ඇතැයි විශ්වාස කළ හැක.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00