2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

විපක්ෂයට අගමැතිගෙන් සැලියුට්

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකකටත් අධික මන්ත්‍රීන් සංඛ්‍යාවකගේ සහාය ඇතිව සම්මත කරගැනීමට හැකිවීම ආණ්ඩුව ලද විශාල දේශපාලන ජයග්‍රහණයක් විය. ඒ සඳහා පැවැති ඡන්දය විමසීම අවසානයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව තිබුණාටත් වඩා ඉහළ ගොස් තිබිණි. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව අඩු වූ අතර සජබ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉතිරි වූයේ එහි නායක රවුෆ් හකීම් පමණක් බව කියති.

20 ගොඩ යාමෙන් සතුටට පත්ව සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය අවසන් වීමෙන් පසුව අසුනින් නැගිට විපක්ෂය දෙස බැලුවේ සිනාමුසු මුහුණිනි. ඉන්පසුව ඔහු පිටත්ව යාමට පෙර එහි සිටි විපක්ෂ මන්ත්‍රීවරැන්ට සැලියුට් එකක් දැමීමටද අමතක කළේ නැත.

20න් පසු අලි සබ්‍රි තැබූ සටහන

20 සම්මත වූයේ පසුගිය බ්‍රහස්පතින්දා (22) රාත්‍රියේය. ඡන්ද විමසීම අවසන් වී තුනෙන් දෙකකින් ලද ජයග්‍රහණයෙන් පසුව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා තම සමාජ ජාල ගිණුමේ තැබූ සටහනක මෙසේ දැක්විණි.
“ජාතික ආරක්ෂාව සහ පුද්ගල ආරක්ෂාව, ශීඝ්‍ර ආර්ථික වර්ධනයක්, මත්කුඩු සහ අපරාධවලින් තොර සමාජයක්, ජාතික ඒකාග්‍රතාව සහ මිත්‍රත්වය..... 

තවදුරටත් නිදහසට කරුණු නැත. වැඩ පෙන්විය යුතුය. නැත්නම් වැනසිය යුතුය.

ජාතික සංවිධාන එකමුතුවෙන් දැඩි විරෝධය

මේ අතර ජාතික සංවිධාන එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මහා සංඝරත්නයට හෝ මහජන මතයට හෝ ගරැ නොකරන 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන බවය. එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර සඳහන් කරන්නේ ඔක්තෝබර් 22 දින ජාතික ශෝක දිනයක් වශයෙන් සලකන බවය. රහසිගතව ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන බලවේගවලට ආණ්ඩුව තුළට ඇතුළු වීම සඳහා දොරක් විවෘත වී ඇති බවටද ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.