2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

පුටුව හදනකොට අටුව කැඩුණද?

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

අංක විද්‍යාව ගැන වත්මන් ජනපති සහ අගමැති කොතරම් දුරට සැලකිලිමත් වන්නේදැයි අපි නොදනිමු. එහෙත් මේ දෙදෙනාටම 18, 19 සහ 20 මේතරම් වැදගත් ඇයිදැයි මේ වන විට අවබෝධ වී තිබිය යුතුය.

18 වැනි ව්‍යවස්ථාව මහින්ද රාජපක්ෂගේ 2010 ආණ්ඩුව බිඳවැටීමට එක් ප්‍රධාන හේතුවක් වූ බව ඒ කාලයේම එම ආණ්ඩුවේම සිටි බොහෝ දෙනාගේ ද අදහස වී තිබිණි. 2010 දී 58%ක ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයගත් මහින්ද ඊළඟට තැබූ මහ මැතිවරණයෙන් තුනෙන් දෙකකට ආසන්න මන්ත්‍රී සංඛ්‍යාවක් (144ක්) දිනාගෙන ඉන්පසුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ද බිලී බාගෙන තුනෙන් දෙක හදාගෙන ඉතා බලවත් ආණ්ඩුවක් පිහිටුවා ගත්තේය. යුද්ධය දිනාගත් අලුත වූ බැවින් එකල මහින්දගේ ජනප්‍රියත්වය තිබු‍ණේ මෙරට නායකයකුට දිනාගත හැකි වූ ඉහළම මට්ටමේය. කොයි තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී වගන්ති තිබුණත් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් එය සම්මත කර ගැනීමට මහින්දලාට අපහසු නොවූයේ එම ආණ්ඩුවට තිබූ බලයත් ජනප්‍රියත්වයත් හේතුවෙනි. 

එකී සංශෝධනයෙන් මහින්දගේ ජනාධිපති පදවිය ඉතාම බලවත් තත්ත්වයට පත් කරනු ලැබූ අතර ජනාධිපති පදවියට ඉදිරිපත් විය හැකි වාර සංඛ්‍යාව දෙවාරයකට සීමා කරමින් තිබූ වගන්තිය ඉවත් කිරීම මහත් ආන්දෝලනයකට හේතු විය. එය ආණ්ඩු විරෝධී බලවේග පමණක් නොව ආණ්ඩුව ඇතුළේම ඇතැම් පිරිස් විසින් හඳුන්වනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතා ඉන්න තුරු ජනාධිපති වශයෙන් රට පාලනය කිරීමට පාර කපා ගැනීමක් හැටියටය. “78 ව්‍යවස්ථාවේ තිබූ ජනාධිපති ධූරය දැරීම දෙවරකට සීමා කිරීමේ එම වගන්තිය ජේ.ආර්.ගේ විරුද්ධවාදීන් විසින් ඒ කාලයේ හඳුන්වා තිබුණේ එම ව්‍යවස්ථාව ඒකාධිපති නායකයකු බිහිවීම වළක්වා තිබූ එකම වගන්තිය වශයෙනි. 18 වැනි ව්‍යවස්ථාවෙන් ජේ.ආර්.ගේ එම “ප්‍රජාතන්ත්‍රවාදී” එකම ලක්ෂණය ද අහෝසි කර දමනු ලැබීය. එහෙත් එම ආණ්ඩුව වසර 04ක් ගතවන විට ඇතුළෙන් පුපුරා ගියේය. එම පිපිරීමේ සලකුණු වසර 03ක් ගතවෙන විටම දැකගන්නට ලැබුණේය. එහි අවසානය ආණ්ඩුවේ ද අවසානය විය. මහින්ද පාලනය ඉවර වී යහපාලනය ඇරැඹුණි.

