2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

අවුරුදු 5ක් වැනසූ රටක් මාස තුනෙන් ගොඩගන්න බෑ

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

සමෘධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

  • ලබන මාර්තුවෙන් පස්සේ කහ ප්‍රශ්නය ඉවරයි
  • විනිසුරුවරුන්ට ටෙලිෆෝන් කරලා බලපෑම් කළේ අපිද?
  • ආනයන සීමා තාවකාලිකයි
  • විපක්ෂය බලාගෙන හිටියට ආණ්ඩුව වැඩ වරද්දගන්නේ නෑ
  • පොලී අනුපාත බැස්සීම ජනතාවගේ ජයක් නොවේද?
  • මිනිසුන්ට මඩ ගැහිල්ල මාධ්‍ය නිදහසක් නොවේ

ඔබ ආණ්ඩුවේ වගකිව යුතු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් වැඩකටයුතු කරන රාජ්‍ය අමාත්‍යවරයෙක්. ඔබ මොකද හිතන්නේ වර්තමානයේ ඔබගේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය සම්බන්ධව?

ඇත්තටම සතුටුදායක තත්ත්වයක් ආණ්ඩුව තුළ තියෙනවා. ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් ආණ්ඩුව විසින් සිදුකරමින් යනවා.

කවුරුහරි චෝදනා කළොත් ඇඟට දැනෙන දෙයක් තාම වුණේ නෑ කියලා?

මෙහෙමයි. අපි දැන් කරගෙන යන වැඩ කටයුතුවල උපරිම තත්ත්වයට ළඟාවෙන්නේ ජනවාරි මාසයේ ඉඳන්. ඒ අපේම ආණ්ඩුවේ අයවැය හරහා වෙන් කරන මුදල් සමඟ සිදුකරන අලුත් වැඩකටයුතුත් එක්ක එතකම් අභියෝග රුසක් මැද මේ සියලු වැඩකටයුතු සිදුකරගෙන යනවා. හිතන්න පහුගිය කාලේ අපිට ආණ්ඩුවකුත් තිබුණේ නෑ. අපිට පාර්ලිමේන්තුවකුත් තිබුණේ නෑ. හැබැයි අපි ගත්තු තීන්දු ගැන අපිට සතුටුයි. 

ඔබලා යහපාලන ආණ්ඩුවට චෝදනා කරලා ජනතාවගේ කැමැත්ත දිනාගත්තේ විශාල බලාපොරොත්තු සහ පොරොන්දු ගොඩක් මැද්දේ. දැන් ජනවාරි මාසේ සිදුවෙනවා කිය කිය කල් දැමීම හරහා ජනතාව බලාපොරොත්තු වෙච්ච ඉක්මන් ප්‍රතිඵල ලැබුණේ නෑ නේද?

ඉක්මන් ප්‍රතිඵල ලැබිලා තියෙනවනේ. ජනතාව ජනාධිපතිවරයා පත්කර ගත්තේ විශාල බලාපොරොත්තු රුසක් එක්ක. හැබැයි එතුමා පසුගිය කාලේ ආණ්ඩුවකුත් නැතුව විශාල අභියෝග රැසකට තනිවම මුහුණ දුන්නා. හිතන්න කෝවිඩ් වසංගතයේදී පවා එතුමා මුල් කාලයේ කටයුතු කළේ තනියම. ඒ එතුමා ගත්ත ආරම්භය ඇතුළේ අද වෙනකොට යම් වෙනස්වීම් රුසක් සිදුවෙමින් යනවා. විශේෂයෙන් දේශීයත්වයට අගයක් ලැබිලා තියෙනවා. 

වර්තමාන අයවැයේ බදු පැනවීම් සම්බන්ධයෙන් විශාල සංවාදයක් ජනතාව අතර ඇතිවෙලා තියෙනවා. විශේෂයෙන් ආනයනික බදු වැඩි වීම සම්බන්ධයෙන් බොහෝ ව්‍යාපාරිකයන් ඉන්නේ මැසිවිල්ලක. මේකෙන් ව්‍යාපාරිකයෝ ගොඩ දෙනෙක් හිරවෙනවා නේද?

