2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

මම තොවිලේ නැටුවේ හරි වෙලාවට

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

පාර්ලිමේන්තු මන්ත්‍රී - සමගි ජන බලවේගය දිලිප් වෙදආරච්චි 

  • රටේ ධීවර වරාය 21ක් තියෙනවා කියලා ධීවර ඇමැතිතුමා දැනගත්තේ මම කිව්වට පස්සේ
  • මගේ නෑයො 15%ක්වත් මට ඡන්දෙ දුන්නෙ නෑ
  • අගමැතිතුමයි මමයි හොඳ මිත්‍රයෝ
  • කොවිඩ් රටටම ගෙනත් දැම්මේ ආණ්ඩුවයි
  • සංචාරක ව්‍යාපාරයට පණ දෙන්න මගේ විසඳුමක් තියෙනවා
  • සජිත්ගේ මිනිහා කියලා මාව කැපුවා
  • මගේ බෝට්ටු දෙකට මම දැන් ලක්ෂ 20ක් ණයයි

පහුගිය කාලෙම පේන්න හිටියෙ නෑ. ඒත් දැන් නම් දේශීය වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් හරියට ජනප්‍රියයි. මොකක්ද මේ එකපාර හැදිච්ච උණ?

මට මේ උණ ආවේ මේ රටේ සමස්ත ධීවරයන්ගෙ දුක දැකලා. ධීවරයන්ගේ අඳෝනාව, දුක දැකලා මට ඇත්තටම දුක හිතුණා. ඒ නිසා තමයි මේ උණ මට ඇඟට ආවේ. 

දැන් මේ අමුවෙන් මාළු කාපු වැඩේට කොහොමද ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර?

මට ඉතින් සෑහෙන්න හොඳ ප්‍රතිචාර හම්බවුණා. හැබැයි ඉතින් මට පොඩි දුකකුත් තියෙනවා. 

ඒ මොකද ඒ?

මම ඒ කරපු වැඩේට සමහර මිනිස්සු මට දිය බල්ලයි කියනවා. දියකාවා කිව්වා. කොකා කිව්වා. මට නොයෙකුත් අපහාස කළා. 

ඒ කියන්නෙ කලකිරීමෙන්ද ඉන්නෙ?

මම ඉතින් ඕවාට සැලෙන්නෙ නෑ. මම කළේ ජනතාවට යම් පණිවිඩයක් දෙන්න. මිනිස්සුන්ගෙ බය යන්න. 

කාට හරි අහන්න පුළුවන්නෙ ඇයි ඔබ අමුවෙන්ම මාළු කෑවෙ කියලා. මොකද මේ රටේ මිනිස්සු මෙහෙම ලේසියට අමුවෙන් මාළු කන්නෙ නෑනෙ?

අද මේ රටේ ඉන්න මිනිස්සු ගොඩක් බයයි මාළු කන්න. කොරෝනා වසංගතය නිසා මාළු කන්න එපාය කියලා සමාජයේ මතයක් ඇතිවුණා. ඒ නිසා මාළු කන්නෙ නැතුව ගියා. අන්න ඒ බය අරින්න තමයි මං ඒ දේ කළේ. එහෙම නැතුව මම මේ අමුවෙන් මාළු කන්න කියලා කාටවත් කියලා නෑ. මොකද මට පිස්සුවක් තියනවායැ. 

කෙනකුට කියන්න පුළුවන් මේක මේ දේශපාලන අවධානය දිනාගන්න කරපු වැඩක් කියලා. තව කෙනකුට කියන්න පුළුවන් මේක මෝඩ වැඩක් කියලා. තවත් අයට කියන්න පුළුවන් මේක හරි වැඩක් කියලා. ඔබේ හෘදසාක්ෂියට අනුව මොකක්ද කියන්න තියෙන්නෙ?

