2021 ජනවාරි 02 වන සෙනසුරාදා

ආණ්ඩුව ඇතු‍ළේ විපක්ෂයක්?

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 149

පසුගිය දෙසැම්බර් 18 වැනිදා සවස අම්පාරේ රැස්වීමක් පැවැත්විණි. එහි ප්‍රධාන කථිකයා වී සිටියේ මහජන ආරක්ෂක ඇමැති සහ පළාත් සභා රාජ්‍ය ඇමැති රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතාය. ඔහු කතා කළේ සිවිල් ආරක්ෂක බලකායේ පිරිසකටය. ඔවුන් සැරසී සිටියේ සිය නිල ඇඳුමිනි. එම කතාවේ ඔහු මෙසේ ද කියා තිබිණි.

“මම ශපථ කර කියනවා මේ රටේ ක්‍රියාත්මක පළාත් සභා ක්‍රමය අහෝසි කරන බව. මේ පළාත් සභා ක්‍රමය පටන් ගත්තේ ඉන්දු - ලංකා ගිවිසුමට අනුවයි. එම ගිවිසුම දැන් අවලංගුයි. මේ ගිවිසුමේ ඉන්දියාව විසින් ඉටු කළ යුතු කාර්යභාරය ඔවුන් අතින් ඉටු වුණේ නෑ. ඔවුන් තමන්ගේ වගකීම ඉටු කළේ නෑ. මේ නිසා ගිවිසුම අවලංගු වෙනවා. ඒ අනුව ඉන්දු - ලංකා ගිවිසුම ඇතිකළ 13 වැනි සංශෝධන සහ පළාත් සභා ක්‍රමය ද අහෝසි වෙන බව කිව යුතුයි.”

රියාර් අද්මිරාල් සරත් වීරසේකර මේ කතාව කියන්න ඇත්තේ නිකම් කට කහනවාට විය නොහැක. ඔහු වත්මන් රජයේ බලවත් ඇමැතිවරයෙකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප දේශපාලනඥයෙකි. පළාත් සභා අහෝසි කරනවා කියන විට උතුරේ පළාත් සභාව අහෝසි කරන බවද කියැවෙයි. උතුරු පළාත තබාගෙන සෙසු පළාත් සභා ක්‍රියාත්මක කිරීමට යාම බලය බෙදීම වෙනුවට කෙළින්ම රට බෙදීමට කපන පහසු මාර්ගයක් විය හැකි බැවිනි. එවැන්නකට ඉඩ නැත. එහෙම නම් පළාත් සභා භාර ඇමැතිවරයා වන සරත් වීරසේකර මහතා මේ කියන්නේ කාගේ අදහසද? ඒක සොයා ගැනීම පහසු නැත. එහෙත් රටේ සෙසු ප්‍රශ්න ගැන ද විමසා බලන විට මේ කතාව මුට්ටිය දමා බැලීමක් වීමට හොඳටම ඉඩ තිබේ.

මේ කතාව කියා සති තුනක් ගත වුවත් තවම එය රජයෙන් ප්‍රතික්ෂේප වී නැත. සිදු වූ එකම දේ පළාත් සභා ඡන්දය පැවැත්වීම දින නියමයකින් තොරව කල් දැමීමය. එය රජයේ දේශපාලන පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ගනු ලැබූ තීන්දුවක් බවද ප්‍රකාශ විය. පවතින කොවිඩ් ව්‍යාප්තිය සහ පළාත් සභා ඡන්දය පැවැත්වීමට එරෙහිව මහා සංඝරත්නය විසින් දක්වන විරෝධය සැලකිල්ලට ගනිමින් මේ තීන්දුව ගත් බව ප්‍රකාශයට පත් විය. එය මාධ්‍යයට ප්‍රකාශ කළේ ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප කැබිනට් ඇමැතිවරයකු වන මහින්ද අමරවීර මහතාය. කෙසේ වුවද මේ තීරණය දැනුම් දුන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වී සිටි ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා එම කල් දැමීම සම්බන්ධයෙන් වෙනත් මතයක සිටින බවද පැහැදිලි විය. දයාසිරි ඉන්නේ තමන්ට කැබිනට් පදවියක් නොලැබී යාමේ කනස්සල්ලෙන් යුතුව වන අතර ඔහු පසුගිය සතියේ දී ශ්‍රීලනිපයට රජය දක්වන කෙනෙහිලිකම් පිළිබඳව තරමක් ආවේගාත්මක අදහස් දක්වා තිබිණි. ඒ අතර පළාත් සභා ඡන්දය සහ ආණ්ඩුවත් ශ්‍රීලනිපයත් අතර ඇතිවෙමින් තිබෙන විරසකය පිළිබඳව හොඳම කතාව කිව්වේ හිටපු ජනපති ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතාය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසට අනුව පළාත් සභා අහෝසි කිරීම ගින්දර සමඟ සෙල්ලම් කිරීමක් වැනිය. දෙරට අතර පවතින මිත්‍රත්වය පළුදු නොවන ආකාරයට කටයුතු කිරීම මේ රටේ ආණ්ඩුවල වගකීමක් බවද ඔහු සඳහන් කර තිබිණි. සිරිසේන මහතා මේ අදහස් ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාවේ “ද හින්දු” පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදීය.

