2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

අභියෝගාත්මක අවුරුද්ද පිළිගනිමු!

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

ඊළඟට එළඹෙන 05 වැනි දවස අලුත් අවුරුද්දක උදාව සටහන් කරයි. ඒ 2021 වැනි වසරයි. අප කොතරම් අකැමැති වුවද අලුත් වසර උදා වන්නේ යහපත් පරිසරයක, වටපිටාවක නොවේ. එසේ වුවද එය අලුත් වසරක ආරම්භය බවත් අලුත් ඇසකින් බැලිය යුතු අලුතින් සිතිය යුතු අලුත් වෙනසකට මුලපුරන වසරක් බවට පරිවර්තනය කරගත යුතු බවත් දැඩිව සිතට ගත යුතු වෙමු. ආරම්භය එසේ ගත හැකි නම් වසර අවසානයේ ආපසු හැරී බලන කල අපට සතුටු විය හැකි වනු ඇත.

අප මේ ගෙවෙන වසර දෙස ආපසු හැරී බැලුවොත් පෙනෙන තෙක් මානයක ඇස ගැටෙන්නේ කොවිඩ් වසංගතය හා බැඳුණු සිදුවීම්ය. තරමක කනගාටුවක් දැනෙන්නේ පළමුවැනි වතාවේදී සියලු දෙනාටම සතුටු විය හැකි තරමකට කොවිඩ් වසංගතය පාලනය කර ගැනීමට සමත් වූ අපේ රටට දෙවැනි රැල්ල මහා ඛේදවාචකයක් බවට පත්වීමය. එසේ වුවද ඒ ගැන කම්පා වෙමින් සිටීමෙන් දිනාගත හැකි දෙයක් නැත. අලුත් වසරකට පා තබන බව සිත්හි තබාගනිමින් කටයුතු කිරීමට කොවිඩ් වසංගතය බාධාවක් කරගත යුතු නැත.

නව වසරේ රට මුහුණදෙන බරපතළම අභියෝගය ආර්ථික අර්බුදයෙන් ගැලවීමට සුදුසු පියවර ගැනීම බව පැහැදිලිව පෙනී යයි. ආර්ථික අවුල අර්බුදයක් බවට පත්වීමට කොවිඩ් වසංගතය හේතු වූ බවට විවාදයක් නැත. එහෙත් ඒ මත්තෙහිම නැහෙමින් සිටීමට වඩා මෙතැනින් එහාට යා යුතු මග තීරණය කිරීම වඩාත් යහපත් වනු ඇත. මෙරට ජනජීවිතය හා බැඳුණු දහසකුත් එකක් ගැටලු සියල්ලම ආර්ථිකය සමඟ ගැටගැසී තිබෙන බව රහසක් නොවේ. සමාජීය වශයෙන් පවා නැති ප්‍රශ්න ඇදගැනීමෙන් වැළකී සිටීමට දැඩි අධිෂ්ඨානයකින් කටයුතු නොකළොත් ඒවායේ ප්‍රතිඵල ද ආර්ථික අර්බුදයත් සමඟ පටලැවීමට ඇත්තේ ලොකු ඉඩකඩකි. අලුත් අවුරුද්දේ එවැනි ව්‍යසනයකට කිසිම ඉඩක් තැබිය යුතු නැත.

කොවිඩ් වෛරසයෙන් බැටකන රටේ ජනතාව එයින් මුදාගැනීමට දැනට වඩා හොඳින් කේන්ද්‍රගත වූ වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩිව රටට දැනෙමින් තිබේ. එවැනි වැඩපිළිවෙළකට අලුතින් ප්‍රවේශයක් ගැනීමට ද අලුත් අවුරුදු උදාව යොදවාගත හැකිය. විශේෂයෙන් ලොවේ බොහොමයක් රටවල් කොවිඩ් වෛරසයට එරෙහි එන්නත පිළිබඳව මහත් බලාපොරොත්තු සහගතව සිටියදී අපට ද එයින් වෙනස් මගක් ගැනීමට හැකියාවක් නැත. එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ බලාපොරොත්තුවක් නැතැයි කිසිවකුටත් කිව නොහැකිය. විවිධ පැණි වර්ග අත්හදා බැලීම් තිබුණත් ඒ කෙරෙහි පමණක් විශ්වාසය තබා කටයුතු කිරීම නුවණට හුරු නැත. රටේ ජනතාව ද එවැනි ප්‍රතිකාර පසුපසින් දිව යන්නේ ඒ ගැන තිබෙන අති විශාල විශ්වාසයකට වඩා වෙනත් කළ හැකි ප්‍රතිකාරයක් අප රටේ දැනට නොතිබෙන බැවින් වීමට හොඳටම ඉඩ තිබේ. ප්‍රතිකාරයක් ලැබෙන බවට ජනතාව තුළ පවතින අප්‍රකාශිත බලාපොරොත්තුව අවතක්සේරු කිරීම සුදුසු නැත. ඒ ගැන ගත හැකි ඉහළම පියවර ගැනීමට නව වසර ආරම්භයේදීම කටයුතු කළ හැකි නම් එය නිසැකවම හොඳ ප්‍රවේශයක් වනු ඇත.

