2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

ආණ්ඩුව තමන් රැවටූ බව හැටනම ලක්ෂයත් තේරුම් අරන්

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

 - සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු

  • චම්පික මහත්තයා අපට එකතුවෙලා අපි එක්ක ගමන යනවා
  • විද්‍යාව වෙනුවට මිත්‍යාව දාගෙන මේ යන්නේ ගල් යුගයට
  • රට - ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුව මොනවද කළේ?
  • රජයේ සේවකයන්ට පඩි දීගන්න බැරුව හිරවෙනවා
  • එජාපය ඒ අයගේ ප්‍රශ්න මුලින් විසඳාගන්න ඕනෑ
  • අපේ ආණ්ඩුවේ වැරදි කරපු අය දැන් අපි ළඟ නෑ
  • මළසිරුරු හරහාත් ආණ්ඩුව කරන්නේ ජාතිවාදය ඇවිස්සීමයි

දැන් ඔබ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. විපක්ෂයේ කාර්යය සිදු කරමින් යන්නෙ. ඔබ හිතනවද සමස්ත විපක්ෂයේ කාර්යභාරය විපක්ෂය විසින් ඉෂ්ඨ කරමින් ඉන්නවා කියලා?

ලංකා දේශපාලන ඉතිහාසය වගේම නූතන දේශපාලන ඉතිහාසය එක්ක බලද්දි අලුතෙන් පක්ෂයක් හදාගෙන ඒ පක්ෂය හරහා මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවට අරගෙන ඉතාම සුළු ප්‍රමාණයක් එක්ක සිදු කරනු ලබන විපක්ෂයේ කාර්යභාරය ඉතාම ඉහළයි කියලයි මම හිතන්නෙ. පාර්ලිමේන්තුවෙ ඉන්න අනෙකුත් විපක්ෂ කණ්ඩායම් එක්ක බලද්දි ආණ්ඩුවට විරුද්ධව විශාල කාර්යභාරයක් මේ විපක්ෂය විසින් ඉෂ්ඨ සිද්ධ කරමින් ඉන්නවා. මම හිතනවා නිල විපක්ෂය විතරක් නෙමෙයි සමස්ත ආණ්ඩු විරෝධි ජනමතය අපි විසින් නියෝජනය කරනවා කියලා. 

අපි දැකලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්න කාලෙ දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ වගේ විපක්ෂ කණ්ඩායම් එක්ක එකතුවෙලා ආණ්ඩුවට විරුද්ධව විශාල සටනක් ගෙනිච්චා. අද ඒ එකතුව නැද්ද?

මෙහෙමයි. ඒ දිහා ඕනෙම කෙනෙක් දාලා ඉන්න කණ්නාඩිය අනුව බැලුවොත් ඔය දේවල් පේන්න පුළුවන්. ඒත් මගේ මතය අනුව එහෙම විපක්ෂයේ ඔක්කොම එකතුවෙලා සටන් කරන්න පුළුවන් ජාතික ප්‍රශ්නයක් තාම ඇතිවෙලා නෑ. අන්න ඒ අවස්ථාවෙදි කරන්න ඕන දේවල් සම්බන්ධයෙන් දැනට සාකච්ඡා මට්ටමින් ඉන්නවා.

ආණ්ඩුව මේ වෙනකොට විපක්ෂයට එල්ල කරන චෝදනාව තමයි ආණ්ඩුව විසින් කරගෙන යන සියලු දෙයට අකුල් හෙළන තැනක ඉන්නෙ කියලා. ඇත්තටම විපක්ෂයේ කාර්යය වෙලා තියෙන්නෙ ඒකද?

