2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

අයවැයේ වංගු ගැනීම

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

හරිනම් මේ කාලයේ ආණ්ඩුවේත් විපක්ෂයේත් රටේ ජනතාවගේත් අවධානය වඩාත්ම යොමු විය යුත්තේ ලබන 10 වැනිදා ඡන්දය විමසන අයවැය ගැනය. එහෙත් රටේ පැතිරයමින් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් ජනතාවගේ අවධානය අයවැයට නැඹුරුවක් ඇත්තේම නැත. ආණ්ඩුව ද ඉන්නේ අයවැය තුනෙන් දෙකකට වැඩි ඡන්දයකින් ගොඩදාගැනීම ගැන කිසිදු සැකයක් නොතිබීම හේතුවෙන් සැහැල්ලුවෙනි. ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ විපක්ෂයට පමණි. අයවැයට ඡන්දය විමසන අවස්ථාවේ තව කී දෙනකු බෘෘටස්ලා වනු ඇතිදැයි කියන්න නොදන්නා බැවිනි. දැනට පෙනෙන්න නම් තිබෙන්නේ ආණ්ඩුව අයවැය කඩුල්ල පහසුවෙන්ම පැනගනු ඇති බවය.

අයවැය පහසුවෙන් සම්මත කරගත්ත ද එහි සංඛ්‍යා ලේඛන නම් පෙන්වා දෙන්නේ ආර්ථික වශයෙන් ආණ්ඩුව මහමෙර පාමුල සිටින බවය. අයවැය යෝජනා සහ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමෙන් පසුව රටවල්වල ණය ගෙවීමේ දත්ත විශ්ලේෂණය කරන ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණ ආයතනයක් වන (ෆිච් රේටිංග්ස්) විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පහළ මට්ටමකට ඇද දමා තිබේ. එය වැරදි උපකල්පන මත පිහිටා සිදුකළ අසාධාරණ අගැයීමක් බවට රජය චෝදනා කරයි. එසේ කිව්වද අයවැයේ සඳහන් ඇතැම් යෝජනා ක්‍රියාත්මක කිරීම සහ ණය ආපසු ගෙවීම කළමනාකරණය සම්බන්ධයෙන් රජය ඉදිරි වසර තුළදී දැවැන්ත අභියෝගයකට මුහුණ දීම නියමිතව සිටින බව පැහැදිලිය.

එහි එක් ප්‍රතිඵලයක් විය හැක්කේ අයවැය යෝජනාවල සඳහන් නොවූ බවට රජය පුනපුනා ප්‍රකාශ කරන නව බදු පැනවීමක් නොමැති බව වෙනස් කිරීමට සිදුවීමය. ලබන ජනවාරියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත නව පාරිභෝගික භාණ්ඩ අය බද්ද සහ ජී.එස්.ටී. (භාණ්ඩ හා සේවා බද්ද) ජනතාවට දැනෙන බදු පැනවීමක් වීමට ඉඩ තිබේ. මේ නව බදු වර්ග දෙක හඳුන්වා දීමෙන් රජය රුපියල් ට්‍රිලියන 1.7ක සෘජු සහ වක්‍ර බදු ආදායමක් අපේක්ෂා කරන බවද සඳහන්ය. මෙය ජනතාවගේ භාණ්ඩ සහ සේවා වෙනුවෙන් දරණ වියදම ඉහළ දැමීමට හේතුවනු ඇත.

