2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

රතු එළි මැද එළඹෙන වසර

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා දූරදර්ශී ලෙස ක්‍රියා කරමින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) ගිවිසුමෙන් ලංකාව නිදහස් කර ගත්තා. ඒ සම්බන්ධයෙන් රටට ආදරය කරන සියලු ජනතාවගේ ගෞරවය සහ ප්‍රසාදය එතුමාටත් රජයටත් හිමි විය යුතුයි.”

මෙහෙම කියන්නේ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතායි. පසුගිය සඳුදා (21) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා තිබුණි. හිටපු යහපාලන එක්සත් ජාතික පක්ෂ රජය හිටපු ජනාධිපතිගේ විරෝධය පවා නොතකා අමෙරිකාවේ වුවමනාවට සකස් කළ එම්.සී.සී. ගිවිසුම අල්ප මුදලකට රට මහා පාවාදීමකට යොමු කිරීමක් බැවින් එය ප්‍රතික්ෂේප කිරීම ජාතික නිදහස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමක් වශයෙන් ද ඇමැතිවරයා විසින් හඳුන්වා දුන්නේය. එම කතාවේ තවත් විශාල විස්තරයක් තිබුණත් වත්මන් රජයේ වෙළෙඳ ඇමැතිවරයාගේ මේ කතාව 2020 වසරේ අවසාන සතියේ දී රජය මේ ගෙවී යන අවුරුද්දේ සිදු කළ කාර්යභාරය ගැන යළි සිතා බැලීමට මේ ටික ප්‍රමාණවත්ය. රජය මේ වසර තුළදී සිදු කළ වැඩ සහ ඒ ගැන තිබෙන ජනතාවගේ ප්‍රතිචාර ගැන අදහසක් ඇතිකර ගැනීමට ද මෙය අවස්ථාවකි.

ආණ්ඩුව වසර පටන් ගත්තේ ජයග්‍රාහී ගමනක ආරම්භය අතේ තබාගෙනය. එයට බාධාවක් වුණේ කොවිඩ් වසංගතයේ කඩා වැදීමය. එහෙත් එය අපට පමණක් නොව ලොවට ද මහත් බලපෑමක් සිදු කරමින් තිබෙන අතර එහි ආර්ථික සහ සමාජමය ප්‍රතිචාරවල අයහපත් බලපෑම මේ වන විට දැඩිව දැනෙමින් තිබේ. රටට ආදායම අඩු විය. අපනයනයට ද එසේම විය. විදෙස් රැකියාවලින් ලද ආදායම් අඩු වූවා පමණක් නොව රැකියා කළ මහා පිරිසකට ආපසු එන්නට සිදු විය. අපනයනය සීමා වීමෙන් එය මූලික කරගත් සමාගම් විශාල සංඛ්‍යාවකට බරපතළ ගැටලු ඇති විය. සංචාරක ව්‍යාපාරය බින්දුවට බැසීම නිසා එයින් ලද ඩොලර් බිලියන ගණනක ආදායම අහිමි වූ අතර ඍජු සහ වක්‍රව සංචාරක කෂේත්‍රයේ රැකියා කළ ලක්ෂ ගණනකට සියලු ආදායම් මාර්ග අහිමි විය. ස්වයංරැකියා කළ සහ එදිනෙදා ආදායමින් ජීවත් වූ ලක්ෂ සංඛ්‍යාවකගේ ජීවන තත්ත්වය පහත වැටුණි. ආණ්ඩුවට වසර පුරාම කටයුතු කිරීමට සිදු වූයේ මේ අයහපත් පරිසරය යටතේය. මහත් බලාපොරොත්තු තබා රටේ පාලනය බාරගත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැලසුම් එලෙසම ක්‍රියාවට නැංවීමට ද එයින් බාධා ඇතිවූ බවද පිළිගත යුතුය. එහෙම වුණත් රටේ ජනතාව නව පාලනය කෙරෙහි ගොඩනංවාගෙන තිබූ මහත් බලාපොරොත්තු එකිනෙක බිඳවැටෙන තත්ත්වයක් ද වසර තුළදී ඇතිවූ බවත් එයට නව රජයේ ඇතැම් මැති ඇමැතිවරැන්ගේ ක්‍රියා කලාපය පවා බලපෑ බවත් පෙනෙන්නට තිබේ.

