2021 ජනවාරි 02 වන සෙනසුරාදා

අපි ඇන්දුව කියල හිතන අයට අනාගතේ ඇඳගන්න වේවි

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

ශ්‍රීලනිප මහ ලේකම් - බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

  •  අපේ පක්ෂයට තව කැබිනට් තනතුරු ලැබෙන්න ඕන
  • විපක්ෂය කෑගැහුවට ඔවුන්ටත් විසඳුමක් නැහැ
  • අපි හැදූ මේ ආණ්ඩුව කඩන්න ඉඩදෙන්නෙ නැහැ
  • මගේ පරණ කොන්ද විකුණල තියෙන්නෙ
  • මෛත්‍රී මහත්තය හිටිය නම් හොඳයි කියල අද සමහරැ කියනව
  • ශ්‍රීලනිප මහ ලේකම් හැටියට දුන්න තනතුර ගැන කළකිරීමක් තියෙනව
  • වෙන ආණ්ඩුවක් තිබ්බ නම් අනාථයි

 

ආණ්ඩුව දැන් පත්වෙලා මාස ගණනකුත් ගිහිල්ලා. දැන් අලුත් වසරක් ලැබුවා. ඔබ ආණ්ඩුවේ ක්‍රියාදාමය තුළ වගකීම් දරන කෙනෙක්. ඔබට අනුව මේ ආණ්ඩුවේ ගමන ගැන සතුටක්, සෑහීමකට පත්වීමක් තියෙනවද?

ඇත්තටම ඔව්. මේක තේරුම් ගත යුත්තේ සාමාන්‍ය මට්ටමකින් නෙමෙයි. මේ කෝවිඩ් වෛරසය ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරාම පැතිරිලා ඉවරයි. මේක දැන් අවුරුදු සීයකට පස්සේ අපි මුහුණ දෙන දරුණු වසංගතයක්. අද ලෝකයේ ආර්ථික තත්ත්වය ඉතාම දරුණු විදිහට පහළ බැහැලා. හැමෝම සෘණ මට්ටමින් ගණනය කරන්නේ. හැබැයි මේ කෝවිඩ් වසංගතය එක්ක බලද්දී අපේ රටේ මරණ සංඛ්‍යාව අඩුයි. සියයට එකක මට්ටමක තියෙන්නේ. එහෙම රටවල් තියෙන්නේ ඉතාම අල්ප ප්‍රමාණයයි ජනගහනයත් එක්ක. ඉතින් අපි අනාගතය එක්ක ගත්තොත් මේ වසර තුළ මේ වසංගතයත් පාලනය කරමින් තමයි ඉදිරියට යන්නේ. කොහොම වුණත් පසුගිය කාලය ගැන අපිට සතුටක් තියෙනවා.

කෝවිඩ් ගැන ඔබ කතා කළාට විපක්ෂයේ චෝදනාව තියෙන්නේ මේ ආණ්ඩුව ආර්ථිකය විනාශ කරගෙන තියෙන්නේ විහින් කියලා. ආර්ථික ප්‍රතිපත්තිවල අවුල නිසා කියලා?

මෙහෙමනේ කෝවිඩ් වසංගතය තුළ මෙහෙම හරි ආර්ථිකය ගෙනියන එක ලොකු දෙයක්. වෙන ආණ්ඩුවක් තිබ්බා නම් රට අනාථයි. ආර්ථික වශයෙන් අර්බුද තියෙනවා. ඒවා නෑ කියන්නේ නෑ. හැබැයි රට ඉතාම පරිස්සමින් ඉදිරියට අරගෙන යනවා මේ ආණ්ඩුව. රට බංකලොත් කරන්නේ නෑ කිසිම වෙලාවක. හේතුව ඉස්සර ආණ්ඩු වගේ නෙමෙයි මේ ආණ්ඩුවට ලොකු බලයක් තියෙනවා. ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ කළමනාකරණ ශක්තිය තියෙනවා. ඒ නිසා මේ ආර්ථික අවුල ඉදිරියේ එන ආණ්ඩුවකට අපි දෙන්නේ නෑ. අපි ඒක විසඳනවා. මේ ආර්ථික අවුල ඉතිහාසයේ ඉඳලා එන එකක්. ඒකට හේතුව අධික ණයබර. ඉතිං මේ සියල්ල පාලනය කරන්න අපිට හැකියාව තියෙනවා.