ඇත්තටම මම මේක කළේ මේ රටේ සමස්ත ධීවර ජනතාව වෙනුවෙන්. මොකද මම ධීවර ජනතාවට ගොඩක් ආදරේ කෙනෙක්. මගේ පාක්ෂිකයෝ විශාල වශයෙන් ධීවර ක්ෂේත්‍රයේ ඉන්න අය. මම සාමාන්‍යයෙන් දවසේ උදේම ධීවර තොටුපොළවල් දෙකකට විතර යනවා. එතකොට මම ඇත්ත දකිනවා. ඒ නිසා තමයි මම ජනතාව වෙනුවෙන් කතා කළේ. 

අපි දැක්කා ඔබ කරපු මේ වැඩේ ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහත්මයා දැඩි විවේචනයක් සිදු කරලා තියෙනවා ළමයින්ට මේ දීලා තියෙන්නෙ වැරදි ආදර්ශයක් කියලා. මොකක්ද මේ ගැන අදහස?

එතුමා ඉතින් වෛද්‍යවරයෙක්නෙ. මම එතුමාත් එක්ක මේ සම්බන්ධයෙන් වාද කරන්න අදහස් කළේ නෑ. එතුමා කියන ප්‍රකාශත් යම්කිසි ඇත්තක් වෙන්න පුළුවන්. හැබැයි මම ළමයින්ට වැරදි ආදර්ශයක් දෙන අරමුණින් නෙමෙයි මේක කළේ. මම කළේ මගේ ධීවර ජනතාව වෙනුවෙන් ඇතිවුණු දුකට. මේ මිනිස්සු කරන කැපවීම ගැන රටේ ඉන්න මැද මිනිස්සුන්ගෙ බය දුරු කරන්නයි මම එහෙම කළේ. දැන් බලන්න ඒ කාලෙ යකෙක්ට පෙරේතයෙක්ට බය වුණාම ගමේ තොවිල් නටනවා. ඒ බිය යවන්න. ඉතින් මමත් ලංකාවෙ මිනිස්සුන්ගෙ බිය විනාඩි පහෙන් නැති කළා. 

ඒ කියන්නෙ ඔබත් වෙලාව බලලා හොඳට තොවිලෙ නැටුවා?

ඔව් ඔව්. මම හොඳට තොවිලෙ නැටුවා හරිම වෙලාවට. මම තොවිලෙ නටලා ජනතාවගෙ බිය නැති කළා. අද හොඳට මාළු විකිණෙනවා. මේ ළඟදි මමයි නෝනයි තලවතුගොඩ පැත්තට ගියා කෙසෙල් ගන්න. එතන එහා පැත්තෙ මාළු කඩේ. එතන ඉන්න මනුස්සයෙක් මාව හඳුනාගෙන &අනේ සර් නේද එදා මාළු කෑවෙ අමුවෙන්. සර් නිසා අද මාළු ටික විකිණෙනවා හොඳට.* කියලා ස්තූති කළා. ඉතින් ඒ වගේ ප්‍රතිචාර තියෙනවා. මට පින් දෙනවා. 

ඇත්තද මේ ගැන පක්ෂයෙන් පොඩි විවේචනයක් තියෙනවා කියන්නෙ?

අනේ එහෙමනම් මම දන්නෙ නෑ. එහෙම ආරංචියක් නම් නෑ.

නායකතුමා මොකද කිව්වෙ?

මම ඔය වැඩේ ඉවරවෙලා පාර්ලිමේන්තු ඇවිල්ලා වාඩිවුණාට පස්සෙ මගේ පුටුව ඉස්සරහ ඉන්නෙ මගේ නායකතුමා. නායකතුමා මට අඬගහලා කිව්වා දිලිප් ඔයා හරි දේ කළා. ඔයාට දැන් මඩ ගහයි. ඒත් ධීවර ජනතාව වෙනුවෙන් ඔයා හරි දේ කළා* කියලා. ඒ වගේම අපේ කණ්ඩායම් රුස්වීම ඉවර වෙලත් එතුමා මගේ ගාවට ඇවිල්ලා සමාව ඉල්ලුවා කණ්ඩායම් රැස්වීමෙදි මට ස්තූති කරන්න බැරිවෙච්ච එක ගැන. 