ෆිච් රේටිංග්ස් ආයතනය මගින් පෙන්වා දී ඇති පරිදි ඉදිරි වසර හතරක කාලය තුළදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 23.2ක ණය ආපසු ගෙවීමට නියමිතව සිටී. ඒ සඳහා ප්‍රමාණවත් තරම් අරමුදල් සපයාගැනීම රජයට අසීරු අභියෝගයක් වන බව පෙනෙන්නට තිබේ. මෙම ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පහත මට්ටමට ඇද දැමීම ප්‍රතික්ෂේප කරමින් මුදල් අමාත්‍යංශය මගින් හැරෙන තැපෑලෙන් සැපයූ පිළිතුරේ කියා තිබුණේ ඔවුන්ගේ එම ක්‍රියාව කනගාටුදායක බවත් ඔවුන්ගේ අලුත් තක්සේරැව පිළිගැනීමට නොහැකි බවත්ය. කෙසේ වුවද ජාත්‍යන්තර වෙළෙඳපොළ තත්ත්වය ආරක්ෂා කරගැනීමට නම් මෙවැනි නිවේදන පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. වෙළෙඳපොළ විශ්වාසය දිනාගන්නා ක්‍රියාමාර්ග ඉක්මනින් ගත යුතුය. රාජ්‍ය ණය සහ දළදේශීය නිෂ්පාදිතය අතර අනුපාතය 2019දී 86.8% මට්ටමේ පැවතිය ද එය 2020 අවසානය වනවිට 100%ක අනුපාතයට ළඟ වනු ඇති බවට ෆිච් රේටිංග්ස් ආයතනය කර ඇති පුරෝකථනය ද ආණ්ඩුවේ කනස්සල්ලට හේතු වී ඇති බවද පැහැදිලිය.

කෙසේ වුවද මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා 2021දී මෙරට ආර්ථික වර්ධනය ඉහළ යනු ඇති බවට විශ්වාසය පළ කරයි. රටේ පවතින ශක්තිමත් දේශපාලන නායකත්වය, ස්ථාවර ප්‍රතිපත්ති හේතුවෙන් ආයෝජකයන්ගේ විශ්වාසය වර්ධනය වනු ඇති බවද පවසන මහ බැංකු අධිපතිවරයා කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් ඇති වූ ආර්ථික බලපෑම් අවම කරගැනීමට 2021 අයවැය යෝජනා ඉවහල් වනු ඇති බවද සඳහන් කර තිබිණි. එසේම මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ කීර්තිමත් ප්‍රධානීන් කිහිපදෙනකු ද ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික පුනරුදය ඇති කරගැනීමට සහ අපනයනය දිරිගැන්වීමට ඇයවැය යෝජනා හේතුවනු ඇති බවය. මාස් හෝල්ඩින්ග් අධිපති මහේෂ් අමලියන්, ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රා එසේ අදහස් දැක්වූ ව්‍යාපාරික ප්‍රබලයන් දෙදෙනකි.

