2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දෙදෙනෙක් අස්වෙති

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 203

ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක නොවන අධ්‍යක්ෂවරු දෙදෙනෙක් පසුගිය 08 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වූහ. බ්‍රැන්ඩික්ස් ආයතනයේ මුදල් අධ්‍යක්ෂ හසිත ප්‍රේමරත්න සහ ශ්‍රී ලංකන් කේටරිං ආයතනයේ ප්‍රධාන විධයාක නිලධාරී ලලිත් විතාන එසේ ඉල්ලා අස්වූ දෙදෙනාය. පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වන බව දැනුම් දී ඇති මේ නිලධාරීන් දෙදෙනා ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කරනු ලැබුවේ පසුගිය ජනවාරි 14 වැනිදාය.

මේ නිලධාරීන් දෙදෙනාගේ අස්වීමෙන් පසුව ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සභාපති කාංචන රත්වත්තේ, හර්ෂ විජයවර්ධන, අනුර සී. මනිල්ක ප්‍රනාන්දු සහ ආර්.එම්.පී. රත්නායක මහත්වරුන්ගෙන් සමන්විත වෙයි.

- ඩේලි එෆ්.ටී.


අයවැය ඡන්දයට 19ක් පැමිණ නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව මගින් ඉදිරිපත් කරන ලද මංගල අයවැය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත විය. සති තුනක් තිස්සේ පැවැති අයවැය කාරක සභා අවස්ථාවෙන් පසුව තුන්වැනි වර කියවා සම්මත කරගනු ලැබූ අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීන් දෙදෙනෙකු වූ ඉෂාක් රහමන් සහ අලි සබ්‍රි රහීම් ආණ්ඩු පක්ෂය සමඟ ඡන්දය භාවිත කළහ. අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ 54ක් පමණි. ඡන්දය විමසනු ලැබූ අවස්ථාවට මන්ත්‍රීවරු 19 දෙනෙක් පැමිණ නොසිටියහ.
අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 සඳහා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ නොවැම්බර් 17 වැනිදාය. එය මෙරට පාර්ලිමේන්තුවේ 75 වැනි අයවැය වූ අතර එයින් දිනකට පසුව නොවැම්බර් 18 වැනිදා අග්‍රාමාත්‍යවරයාගේ 75 වැනි ජන්ම දිනය යෙදී තිබිණි.

අයවැය සම්මත වීමෙන් අනතුරැව අග්‍රාමාත්‍යවරයාත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහත්වරුත් විවාදයට සහභාගි වූ මන්ත්‍රීන් සියලුදෙනාටත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත් ආරක්ෂක අංශවලටත් ස්තූති කරමින් කතා කළහ. එහිදී කතානායකවරයා ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙපාර්ශ්වයටම අවවාදයක් දෙමින් ප්‍රකාශ කළේ විවාද අතරතුරදී පෞද්ගලික විවේචන සිදුකිරීමෙන් වළකින ලෙසටය. “මම දැක්කා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට නොගැලපෙන භාෂාව පාවිච්චි කරන බව. මම දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමැතියි පෞද්ගලික විවේචනවලින් වැළකී ප්‍රතිපත්ති පමණක් විවේචනය කරන ලෙසට” යැයි කථානායකවරයා සඳහන් කළේය.

අයවැය විවාදය යන අතරතුරදී ස්නූකර් තරගාවලියක්ද සංවිධානය කර තිබූ අතර ඒ සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොර මන්ත්‍රීවරු සහභාගී වී සිටියහ. ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසින් සංවිධානය කෙරුණු එම තරගාවලියේ සම ජයග්‍රාහකයන් වූයේ සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර සහ පොදුජන පෙරමුණ මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මන්ත්‍රීවරුය. මෙය නැරඹීමට කථානායකවරයාත් විපක්ෂ නායකවරයාත් පැමිණ සිටියහ. කෙසේ වුවද මෙවර අයවැය විවාදය පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට වාරණය වීමද සුවිශේෂ සිද්ධියක් විය. පාර්ලිමේන්තු විවාදය අතරතුරදී සිදුවූ රසවත් සිදුවීම් වාර්තා කිරීම මේ නිසා අපහසු වූ බවද සඳහන් විය.

ලබන වසරේ ජනවාරි 05 වැනිදා පාර්ලිමේන්තුවේ නව සභාවාරය ඇරඹීමට නියමිතය.

නිල තනතුරුවලට අම්මලාත්!

මෙරට මැති ඇමැතින් සහ දේශපාලනඥයන් තනතුරු දරද්දී තම තමන්ගේ සමීපතම ඥාතීන් පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ඇතුළු කර ගැනීමේ “සිරිත” ප්‍රකට රහසකි. බොහොමයක් මැති ඇමැතින් තමන්ගේ ඥාති සොහොයුරු සොහොයුරියන් සහ විවාහයෙන් ඥාතීන් බවට පත්වූ පිරිස් “පෞද්ගලික ලේකම්” හෝ “සම්බන්ධීකරණ ලේකම්” තනතුරුවලට මහජන සේවය සඳහා පත්කරගනු ලබන අතර ඔවුන්ගේ පඩිනඩි ජනතාවගේ බදු මුදලින් ගෙවනු ලබයි.

මෑතකදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැඩි විවේචනයට ලක්වූයේ තමන්ගේ නිල කාර්ය මණ්ඩලයට ඔහුගේ ළඟම ඥාතීන් පත්කර ගැනීම හේතුවෙනි.

මේ ලැයිස්තුවට ළඟදීම එක්වූයේ රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතායි. පසුගිය අගෝස්තු මාසයේදී තමන්ට තනතුර ලැබුණු වහාම ඔහු තම මව පෞද්ගලික ලේකම් වශයෙන් පත්කර ගත්තේය. ඔහුගේ අමාත්‍යංශය කලාපීය සබඳතා කටයුතු මෙහෙයවයි.
ඔහුගේ මව කුමාරි බාලසූරිය මහත්මිය දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාරවරිය වන අතර රාජ්‍ය ඇමැතිගේ වර්තමාන කාර්ය මණ්ඩලයට අයත් හයදෙනාගෙන් එක් අයෙකි.

- සන්ඩේ ටයිම්ස්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00