විපක්ෂය නම් කියන්නේ මේ ඉවසීමේ අවසානය තව මාස හයකින් ඉවරවෙලා ජනතාව පාරට බහී කියලා. එහෙම වුණොත් මොකද කරන්නේ?

මෙහෙමයි ආණ්ඩු විරෝධය ඇතිවෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. හැබැයි ජනතාව හිතන්න ඕන මේ තත්ත්වය ලංකාව හුදෙකලාව ඇති කරගත්ත අවුලක් නෙමෙයි. හිතන්නකෝ අපේ රටේ නිෂ්පාදන ක්‍රියාදාමය ඉතාම මන්දගාමී වෙලා. සමහර තැන් සම්පුර්ණයෙන් කඩා වැටිලා. මේක ලෙහෙසි තත්ත්වයක් නෙමෙයි. මේ තත්ත්වය මත විරෝධතා ගොඩනගන්න පුළුවන්. හැබැයි අපි ඇත්ත තත්ත්වය තේරුම් ගන්න ඕන.

දැන් විපක්ෂයෙන් විශාල චෝදනා ටිකක් ගේනවා. ඔබ හිතන්නේ ඒවා පදනමක් නැති චෝදනා කියලද?

විපක්ෂය බලන්නෙම රට ඇතුළේ තියෙන අර්බුද ඉස්මතු කරගන්නනේ. දැන් ලෝකෙම අර්බුදය උඩට ඇවිත් තියෙන්නෙ. ලෝකෙම විපක්ෂවලට වාසියි මේ වෙලාව. මොකද මේ වෙලාවේ රටක් ගෙනියගන්න බැරි තැනකට පත්වෙලා තියෙන්නේ ලෝකෙම. ඉතිං මේ ප්‍රශ්නය විපක්ෂයට තෝතැන්නක්. හැබැයි එහෙම විපක්ෂය කෑගැහුව කියලා ඔවුන්ටත් විසඳුමක් නෑ තවම. පුළුවන්නම් හෙට උදේට ආණ්ඩුව අරන් කරන්න කියන්න. කිසිම විසඳුමක් නෑ ඒ අයටත්. ඒ නිසා ඉදිරි අවුරුද්දේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අවුරුදු දෙකක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි අවුරුදු තුනකින් මේ රට ගොඩදානවා.

ආණ්ඩුව ආනයනය සීමා කරලා. ඒවාට විශාල බදු පනවලා. දැන් ඔබත් පසුගිය දවසක ඇඟලුම් ආනයනයට විශාල බද්දක් ගහන්න තීන්දු කළා. දැන් එහෙම ගහන්නේ රටේ ඉල්ලුම අනුව සැපයුමක් දෙන්න නිෂ්පාදකයෝ ඉඳලද? හිටියත් අඩු මුදලකට ඇඳුමක් ගන්න හැකියාවක් තියෙනවද? මේක මේ අනවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයිද?

නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. හේතුව ලංකාවට පහුගිය කාලේ ඇඟලුම් ආනයනය කරලා තියෙන ප්‍රමාණය අනුව. එයට වැඩකළ මුදල බැලුවොත් ඔබ පුදුම වෙයි. 2019 ආනයනය කරලා තියෙනව ඇඳුම්වල මිල මිලියන 347,245යි. එතකොට 2020 දී 269,545යි. දැන් බලන්න මේ පිට යන්නේ අපේ රටේ ලංකාවේ රුපියල්.

දැන් ඔබ හිතනවද ඔය වියදම අනුව ලංකාව තුළ ඒ වගේ නිෂ්පාදනයක් අඩු මුදලට ලබාගන්න පුළුවන්  කියලා?