මට නම් ඒ ප්‍රශ්නෙ ගැන විශ්වාසයක් නැහැ. හේතුව තමයි ආණ්ඩුව මේ වෙනකම් රටට මොනවද කරලා තියෙන්නෙ කියන්නකො. මේ ආණ්ඩුව කරපු දේවල් එක්ක මිනිස්සු එහෙනම් ආණ්ඩුවට විරුද්ධව ෆේල් කියලා මතයක් හදන්නෙ නෑ. මේ ආණ්ඩුව ඔවුන්ට හිතවාදී සහ ඔවුන්ගේ බඩගෝස්තරය පුරවා ගැනීමේ අරමුණින් වැඩ කටයුතු සිද්ධ කරලා තියෙනවා ඇරෙන්න රට වෙනුවෙන් හරි ජනතාව වෙනුවෙන් හරි කරපු දෙයක් නෑ. ඒ නිසා විපක්ෂය කියලා ආණ්ඩුව කරන දේවල්වලට අකුල් හෙළන්න දෙයක් නෑ. ආණ්ඩුව හොඳ දෙයක් කළොත් අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. දැන් බලන්නකො කොවිඩ් වසංගතය පවා මේ රටේ විහිළුවක් වුණානෙ. 

ඔබලා චෝදනා කරනවා ආණ්ඩුව කොවිඩ් වසංගතය ඔවුන්ගේ වැරදි වහගන්න යොදාගෙනයි කියලා. හැබැයි ආණ්ඩුව කියනවා ඔවුන් ජනතාව වෙනුවෙන් උපරිම කරන්න ඕන දේවල් කරලා තියෙනවා කියලා. ඇත්තටම ඔබට මොකක්ද හිතෙන්නෙ ලංකාවෙ කොවිඩ් තත්ත්වය ගැන?

ඇත්තටම මේ ආණ්ඩුව විද්‍යාව වෙනුවට මිත්‍යාව ගෙනල්ලා ගල් යුගයට යමින් ඉන්නෙ. දැන් බලන්න ඔය කොවිඩ් වසංගතය නිසා පකිස්තානය කියන රටට අපේ රටට වඩා බලපෑම් එල්ල වුණා. ඒ වගේම ඉන්දියාවටත් මීට වඩා වැඩියි. ඉන්දියාවේ ප්‍රතිශතය එක්ක අපේ ප්‍රතිශතය ආදේශ කළොත් අපේ ලංකාවෙ මිලියන 2කට වැඩි ප්‍රමාණයක් මැරිලා තියෙන්නෙ ඕනෙ. මොකද ඒ රටවල් ඒ තරමට බලපෑමට ලක්වෙලා තියෙන්නෙ. හැබැයි ඒ රටවල් ආර්ථික අර්බුදයෙන් තරමකට හරි ගොඩ ගියා. හැබැයි ඒ රටවලුයි අපේ වියත් වෙනසත් එක්ක ගත්තාම සම්පූර්ණ විහිළුවක් වෙලා තියෙනවා මිනිස්සුන්ට පැණි පොවන තත්ත්වයට පත්වෙලා. 

ආණ්ඩුව ඉතින් වැඩපිළිවෙළක් කරගෙන යනවනෙ?

මොනවද කරන්නෙ. මිනිස්සුන්ට පැණි පොවනවා. නැත්නම් කළගෙඩි ගඟට විසි කරනවා. සම්පූර්ණ විහිළුවක් වෙලා. 

ඉතින් පැණියට ඉඩ දීලා තියෙන්නෙ දේශීය වෛද්‍ය විද්‍යාවට තැන දෙන්නනෙ?

බොහොම හොඳයි එහෙනම්. එහෙනම් ඉතින් මෙහෙට බටහිර වෛද්‍ය ක්‍රමයක් අවශ්‍ය වෙන්නෙ නෑ. හැබැයි අපි කියන්නෙ මොන දේ කළත් කරන ක්‍රමයක් තියෙනවා. දැන් මේ කරන වැඩෙන් හෙට දිහාට හැමෝම පැණියක් හොයාගෙන ආවොත් මොකද කරන්නෙ? ආණ්ඩුවට හිතවත් මාධ්‍ය විසින් කරගෙන යන මේ වැඩපිළිවෙළ නිසා අද දේශීය වෛද්‍ය විද්‍යාව පවා විහිළුවට ලක්වෙලා තියෙනවා. බලන්නකො ඔහු කියනවනෙ දේව බලයෙන් පැණිය හැදුවෙ කියලා. 

