2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

වෙනස් නත්තලක් සමරමු

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

මේ උදාවන්නේ නත්තල් සතියයි. නත්තල අත ළඟටම ආවත් ඒ බවක් නොදැනෙයි. අපට පමණක් නොව මුළු ලොවටම මෙවර නත්තල උදාවන්නේ සාමයේ පණිවුඩය එක් අතකින්ද කොවිඩ් වසංගතයේ රතු කොඩිය තවත් අතකින්ද දරාගෙනය. නත්තල ආගමික කටයුතුවලටම පමණක් සීමා විය යුතු බවට අප්‍රකාශිත කොන්දේසියක් ඒ සමඟ පැනවෙයි. නෙදර්ලන්තය වැනි කතෝලික බැතිමතුන් අති බහුතරයක් වෙසෙන ඇතැම් යුරෝපීය රටවල් නත්තල ගෙවා දමන්නේ ලොක්ඩවුන් තත්ත්වයන් යටතේ වීම එම කොන්දේසියේ ප්‍රබල බව ලොවටම කියාදෙමින් සිටී. අපටද ගත හැකි වෙනත් මගක් නැත. අඩුම තරමින් ලබන වසරේ හෝ නත්තලේ ආශ්වාදනීය මිහිර විඳ ගැනීමට නම් මේ වසරේ යම් කැපකිරීමක් කළයුතු බව සියලු බැතිමතුන් විසින් අවබෝධ කරගත යුතු වෙයි.

නත්තල සැමරීම කතෝලික බැතිමතුන්ට පමණක් සීමා නොවේ. මේ රටේ සෙසු සියලු ආගම් අදහන පුරවැසියන් වැඩිදෙනා නත්තල් තිබෙන පවුල්වල ඥාතීන් සහ මිත්‍රයන් අතර සිටිති. සාමාන්‍යයෙන් නත්තල් මිහිර නොවිඳි පිරිසක් මෙරට වේ නම් ඒ ඉතා සුළු පිරිසක් විය යුතුය. මේ සියලුදෙනාගේ වගකීම වන්නේ රටේම යහපත වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂක නීති රීතිවලට අනුගත වෙමින් නත්තල සැමරීම බව මතක් කරදීමට කැමැත්තෙමු.

නත්තලත් සමඟ  වර්ෂාවසාන නිවාඩුද එළඹෙයි. බොහොමයක් ආයතනවල සේවක පිරිසෙන් විශාල පිරිසක් සිටින්නේ නිවාඩු පිටය. ඇතැම් ආයතන සම්පූර්ණයෙන්ම වසා දැමීමද සිදුවෙයි. වැඩට එන සුළු පිරිස තුළද උත්සව සමය, නත්තල සහ නිවාඩුව පිළිබඳ හැඟීම් නලියන බැවින් සිත් යොමුවන්නේම ජොලියක් දැමීමටය. සාප්පු සවාරියේ යාමටය. කන බොන තැන් සොයා කරක් ගැසීමටය. එසේම රංචු ගැසී ට්‍රිප් යාමට සහ සාද සංවිධානයටය. එහෙත් මේ වසරේ ඒවාට ඉඩක් නැත. ඉහත අවස්ථා මතකයට නැගෙන වාරයක් පාසා කොවිඩ් වසංගතයේ රතු කොඩිය  පිළිබඳව සිහිපත් කිරීම අවශ්‍යය. නත්තලෙන් පසුව එන කාලසීමාව කොවිඩ් වසංගතයේ ගොදුරක් බවට පත්කර ගැනීම වළක්වා ගත හැක්කේ එසේ කිරීමෙන් පමණි. ඒ සඳහා සෑහෙන චිත්ත ධෛර්යයක් අවශ්‍ය බවත් රටේ යහපත වෙනුවෙන් ධෛර්යය ඇතිකර ගැනීම තමන්ගේ වගකීමක් වශයෙන් සලකන ලෙසත් සියලුදෙනාගෙන් ඉල්ලීමක් කිරීමට අපි කැමැත්තෙමු.