අපෝ පුළුවන්. උදාහරණයක් ගත්තොත් ලංකාවේ ලොකුම ඇඳුම් විකුණන ආයතන. ඒ අය විකුණන ඇඳුම් වලින් 80%ක් මිලදී ගන්නේ දේශීය නිෂ්පාදකයගෙන්. හැබැයි ඉතුරු 20% ගේන්නේ පිටරටින්. ඒකෙත් හොඳම දේ කියන්නේ ගිය අවුරුද්දේ තිබ්බ ෆැෂන් එක තමයි අපිට මේ අවුරුද්දේ ලංකාවට එන්නේ. මොකද ඒ ඇඳුම් ලොට් එක පිටින් අඩුවට දෙන නිසා. දැන් බලන්න මේ අවුල. ඒත් මතක තියාගන්න ලංකාවේ ඉන්නවා හොංකොං, බැංකොක්වලට වඩා කොලිටි එකට මහන්න පුළුවන් මිනිස්සු. මතක තියාගන්න පරණ පැෂන් මෙහේ එද්දී අලුත් පැෂන් මහලා පිටරට යවන්නේ මෙහෙන්. හිතාගන්නකෝ වෙන දේ. ඒ නිසා මට ඕන ශ්‍රී ලංකාවේ බ්‍රෑන්ඩ් ලංකාවේ ජනප්‍රිය කරන්න. ඒ නිසා මම බද්දක් ගහනවා ආනයනවලට. ඒ ලංකාවේ නිෂ්පාදකයා රැක ගන්න.

ජනතාවගේ මතයක් හැදිලා තියෙනවනේ අපේ දේවල් වල කොලිටි නෑ කියලා?

ඒ ඉතිං අපේ දේවල් ගැන කැක්කුමක් නැතිකමනේ.

දැන් ඔබ බතික් කර්මාන්තය සම්බන්ධයෙන් විශාල වැඩකටයුත්තක් කරනවා. බතික් ඇඳුම් අඳින්න දිනයකුත් දාලා. ඒත් ඇත්තටම මේ දේවල් කරන්න ලංකාවේ බතික් කර්මාන්තය ඉල්ලුමට අනුව සැපයුම දෙන තැනක තියෙනවද?

මෙහෙමයි අපි මේ වෙද්දී බතික් කර්මාන්තයේ යෙදිලා ඉන්න සැබෑ නිෂ්පාදකයින් හොයන් යනවා. ඒ වගේම මේ දවස් දෙක තුනේ පුරුදුකරන වැඩවලට වඩා මාස දෙක තුනක පුහුණුවක් ලබාදෙන්නත් අපි යෝජනා කරලා තියෙනවා. ඒවා නොමිලේ කරන්නේ. අපි බතික් කරන හැටි විතරක් නෙමෙයි ඇඳුමක් මහගන්න හැටිත් කියනවා. මෙතන ලොකුම ප්‍රශ්නය තමයි මේ බතික් ඩිසයින් වල ප්‍රශ්නය. ඒවා අවුරුදු ගණන් පරණ ඒවා. හැමදාම අලියයි, මුවයි, පෙරහැරයි, මලුයි ඕවා තමයි තියෙන්නේ. ඒත් ඇත්තටම මේ ඩිසයින් වෙනස් කරන්න ඕන. ඒ දැනුමත් අපි ලබාදෙනවා. මේ සියල්ල හරහා අනාගතයේ මේ කර්මාන්තය ඇඟලුම් කර්මාන්තයේ විශාල තැනකට ගේන එක තමයි මගේ අරමුණ. ඒක මම කරනවා.

දැන් මේ අමාත්‍යංශය ගැන කතා කළොත් ඔබට මේ සම්බන්ධයෙන් විවිධ කතා කියනවා. ඇත්තටම ඔබ මේ අමාත්‍යංශය ගැන කලකිරීමකද ඉන්නේ? අඩුම ගානේ රස්සාවක්වත් දෙන්න බැරි නිසා?

මෙහෙමයි මම ඒ වගේ ලඝුකරලා සලකන්නේ නෑ මේ අමාත්‍යංශය ගැන. හැබැයි ජනාධිපතිතුමා බලයට ගේන්න වැඩකළ, ඒ වගේම ඒ වෙනුවෙන් පෙනී හිටපු සහ රටේ ප්‍රධාන පක්ෂයක මහලේකම් කෙනෙක්ට දෙන්න පුළුවන් උපරිම තනතුරක්ද මේ කියලා මට යම් කලකිරීමක් තියෙනවා. මොකද මම නීතීඥයෙක්. දේශපාලනයේ වසර ගණනාවක් හිටිය කෙනෙක්. ඒ නිසා යම් කනගාටුවක් තියෙනවා. මොකද තව වැඩ කරන්න පුළුවන් රාජ්‍ය අමාත්‍යංශ ගොඩක් තියෙනවා. හැබැයි එක දෙයක් මට මේ දුන්න අමාත්‍යංශය ඉතාම ඉහළ තැනකට ගේනවා. මම අමාත්‍යංශයක් ගත්තොත් ඒක අත අරින්නේ නෑ.