ඔබට මේ රටේ ධීවර ඇමැතිට කියන්න තියෙන්නෙ මොකක්ද?

මම පාර්ලිමේන්තුවෙදිත් කිව්වා. පෑලියගොඩට ඔය කොරෝනා වසංගතය ආව ගමන් මම කිව්වා මේ රටේ ධීවර වරාය 21ක් තියෙනවා. ඒකට පෑලියගොඩ හරහා තමයි ගියේ කියලා. එතකොට තමයි ධීවර ඇමැතිතුමා දන්නෙ ධීවර වරාය 21ක් තියෙනවා කියලා. එහෙම යන්න හේතුව තමයි ඒ වරායන්වලින් දවසට පෑලියගොඩට එනවා ලොරි පන්සීයක් විතර. ඊටපස්සෙ වරායට බෝ වෙනවා. වරායෙන් ගමට යනවා. එහෙම තමයි මේක පැතිරුණේ. මම මුලදිම කිව්වා ඔය වරායවල් ටිකයි පෑලියගොඩයි ලොක්ඩවුන් කරලා පී.සී.ආර්. කරන්න කියලා. ඒ පී.සී.ආර්. හරහා නිරෝගී අය පමණක් ඇතුළු කරගෙන අනිත් අය ප්‍රතිකාර සඳහා යොදවන්න කියලා. ඒත් ඒ දේවල් කළේ නෑ. 

ඔබට හිතෙන හැටියට කොහොමද මේක පෑලියගොඩට එන්න ඇත්තෙ?

මේක පෑලියගොඩට නෙමේ රටටම ගෙනල්ලා දැම්මෙ ආණ්ඩුව. අර බ්‍රුන්ඩික්ස් එකේ ඉන්දියන්කාරයන්ව ගෙන්නලා තමයි මේක වුණේ. ඒ අයට එන්න අවසරය දුන්නෙ ආණ්ඩුව. අන්තිමට හොඳට තිබුණු රටක් වැටිච්ච තැනක් වුණා. අද ආණ්ඩුව කරපු දේ නිසා තමයි රටයි ධීවර කර්මාන්තයයි නැත්තටම නැති වුණේ. 

ඔබත් ධීවර කර්මාන්තයේ යෙදෙනවද?

ඔව් මටත් තියෙනවා බහුදින යාත්‍රා. මගේ පියා මගේ මුත්තලා මාදැල් කර්මාන්තයේ ආරම්භකයෝ. ඒ වායේ නිර්මාතෘවරුන්. 

හරි.. ඔය දේශපාලනය පැත්තකින් තියන්නකො. දැන් ඔබ ධීවරයෙක් හැටියට ඔබට වෙලා තියෙන හානිය මොකක්ද?

මම නම් ඔය ගැන කතා කරන්න කැමැති නෑ. හැබැයි ධීවර ජනතාව වෙනුවෙන් ඒකට උත්තර දෙන්නම්. මට බහුදින යාත්‍රා දෙකක් තියෙනවා. ඒ දෙකම මේ පාර පාඩුයි. එක ට්‍රිප් එහෙකට යනවා ලක්ෂ හයක් හතක් අටක්. ගෙනාපු මාළුවලට ඒ මුදල නෑ. ගිය සතියෙ තමයි ඒ බෝට්ටු දෙක ආවේ. ඒ මුදල හොයාගන්න බැරි වුණා. මම ෂෙඩ්වලට කඩවලට ණයයි. හරියට බැලුවොත් මං බෝට්ටු දෙකට ලක්ෂ 20ක් විතර ණයයි. මම තංගල්ලෙ උපුල් මහත්තයලගෙ ෂෙඩ් එකට ලක්ෂ 18ක් ණයයි. ඔයා කතා කරලා ඕනනම් දැන් අහන්න. 

දේශපාලනය පැත්තකින් තියලා හොඳම මිතුරෙක් වෙච්ච අසල්වැසියා වෙච්ච මහින්ද මහත්තයට මේ ගැන කියන්න හිතුණෙ නැද්ද?