ලෝකයේ සෙසු රටවලට ද නව අවුරුදු උදාව සටහන් වන්නේ එය සතුටින් සැමරීමට කිසිදු ඉඩක් නොතබමිනි. එවැනි සැමරීමක් සිදු කළ හැකි රටවල් තිබේ නම් ඒ අතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩු විය යුතුය. සල්ලි තිබෙන රටවල් නම් ජනතාව නිවෙස්වලටම කොටු වී සිටියත් විවිධ ආකාරයේ සැමරීම්වලට, අහස් කුස ආලෝකමත් කිරීමට සල්ලි විසි කරනු ඇත. නමුත් කනගාටුදායකම සිද්ධිය වන්නේ මින් ඉහත එවැනි ආකාරයේ දැවැන්ත සංදර්ශන පවත්වා අලුත් අවුරුද්ද ප්‍රීතියෙන් පිළිගෙන වැළඳගත් බොහොමයක් යුරෝපීය සහ බටහිර රටවල්වලට මෙවර “ලොක් ඩවුන්” තත්ත්වයෙන් අලුත් අවුරුද්දට පා තැබීමට සිදුවීමය. මේ වසංගතය සියවසක් තුළදී ලෝකය මුහුණ දුන් දරුණුතම ව්‍යසනය බවට සමාජ විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන්නේ එබැවිනි. එම රටවලට අත්වී තිබෙන ආර්ථික අවපාතයේ අහිතකර බලපෑම් අපේ රටට ද එල්ලවීම වැළැක්විය නොහැකි වනු ඇත. මේ නිසා අපේ රටට ද අලුත් අවුරුද්ද උපරිම සූදානමකට පා එසවිය යුතු වසරක් වශයෙන් සලකා කටයුතු කිරීම අවශ්‍යම වනු ඇත.

මෙහිදී මහජනතාවට පමණක් නොව ආණ්ඩුවට ද පැවරී ඇත්තේ විශාල වගකීමකි. ආණ්ඩුව මේ වන විට 2021 වසර සඳහා අයවැය ද තුනෙන් දෙකකට අධික බහුතර බලයකින් සම්මත කරගෙන එම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට මුහුණ දෙමින් සිටී. මෙහිදී පවතින සැබෑ තත්ත්වය කෙරෙහි ජනතාව ද සංවේදී විය යුතු වුවද එය එසේ නොවන අවස්ථා ඉදිරියේදී දැකගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ. එහිදී ඔවුන්ගේ සිතුම් පැතුම් හඳුනා ගනිමින් ඔවුන් රැවටීම්වලට, ඇස් බැන්ඳුම්වලට හසුකර ගැනීම්වලින් තොරව කටයුතු කිරීම වඩාත් යහපත් වනු ඇත. ප්‍රශ්න වැඩිවන විට ජනතාව සංවේදීව කටයුතු කරනවාට වඩා ආවේගශීලීව වැඩ කිරීමට වඩාත් නැඹුරුවක් තිබිය හැකි බැවිනි. 2021 අලුත් වසරේ දී ආණ්ඩුවට මේ සියල්ල හසුරුවා ගැනීමට සිදුවනු ඇත්තේ මහා කුණාටු සහ ගල්පර පිහිටි රළු මුහුදක යාත්‍රා කරන විශාල නෞකාවක් ආංබාං කර ගන්නවාක් වැනි දැඩි අසීරැවකිනි. නැවට හොඳ කප්පිත්තන් සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. නැවේ සියලු කාර්යමණ්ඩලයම ඒ සඳහා සියලු වෙර දැරිය යුතුය. නව වසර වඩාත් යහපත් එකක් වනු ඇත්තේ එවිටය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00