පැහැදිලිවම කියන්න ඕනේ ආනයනික බදු වැඩිවීමක් කරලා නෑ. අපේ රටේ මෙතුවක් කල් තිබ්බ ආනයන බද්ද 30% ඉඳලා 15% දක්වා මේ වෙනකොට අඩු කරලා තියෙනවා. ඒ භාණ්ඩ 1440ක. එතකොට ඒ ආනයනය කරන භාණ්ඩවලින් ඇතැම් භාණ්ඩවලට ලංකාවේ ආදේශ තියෙනවනම් රටේ නිෂ්පාදනය කරනවනම් අන්න ඒ අය ආරක්ෂා කරන්න ඒ භාණ්ඩවලට තවත් 15%ක සෙසු බද්දක් එකතු කරලා තියෙනවා. එතකොට අපි මේ වෙනකොට පැහැදිලිව බදු අඩු කිරීමක් කරලා තියෙනවා. අපි මේ ලබාදුන්න සහනය ව්‍යාපාරිකයන් විසින් ජනතාවට ලබා නොදුන්නොත් ඇරෙන්න අපි විසින් ඒ සහනය ලබාදීලා ඉවරයි. ඒ නිසා කිසිම බදු අමතර එකතු කිරීමක් කරලා නෑ.

ආනයනික බදු අඩු වෙලානම් වෙළෙඳපොළේ භාණ්ඩවල වටිනාකම වෙනස් වෙන්න ඕනේ නේද?

නොවැම්බර් 17 ගැසට් එකකින් බදු අඩු කරලා නොවැම්බර් 30 වෙද්දි බදු අඩු වීමක්නම් වෙන්නේ නෑ. ඒක පැහැදිළිව තේරුම් ගන්න. ඒකට කාලයක් යනවා. අනික මේක ක්‍රියාත්මක වෙන්නේ ජනවාරි පළමුවැනිදා ඉඳලා අයවැය සහන ක්‍රියාත්මක වෙනකොට ක්‍රියාත්මක වෙන්න. අපේ අරමුණ තමයි ඇත්තටම ආනයන අඩු කරලා රටේ දළ ජාතික නිෂ්පාදනය වැඩි කිරීම. එතකොට තමයි සැබෑ ආර්ථික වේගයක් දකින්න පුළුවන් වෙන්නේ.

ආණ්ඩුව ගැසට් ගහනවා. හැබැයි කිසිම ව්‍යාපාරිකයෙක් හෝ වෙළෙන්දෙක් ඒවා තඹයකට මායිම් කරලා ජනතාවට සහන ලබාදෙනවා දැකලා නෑ අපි. ආණ්ඩුව වගකියන්න ඕන නේද ඒකට?

අපිට ගන්න සෑම තීන්දුවකටම අපි ඒ වගකීම ගන්නවා. අනිත් ආණ්ඩු වගේ අපි ගත්ත තීන්දුවලට වගකීම අපි කොයිවෙලාවකවත් මගඅරින්නේ නෑ. ඒ වගකීම අපි ගන්නවා.

ගැසට් ගහනවා. අකුලගන්නවා. වෙනස් කරනවා. මොකද්ද මේ වැඩවල තේරුම?

සමහර ගැසට් තියෙනවා අපිට වෙනස් කරන්න පවා සිද්ධ වුණා. ඒ කළේ ජනතාවගෙන් ලැබුණ යම් යම් ප්‍රතිචාර සහ යෝජනා නිසා. ඒ වගේම අපි ගන්න තීන්දුවලට වඩා ‍හොඳ තීන්දුවක් වෙනත් අය විසින් පෙන්වා දෙනවනම් අපි ඒ දේ වෙනුවෙන් අනුගත වෙන්න හරි වෙනස් වෙන්න හරි සූදානම්. ඒක නිහතමානී ආණ්ඩුවක හොඳ දෙයක්. දැන් ඒක නරකද ඒ කියන්නේ?

මොන දේ කළත් මොනවා ගැහුවත් වෙළෙඳපොළේදී ජනතාවට ඔය කියන සෙතක් වෙලා නෑනේ? ආණ්ඩුවේ නියෝග වෙළෙන්දෝ පිළිගන්නේ නෑ.