හැබැයි ආණ්ඩුවෙ සමහර අය නම් කියන්නෙ දෙවියො බැරි නම් කවුරු දුන්නත් ඒ ගැන හොයලා බලලා හොඳ නම් ප්‍රයෝජනයට ගන්න ඕනෙ කියලා?

ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. හැට නම ලක්ෂය රුවැට්ටුවෙත් එහෙමනෙ. ඔය මාධ්‍ය ආයතනවලින් තමයි ඔය දේවල් තහවුරු කරන්න යන්නෙ. සුදර්ශනී වෛද්‍යතුමිය පවා කියනවා ඒක බොන්න එපා කියලා. එතකොට මේක අරගෙන යන්නෙ මාධ්‍ය විසින්. 

හැබැයි පාර්ලිමේන්තුවෙ කථානායකතුමා ඇතුළු මන්ත්‍රීවරු බිව්වා. සෞඛ්‍ය ඇමැතිතුමිය හැඳි දෙකක් කටේ දාගත්තා. එතකොට ජනතාවට මේක බොරුවක් කියලා පිළිගන්න බෑ නේද?

මම කිව්වනෙ ජනතා මතය වෙනස් කරන ආණ්ඩුවට හිතවාදී ජනමාධ්‍ය තියෙනවා. ඒ අය තමයි මේ දේවල් උස්සගෙන පෙන්නන්නෙ. එතකොට ජනතාව රුවටෙනවා. ඒක නිසයි මම කිව්වෙ මේ ජන මනස වෙනස් කරන්න ආණ්ඩුව විසින් මාධ්‍ය යොදාගෙන. 

එතකොට ඔබ කියන්නෙ ඔක්කොම මිනිස්සුන්ගෙ ඔළුව වෙනස් කළේ මේ ජනමාධ්‍ය කියලද?

නෑ. ආණ්ඩුව විසින් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය හරහා විශාල රුවටීමක් කරගෙන යනවා. ඒ සඳහා කොච්චර මුදල් වැය කරලා තියෙනවද කියලා අපි ඉදිරියේදි හෙළි කරනවා. හැබැයි එක දෙයක් කියන්න ඕනෙ. මේ වෙනකොට ආණ්ඩුවෙ මේ රුවටීම ජනතාව හොඳට තේරුම් අරගෙන ඉන්නෙ. හැට නම ලක්ෂය පවා ඒක තේරුම් අරගෙන ඉන්නෙ. සමහරු දැනගෙනත් පිළිගන්න කැමති නෑ. හැබැයි සමහර අය දැනගෙන පිළි අරගෙන ඉන්නවා. සමහර අය ඉන්නවා වැරුද්ද පිළිගත්තෙත් නෑ. 

ඔබ කියන හැටියට මේ රටේ ජනමනස වෙනස් කරන්නෙ මාධ්‍ය නම් විපක්ෂයෙ හඬට මාධ්‍යයේ ඉඩක් නැද්ද?

අනිවාර්යෙන්ම අපට විශාල වශයෙන් ඉඩක් නෑ. අපේ දේවල් විකෘති කරලා සමහර තැන්වල පළවෙන්නෙ. අද වෙනකොට නිදහස් සාධාරණ මාධ්‍යකරණයක් අපට දැකගන්නවත් විදිහක් නෑ. 

ආණ්ඩුව ඔච්චර වැරදි කරනවා නම් ඔබලට ඊළඟ පාර බලය ලැබෙයි කියලා විශ්වාස කරනවද?