යහපාලනය ඇරැඹීමෙන් පසුව 18 අහෝසි කර 19 ගෙන ඒමට ක්‍රියා කෙරුණි. හරි නම් සිදුවිය යුතුව තිබුණේ 18 වැනි සංශෝධනය අහෝසි කර මෙරට සම්මත කළ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වශයෙන් සැලකෙන 17 වැනි ව්‍යවස්ථාව යළි බලාත්මක කිරීමය. ස්වාධීන කොමිෂන් සභා හඳුන්වා දීම හේතුවෙන් 17 සංශෝධනය බොහෝ දෙනකුගේ පිළිගැනීමට ලක්ව තිබුණි. එහෙත් යහපාලනය 18 අහෝසි කර 19 සම්මත කරගෙන රාජපක්ෂලාට ශක්තිමත් සටන් පාඨයක් හදා දුන්නේය. 19 ගෙනාවේම රාජපක්ෂවරුන් රටේ දේශපාලනයෙන් අතුගා දැමීමට යැයි සඳහන් වූ එම සටන් පාඨය යහපාලන ආණ්ඩුවේ දුර්වල පාලන රටාව සමඟ හරි හරියට මුවහත් විය. අඩුම තරමින් 19 යහපත් අංග පිළිබඳව ජනතාව කරැණු පහදා දීමට හෝ වැඩපිළිවෙළක් යහපාලන රජයට තිබුණේම නැත.

එහි ප්‍රතිඵලය වූයේ රටේ පොදු මහජනතාවගේ මානව හිමිකම් සහ ප්‍රජාතාන්ත්‍රික නිදහස අරමුණු කර ගනිමින් 19 ව්‍යවස්ථාවෙන් හඳුන්වා දී තිබූ යහපත් වගන්ති යට ගොස් රාජපක්ෂලාට ගහන්න ගෙනා ව්‍යවස්ථා සංශෝධනයක් වශයෙන් 19ට ලේබල් වැදීමය. රාජපක්ෂවරුන් වෙනුවෙන් බොහොම කාලයක් රට තුළ විශාල හඬක් නගමින් සිටි දේශපාලනයට සම්බන්ධව කතාබහ කරන මහා සඟරැවනට 19 ගෙනාවේ යුද්ධය දිනා දුන් රාජපක්ෂලා රටේ පාලනයෙන් ඉවත් කිරීමේ අරමුණින් බවට වන සටන් පාඨය ඉතා පහසුවෙන් ජනගත කිරීමට හැකි විය. යහපාලනය තුළ තිබූ ජනපති - අගමැති අතර ගැටුම, මහ බැංකු මගඩිය, රට පාලනයේ දී දැක්වූ අසමත්කම් වැනි හේතු නිසා නොසන්සුන් වෙමින් සිටි ජනතාවට ඒ ආණ්ඩුව එපාවෙමින් තිබිණි. ඒ අතරදී එල්ල වූ පාස්කු ප්‍රහාරය යහපාලන ආණ්ඩුවේ මිනීපෙට්ටියට අන්තිම ඇනය ද ගැසුවේය. රටට ජනතාවට යහපත් බොහෝ වගන්ති ඇතුළත් 19 අවසානයේ ජනතාව දැක්කේ රාජපක්ෂලා ඉවත් කිරීම සඳහා ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තියක් ඇතුළු කළ වැඩකට නැති රටේ ඉදිරි ගමනට හරස් කපන ව්‍යවස්ථා සංශෝධනයක් වශයෙනි. 2018 න් පසුව මෙරට පැවැති සියලු මැතිවරණවලදී ජනතාව මේ මතයේ පිහිටා තම ඡන්දය භාවිත කළ බව ප්‍රතිඵලවලින් පෙන්වා දී තිබුණි. 19 සංශෝධනය ඉවත් කර අලුත් සංශෝධනයක් වශයෙන් 20 ගෙන ඒම ගෝඨාභයගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේත් ඉන්පසුව මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැති මහ මැතිවරණ ව්‍යාපාරයේත් ප්‍රධානම පොරොන්දුවක් බවට පත්වූයේ ඒ අනුවය.