ආර්ථික වශයෙන් එල්ල විය හැකි අභියෝග පිළිබඳව අවබෝධයකින් කටයුතු කරන ආණ්ඩුවට මහර බන්ධනාගාරයේ සිදු වූ කැරැල්ල අනපේක්ෂිත (හිසරදයක්) බවට පත්විය. කැරැල්ල මැඩපවත්වන විට එය මෙරට පමණක් නොවේ ලොවේ මාධ්‍යවල අවධානය ද දිනා සිටි මාතෘකාවක් වී තිබිණි. සිද්ධිය පිළිබඳව කරුණු ගෙවීමේ කමිටු පත් කිරීමට පෙර සිටම ආණ්ඩුවේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විවිධ පිරිස් විසින් මාධ්‍යට ලබාදුන් ප්‍රකාශ ඇතැම් අවස්ථාවලදී පරස්පර වූ අතර නිසි කරුණු සොයාබැලීමකින් තොරව කළ ඒවා බව පෙනෙන්නට තිබිණි. සිද්ධිය බරපතළ වූ බැවින් එය මැතිසබයේ මාතෘකාවක් බවටද පත්විය. එහිදී ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ කෙරුණේ මත් පෙති බීගෙන ලේ දැකීමේ ආසාවෙන් පෙළුණු මත්ලෝලී සිකරුවන් පිරිසක් විසින් ඇති කළ සිරගෙදර බිඳ පළායාමේ කුමන්ත්‍රණය වැළැක්වීමට හැකි වූ බවය. එම කරුණු රටේ බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගැනීමට සමත් නොවූ බව වටින් ගොඩින් ඇසුණු කතාවලින් දැනගත හැකි විය. ආණ්ඩුවේ චෝදනාවට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ කතාවෙන් දැඩි පිළිතුරක් ලැබී තිබිණි. සිරගෙවල්වල තදබදය ද, එක් එක් බන්ධනාගාරවල සිට මහරට මාරු කෙරුණු සිරකරුවන් හේතුවෙන් එහි තදබදය තවදුරටත් උග්‍ර වීමද හේතුවෙන් කොවිඩ් ආසාදිත සිරකරුවන් ද ඒ අතර සිටින බව කියමින් පී.සී.ආර්. පරීක්ෂණ පවත්වා තමන්ට සහය ලබාදෙන ලෙස ඉල්ලා පැවැත්වූ උද්ඝෝෂණයට නිසි අවස්ථාවේදී ප්‍රතිචාර නොදැක්වීමෙන් මේ ගැටලුව මාරාන්තික අරගලයක් බවට පත් වූ බව බොහෝ දෙනාගේ පිළිගැනීම වී තිබේ. ඒ අතර මියගිය පුද්ගලයන් සියලු දෙනාටම කොවිඩ් වැළඳී ඇතැයි ප්‍රකාශ කොට එම සිරුරු ඉක්මනින් ආදාහනය කිරීමට තැත් කිරීම ද ඇතැමුන්ගේ ප්‍රබල විවේචනයට ලක් වී තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නිකුත් කළ ප්‍රකාශයකින් රජයෙන් ඉල්ලීමක් කර තිබුණේ මියගිය පුද්ගලයන් කොවිඩ් අසාදිතයන් වුවද ඒ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් වනතුරු ඔවුන්ගේ සිරුරු ආදාහනය නොකරන ලෙසය. එහි විමර්ශන සහ විමසුම් කොමසාරිස්වරියක වන රමණී මුත්තෙට්ටුවේගම මහත්මිය විසින් මේ පිළිබඳව කරුණු ගණනාවක් පෙන්වා දී තිබිණි. බන්ධනාගාරවල පවතින ප්‍රබල ගැටලු හඳුනාගෙන ඒවා විසඳීම සඳහා කෙටිකාලීන, දිගුකාලීන සහ මධ්‍යකාලීන වශයෙන් යෝජනා ගණනාවක් ද සහිතව එම කොමිෂන් සභාව විසින් සමීක්ෂණ වාර්තාවක් නිකුත් කර තිබේ. මහර සිද්ධියෙන් පසුව පසුගිය 29 වැනිදා එම කොමිෂන් සභාව මගින් සිදුකරන ලද විමර්ශනවලින් පසුව එම වාර්තාව නිකුත් කර තිබුණි.

එම වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව රජය අවධානය යොමු කරනු ඇතිදැයි දැන්ම කිව නොහැකිය. කෙසේ වුවද වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාරවල සිට සිරකරුවන් පිරිසක් මහර බන්ධනාගාරයට මාරුකර යැවීම බන්ධනාගාර නිලධාරීන්ගේ පවා කනස්සල්ලට හේතු වී තිබුණු බව සඳහන්ය. මේ හේතුව නිසා තම නිලධාරීන්ට ද රෝගය වැළඳීමට තිබෙන ඉඩකඩ පිළිබඳව ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තම හිතවත් නිලධාරීන්ට කියා තිබූ බවද දැනගන්නට තිබේ. මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සිදුවිය හැකි බලපෑම් පිළිබඳව රජයේ නිරන්තර අවධානය යොමුකළ යුතු බව පැහැදිලිය.