රටේ වසරක කාලය ගෙවී යද්දී අවධානයට ලක්විය යුතු ප්‍රධාන කාරණා තුනක් කැපී පෙනෙයි. ආර්ථිකය හැසිරවීම, මහජන සෞඛ්‍යය සහ පිරිසුදු පාලනයක් පිළිබඳ තැබූ බලාපොරොත්තුය. ආණ්ඩුව ආර්ථිකය හැසිරවීම සම්බන්ධයෙන් ඇතැම් කාරණාවලදී ප්‍රගතියක් පෙන්වුවද සමස්තයක් වශයෙන් උදම් ඇනීමට තරම් දෙයක් නැති බව පෙනී යයි. නව සියවසට ගැලපෙන නව ආර්ථික සැලසුම් සහ උපාය මාර්ග පිළිබඳව තිබූ බලාපොරොත්තු ද එකින් එක බිඳවැටෙමින් තිබේ. රජයේ දේශපාලන තීන්දු තීරණ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ගනු ලබන තීන්දු තීරණ අතර පරස්පරතා සහ මතගැටුම් බහුල විය. එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් රජය ගනු ලැබූ ස්ථාවරය බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගේ ඉහත සඳහන් ප්‍රකාශය තුළ හොඳින්ම පෙන්නුම් කෙරේ. ඒ ගැන රජය ඇතුළත ධනාත්මක සංවාදයකට වඩා දැඩි මතධාරීන්ගේ අණසකට යටවූ විසංවාදයක් පැවැති බවත් අවසානයේ ජය ගත්තේ දැඩි මතධාරී කණ්ඩායමේ මතවාදය බවත් පැහැදිලිය. එයින් රටට සිදු වූයේ යහපතක් ද අයහපතක් ද යන්න ඉදිරි කාලයේදී තීරණය වනු ඇත. ඒ සඳහා බලපාන සාධක ගණනාවක් ද තිබෙන බවත් සඳහන් කළ යුතුය.

එම්.සී.සී. ගිවිසුම තුළ රටේ ස්වෛරීභාවයට තර්ජනයක් විය හැකි ඍණාත්මක යෝජනා තිබූ බව සැබෑවකි. නමුත් එ තුළ යහපත් යෝජනා ද තිබිණි. එහෙත් රජය මුල සිටම එම ගිවිසුමේ යහපත් සාධක අමතක කොට මේ ගිවිසුම අමෙරිකානුවන් විසින් අපේ රටට බලහත්කාරයෙන් ඇඟේ ගැසීමට තැත් කරන භයානක යෝජනා වැනි ආකල්පයකින් ක්‍රියා කිරීමත් ගිවිසුම පිළිබඳ සෙවීමට පත් කළ විද්වත් කමිටුවට ද එම ආකල්පයෙන් මිදී ධනාත්මකව කටයුතු කිරීමට නොහැකි වීමත් හේතුවෙන් රටට වැදගත් විය හැකිව තිබූ විශාල ඩොලර් ප්‍රදානයක් අහිමිව ගිය බව යථාර්ථයයි. එය බන්දුල ගුණවර්ධන මහතා විසින් කියන විදියට අමෙරිකාව ගිවිසුම හකුලා ගත්තා නොවේ. සිදු වූයේ ඩොලර් මිලියන 480ක ප්‍රදානය ශ්‍රී ලංකාවට ලබාදීම අමෙරිකාව විසින් අත්හිටුවීමය.

එහෙත් ඇත්ත වශයෙන්ම සිදුවිය යුතුව තිබුණේ එම ගිවිසුම තුළ තිබූ ධනාත්මක යෝජනා සම්බන්ධයෙන් රටට උපරිම වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ගැනීම සඳහා අමෙරිකාවත් සමඟ එකඟත්වයක් ඇතිකර ගැනීමය. ඒ වෙනුවට ශ්‍රී ලංකා රජය ගිවිසුම පිළිබඳව දැක්වූයේ උදාසීන ප්‍රතිපත්තියක් බවත් තමන්ගේ යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එවැනි ආකල්පයකින් ක්‍රියා කිරීම තම රටේ සතුටට හේතු නොවන බවටත් වන අදහස අමෙරිකාව එම්.සී.සී. ප්‍රදානය අත්හිටුවමින් කළ ප්‍රකාශය තුළ ගැබ් වී තිබූ බව අවබෝධ කර ගැනීම දුෂ්කර නැත. එය රටේ ඉදිරි ආර්ථිකයට ද බලපෑම් එල්ල කරනු ඇති බවට සමහර ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති. එම්.සී.සී. ගිවිසුමේ යහපත් අංගවලින් රටට වාසිදායක තත්ත්වයක් ඇතිකර ගැනීමට අසමත් වීම රජය මේ වසර තුළදී ලද පසුබෑමක් වශයෙන් සැලකීම වැරදි නැත.