19 සංශෝධනය සම්බන්ධයෙන් පොහොට්ටුවේ බොහෝ දෙනා මතවාදී වශයෙන් ප්‍රබල විරෝධයක් දැක්වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වීමෙන් පසුව ප්‍රකාශ කළේ 20 වැනි සංශෝධනය ගෙනැවිත් රටට ශක්තිමත් පාලන රටාවක් හඳුන්වා දීම තමන්ගේ අරමුණ වුවත් එම සංශෝධනයට 19 තිබූ සාධනීය ලක්ෂණ එසේම තිබෙන්නට ඉඩහරින බවය. ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 05කට සීමා කිරීම, ජනාධිපති ධූරය දෙවරකට වඩා දැරීම වැළැක්වීම, තොරතුරු දැනගැනීමේ පනතට අදාළ විධිවිධාන පවත්වාගෙන යාම ගෝඨාභය ජනාධිපතිවරයා සාධනීය ලක්ෂණය වශයෙන් හඳුන්වා දී තිබූ කරුණු අතර තිබිණි. 20 වැනි සංශෝධන කෙටුම්පත එළියට එන්නේ ඉන් පසුවය.

18 සහ 19න් අනතුරුව පැමිණෙන 20 ද රාජපක්ෂවරුන්ට සම්බන්ධය. 19 සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තිය ඉවත් කිරීම පිළිබඳ ආණ්ඩු පක්ෂ කණ්ඩායම ඇතුළේම දැඩි මතගැටුමක් හටගත්තේය. එම මතගැටුම එළිපිටම ප්‍රදර්ශනය වෙමින් තිබූ අතර ආණ්ඩුව බලයට පත් කිරීමට විශාල දායකත්වයක් දැක්වූ මහා සංඝරත්නය ද ද්විත්ව පුරවැසිභාවය හිමි අයකුට දේශපාලනයේ යෙදීමට තිබෙන බාධා ඉවත් කිරීම කෙරෙහි දැඩිව විරෝධය දක්වන තැනකට තල්ලු විය. මේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට ඍජු බලපෑමක් සිදු කිරීම එම පක්ෂය තුළ දැඩිව කතාබහට ලක් විය.

විමල්, වාසුදේව, උදය මේ සම්බන්ධව තම විරෝධය ප්‍රකාශ කිරීමත් ඇල්ලේ ගුණවංශ, මුරුත්තෙට්ටුවේ ආනන්ද, බෙන්ගමුවේ නාලක සහ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස යන හිමිවරු ද මේ විරෝධයට එකතු වීමත් විපක්ෂයේ බලාපොරොත්තු ඉහළ නැංවීමට හේතු විය. ආණ්ඩුවට තුනෙන් දෙක ලබාගැනීමට නම් විපක්ෂයේ කිහිප දෙනකු බිලිබා ගැනීම අවශ්‍ය වනු ඇති බවද ඔවුන්ගේ තක්සේරුව වී තිබුණි. විජයදාස රාජපක්ෂ තමන් 20  වැනි සංශෝධනයට එකඟ නොවන බවට තර්කානුකූලව ප්‍රකාශ කිරීමත් යම් යම් හේතුන් නිසා බන්දුල ගුණවර්ධන වැනි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ද 20 ඇතැම් වගන්ති පිළිබඳ තමන්ගේ ප්‍රසාදයක් නොමැති බවට තම සගයන් සමඟ ප්‍රකාශ කිරීමත් නිසා ඡන්දය විමසන අවස්ථාවේ තමන්ගේ කිහිප දෙනකු ආණ්ඩු පක්ෂයට සහාය දෙනු ඇති බවට විපක්ෂය තුළ අදහසක් ඇතිවෙමින් තිබිණි. සමගි ජන බලවේගයේ හවුල්කාර මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ඔවුන් තුළ සැකයක් හටගෙන තිබුණි. 20 ගොඩදා ගැනීමේ ගේම් එක පසුපස සිටි ප්‍රධානම චරිතය වන බැසිල් ඒ වන විට ද එම මන්ත්‍රීවරැන් සමඟ සාකච්ඡා කර ඇති බවද ඔවුන්ගේ ඇන්ටෙනාවලට හසු විය. එහෙත් ඩයනා ගමගේ මේ පිරිස අතර සිටිනු ඇතැයි සජබ නායකයන් දැනගෙන තිබුණේ පනතට ඡන්දය විමසන දිනය කිට්ටු වෙද්දීය. 20 සංශෝධනයට ඡන්දය විමසීමේදී තම පක්ෂයේ තීන්දුවට පිටින් ගොස් ආණ්ඩුවට සහාය දක්වන ඕනෑම මන්ත්‍රීවරයකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන පක්ෂයෙන් නෙරපන බවට නිවේදනය කෙරැණේ මේ පසුබිමේය. එහෙත් එය වළක්වා ගැනීමට සජබට හැකි වූයේ නැත. එයට එක් හේතුවක් වූයේ අවසන් පැය 48 තුළදී විමල්, වාසු, උදය පමණක් නොව ද්විත්ව පුරවැසිභාවයට ඉඩ දීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක සිටි මහා සංඝරත්නය ද යූ ටර්න් එකක් ගැසීම හේතුවෙනි.