සිරිසේන මහතා හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී ඇත්තේ ද හොඳින් කල් යල් බලා බව පෙනෙන්නට තිබේ. දයාසිරි ජයසේකර පක්ෂ ලේකම්වරයා මෙරට මාධ්‍යයට තම පක්ෂයට ආණ්ඩුවෙන් සිදුවන බව කියන අරියාදු පිළිබඳව කතා කිරීමෙන් අනතුරුව මෛත්‍රීපාල මහතා සම්මුඛ සාකච්ඡාව ලබා දී තිබුණි. ඔහු පළාත් සභා ඡන්දය ගැන කතා කරමින් තමන්ගේ පක්ෂයට සිදුවන කෙනෙහිලිකම් ගැන ඉන්දීය මාධ්‍යයට කරුණු කියන්න ඇත්තේ පළාත් සභා මාතෘකාව ඉන්දියාවට ද වඩාත් සංවේදී මාතෘකාවක් නිසා ද විය හැකිය. ඒ මහතා පළාත් සභා අහෝසි කිරීමට විරෝධය දක්වමින් ප්‍රකාශ කර තිබුණේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා ඡන්දයේදී තම පක්ෂය තනිව තරග කිරීමට සූදානම් බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට නියමිත අපේක්ෂක කෝටාව ලබා නොදෙන්නේ නම් එම පියවර ගැනීමට පසුබට නොවන බව කියූ සිරිසේන මහතා 2020 පැවැති මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයට ආණ්ඩුව අසාධාරණ ලෙසට සැලකූ බවට චෝදනාවක් ද කර තිබුණි. අපේක්ෂකයන් නිසි ආකාරයට බෙදා දුන්නේ නම් තම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අඩුම තරමින් 25 දෙනකු හෝ පාර්ලිමේන්තුවට තේරීපත් වීමට ඉඩ තිබූ බවද සිරිසේන මහතාගේ මතය විය.

හින්දු පුවත්පතට මේ සාකච්ඡාව ලබාදීමෙන් සිරිසේන මහතා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු බිම දමාගැනීමට තැත් කර ඇතැයි කෙනකුට කිව හැකිය. ඔහු ඉන්දියාව වඩාත් සංවේදී ගැටලුවක් වන පළාත් සභා විෂයෙහිදී තමන් ඉන්දියාවේ ස්ථාවරය ගන්නා බව සඳහන් කරන ගමන් ආණ්ඩුවේ ගමන්මග පිළිබඳව තමන්ගේ ඇති අප්‍රසාදය ද පළ කර තිබේ. දයාසිරිගේ කතාවත් සිරිසේන මහතාගේ සම්මුඛ සාකච්ඡාවත් ආණ්ඩුව ඇතුළේම විපක්ෂයක් නිර්මාණය වන පෙරනිමිත්තක්දැයි කියන්නත් බැරිය. 
ඒ බව හරියටම දැනගැනීමට නම් පළාත් සභා ඡන්ද පැවැත්වීම අවශ්‍යය. ආණ්ඩුවේ පළාත් සභා ඡන්දය කල් දැමීමට කොවිඩ් ව්‍යාප්තිය, මහ සඟරුවනේ විරෝධය පමණක් නොව ශ්‍රීලනිපය ඇතුළේ අලුත් පෙරළිය ද හේතු වන්නට ඇතැයි කීමටත් බැරිකමක් නැත. එසේම පළාත් පාලන ආයතනවල අයවැය ආණ්ඩු පක්ෂය පරාජය වීම ද මේ රුල්ලේම කොටසක් බවද පෙනෙන්නට තිබේ. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා සාමාජිකයකු වන හබරාදූව සංවිධායක තිසර ගුණසිංහ ප්‍රකාශ කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පොදුජන පෙරමුණු ආණ්ඩුව බිහිකිරීමට ප්‍රධානම කාර්යභාරයක් ඉටු කළ පක්ෂය වන ශ්‍රීලනිපයේ හඬට ආණ්ඩුව කන් නොදෙන්නේ නම් ශ්‍රීලනිපය තීන්දුවක් ගත යුතු බවය. රජය බලයට පත් වී වසරක් ගත වුවද ජනතාවගේ ප්‍රගතියට හේතුවන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බවට ද ඔහු චෝදනා කරයි. කැලෑ කපන, වැලි සහ පස් ජාවාරම් කරන වැරදිකරුවන් නිදහස් කිරීම පමණක් රජයේ වත්මන් වැඩපිළිවෙළ බවට පත් වී ඇතැයි ද ඔහු චෝදනා කරයි. පසුගිය බ්‍රහස්පතින්දා (31) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ කරුණු ප්‍රකාශ කළේය.