මේ යන විදිහට මේ ආණ්ඩුවට තව මාස හයක් යනකොට රජයේ සේවකයන්ට පඩි දීගන්න බැරුව හිරවෙනවා. එදාට රජයේ සේවකයො තමයි මේ ආණ්ඩුව ගැන තීරණයක් ගන්නෙ. හැබැයි රජය සල්ලි අච්චු ගහලා හරි දෙයි. මේ ආණ්ඩුව කරපු කිසි දෙයක් හරි ගියේ නෑ. පොල්වලට ගැසට් ගැහුවා. හාල්වලට ගැසට් ගැහුවා. හාල් මෝල් හිමියො ගාව ලැජ්ජ වුණා. සීනිවලට ගැසට් ගැහුවා. ඒ හැම දෙයක්ම පස්සෙ හකුල ගන්නවා. ඉතින් මොනවද කරලා තියෙන්නෙ. 

මම අහන්නෙ මේ වැඩපිළිවෙළ දිහා බලලා ඔබලා පරාජය කරපු ජනතාව නැවත ඔබලාව බලයට ගෙනෙයි කියලා විශ්වාස කරනවද?

ජනතාව විසින් කරන ලද වරද ජනතාව දැන් තේරුම් අරගෙන ඉන්නෙ. ඒ නිසා ඒ වරද නිවැරදි කරන්න ක්‍රමයෙන් සැකසීගෙන යන්නෙ. ඒ සඳහා ජනතාව එකතු වේගෙන යනවා. මේ රටේ පහුගිය කාලෙ වෙච්ච සිද්ධීන් පිටිපස්සෙ ඉන්නෙ කවුද, ඒවා මාධ්‍ය හරහා ප්‍රචාරය කළේ කොහොමද කියන එක දැන් හෙළිවෙලා තියෙනවා. 

දැන් ඔබලගෙ ආණ්ඩුව කිසි වැරැද්දක් වුණේ නැද්ද?

වරදක් වෙච්ච අය දැන් අපි අතර නෑ. ඒ අය දැන් අත්හැරලා ඉවරයි. අපි දැන් අලුත් දේශපාලන ගමනක් ආරම්භ කරලා තියෙන්නෙ. අපි අතර හිටිය නායකයො, පුද්ගලයො නිසා තමයි එදා මේ අවුල් ඇතිවුණේ. හැබැයි දැන් ඒ අය නෑ. දැන් ඉතාම පිරිසුදු කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නෙ. 

එහෙම කියලා ඒ ආණ්ඩුවෙ වෙච්ච වැරැද්දෙන් ඇඟ බේරගන්න බෑ නේද?

දැන් ඔබතුමාට කිව්වනෙ මම. ඒ වරදවල්වලට ප්‍රධාන වශයෙන් හේතු වුණු අය අපි ඉවත් කරලා ඇවිත් ඉන්නෙ. අපි අලුත් ගමනක් යනවා. ජනතාව ඒක පිළි අරගෙන තියෙනවා. 

මේ ආණ්ඩුවෙ අයවැය එක්ක ආපු කාරණයක් තමයි දේශීයත්වය අගය කරලා ආනයනය සීමා කරලා ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ගොඩනගනවා කියලා. ඒ ගැන මොකද හිතන්නෙ?

මේ ආණ්ඩුවෙ අයවැයේ ගන්න කියලා කිසිම දෙයක් නෑ. අපිත් කැමතියි දේශීයත්වය අගය කරලා ආර්ථික ක්‍රමයක් ගොඩනැගෙනවාට. පුළුවන් නම් කරලා පෙන්නන්න කියන්න. වර්තමාන තත්ත්වයත් එක්ක ඒක ඔවුන්ට පෙන්නන්න කියන්න. ඒ සඳහා ඔවුන්ට කාලය තියෙනවා. බලය තියෙනවා. සියල්ලම තියෙනවා. හැබැයි ජනාධිපතිතුමාට දැන් කරන්න කලින් ඔහු පත්වෙච්ච කාලෙ කරන්න තිබ්බා නේද? දැන් එතුමා ඇවිල්ලත් අවුරුද්දක් වෙනවනෙ. ඒ වගේම මැතිවරණය තියන්න පරක්කු වුණාට අපි ඔහුට බලය දීලත් ඉවත් වුණානෙ. ඉතින් ඔවුනුත් අවුරුද්දක කාලයක් හිටියා. හැබැයි කරපු දෙයක් තාම නෑ. හැමතැනම කතාවයි රඟපෑමයි විතරයි තියෙන්නෙ. 