එතුමා දැන් විශ්‍රාම සුවයෙන්නෙ ඉන්නෙ. එතුමාට දැන් කරදර කරන්න බෑ. නැත්තම් මට ඕන වෙලාවක කියන්න පුළුවන්. එතුමයි මමයි හොඳ මිත්‍රයෝ. අනික එතුමගෙත් නෙමෙයිනෙ දැන් ආණ්ඩුව. ගෝඨාභයගෙනෙ. තුනෙන් දෙකක බලයක් අරගෙන තනියමනෙ දැන් එතුමා ආණ්ඩු කරන්නෙ. 

ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ගිහින් කිව්වොත් බැරිද?

කොහෙද එතුමට කතා කරන්න බෑනෙ. මහින්ද මහත්තයා නම් ගමේ රටේ මනුස්සයා හින්දා කියන්න පුළුවන් ඕන වෙලාවක. 

ඒ වගේම ඔබට සංචාරක කර්මාන්තය සම්බන්ධවත් පොඩි සම්බන්ධයක් තියෙනවා. ඒ පැත්තෙ කොහොමද තත්ත්වෙ?

මටත් හොටෙල් තියෙනවා. අද ඔක්කොම හොටෙල් ටික වහලා. අපි ඔක්කොම අසරණවෙලා ඉන්නෙ. මම නම් මගේ දැනුමෙ හැටියට කියන්නෙ සංචාරකයන්ට එන්න කියලා ඔය හෝටල්වල දින 14ක් විතර නිරෝධායනය කරලා ඒ වෙනුවෙන් පොඩි සහනයකුත් ඒ මිනිස්සු වෙනුවෙන් ලබා දීලා මේක ඉදිරියට අරන් යන්න කියලා. නැත්තම් මේක ඉස්සරහට කරගෙන යන්න බෑ. 

ඔබ ව්‍යාපාරිකයෙක් හැටියට වැටිලා ඉන්නෙ නේද?

ඔව් අපි අන්ත අසරණ වෙලා ඉන්නෙ. මුළු රටේම ව්‍යාපාරිකයො ඔක්කොම අසරණයි. මගේ රත්තරං බඩු පවා මම උගස් තියලා තියෙන්නෙ. 

ඔබට හිතෙන්නෙ නැද්ද යහපාලනය කාලෙ ධීවරයො වෙනුවෙන් දෙයක් කරන්න තිබ්බා කියලා. මොකද ඔබ රාජ්‍ය ඇමැති?

කොහෙ කරන්නද? ධීවරයො ගැන දන්න මනුස්සයෙක්ද ඇමැති වෙලා හිටියෙ. ගොවිතැන් කරන මිනිස්සු කොහොමද ධීවර ඇමැතිකම් කරන්නෙ. අපෙත් තටු කපලා තිබ්බෙ. අද ඒ අතින් රාජ්‍ය ඇමැතිවරුන්ට බලතල හරි තියෙනවා. 

ඒ කියන්නෙ දැන් ඉන්න අය හරි වාසනාවන්තයි නේද?

නැතුව ඒ අය හරි වාසනාවන්තයි. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙයි මෛත්‍රීපාල මහත්තයගෙයි වැඩ නිසා අපිටවත් හරියට වැඩක් කරගන්න හම්බවුණේ නෑ. මොකද මම සජිත්ගෙ මිනිහා නිසා කපනවා. 

ඇයි මේ දිලිප් සජිත්ගෙ මිනිහා කියලා කියන්නෙ?

සජිත් මහත්තයා ඉස්සෙල්ලාම හම්බන්තොටට එද්දි හැමෝම එතුමාට විරුද්ධව හිටියෙ. හැබැයි මමයි එතුමා වෙනුවෙන් හිටගත්තෙ. ඒ නගරාධිපති හැටියට ඉන්න කාලෙ. ඒ ආරම්භයට තමයි අදටත් මට ගහන්නෙ. මමයි තිස්සමහාරාමෙ මන්ත්‍රීවරුයි තමයි එදා එතුමා වෙනුවෙන් හිටියෙ. එතනින් පස්සෙ හැමදාම එතුමා පළවැනියා. මම දෙවැනියා. 