මේ වසර තුළදී තවත් ආර්ථික පසුබෑමක් වූයේ රට රටවල ආර්ථික තත්ත්වය පිළිබඳ පුරෝකථනය සපයන ජාත්‍යන්තර ආයතන විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පැවැති තත්ත්වයෙන් පහළ මට්ටමට ඇද දැමීමය. මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් රටට ලැබෙන සහ ලැබීමට නියමිත විදේශ ආයෝජන පිළිබඳ විශාල පිබිදීමකින් සහ අප්‍රමාණ බලාපොරොත්තුවකින් සුබදායී ප්‍රකාශ නිකුත් කළත් සැබෑ තත්ත්වය නම් විදෙස් ආයෝජකයන් එම කතා ගණන් නොගන්නා බවයි. ඔවුන් කරන්නේ කිසියම් රටක් තුළ ආයෝජන සිදුකිරීමේ දී ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂක ආයතන මගින් සිදු කරන පුරෝකථන සැලකිල්ලට ගැනීමය. මෙහිදී තවත් නරක ප්‍රතිචාරයක් පිළිබඳව ද අපේ රට සැලකිලිමත් වීම ද අවශ්‍යය. එම්.සී.සී. ගිවිසුමට පිටුපෑම තුළින් අසීරුවට පත්ව සිටින අමෙරිකාව තමන්ට බලපෑම් කළ හැකි ආයෝජකයන්ට ශ්‍රී ලංකාව පිළිබඳ ඍණාත්මක ආකල්ප ඇතිකිරීමට තිබෙන හැකියාවය. එම්.සී.සී. ගිවිසුමෙන් රට ඉවත් කර ගන්නා විට ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථික, සෞඛ්‍ය සහ පාලනයක් සහිත රටක් වශයෙන් පැවතුණා නම් මෙවැනි තත්ත්වයක් උදා වන්නේ නැත. එහෙත් සියල්ල සිදුවන්නේ වඩාත් ගැටලුකාරී තත්ත්වයකට රට තල්ලු වන ආකාරයටය.