කැබිනට් මණ්ඩලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තව ඇමති ධුරයක් හම්බවෙන්න තියෙනවද?

ඒකනම් මම දන්නේ නෑ. හැබැයි 2019 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරයා දිවුරුම් දුන්නම කැබිනට් මණ්ඩලය 19යි. එතනදි අමාත්‍යධුර තුනක් දෙනවා කිව්වා. ඒ වගේම 2020 අගෝස්තු මාසයේ පස්වෙනිදා ආණ්ඩුව පත්කළාම ඒකට ඇමතිවරු 28 දෙනෙක් පත්කළා. දැන් බලන්න එදා 19ක් පත් කරලත් දෙන්නයි. අද 28ක් පත් කරලත් දෙන්නයි. මම හිතන්නේ තව කැබිනට් ඇමතිදුර දෙක තුනක් හම්බෙන්න ඕන අපට. ඒ අසාධාරණය කළේ කවුද කියලා මේ රටේ ජනතාව තීන්දු කරයි.

ඔබ මහලේකම් වෙලා ඇමතිධුරයක් නැතිව කලකිරීමෙන් ඉන්නේ. මීට වඩා කලකිරීමක් ඇතිනේ හිටපු ජනාධිපතිවරයට මොනවත්ම නැතුව?

නෑ එතුමට කලකිරීමක් නෑ. එතුමා අපට වඩා උපේක්ෂා සහගතව දේවල් දිහා බලන නායකයෙක්. එතුමා ගැන අද හැමෝම කතාවෙනවා මෛත්‍රී මහත්තයා හිටියා නම් හොඳයි කියලා. හැබැයි එතුමා කලබල වෙන කෙනෙක් නෙමෙයි. හැබැයි අපි එතුමා අද සියලු දේවල්වලට මුහුණදෙමින් කටයුතු කරනවා.

ඔබ නිතර කියනවා අසාධාරණයක් වුණා කියලා. මොකක්ද වුණ ඇත්තම අසාධාරණය?

අපි ගෝඨාභය ජනාධිපතිතුමාව බලයට ගෙන්න කටයුතු කළා. එදා අපේ පක්ෂය අදහස් දෙකක හිටියා. ඒ වෙනම ඉල්ලන්න කියලා. හැබැයි එහෙම කළේ නෑ. හේතුව එහෙම කළා නම් යූ.ඇන්.පී.ය දිනන නිසා. ඒ නිසා හොඳම විකල්පය හැටියට ගෝඨාභය ජනාධිපතිතුමාව අපි පත්කර ගත්තා. ඒ නිසා අපේ පක්ෂයේ පිරිසක් අත්හැරලා ගියා. ඒවත් ඉවසන් අපි කළේ යම් කිසි එකඟතාවයක් මත. ඒත් ඒ කිසිම එකඟතාවයක් තවම ඉෂ්ට වෙලා නෑ. අමාත්‍යධුර ලබාදුන්නේ නෑ හරියට. සංස්ථා සභාපතිවරු කිහිපයක් ඉල්ලුවා ඒවා ලබාදුන්නේ නෑ. ආණ්ඩුකාර තනතුරු ඉල්ලුවා ඒවා ලබාදුන්නෙත් නෑ. ජාතික ලැයිස්තුවෙන් දෙන්නෙක් ඉල්ලුවා. දෙන්නගෙන් එක්කෙනයි ලැබුණේ. ඒත් අපිට වුවමනා කෙනා නෙමෙයි. ඒ අනුව ශ්‍රීලනිපය සම්පූර්ණයෙන් අතඇරලා දාලා තියෙන්නේ. 2020 ආණ්ඩුව හදද්දිත් දුන්න පොරොන්දු නෑ. ඒ වගේම අද වෙනකොට අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, සංවිධායකවරු මේ අය සම්බන්ධ කරගන්න ඕන සංවර්ධනයට. මේකට කිසිම සම්බන්ධීකරණයක් ඇති වෙලා නෑ. ඒ ගැන කනගාටුවක් තියෙනවා. මම මේ ගිවිසුම් අත්සන් කළ නිසා මමයි ඒ දේවල්වලට මුහුණ දෙන්නේ.