මේ වංගු ගැහිල්ලට මුල්වූයේ දෙපිරිසම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනය පිළිගෙන ඔහු හමුවී සිදු කළ සාකච්ඡාවලින් අනතුරැවය. මාධ්‍යවල පළවූ තොරතුරැවලට අනුව ජනාධිපතිවරයා මේ දෙපිරිසටම කියා තිබුණේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තිය 19 වැනි ව්‍යවස්ථාවට ඇතුළු කරන ලද්දේ තමන්ගේ පවුලේ අය දේශපාලනයෙන් ඉවත් කිරීමේ චේතනාවෙන් වීම නිසා එම වගන්තිය 20ට ඇතුළත් කිරීම තමන්ට ඉතාම සංවේදී කරුණක් බවය. එසේම මීළඟට ඉදිරිපත් කෙරෙන සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයේ දී එය ඉවත් කෙරෙනු ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබූ බවද සඳහන්ය.

මහ සඟරැවන සමඟ පැය 2කට අධික කාලයක් ද විමල්ලා සමඟ පැයකට අඩු කාලයක් ද පැවැත්වූ සාකච්ඡාවලදී තමන්ගේ මතයට ඒ සියලු දෙනා එකඟ කර ගැනීමට සමත් වීම ජනාධිපතිවරයා ලද දේශපාලන ජයග්‍රහණයකි. ඒ හේතුවෙන් තුනෙන් දෙකකටත් වඩා ඡන්ද සංඛ්‍යාවකින් 20 සම්මත කර ගැනීමට ආණ්ඩුවට මග පෑදුණේය. මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීගේ සහාය නැතිව ආණ්ඩුව 20 සම්මත කර ගන්නා විට විපක්ෂයට මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම අහිමි වී තිබීම මෙරට දේශපාලනයේ තිරය පිටුපස පවතින ජරමර පිළිබඳ කදිම හරස්කඩකි. 

කෙසේ වුවද ඉතාම බලවත් ආණ්ඩුවක් වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 20 වැනි සංශෝධනය ගොඩදා ගත්තේ ඇතුළේ බරපතළ මතගැටුමකට මුලපුරමින් වීම ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ කනස්සල්ලට හේතු නොවේ නම් ඒ ගැන පුදුම විය යුතුය. ආණ්ඩුව බලවත් වන තරමට එහි මැති ඇමැතිවරුන් පාලනය කර ගැනීම පහසු බව ඇත්තය. එහෙම වුණත් ඇතුළේ හටගන්නා ගැටුම් අළු යට ගිනි පුපුරු මෙන් පවතින බවත් කිසියම් හෝ අවස්ථාවක ඒවා පුපුරා ගිනි ගැනීමට ඉඩ තිබෙන බවත් දේශපාලනයෙන් හොඳට තෙම්පරාදු වී ඇති රාජපක්ෂවරුන් නොදන්නවා විය නොහැක. මොනම ආණ්ඩුවකට වුණත් විපක්ෂයෙන් නැගෙන විරෝධය ගණන් නොගෙන සිටිය හැකි වුවද ඇතුළින් නැගී යටපත් වෙන විරෝධයේ බලපෑම් ගණන් නොගෙන සිටිය නොහැක.