මේ වෙනකොට සමගි ජන බලවේගය විසින් අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක හැමෝම ප්‍රජාතන්ත්‍රවාදීයි කියලා කියනවා. ඔබ මොකක්ද ඒ ගැන හිතන්නෙ?

ඇත්තටම ඒක ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක්. නායකත්වය වෙනුවට පක්ෂයේ විධායක සභාව බලවත් වෙලා තියෙනවා. විශේෂයෙන් නායකත්වය සදාකාලික නෑ. මේ ව්‍යවස්ථාව අනුව යම් මැතිවරණයක් පරාද වුණොත් අනිවාර්යෙන් නායකයා ඉවත් වෙන්න ඕනෙ. පසුව ඔහුට පුළුවන් නැවත ඔහුගෙ නම යෝජනා කරන්න. ඒ නිසා හැමදාම වගේ නායකයටත් පවුලේ අයටත් යන ක්‍රමයට මේ පක්ෂය හැදිලා නෑ. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඕන කෙනකුට දේශපාලනය කරන්න පුළුවන් අවස්ථාවක් අපි හදලා දීලා තියෙන්නෙ. 

ඇත්තද ඔබ පළමු ව්‍යවස්ථා කෙටුම්පත ගෙනාපු වෙලාවෙ සභාවෙන් නැගිටලා ගියා කියන්නෙ තරහ වෙලා?

ඔව්. මුලින් ගෙනා ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් අපේ යම් විරුද්ධත්වයක් තිබුණා. හැබැයි නායකතුමාගෙ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ මත මම ඇතුළු කමිටුවක් පත් කරලා අවශ්‍ය වෙනස් කිරීම් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට සිදු කළා. ඕවා කවදාවත් පොහොට්ටුවෙ කරන්න පුළුවන්ද? බෑනෙ. ඒ නිසා අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීයි. 

පාඨලී චම්පික රණවක මහතා අලුත් ගමනක් යන්න හදනවා කියලා බොහෝ අය කසුකුසු තියනවා. ඔබ හිතනවද ඔහු වෙනත් ගමනක් යයි කියලා?

මෙහෙමයි. දේශපාලනේ ඕන කෙනකුට විවිධ අරමුණු තියෙන්නෙ පුළුවන්. ඒ වගේම කියන්න ඕනෙ සජිත් ප්‍රේමදාස මහත්තයත් දීර්ඝකාලීන නායකත්වය බලාපොරොත්තුවෙන් ඉන්න මනුස්සයකුත් නෙමෙයි. චම්පික මහත්මයට ඔහු දරණ දේශපාලන මතවාදයක් තියෙනවා. ඔහු අපිත් එක්ක එකතු වුණාම අපේ ගමන යන්න එයි. එහෙම නැතුව විශේෂ ගමනක් ඔහු යන එකක් නෑ. මම විශ්වාස කරනවා අපි සියල්ලම එකතුවෙලා විශාල වෙනසක් කරයි කියලා. 

ඇයි මේ ඔබලාගෙ ගමනට එජාපය එකතු කර ගන්නෙ නැත්තෙ?