කොවිඩ් වසංගතය රටපුරාම තැනිත් තැන හිස ඔසවමින් තිබුණද විනෝදයට බර තරුණ පිරිස් ඇතුළු “හොලිඩේ මූඩ්” එකේ සිටින විවිධ කණ්ඩායම් අතර නගරවලින් පිට ගමන් බිමන් යොදාගැනීමට පෙළඹීමක් ඇතිවීම ස්වභාවිකය. විශේෂයෙන් කොළඹ පිරිස් අතර මේ සිරිත තදින් පැතිර තිබේ. ඒ ගැන ඔවුන්ට දොස් පැවරිය නොහැක. එහෙත් මේ වසරේ තත්ත්වය පසුගිය වසරවලට වඩා ඉඳුරාම වෙනස් බව අවබෝධ කර ගැනීම අවශ්‍යය. තමන්ගේ විනෝදය කොවිඩ් ව්‍යාප්තියට රුකුල් දීමක් විය යුතු නැත. එයින් අමාරුවේ වැටෙන්නේ තමන් පමණක් නොව මුළු රටමය. මිහිරි නත්තල අමිහිරි අත්දැකීමක් බවට පත්කර ගතයුතු නැත.

අප මේ කරුණු සඳහන් කරන්නේ පසුගිය දින ගණනාව මුළුල්ලේම පැන නැගෙමින් තිබූ එක් පොදු ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙනි. නත්තල් දවස්වල ඇඳිරි නීතිය දමයිද? නැත්නම් ලොක්ඩවුන් කරයිද? යන එකී ප්‍රශ්නයට ඇත්තේ එක් පොදු පිළිතුරකි. ජනතාව පවතින තත්ත්වයේ බැරෑරුම්කම් පිළිබඳව අවබෝධයකින් කටයුතු කරන්නේ නම් ඇඳිරි නීතිය හෝ ලොක්ඩවුන් කිරීමක් හෝ අවශ්‍ය නොවන බවය. එහිදී පෙන්වා දිය යුත්තේ සාමාන්‍ය වශයෙන් සිදුකෙරෙන පරිදි වසර අගදී යෙදෙන නත්තල් නිවාඩු දිනවල විනෝද සවාරි සහ ප්‍රිය සම්භාෂණ, සාද වැනි කොවිඩ් වෛරසය ව්‍යාප්තියට රුකුලක් විය හැකි කටයුතු සංවිධානය සඳහා ඇතැමුන් තුළ බලාපොරොත්තුවක් තිබිය හැකි බවය. එවැනි අවස්ථා තවදුරටත් වෛරස පොකුරු නිර්මාණය කිරීමක් දක්වා වර්ධනය නොවීමට නම් සෞඛ්‍ය බලධාරීන්, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ යම් යම් පියවර ගනු ඇතැයි බලාපොරොත්තු විය යුතුය. විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් තදින් පැතිර යන කොවිඩ් වසංගතය වෙනත් ප්‍රදේශ කරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට තිබෙන එක් පියවරක් වන්නේ සංචරණ සීමා දැඩි කිරීමය. කොළඹින් පිටතට සිදුකෙරෙන විනෝද ගමන් සීමාකර ගැනීමත් සාද සංවිධාන කිරීමෙන් වැළකීමත් එහිදී ජනතාවට ගතහැකි හොඳම පියවර දෙකකි. එසේ වුවොත් අනවශ්‍ය ලෙස ජනතාව පීඩාවට පත් කෙරෙන තීන්දු තීරණ ගැනීමෙන් වැළකීමට සෞඛ්‍ය අංශ සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශද ක්‍රියා කරනු ඇත.

මේ අතර මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන් පසුගිය බ්‍රහස්පතින්දා (17) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ ආගමික පිළිවෙත්වලට පමණක් මුල්තැන දෙමින් මෙවර නත්තල් උත්සවය සැමරීමට පියවර ගන්නා ලෙස කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බවය. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර නත්තල නිවෙසේ සාමාජිකයන් සමඟ සැමරීමට පියවර ගත යුතු බවද එතුමෝ පෙන්වා දුන්හ. කොළඹට ඇතුළු වීම, පිටවීම, නෑදෑයන් බැලීමට යාම, විනෝදගමන්, පිරිස් එකතු වී සාද පැවැත්වීම නොකරන්නැයිද උන්වහන්සේ ඉල්ලා සිටියහ. මේ අවවාද අනුශාසනා රටේ සියලු දෙනාම පොදු වශයෙන් සැලකිල්ලට ගෙන පිළිපැදීම අවස්ථාවේ හැටියට සිදුකළ යුතු හොඳම දේ බව අපගේද පිළිගැනීමය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00