එවැනි ගණන් නොගැනීම් හේතුවෙන් සිදු වූ බොහෝ දේශපාලන පිපිරීම් අපේ රටේ මෑත දේශපාලන ඉතිහාසය පෙන්වා දෙයි. ප්‍රේමදාසගේ ආණ්ඩුව ඇතුළේ හටගත් ගැටුම ජනාධිපතිට දෝෂාභියෝගයක් ගෙන ඒම දක්වා දුරදිග ගියේය. එය ඉවරවෙන විට යූඑන්පියත් දෙකට කැඩී තිබුණි. එයින් පසුව ආ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇතුළේ තිබුණේ සුළු සුළු මතගැටුම් පමණක් වුවත් මන්ත්‍රීන් පිරිසක් ඉවත් වීම හේතුවෙන් 2001 දී එම ආණ්ඩුව කඩා වැටුණි. ඉන්පසුව 2015 දී මහින්දගේ ආණ්ඩුවට සිදු වූ දේ සියලු දෙනාගේ මතකයේ තවමත් පවතී.

20 වැනි සංශෝධනයේ ඇතැම් වගන්තිවලට එරෙහි අදහස් දැක්වූ ඇමැතිවරුන් සහ ඔවුන්ට සහාය දැක්වූ භික්ෂූන් වහන්සේලා ද ආණ්ඩුව ආරම්භයේදීම එවැනි පියවරකට යාම රාජපක්ෂවරුන් තුළ වුවද තරමක් දුරට කම්පනයක් ඇති කළ බවට සැකයක් නැත. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් ඇතුළෙන් විපක්ෂයක් බිහිවෙන්නේ ආණ්ඩුවක ධූර කාලය අවසන් වන කාලයේ දී වුවත් මෙවර ආරම්භයේදීම එවැනි පෙරනිමිති පහළ වීම ආණ්ඩුවේ නායකයන්ගේ සැලකිල්ලට ලක්වනු ඇත. මේ දෙපිරිසම නිහඬ වූයේ තමන් ගෙනා ආණ්ඩුව රැකගැනීමට තිබෙන ඕනෑකම අන් සියල්ලටම වඩා වැදගත්ය යන සාධකය ඉදිරියට දමාගෙන යන්න ආණ්ඩුව අමතක කළ යුතු නැත.

අවසානයේ ආණ්ඩුව ඡන්ද 156ක් ලබාගෙන 20 වැනි සංශෝධනය සම්මත කර ගත්තේය. කෙසේ වුවද ඒ සඳහා මුස්ලිම් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට සිදුවීම ආණ්ඩුව මුල සිට දැරූ ප්‍රතිපත්තිමය කාරණාවලට පිටින් යාමකි. මේ තත්ත්වය ද විමල් වීරවංශ ඇමැතිවරයාගේ සහ භික්ෂූන් වහන්සේලාගේ මනාපයට කිසිසේත්ම හේතු නොවන බවද පැහැදිලිය. තමන් බලයට පැමිණි පළමු වසර තුළදීම මෙවැනි අලකලංචියකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා වුවද සිතන්නට නැත. මේ සිත් තැලීම් සහ දෙදරීම් කොතරම් දුරකට යනු ඇතිදැයි දැන්ම කියන්න අමාරුය. ආණ්ඩුව 20න් ලද දේශපාලන ජයග්‍රහණය සැමරිය යුත්තේ මේ බව හොඳින් සිහිපත් කරගෙනය.

 ශශීන්ද්‍ර

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00