ඒක අපි දන්නවා. ඇයි මේ පහුගිය කාලෙම විශාල වශයෙන් ඡන්ද ගත්ත ඔබ මේ පාර ඡන්දෙදි දරුණු ලෙස කඩා වැටුණෙ. ඒ මොකද ඒ?

මේ පාර මනාප අඩුවුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අලුත් මනුස්සයෙක් නිසා මිනිස්සුන්ට විශ්වාසයක් ආවා දෙයක් කරයි කියලා. මිනිස්සු ඒ විශ්වාසය උඩ ඡන්දෙ දුන්නා. ජනාධිපතිවරණයෙදි හම්බන්තොට දිස්ත්‍රික්කෙ එක්ලක්ෂ අටදාහක් විතර අපි ඡන්ද ගත්තා. ඒත් මහ මැතිවරණයෙදි හම්බවුණේ සමගි ජන බලවේගයට හම්බවුණේ පනස් තුන්දහස් ගාණක්. මම හැම ඡන්දෙදිම හැටදාහක් විතර ඡන්ද ගන්නවා. හැබැයි මේ පාර මට මනාප විසි අටදාහක් විතර හම්බවුණේ. 

හොයලා බැලුවෙ නැද්ද ඇයි එහෙම අඩුවුණේ කියලා?

මගේ නෑදෑයො තමයි ධීවර කර්මාන්තයෙ යෙදිලා ඉන්නෙ. ඉතින් හිතන්න ඒ නෑදෑයන්ගෙනුත් 15%ක්වත් මට ඡන්දෙ දුන්නෙ නෑ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන තිබුණු විශ්වාසය නිසා. මට ඡන්දෙ දුන්නෙ ගම් ඇතුළෙ ඉන්න අහිංසක දුප්පත් මිනිස්සු. ඒ මිනිස්සු නිසා තමයි අද මම මෙතන ඉන්නෙ. 

දැන් නෑදෑයොත් එක්ක තරහද?

නෑ මම එහෙම තරහක් නෑ. හැබැයි තවමත් මම ඒ අය වෙනුවෙන් පෙනී ඉන්නවා. 

දුකෙන්ද ඉන්නෙ නෑදෑයො ඡන්දෙ දුන්නෙ නැති වුණාට?

ඔබ ඉතින් අපේ මිනිස්සු ඡන්දෙ දුන්නෙ නෑනෙ මට. ඥාතියන්ට ඉතින් කොච්චර කළත් ඔච්චර තමයි. ඉරිසියා කරන ඥාතියොත් ඉන්නවනෙ. වැටෙනකම් බලාගෙන ඉන්න ඥාතියො ඉන්නවා. 

නෑ ඉතින් දැන් නම් ජනප්‍රිය නිසා ආයෙ ළඟට එයි?

ඔව් ඉතින් බලයක් හම්බවුණොත් නම් ළඟට එයි. 

ඔබ දරුණුයි වගේ පෙනුණට හරි සංවේදී පුද්ගලයෙක් නේද?

ඔව් ඉතින් අපි බුද්ධ ධර්මයත් එක්ක ජීවත්වෙන මිනිස්සුනෙ. 

අවසාන වශයෙන් අහන්නෙ දැන් ඔබට කතා කරනවා රටේ ජනාධිපති ධීවර ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ධීවර ඇමැතිකමක් දෙන්නම් ඇවිල්ලා ආණ්ඩුවට එකතු වෙන්න කියලා. යනවද?

කවදාවත් යන්නෙ නෑ. අපි එදා ඉඳන් යූ.ඇන්.පී. මගෙ තාත්තත් නගරාධිපති. මමත් නගරාධිපති. දැන් මගේ පුතත් නගරාධිපති. 

ඒ කියන්නෙ පවුලෙන් පිට යන්න දෙන්නෙ නෑ.

නෑ නෑ ජනතාවගෙ ආදරේ තියෙනවා.

 ගයාන් ගාල්ලගේ