සමහර තැන්වල යම් යම් ප්‍රශ්න තියෙනවා අපි පිළිගන්නවා. හැබැයි අපි සමහර විසඳුම් ලබාදෙන්නේ දිගු කාලීන සහ කෙටි කාලීන වශයෙන්. විශේෂයෙන් ඔය සහල් සිද්ධිය සම්බන්ධයෙන් ආපු ගැටලුවේදී අද අපි ආණ්ඩුව ගත්තේ නැත්නම් සහල් කිලෝවක මිල රුපියල් 140ක් විතර වෙනවා. හැබැයි අපි කුඩා මෝල් හිමියෝ ශක්තිමත් කරලා ගොවියා ආරක්ෂා කරගන්නා තැනට වැඩ කටයුතු කළාම ඇතිවෙන්න ගිය අර්බුද ගොඩක් නතර වුණා. බලාපොරොත්තු වෙන්න එපා අවුරුදු 5ක් විනාශ කරපු රටක් මාස තුනෙන් ගොඩගන්න. ඒක අසාධාරණයි. අපිට දෙන්න පුළුවන් උපරිම සහන ජනතාව ළඟට ගිහිල්ලා අපි දීලා තියෙනවා. ඒ ගැන කාටවත් නෑ කියන්න බෑ.

දැන් ඔය දේශීය ගොවියා නගාසිටුවන්නනේ කහ ආනයනය නතර කළේ. හැබැයි ඒ ගත්ත තීන්දුව නිසා අද හොද්දකට දාන්න කහ ටිකක් නැතිවුණා නේද?

ඔය ප්‍රශ්නේ කෙටිකාලීන වශයෙන් බැලුවොත් ඇත්තටම ඔව්. ඒකෙ ප්‍රශ්නයක් තියෙනවා. මම නෑ කියන්නේ නෑ. හැබැයි ඒ ප්‍රශ්නේ ලබන අවුරුද්දේ මාර්තුවලින් පස්සේ මඟහැරීගෙන යනවා. දැන් හිතන්න අපි නිෂ්පාදන වැඩි කරන්න යම්කිසි තීන්දුවක් අරගෙන ඒක අතරමගදී නතර කළොත් මොකද වෙන්නේ? අවසානයේ ජාවාරම්කරුවන්ගේ අරමුණ ඉෂ්ට වෙනවා. හැබැයි අභියෝග මැද වුණත් ඉදිරියට අරගෙන ගියොත් අපි බලාපොරොත්තු වන නිෂ්පාදන වැඩිවීම සිදුවෙනවා. මතක තියාගන්න අපි ගන්න මේ හැම තීන්දුවක්ම ගන්නේ සත්භාවයෙන්. මේ රටේ ජනතාව වෙනුවෙන්.

හැබැයි මේ ආනයන සීමා කිරීම ඇතුළේ යුරෝපා සංගමය ඒකාබද්ධ ප්‍රකාශයක් දාලා යම් රතු නිවේදනයක් දීලා තියෙනවා ආනයනය සීමා කිරීම ඇතුළේ වෙන හානිය. මේ හරහා ජී.එස්.පී. (ප්ලස්) සහනය පවා අහිමි වෙන්න පුළුවන් තත්ත්වෙක නේද රට තියෙන්නේ?

නෑ එහෙම වෙන්නෙනම් නෑ. මේ අරමුණ අරන් තියෙන්නේ දීර්ඝ කාලීන රටේ නිෂ්පාදන අරමුණ වැඩි කරන්න. දෙවැනි කාරණය තමයි ඇතිවෙලා තියෙන ලෝක වසංගතයට මුහුණ දීම සඳහා සූදානම් වෙන එක. හැබැයි එක දෙයක් කියන්න ඕන. අපේ කිසිම අරමුණයක් නෑ ආනයනික සීමා පැනවීම දීර්ඝ කාලීනව සිදුකරන්න. එහෙම කිසිසේත්ම කරන්න අදහසක් නෑ. මේක කෙටි කාලීන තීන්දුවක්.

ඇත්තටම දැන් ආනයනික ප්‍රමාණය කොපමණ අඩු වෙලාද?

ඇත්තටම බැලුවොත් ආනයනික ප්‍රතිශතය 40% දක්වා අඩුවෙලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න මේ සියලු ප්‍රශ්න මැද්දේ අපේ ජනවාරි මාසේ තිබ්බ ප්‍රතිශතය පසුගිය අගෝස්තු මාසය වෙනතෙක් ඒ විදිහටම තිබ්බා. අපිට බලපෑම් කරන්න ජාත්‍යන්තරය හරහා විපක්ෂය උත්සාහ කරන බව පේනවා. මොකද ජාවාරම්කාර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට මේ හරහා පහරක් වැදිලා. විපක්ෂය කරන්නේ ඒ අය ආරක්ෂා කරන එක. අපි ආරක්ෂා කරන්නේ මේ රටේ පාරිභෝගිකයෝ.