තාම පක්ෂයට හම්බවෙච්ච පාර්ලිමේන්තු ආසනයට පුද්ගලයෙක් පත්කර ගන්න බැරුව තවම හරියට පක්ෂ නායකයෙක් පත්කර ගන්න බැරුව ඉතින් ඔවුන් එක්ක ගමනක් යන්නෙ කොහොමද? ඉස්සෙල්ලා ඔවුන්ගෙ අභ්‍යන්තර ප්‍රශ්න විසඳගන්න ඕනෙ. ඊට පස්සෙයි අපට තීරණයක් ගන්න වෙන්නෙ. 

ඔබ මුලදි කිව්වා අපිත් එක්ක වැරදි කරපු කණ්ඩායම නෑ කියලා. ඔබ ඒ කියන්නෙ වැරදි කරපු අය එජාපයෙ ඉන්නෙ කියලද?

අනිවාර්යෙන්ම. මහ බැංකු සිද්ධිය, ඇවන්ගාඩ් ගනුදෙනුව, අපරාධකාරයො බේරපු හැමදෙනාම ඉන්නෙ දැන් අනිත් පැත්තෙ. හැබැයි ඒ අතර ඉන්නවා නිවැරදි මිනිස්සු. ඒ අයට පුළුවන් අපිත් එක්ක ගමනක් යන්න එකතු වෙන්න. 

අවසාන වශයෙන් ඔබෙන් අහන්නෙ ඉස්ලාමීය මළසිරුරු භුමදානය කරන්න ඉඩ දෙන්න කියලා ඉල්ලමින් ඔබලා උද්ඝෝෂණයක් තිබ්බා. හැබැයි ආණ්ඩු පැත්තෙන් තාම හරි තොරතුරක් නෑ. අරයා කිව්වා මෙයා කිව්වා කියලා වළලන්න කැමතිත් නෑ.ඔබ හිතන්නෙ මොකක්ද ආණ්ඩුව මේ වෙලාවෙ ගත යුතු තීන්දුව?

පළවෙනියටම කියන්න ඕනෙ මේක ඉස්ලාම් භක්තිකයන් මූලික කර ගත්ත උද්ඝෝෂණයක් නෙමෙයි. මේක සමස්ත රට වෙනුවෙන් කරපු උද්ඝෝෂණයක්. බෞද්ධයන්ට පාංශුකූලය දෙන්න බැරිවෙලා තියෙනවා. කතෝලිකයන්ට භූමදානය කරන්න බැරිවෙලා තියෙනවා. තමන්ට ප්‍රශ්නය එනකම් කාටවත් මේ ගැන ගාණක් නෑ. හැබැයි ඒ කිසි දෙයක් ගණන් නොගන්නා ආණ්ඩුව මේ හරහා ජාතිවාදය අවුස්සන්න හදනවා. මේ ආණ්ඩුව ජාතිවාදය අවුස්සන්න හරි ජනප්‍රියයි. ඒක ගැන කනගාටු වෙනවා. අපි ඒ සියලු ජාතීන් වෙනුවෙන් පෙනී ඉන්නවා. 

බෞද්ධ ජනතාව කිව්වෙ නෑනෙ පාංශුකූලය ඕනෙ කියලා ඔවුන්ට. ඉස්ලාමීය ජනතාවගේ ඉල්ලීමයි බෞද්ධ පාංශුකූලෙයි අවස්ථා දෙකක් නේද?

බෞද්ධ නායකයො ඉල්ලන්නෙ නැත්තෙ නෑ. ඔබතුමාට ඔබතුමාගෙ පවුලෙ කෙනෙක්ට හරි ඔය දේ වුණා නම් පාංශුකූලෙ දෙන්න බැරුව කොච්චර ළත වෙනවද? වෙලා තියෙන්නෙ හැම දෙයක්ම දේශපාලනය කර ගත්ත නායකයො ඉන්නකොට මේ දේත් දේශපාලනය කර ගන්නවා. ඒක තමයි කනගාටුව.

 ගයාන් ගාල්ලගේ