ආණ්ඩුව ශ්‍රීලනිපය මේ කියන්නේ මොනවාදැයි දැන නොසිටිනවා විය නොහැක. එහෙත් ආණ්ඩුව ආරම්භයේදීම තම ගමන්මගේ බාධකයක් බවට පත් වූ කොවිඩ් ව්‍යාප්තිය සමඟ සටන් වැදීමට සිදුවීම හේතුවෙන් අනපේක්ෂිත ගැටලුවලට ද මුහුණ දී සිටී. ඒ සමඟ ඇතැම් ගැටලු දිග්ගැසීමෙන් ඒවා අර්බුද බවට පත්වෙමින් තිබෙන බවද පෙනෙන්නට තිබේ. එක් අතකින් බරපතළ ආර්ථික ගැටලු ගණනාවකට ඉදිරියේදී මුහුණදීමට තිබෙන තත්ත්වයක් තුළ කොවිඩ් වසංගතයේ අතුරු විපාක තවදුරටත් නොවිසඳී තිබීම යහපත් තත්ත්වයක් නොවේ. මෙහිදී කැපීපෙනෙන්නේ කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ අවසන් කටයුතු පිළිබඳව තවමත් තීන්දුවක් ගැනීමට නොහැකි වීමය. එයට ප්‍රධාන බාධකයක් බවට පත්ව තිබෙන්නේ දේශපාලනික ප්‍රශ්නයකටත් වඩා ආගමික මතවාද අතර ගැටුමක් හටගෙන තිබීමය. සෞඛ්‍ය සේවයෙන්, දේශපාලනයෙන් එපිට ගොස් ආගමික මතවාද අතර ගැටුමක් බවට පත් වුවහොත් එය විසඳා ගැනීම පහසු වන්නේ නැත. මහා සංඝරත්නය විසින් නගන හඬට එරෙහිව යාමට ආණ්ඩුවට හැකියාවක් නැති බැවිනි. යථා තත්ත්වය පිළිබඳව රටට අවබෝධයක් ලබාදීමෙන් වැළකී සිටීම රජයේ උපක්‍රමයක්දැයි කියන්නත් බැරිය. කොවිඩ් මරණ සිදුවීම ද දිනපතාම පාහේ වාර්තා වන බැවින් මේ ගැටලුවට විසඳුමක් අවශ්‍යය. ඒ සඳහා පත් කරන ලද කමිටු දෙකටම තවම තීරණයක් ගැනීමට නොහැකි වී තිබේ. කොවිඩ් මරණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වීමේ ප්‍රතිවිපාක ඉදිරියේදී ආණ්ඩුවට දැනෙන්නට ඉඩ තිබේ.

ආණ්ඩුවට පළාත් සභා කල් දැමිය හැක. අවශ්‍ය නම් එය අහෝසි කරනවාද යන්න ගැන විවාද කරමින් තවදුරටත් කල් මැරිය හැක. එය සිදු කිරීමට නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඒ පිළිබඳ වගන්ති ඇතුළත් කළ යුතුය. ශ්‍රීලනිපය දරණ ස්ථාවරය වන්නේ පළාත් සභා තිබීම අවශ්‍ය බවය. එබැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමේදී පළාත් සභා අහෝසි වන බව සඳහන් වන්නේ නම් ඒ සඳහා ශ්‍රීලනිප මන්ත්‍රීවරැන්ගේ සහාය හිමි නොවන බව පැහැදිලිය. ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුවට සිදුවනු ඇත. එහෙත් එසේ වනු ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අවංකව ක්‍රියා කළොත් පමණි.

පළාත් සභා එසේ වුවද කොවිඩ් මෘතදේහ අවසන් කටයුතු තීන්දුව කල්දැමිය නොහැක. දැන් මේ ගැටලුව රටින් එපිටට විහිදෙමින් තිබෙන බවද සඳහන් වෙයි. වැඩ එක දෙක කර ගැනීමට වඩා අවශ්‍ය වන්නේ හැකි තරමට අර්බුද හදාගැනීමකින් තොරව කටයුතු කිරීමය. ආණ්ඩුව ඒ වෙනුවට අර්බුද දෙසටම තල්ලු වන්නේ නම් එළියේ තිබෙන පෙනෙන විපක්ෂයට වඩා ඇතුළෙන් හැදෙන නොපෙනෙන විපක්ෂය බලවත් වෙන්නත් බැරි නැත.

 ශශීන්ද්‍ර