රජය මගින් ගන්නා තීන්දු තීරණ කැබිනට් රුස්වීමේදී ප්‍රකාශයට පත්වුවද ඒ ඒ අවස්ථාවලදී ගනු ලබන වැදගත් තීන්දු තීරණ ඉහළ සිට පහළට ගලායාමේ අඩුවක් තිබෙන බව පැහැදිලිව හඳුනාගත හැක. විශේෂයෙන් කොවිඩ් වසංගතය ව්‍යාප්ත වන ආකාරය තුළ රටට ඇතිවන අවදානම සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීමේදී කිහිපදෙනකු විසින් විවිධ අර්ථකථන සැපයීම ගැටලුවකි. එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම, ආර්ථිකය මෙහෙයවීම, රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම, පාසල් ඇරීම සහ වැසීම, සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශ කෙරෙන තොරතුරු අතර සමබරතාවක් නොපවතින බව පෙනී යයි. ඇතැම් විට එවැනි ප්‍රකාශ අභ්‍යන්තර ගැටුම්වලට ද හේතු වී තිබිණි.

එයට හොඳම උදාහරණය අරලියගහ මන්දිරය කොවිඩ් අවදානම හේතුවෙන් ලොක්ඩවුන් කර ඇතැයි (සන්ඩේ ටයිම්ස්) පුවත්පත මගින් කළ හෙළිදරව්ව ප්‍රතික්ෂේප කරමින් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා විසින් නිකුත් කර තිබූ දීර්ඝ ප්‍රකාශයයි. එහි අරලියගහ මන්දිරය ලොක්ඩවුන් කිරීම බොරුවක් බව කියා තිබුණා පමණක් නොව කොවිඩ් මර්දන කාර්යසාධක බලකාය මෙහෙයවන බැසිල් රාජපක්ෂ මහතා දිනපතාම අරලිය මන්දිරයේ සිටිමින් එම කටයුතු මෙහෙයවන ලද බවද සඳහන්ව තිබිණි.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් සන්ටේ ටයිම්ස් පුවත්පත බැසිල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා එම ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර තිබිණි. ඔහු කියා තිබුණේ එම ප්‍රකාශය තුළ තමන් සම්බන්ධයෙන් පළ වී තිබෙන කරුණු සම්පූර්ණයෙන් බොරු බවය. අරලියගහ මන්දිරය නොවැම්බර් 18 දා ලොක්ඩවුන් වීමෙන් පසුව තමන් එහි නොගිය බවද තමන්ගේ රැස්වීම් පැවැත්වීම සඳහා සුදුසු ස්ථානයක් සොයමින් සිටින බවද බැසිල් රාජපක්ෂ කියා තිබිණි. “මේ මීඩියා සෙකට්‍රි දන්නෙ නෑ මොනවද කරන්නේ කියලා. ඔවුන් කියන බොරු නිසා අපහසුතාවට පත්වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතායි. අගමැතිතුමා සැමවිටම අවංකව කෙළින් වැඩ කරන කෙනෙක්. එතුමාට අවශ්‍ය නෑ මේ තොරතුරු හංඟන්න. අපි විනිවිදව වැඩ කරන මහජනතාවට සත්‍ය ප්‍රකාශ කර අය විය යුතුයි. මහජනතාවට ඇත්ත කියන එකේ වැරුද්ද මොකද්ද?” ඔහු ප්‍රශ්න කරයි.

රටේ ප්‍රශ්න බොරු කීමෙන් විසඳිය නොහැකි බවට බැසිල් රාජපක්ෂ මහතා දරණ මතය රටේ බහුතරයක් පිරිසගේද මතය වන බවට සැකයක් නැත. රජය මහජනතාවගේ විශ්වාසය දිනාගත යුතු වන්නේ බොරු බේගල් ඇද බෑමෙන්, වැරදි තොරතුරු සැපයීමෙන් හෝ ඇත්ත කතා බොරු බව කියමින් නිවේදන නිකුත් කිරීමෙන් හෝ නොවේ. එය ගැටලුවලට විසඳුමක් නොව. තවතවත් ගැටලු ඇති කිරීමක් පමණි.

♦ ශශීන්ද්‍ර