2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

එදා මෙදා කමිටු

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

අයවැය සම්මත කර ගැනීමෙන් පසුව ඕනෑම ආණ්ඩුවක් තරමක දිග නිවාඩුවක් ගනියි. දෙසැම්බරයේ යෙදෙන සම්ප්‍රදායික වර්ෂාවසාන නිවාඩුවත් සාමාන්‍යයෙන් ලෝකයම නිවාඩු පිට ඉන්නා කාලය වීමත් හේතුවෙන් මැති ඇමැතිවරු රට ඇතුළේ පමණක් නොව පිටරට සංචාරය සඳහා යොදාගන්නේ මේ කාලයයි. ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂයේද සිරිත එයට වෙනස් වන්නේ නැත.

එහෙත් මෙවර තත්ත්වය ඊට වෙනස්ය. දැන් මුළු ලෝකයම සිටින්නේ ලෙඩ ගානේය. අපේ රටද කොවිඩ් වසංගතය මගින් කරකවා අතහරින ලද තත්ත්වයකට පත්කරනු ලැබ තිබේ. ඒ සමඟ ආණ්ඩුව හමුවේ ඇති බරපතළ ගැටලු කිහිපයක් හේතුවෙන්ද තරමක ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කර තිබේ. කොවිඩ් හේතුවෙන් පිටරට යාමට තිබෙන හැකියාවද සීමිතය. මේ නිසා බොහොමයක් මැති ඇමැතින්ගේ තෝරාගැනීම රට ඇතුළේ සංචාරක ගමනාන්ත වීම වුණොත් ඒ ගැන පුදුම විය යුතු නැත. ඉදිරි සති තුනක කාලයේ සති අන්ත රටේ බොහොමයක් සංචාරක හෝටල්වල වෙන්කරවා ගැනීම් ඉහළ නැග තිබූ බවද වාර්තා වූයේ මේ හේතුව නිසා විය හැක.

ඒ කෙසේ වුවද තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් අයවැය සම්මත කර ගැනීමේ සතුට රජයට භුක්ති විඳීමට සිදුව ඇත්තේ ආර්ථික සහ සමාජීය වශයෙන් පවතින ගැටලු කිහිපයක් පවතින පසුබිමකය. ඒ අතුරින් මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනකුට මරු කැඳවමින් සහ 107 දෙනකුට තුවාල සිදුකරමින් ඇතිවූ කැරැල්ල පිළිබඳ සොයාබැලීමට රජය මගින් පත්කරන ලද පස් දෙනකුගෙන් සමන්විත කමිටුවේ අතුරු වාර්තාව නිකුත් වීම කැපී පෙනෙයි. පසුගිය බදාදා (09) අධිකරණ ඇමැති අලිසබ්‍රි මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද එම වාර්තාව පසුගිය සඳුදා (07) ඇමැතිවරයාට බාරදෙනු ලැබුවේ එම කමිටුවේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසිනි. අධිකරණ අමාත්‍යංශයේදී එම වාර්තාව බාරදුන් අවස්ථාවට බන්ධනාගාර  කළමනාකරණ රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් අලුතින් පත්වීම් ලැබ සිටි ලොහාන් රත්වත්තේ මහතාද අධිකරණ අමාත්‍යංශයේ උපදේශක ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා මහතාද ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. එකී වාර්තාව අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද්දේ වගකිවයුතු ආණ්ඩුවක් වශයෙන් තමන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ බව ප්‍රකාශ කරමිනි. මෙහි සම්පූර්ණ වාර්තාව තව මාසයකින් ලැබෙනු ඇති බවද අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේය.

වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු ආණ්ඩුව අසීරුවට පත්කරන ඒවා බව පැහැදිලිය. එසේ වුවද මහර සිද්ධිය පිළිබඳව රටේ පිළිගැනීමට ලක්ව සිටින පිරිසකගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමත් එහි අතුරු වාර්තාව බලාපොරොත්තු වූ කෙටිකාලය තුළදීම ලබාදීමත් සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිවරයා ඇතුළු රජයට ප්‍රශංසාව හිමිවිය යුතුය. අප මේ රටේ බොහොමයක් අවස්ථාවලදී දැක ඇත්තේ කවදාවත් වාර්තාවක් එළියට නොඑන කමිටු පත් කිරීම පමණි. වාර්තාවක් පැමිණියද කවදාවත් ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කෙරෙන්නේ නැත. එවැනි කමිටු පත්කළද එය බොහෝවිට ඇතිවූ අර්බුදය යටගැසීම සඳහා පොදුවේ යොදාගන්නා උපාය මාර්ගයක් බව රටේ මහජනතාව තුළ මුල්බැසගත් විශ්වාසයකි. විශේෂයෙන් ආණ්ඩුව අසීරුවට පත් කෙරෙන සංවේදී කරුණු සම්බන්ධයෙන් රටේ අත්දැකීම් එයයි.

