2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට තහනම්!

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42


2021 අයවැය විවාදය පසුගිය 18 වැනිදා බදාදා ආරම්භ වුවද එම විවාදය පවත්වාගෙන යන්නේ මාධ්‍යවලින් තොරවය. පාර්ලිමේන්තු නිලධාරීන් විසින් ඊට හේතුව වශයෙන් පෙන්වා දී තිබුණේ කොවිඩ් - 19 වෛරසයේ අවදානමයි. මේ නිසා අයවැය විවාදය සුපුරුදු පාර්ලිමේන්තු වාර්තාකරුවන්ගෙන් තොරව පවත්වාගෙන යයි.

මේ වනවිට පාර්ලිමේන්තු වාර්තාකරුවන් 05 දෙනකුට (සන්ඩේ ටයිම්ස් වාර්තාකරු ද ඇතුළුව) කොවිඩ් වැළඳුණු බව සත්‍යයකි. සන්ඩේ ටයිම්ස් වාර්තාකරු 20 වැනි සංශෝධන සම්මත වීම වාර්තා කළ අතර ඒ සමඟ ඔහු කොවිඩ් - 19 ආසාදිතයෙක් වශයෙන් හඳුනාගනු ලැබීය. එම ආසාදනයට පසුව දැන් සෑහෙන කාලයක් ගත වී තිබෙන අතර ඔහුට වෛරසය වැළඳුණේ කෙසේද යන්න තවමත් නිශ්චිත නැත. එය පාර්ලිමේන්තු ආවරණය හේතුවෙන් වැළඳුණු බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නැත. පාර්ලිමේන්තුවේ නිලධාරීන් ද දුසිම් ගණනක් සෙසු පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් ද පරීක්ෂණවලට ලක් කළ නමුත් ඔවුන් සියලු දෙනා (නෙගටිව්) වූහ.

මෙහිදී වඩාත් කුතුහලය දනවන සිද්ධිය වන්නේ මාධ්‍යවේදීන්ට පමණක් පාර්ලිමේන්තුව තහනම් වීමය. ඉතා තදින් ක්‍රියාත්මක වන සෞඛ්‍යාරක්ෂක ක්‍රමද සහිත පාර්ලිමේන්තුව තුළ දිනපතාම සිය ගණනක් නිලධාරීහු රාජකාරියේ නිරතව සිටිති. එකම වෙනසක් හැටියට පෙනෙන්නේ ඇතැම් මැති ඇමැතිවරුන් (මාස්ක්) පැළඳීම මගහැරීමෙන් එම සෞඛ්‍ය නීති රීති කඩ කිරීම පමණි.

පාර්ලිමේන්තු විවාදය තහනම් වීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට සිදුව තිබෙන්නේ ඈතක සිට රූපවාහිනී තිරය හෝ ෆේස්බුක් උපයෝගී කරගනිමින් තම වාර්තාකරණය සිදු කිරීමය. පාර්ලිමේන්තු නිලධාරිහු ද මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සහ මන්ත්‍රීවරුන්ගේ කතාවල පිටපත් ලබාදීම සිදුකරති. එය ප්‍රමාණවත් හැටියට එම නිලධාරීන් දුටුවත් සභා ගර්භය තුළ සිදුවීම් මන්ත්‍රීවරුන්ගේ කතාවලට වඩා වැදගත් යන කරුණු බැහැර කළ නොහැක.

දැන් පෙනෙන්නට තිබෙන්නේ අයවැය විවාදය පැවැත්වෙන තුරු එම වාර්තාකරණයට වැට බැඳී තිබෙන බවය. කොවිඩ් - 19 සමඟ ජීවත් වීමට ජනතාව පුරුදු විය යුතු යැයි රජය කරන ප්‍රකාශයට අනුව පාර්ලිමේන්තු විවාද වාර්තාකරණය ද අයවැය විවාදයෙන් පසුව ද පවතිනු ඇතිදැයි යන ගැටලුව ද පැන නැග තිබේ.

- සන්ඩේ ටයිම්ස්