මෙහිදී කැපීපෙනෙන ගැටලුවක් වන්නේ කොවිඩ් ආසාදිත මුස්ලිම් මරණ ආදාහනය කිරීම පිළිබඳ පැන නැගී ඇති අර්බුදයයි. ඒ පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිර්ණායකවල ආදාහනය පමණක් සිදු කළ යුතු බවට වන වගන්තිය එලෙසම පැවතීම මුස්ලිම් ප්‍රජාව ප්‍රතික්ෂේප කරති. මේ ගැටලුවට මාස ගණනක් තිස්සේම විසඳුමක් සොයා ගැනීමට නොහැකි වීම ආණ්ඩුවේ ප්‍රතිරෑපයට යහපත් නැත. මෙය තවදුරටත් දිග්ගැස්සීම ප්‍රශ්නය වඩාත් සංකීර්ණ තත්ත්වයට පත් කරනු ඇති බවට සැකයක් නැත. ගැටලුව තවත් ඇදී යාමේ අවාසිය ආණ්ඩුවටය. විපක්ෂය ද මේ අවස්ථාවෙන් දැඩිව ප්‍රයෝජනය ගනිමින් සිටී. විපක්ෂයට අහිමි වීමට කිසිවක් නැති වුවද ආණ්ඩුවට එසේ නොවේ. ආර්ථික, සෞඛ්‍යය සහ පරිපාලනය අතින් ආණ්ඩුව මේ වසර අවසන් කරන්නේ බලාපොරොත්තු වූ තරම් ඉහළ මට්ටමකින් නොවීමට මේ කාරණා ද බලපායි. ජනාධිපතිවරයාගේ “සෞභාග්‍යයේ දැක්ම” ඉදිරි වසරේදී ඉදිරියට තල්ලු කිරීමට අප්‍රමාණ වෙහෙසක් දැරීමට සිදුවන බවට සැකයක් නැත.
මේ හේතූන් නිසා ආණ්ඩුවට සම්බන්ධ බිම් මට්ටමේ කිසියම් නොසන්සුන්තාවක් පැන නැග ඇති බවට පෙරනිමිති පහළ වෙමින් තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු (පොහොට්ටුව) පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතන ගණනාවක 2021 සඳහා වන අයවැය සම්මත කර ගැනීමට නොහැකි වීම එවැනි එක් නිමිත්තකි. මෙහිදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ පරාජය කැපී පෙනේ. එම සභාවේ පොහොට්ටු මන්ත්‍රී 20ක් අතුරින් අයවැයට ඡන්දය දුන්නේ තිදෙනකු පමණි. හල්දුම්මුල්ල යනු ජනාධිපතිවරයා තම ජංගම සේවය පැවැත්වූ එක් ප්‍රදේශීය සභා බල ප්‍රදේශයකි. හලාවත නගර සභාව, අලව්ව, ජා ඇළ, බෝපේ-පෝද්දල, ගම්පොළ උඩ පළාත, හාරිස්පත්තුව, පදියතලාව ප්‍රාදේශීය සභා සහ අම්පාර නගර සභාව පොහොට්ටුව අයවැය පරාජයට පත් වූ ආයතන අතර වෙයි. මෙවැනි අවස්ථාවකදී සභාවේ සභාපතිට අස්වීමට සිදුවන අතර වෙනත් සභාපතිවරයකුගේ නායකත්වයෙන් අයවැය සම්මත කර ගැනීමට හැකිවිය. මේ ප්‍රවණතාව පිළිබඳ අදහස් දක්වා තිබූ ජාතික ජන බලවේගයේ විජිත හේරත් ප්‍රකාශ කර තිබුණේ බිම් මට්ටමින් ආණ්ඩුව කෙරෙහි පවතින අප්‍රසාදය මේ පරාජයන් වලින් පිළිඹිබු වන බවය. කොවිඩ් දෙවැනි රැල්ල පාලනයේ දී රජය ගෙන යන වැඩපිළිවෙළ ද ආණ්ඩුවේ පහළ මට්ටමේ ඇතැම් දේශපාලනඥයන්ගේ උදහසට හේතු වී තිබේ.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය තම පක්ෂයට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් ඉදිරි පියවර ගණනාවක් තබමින් සිටී. ඔවුන් මුස්ලිම් මෘතදේහ පිළිබඳ ගැටලුව පිළිබඳව ප්‍රබල උද්ඝෝෂණයක නිරතව සිටින බවද මහර බන්ධනාගාර ගැටුම අවස්ථාවේදීද පෙරමුණ ගෙන ක්‍රියා කළ බවත් කැපී පෙනෙයි. සජබ මගින් අලුතින් හඳුන්වා දී ඇති ව්‍යවස්ථාව 1946 වසරේදී ඩී.එස්. සේනානායක මහතා විසින් හඳුන්වා දුන් එජාප ව්‍යවස්ථාවට බොහෝ සෙයින් සමාන වන බවද දැනගන්නට තිබේ. එසේම රජයට විරුද්ධ දේශපාලනඥයන් තම පක්ෂය සමඟ කටයුතු කිරීමට එකඟ කර ගැනීමට ද ඔවුන් සමත්ව සිටින අතර ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ රොහාන් පල්ලෙවත්ත මෑතකදී සජිත් ප්‍රේමදාස මහතා හමුවී සහාය පළකිරීම එවැනි අවස්ථාවකි. එජාපය නම් ඉදිරි වසර ද රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ වැඩ කිරීමට සූදානමින් සිටින බව පෙනෙන්නට තිබේ.

රටේ පොදු ජනතාවට නම් තවදුරටත් ඉතිරිව ඇත්තේ බලාපොරොත්තු පමණි.

 ශෂීන්ද්‍ර