දැන් ආනයනික ආදායමත් අඩු කරලා. අපනයන ප්‍රමාණයෙන් ලැබෙන ආදායමත් විශාල තැනක නෑ. ඒ අස්සේ බදුත් අඩු කරලා. මේ වගේ තත්ත්වයක ආණ්ඩුවට සල්ලිත් නැතුව කොහොමද ලබන වසරේ මූල්‍යමය පැත්තෙන් ආණ්ඩුව ශක්තිමත් කියලා අපි විශ්වාස කරන්නේ?

ඔව්. ඔබ කියනවා වගේ ආදායමක් අවශ්‍යයි රට පාලනය කරන්න. හැබැයි ඔය විශාල වශයෙන් බදු අඩු කරලා ජීවත් වුණ පසුගිය ආණ්ඩු කාලේ ජනතාවට සහන දෙන්න කියලා සිදුකරපු වැඩපිළිවෙළ අනුව 6.2 තිබ්බ ආර්ථික වේගය 2% දක්වා කඩාගෙන වැටුණා. ඒක නිසා වුණේ ඩොලරයේ අගය 131/- ඉඳලා 199/- දක්වා වැඩිවුණා. ඒ අතරතුර සිදුවුණ මහබැංකු වංචාව නිසා ජනතාවට තව තව බදු බර වැඩි වුණා. හැබැයි මතක තියාගන්න ඒ හරහා ඇතිවුණ 20%කට ආසන්න පොලී අනුපාතය අපි අද 9% දක්වා අඩු කරලා තියෙනවා. ඒක ජනතාව ලබපු ජයග්‍රහණයක් නෙවෙයිද?

ආර්ථිකය පැත්තකින් තියමුකෝ. කොවිඩ් වසංගතය ගන්නකො. විපක්ෂය කියන්නේ කොවිඩ් වසංගතය සම්බන්ධව ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගය හමුවේ ආණ්ඩුව වැඩේ වරද්දගෙන තියෙන්නේ කියලා.

ඇත්තටම ආණ්ඩුව වරද්දගෙන නෑ. විපක්ෂය බලන් ඉන්නවා ආණ්ඩුව වැඩේ වරද්දගන්නකල්. මේක ලංකාවට විතරක් ඇතිවුණ තත්ත්වයක් නෙවෙයි. පොදුවේ මුළු ලෝකයටම ඇතිවුණ තත්ත්වයක්. විපක්ෂයේ සතුට තමයි මේ රටේ රෝගීන් වැඩි වෙන්නත් මරණ වැඩි වෙන්නත් කියන එක. ඉතින් ඒක ඉටු නොවෙනතාක් රටේ නැති දේවල් කියනවා.

ඒ වුණාට ඔබලගේ සමහර අය මේ ජනතාවගේ දුක තේරුම් අරගන්නැතුව පන්දාහක බඩු මල්ලකින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් වගේ කතා කියලා හිත රිද්දනවා. ඒක හොඳ නෑ නේද?

මෙහෙමයි. ඇතැම් අවස්ථාවල යම් යම් ප්‍රකාශ ඒ ඒ අවස්ථාවල සිදුවන දේවලුත් එක්ක විවිධාර්ථ ගන්නවන්න පුළුවන්. ඒත් අපි රජයක් හැටියට ජනතාවට දෙන්න පුළුවන් උපරිම සහන ලබාදීලා තියෙන්නේ.

හැබැයි විපක්ෂයෙන් චෝදනා කරනවා ආණ්ඩුව කෝවිඩ්වලින් ගසාකන තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ කියලා.

කිසිම කෙනෙක් ගසාකෑමක් කරලා නෑ. එහෙම ගසාකෑමක් කරලා තියෙනවනම් කාටහරි කියන්න ඔප්පු කරන්න කියලා. මේ රටේ දේවල් පැමිණිලි කරන්න ආයතන තියෙනවා. උසාවි තියෙනවා. ඕන කෙනෙක්ට පුළුවන් ඒවා ඔප්පු කරන්න. නිකන් කටට එනවට කියලා තේරුමක් නෑ ඕවා.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ආණ්ඩුවට බරපතළ චෝදනා රුසක් එල්ල කළා ජනතාවට වඩා ආණ්ඩුව හිතන්නේ ඒ අයගේ නඩු ඉවත් කරගන්න හිතවාදීන් පත්කරගන්න කියලා.