මෙයට හොඳම උදාහරණය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවීමෙන් පසුව එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද කමිටුවයි. එයින් නිකුත් වූ වාර්තාවෙන් පෙන්වා දී තිබූ නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක කෙරුණේ නැත. එසේම ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේදී ක්‍රියාත්මක වෙන කොමිසමේ හෙළිවන කරුණු අනුව ඒ කාලයේ පත්කරන ලද කමිටුව මගින් සිදුවී තිබුණේ ඇස්බැන්දුමක් බව පැහැදිලි වෙමින් තිබේ. ඊළඟට එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලද අතර එය මාධ්‍ය සංදර්ශනයක් වූ බවටත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වූ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට නිදොස් කොට නිදහස් වන සහතිකයක් ලැබුණු බවටත් විවේචන එල්ල විය. දැනට පවතින පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සොයන කොමිෂන් සභා වාර්තාව නිකුත් කෙරුණු පසුව එය කී දෙනකුට කම්පනයක් වනු ඇතිදැයි බලාගත හැකිවනු ඇත. එහෙත් එසේ වීමට නම් එම වාර්තාව නිකුත් වී එය හමස් පෙට්ටියට නොදමා මහජනතාවට ඉදිරිපත් කිරීමද අවශ්‍යය.

මහර සිද්ධියේ අතුරු වාර්තාව මෙතරම් ඉක්මණින් ලබාගැනීමත් එය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් ආණ්ඩුවට ධනාත්මක ලකුණක් වන්නේ එබැවිනි. එය තවදුරටත් ස්ථාපිත වීමට නම් සම්පූර්ණ වාර්තාව නිකුත් වීමෙන් පසුව එම කමිටුවේ නිර්දේශ හැකි තරමින් ක්‍රියාත්මක වීමද සිදුවිය යුතුය. බන්ධනාගාරයක යළිත් වරක් එවැනි සිද්ධියක් වීම වළක්වා ගත හැක්කේ එවැනි පියවරකින් පමණි.

සම්පූර්ණ කමිටු වාර්තාව ලැබීමෙන් පසුව එයින් කෙරෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව පැත්තෙන් වාසිදායක වනු ඇත. මහර සිද්ධිය හේතුවෙන් ආණ්ඩුවට එරෙහිව දැඩි විවේචන එල්ල වී තිබීමත් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි සමහරුන් ලබාදුන් පිළිතුරු එම තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කළ බවත් පෙනී යාම හේතුවෙන් කමිටුව පෙන්වා දී ඇති කරුණු කෙරෙහි රජය අවධානය යොමුකිරීම අවශ්‍යය. එහි සඳහන් නිරීක්ෂණ සහ නිර්දේශ කිහිපයක් මෙසේය.

• ගැටුම් අවස්ථාවේදී රැඳවියන් අත ගිනිඅවි තිබී නැත.
• 29 වැනිදා රාත්‍රියේ ඇතිවූ විශාල ගැටුම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් වරින්වර වෙඩිතැබීම් සිදුකර තිබේ.
• ඊට පසු දින 30 වැනිදා සවස රැඳවියන් ඇතුළත ගේට්ටුව අසළට පැමිණ ඇත්තේ වතුර ඉල්ලාගෙනය. වතුර ලබාදෙන්නැයි ඔවුන් කෑ ගැසූ අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරෙමින් සිටි පිරිස පාලනය කිරීම සඳහා නිලධාරීන් වෙඩි තබා තිබේ.
• ගැටුම අවස්ථාවේ රැඳවියන් සතුව ගල්, මුගුරු, යකඩ, පොලු, මන්න, කඩු, පිහි සහ ගිනිතැබීම්වලට බොයිලේරුවෙන් ලබාගත් තෙල්ද තිබී ඇත.
• මහර බන්ධනාගාරය තුළ කොවිඩ් වැළඳුණු විශාල පිරිසක් සිටින බව දැනගැනීමෙන් පසුව, බන්ධනාගාරය තුළ පවතින අධික තදබදය නිසා ඇතිවූ ජීවිත අවදානම මත රැඳවියන් උද්ඝෝෂණ සිදුකර ඇත්තේ නිලධාරීන්ගෙන් කඩිනම් විසඳුම් ලබාගැනීමේ අපේක්ෂාවෙනි.
• තම ජීවිත ආරක්ෂාව පතා රැඳවියන් ආරම්භ කළ උද්ඝෝෂණය සාධාරණය.
• මේ අවස්ථාවේදී රිමාන්ඩ් සිරකරුවන් අතර සිටි විවිධ අපරාධවලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබ සිටි විවිධ කල්ලි අවස්ථා ප්‍රයෝජන ගනිමින් ඔවුනොවුන්ගේ පෞද්ගලික කෝන්තර සහ අරමුණු ඉෂ්ට කරගැනීමට කල්ලි ගැසී දරුණු පහරදීම් සිදුකර ඇත.
• ඇතැම් රැඳවියන් විවිධ පෙති වර්ග භාවිත කර ඉන් අනතුරුව දරුණු ගැටුම්වලට සහභාගි වී ඇතැයි සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවලින් නිරීක්ෂණය වෙයි.
• රැඳවියන් මෙම පෙති අසාමාන්‍ය ලෙස පානය කිරීමෙන් කලහකාරීන්ට උත්තේජනයක් ලැබුණේද නැද්ද යන්න විශේෂඥ මතයක් තුළින් නිගමනය කළ යුතුය. එහි අවසන් නිගමනය අවසාන වාර්තාවේදී සිදුකරනු ඇත.