ඒ කියන්නේ දයාසිරි ජයසේකරව ඇන්දුවද ආණ්ඩුව? 

නෑ මාව අන්දවන්න නම් ලේසි නෑ. කවුරු හරි හිතනවා නම් ඇන්දුව කියලා අනාගතයේ ඒ අයට ඇඳගන්න වෙයි.

ඔබ විතරනේ සටන් කරන්නේ. අනික් අය නිශ්ශබ්දයිනේ?

පක්ෂයේ ලේකම් හැටියට ඉස්සෙල්ලා මම කතා කරන්න ඕන. ඊටපස්සේ අනික් අය කතා කරයි.

ඇත්තද ශ්‍රීලනිපය කඩාගෙන යන්න හදනවා කියන්නේ ඔබ?

එහෙම කිසිම අදහසක් නෑ. මේක අපේ ආණ්ඩුව. මේක හැදුවේ අපි. මේක කඩලා බිඳලා දාන්න ඉඩ දෙන්නේ නෑ. අපි හැබැයි ආණ්ඩුවේ ඇතුළේ දේවල් වැරදි නම් ඒ ගැන කතාකරලා නිවැරදි කරමින් ගමන යනවා. අපිට ආයේ යූඇන්පී ආණ්ඩුවක් හදන්න උවමනාවක් නෑ. හැබැයි අන්ධානුකරණයෙන් තොරව කතාකරනවා. අභ්‍යන්තරව හරි බාහිරව හරි

ඇයි ඕවා ඇතුළේ කතාකරන්න බැරි? එළියේ කතාකරලා විසඳුම් නෑනේ?

එළියේ කතාකළේ එකපාරයි. ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ රුස්වීමක් තිබ්බේ මාස ගාණකට පස්සේ. ඉතිං මේ දේවල් ගැන නායකයෝ එක්ක කතාකළාට පිළිතුරක් නැත්නම් ඒ දේවල්වලට වසඳුමක් නැත්තන් මේ ගැන එළියට ගිහින් කතා කරන්න වෙනවා. අපි හැමවෙලාවෙම උත්සාහ ගන්නේ ජනාධිපතිතුමත් රුකගෙන ආණ්ඩුවත් රුකගෙන ඉදිරියට යන්න.

තවම ඔබේ හඬට ලොක්කන්ගෙන් ප්‍රතිචාරයක් නැද්ද?

නෑ ඉතිං අපි බලමු අනාගතයේ මොකද වෙන්නේ කියලා.

සමහර අය කියන්නේ දයාසිරි කලකිරිලා පරණ මිත්‍රයා වුණු සජිත් ප්‍රේමදාස ගාවට යයි කියලා? ඒක ඇත්තද?

නෑ නෑ කලබල වෙන්න එපා. ඒ පරණ කොන්ද විකුණලා තියෙන්නේ.

අවසාන වශයෙන් අහන්නේ පාස්කු කොමිසමේ තීරණය එනකල්ද ඉන්නේ තීන්දුවක් ගන්න?

එහෙම කිසිම තීන්දුවක් නෑ. ඒක ප්ලාන්ට් කරපු නිව්ස් එකක්. ඔය සල්ලිවලට මාධ්‍යවේදී වැඩකරන අය විවිධ කතා පතුරනවා. එහෙම කළා පහුගිය කාලේ. ඔය පාස්කු කොමිසම නිසා ශ්‍රීලනිපය තීන්දු ගන්නේ නෑ. අපි තීන්දු ගන්නේ රටේ අර්බුද, ප්‍රශ්න එක්ක. ඒ නිසා ඒක අසත්‍ය කතාවක්.

 ගයාන් ගාල්ලගේ