ඒක පට්ටපල් අමූලික බොරුවක්. එහෙම කිසිම අරමුණක නෙවෙයි ආණ්ඩුව ඉන්නේ. ආණ්ඩුව ඉන්නේ ජනතාව වෙනුවෙන් සේවය සපයන්න. යහපාලන ආණ්ඩුවේ සිදුවුණ අසාධාරණය වෙනුවෙන් ජනතාවට උදව් කරන්න. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න. ඒ අය විශාල අසාධාරණයක් පසුගිය අවුරුදු 5 තුළ ජනතාවට සිදු කළා. ඒ අය තමයි ඒ අයගේ හිතවාදීන් දාගෙන මේ රට විනාශ කළේ. 

ඒ වුණාට ඔබලාගේ කට්ටියගේ නඩු එහෙම ඉවත් කරගන්නවා කියලා විපක්ෂයෙන් චෝදනාවක් තියෙනවා.

ඒවා එහෙම කරන්න බැහැ. මේ රටේ මිනිස්සු මෝඩ නැහැ. අපිද නඩු දාන්න හරි ඉවත් කරගන්න හරි කටයුතු කරන්නේ? රංජන් රාමනායකලා විනිසුරුවරුන්ට ඇමතුම් දීලා අරයා හිරකරන්න, මෙයා හිරකරන්න කියලා කෝල් රෙකෝඩ්ස් තියෙන්නේ ඒවා අපි කරපුවද? ඒ දේවල් අපි කරලා නෑ. කරන්නෙත් නෑ. ඒ අයගේ පුරුදු අපිට කියන්න හදනවා. අධිකරණ තීන්දුවලට අපි කොහොමත් මැදිහත් වෙන්නේ නෑ.

අපි දැක්කා පසුගිය දිනෙක ඇමැතිවරු රාජ්‍ය නිලධාරීන් එක්ක ගැටෙනවා. මොකද ඒ බලය දරාගන්න බැරි වෙලාද?

ඒ දේවල් හොඳ තත්ත්වයක් නෙවෙයි කියලා අපි පිළිගන්නවා. ඒත් අපි දන්නේ නෑ එතන ඇත්තටම මොකද වෙන්නේ කියලා. එහෙම හැසිරීම සම්බන්ධයෙන් එතුමාලගෙන්ම තමයි ප්‍රශ්න කරන්න ඕනේ.

ආණ්ඩුව ජනමාධ්‍ය මර්දනයකට සූදානම් වෙන බවට විපක්ෂයෙන් චෝදනා තියෙනවා. එක පැත්තකින් සමාජ මාධ්‍ය. තව පැත්තකින් මාධ්‍යවේදීන් 200කගේ නම් අරගෙන කියලා චෝදනා තියෙනවා. ඇත්තටම ඇයි එහෙම කරන්නේ?

ඔය කියන කතා අමූලික බොරු. ජනාධිපතිතුමා කිසිම වෙලාවක ජනමාධ්‍ය මර්දනය කරන්න කියලා කිසිකෙනකුට උපදෙස් දීලා නෑ. එහෙම කරලත් නෑ. ඕන කෙනකුට ආණ්ඩුව විවේචනය කරන්න අද නිදහස තියෙනවා. හැබැයි අපි විරුද්ධයි පුද්ගල චරිත කේන්ද්‍ර කරගෙන මඩ ගහන එකට. කිසිම පදනමක් නැතිව ඒවා ඕන කෙනකුට දරන්න පුළුවන් දේවල් නෙවෙයි. එහෙමනම් ඒවා ජනමාධ්‍ය හැටියට පිළිගන්න පුළුවන්ද? විවේචනයි මඩයි කියන්නේ දෙකක්. ඒ නිසා මගේ නම් පෞද්ගලික අදහස මිනිස්සුන්ට මඩ ගහන්න ඉඩ දෙන්න නරකයි. ඒ දේවල් නවත්තන්න ඕනේ. එහෙම නැතුව වෘත්තීය ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ආයතන, නිදහස් මාධ්‍යවේදීන් ඕනෑම කෙනකුට සහ ඕනෑම පුරවැසියකුට ආණ්ඩුව කෙරෙහි ඕනෑම මතයක් දරන්න පුළුවන්. විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්. අපි රජයක් හැටියට ඒ දේවල්වලට සීමා පනවන්න සූදානම් නෑ.

 ගයාන් ගාල්ලගේ