විපක්ෂයද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළකර තිබිණි. එසේම විපක්ෂය ඇදගත් තවත් මාතෘකාවක් වූයේ මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමයි. එකි කොමිසම අහෝසි කිරීම ආණ්ඩුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේද විමතියට හේතු වී තිබිණි. එම කොමිසම පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කරන ලද මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම සඳහා පිහිටුවනු ලැබූවකි. එවැනි කොමිසමක් නිලධාරියකු ලිපියකින් දැනුම්දීම හරහා අහෝසි කළ නොහැක.
පසුව ඒ පිළිබඳව ආණ්ඩුව වෙනුවෙන් කරුණු පැහැදිලි කළ ඇමැති උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරනවා නම් එසේ කරන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා පනතක් හරහා පමණක් බවය. එම කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් රජය කරුණු සොයාගෙන යන බවද ඇමැතිවරයා කීය. කෙසේ වුවද කොමිසමේ සාමාජිකයෝ පසුව ඉල්ලා අස් වූහ. නව සාමාජිකයන් ඉදිරි දිනවලදී පත් කිරීමට නියමිතය.

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී රජය දැඩිව විවේචනය කළේය. ඔහු චෝදනා කළේ මෙගාවොට් 300ක විදුලිය මිලට ගැනීමේ ගනුදෙනුවට ඉඩ සලසාගනු පිණිස ආණ්ඩුව මේ පියවර ගන්නා බවය.

“පසුගිය ආණ්ඩුවේ රවි කරුණානායක ඇමැතිවරයා ඒකකයක් රුපියල් 26 බැගින් මිලදී ගැනීමට මෙගාවොට් 200 බැගින් වූ බාජ් දෙකක් කොළඹ සහ ගාල්ල වරායවලට ගෙන්වීමට අනුමැතිය ගත්තා. නමුත් මහජන උපයෝගිතා කොමිසම ක්‍රියාත්මක වීම හේතුවෙන් එම තීරණ නතර කරගැනීමට හැකියාව ලැබුණා. ජනතාව වෙනුවෙන් පෙනී සිටින කොමිසමක් අහෝසි කිරීමට ජනාධිපති ලේකම්වරයාට හෝ මුදල් ලේකම්වරයාට අයිතියක් නැහැ. පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කළ මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් ඉවත් කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් පමණයි. වංචාවට දූෂණයට තිත තැබිය හැක්කේ දූෂණ විරෝධී දිනයේ නිවේදන නිකුත් කිරීමෙන් නොවේ යැයිද අනුර කුමාර කිව්වේය. ඔහු මේ ප්‍රකාශය සිදුකළේ පසුගිය බ්‍රහස්පතින්දා (10) මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.

රජයේ ඉහළ නිලධාරීන් විසින් ගනු ලබන තීරණ ආණ්ඩුවේද ඇතැම් මැති ඇමැතිවරුන්ගේ විවේචනයට ලක්වෙමින් තිබේ. මෑතකදී බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී මේ ගැන දැඩිව අදහස් දැක්වීය. මුදල් අමාත්‍යංශයේ සිටින ඇතැම් හිතුවක්කාර නිලධාරීන් පිරිසක් ඇමැතිවරුන් පුලන්නන් පිරිසක් බවට පත්කර ඇතැයි ඔහු බරපතළ චෝදනාවක් කළේය. මේ නිලධාරීන්ගේ හිතුවක්කාරී වැඩ නිසා ඇමැතිවරුන් අද රබර් සීල් ගාණට වැටී ඇති බවද ඔහු කියා තිබිණි. 

මේ අතර සෞඛ්‍ය ඇමැතිනිය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් 05 දෙනෙකුගේ සේවය අත්හිටුවා නව සභාපතිවරයකු පත් කිරීමද රට තුළ කතිකාවක් නිර්මාණය කළේය. එය දැන් අධිකරණය දක්වා ගිය ගැටලුවක් බවට පත්ව තිබේ.
2020 වසර ගෙවී යන්නේ මේ අලකලංචි මැදය. යථාර්ය නම් මේ වසර ආරම්භයේදී මේ රටේ ජනතාව, ආණ්ඩුව හෝ විපක්ෂය බලාපොරොත්තු වූ ආකාරයේ අවසානයක් මේ වසරේදී නොලැබෙන බවය. සී සී කඩව ගොස් ඇති ජනතාවගේ බලාපොරොත්තු ඉහළ නැංවෙන සේ කටයුතු කිරීම ආණ්ඩුව ඉදිරියේ ඇති ලොකුම අභියෝගයයි.

- ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00