2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

සෙල්ලමක් නොවන කොවිඩ්

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

කොවිඩ් වසංගතය අත්තෙන් අත්තට පනින කුරුල්ලෙකු සේ තැනින් තැනින් මතුවෙමින් සිටියි. ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ ගණනාවකටත් කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලටත් පැතිර යමින් තිබෙන වසංගතය කළුතර ගම්මාන කිහිපයක්ද හුදෙකලා කරනු ලැබ තිබේ. මෙහි සඳහන් නොවුණත් සෙසු දිස්ත්‍රික්ක ද අවදානමෙන් ගැලවී නැත. එම දිස්ත්‍රික්කවලින් ද තැනින් තැන රෝගීන් හමුවෙයි.

මෙවර කොවිඩ් ව්‍යාප්තිය මුල් වතාවේ මෙන් රටම ලොක්ඩවුන් තත්ත්වයටම තල්ලු කරනු ඇතැයි කිසිවෙක් අපේක්ෂා නොකරති. ලෝකයේ සෙසු රටවල්ද සම්පූර්ණයෙන් වසාගෙන කොවිඩ් මර්දනය කළ යුගය දැන් අවසන් කර තිබේ. යුරෝපය හරහා සුළඟක් සේ හමායන කොවිඩ් ව්‍යාප්තිය හමුවේ එම රටවල් සිදු කරන්නේ අවදානම් ප්‍රදේශ වසා දැමීම පමණි. ඒ සමඟ ජනතාවගේ සංචරණය සහ සමාජ ජීවිතය පාලනය කිරීමට දැඩි සීමා පනවා ඇති බවද සඳහන් වෙයි. විශේෂයෙන් රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමද බාර් සහ රෙස්ටුරන්ට්වලට සීමාවන් පැනවීමද සිදුකර තිබේ. එසේම සෞඛ්‍යාරක්ෂක නීතිරීති දැඩිව පිළිපදින ලෙසට දැඩිව බල කෙරෙමින් තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් නාහෙට නාහන වාහෙලා ඇරෙන්න සෙසු පිරිස් එම සිරිත් අනුගමනය කරන බව වාර්තා වෙයි. ප්‍රවේශම් වීමෙන් තොරව ආරක්ෂාවක් නැති බව ඔවුන් අවබෝධ කරගෙන ඇති බව එයින් පෙනී යයි.

අපේ රටේ ද දෙවැනි රැල්ල හෝ වෙනත් රැල්ලක් නිසා මේ ඇතිව තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා ක්‍රියාත්මක විය යුත්තේ අපි අපිම බව තේරැම් ගැනීම අවශ්‍යය. කොවිඩ් මර්දනයට මූලික සෞඛ්‍යාරක්ෂක නීති වශයෙන් සැලකෙන මුහුණු වැස්ම පැළඳීම, නිතර දෑත් සෝදාගැනීම සහ විෂබීජහරණය කරගැනීම මෙන්ම මීටරයක පරතරය තබාගැනීම පිළිබඳව සියලු දෙනාම නිසි සැලකිල්ල දැක්විය යුතුය. ඊළඟට අත්‍යාවශ්‍යම නොවන ගමන් බිමන්වලින් වැළකීම, ප්‍රියසම්භාෂණ සහ සාද සංවිධානය කිරීම සහ ඒවාට සහභාගී වීමෙන් වැළකීම වැනි පියවර අනුගමනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය. හැකි පමණ ඉක්මනින් රෝගය පැතිර යාම වළක්වා ගැනීමේ අරමුණු කෙරෙහි සියලු දෙනාගේ සිත් යොමුවීම අවශ්‍යය. පොදු ජනතාව එම ආරක්ෂක ක්‍රම සහ විධි අනුගමනය නොකරන්නේ නම් සෞඛ්‍ය බලධාරීන්ට ද කළ හැකි වැඩි යමක් නැති බවද අප දැන සිටීම අවශ්‍යය.

මුළු ලොවටම බරපතළ අභියෝගයක්ව පවතින කොවිඩ් වෛරසයෙන් ලොවේ මහා ලොකු රටවල්වලට පවා ගැලවීමක් නැත. රට, ජාතිය, ආගම මේ වෛරසයේ බලපෑමෙන් මිදීමට හේතු වී නැත. වෛරස ආක්‍රමණය මැදින් හෝ ආර්ථිකයේ පැවැත්ම සහතික කර ගැනීම මේ සියලු රටවල නායකයන්ගේ ප්‍රබලම උත්සාහයයි. එසේ නොවුණොත් තම තමන්ගේ රටවල්වල ජනතාව අමාරැවේ වැටෙන බව ඔවුහු දැන සිටිති. අපේ රටටද මේ පොදු ධර්මතාව අදාළය. වලංගුය. ආර්ථිකය සක්‍රීයව පවත්වාගෙන යාමට නම් සියලු පූර්ව ආරක්ෂක ක්‍රම යොදාගනිමින් කාර්යාල, කම්හල් සහ සියලු සේවාවන් පවත්වාගෙන යායුතු වෙයි. අවම සේවක පිරිසක් හෝ යොදාගනිමින් රටේ ක්‍රියාකාරීත්වය ගෙන යා යුතුය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පසුගියදා අනතුරු අඟවා තිබුණේ මෙවර කොවිඩ් වෛරසය ඉක්මනින් ව්‍යාප්ත වන බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් දිස්ත්‍රික්ක 19කින්ම ආසාදිතයන් සොයා ගැනීමට ලැබී ඇති බවත්ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබුණේ වෛරසය සමාජ සම්ප්‍රේෂණ තත්ත්වයට තවම පත් වී ඇතිදැයි ස්ථිරවම කිව නොහැකි බවත් රටේ බොහොමයක් ප්‍රදේශවලින් රෝගීන් පොකුරු බිහිවීම එවැනි ව්‍යාප්තියක් පිළිබඳව කෙරෙන අනතුරු ඇඟවීමක් බවය. එසේ වුවද සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ස්ථාවරය වන්නේ දැනට පැතිරෙමින් පවතින කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සමාජය තුළින් පැතිරෙන තත්ත්කවයකට පත්ව නොමැති බවය. එහි ඇත්ත නැත්ත කෙසේ වුවත් අපටනම් පෙනී යන්නේ දිනෙන් දින තත්ත්වය බැරූරැම් අතට හැරෙමින් පවතින බවය. පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ව්‍යාප්තිය මෙහි නරක හැරවුම් ලක්ෂයක් වීමට ඉඩ තිබේ. මාළු මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් හරහා රටේ බොහෝ ප්‍රදේශවලට වෛරසය ව්‍යාප්ත වීමට ලොකු ඉඩක් තිබෙන බව ප්‍රතික්ෂේප කළ නොහැකි අදහසකි.

පවතින තත්ත්වය කෙරෙහි සියලු බලධාරීන්ගේ සම්පූර්ණ අවධානය යොමුවිය යුතු තත්ත්වයකට රට පානගමින් තිබෙන බව යථාර්ථයයි. මේ යථාර්ථයට පිටු පා කටයුතු කරන්නට යාම රට බරපතළ අනතුරකට ඇද දැමීමක් වනු ඇත. අද ගත යුතු පියවර අදම ගත යුතුය. කොවිඩ් වෛරසය නම් ආක්‍රමණයකදී කිසිවිටෙකත් ප්‍රමාද නොවන බව අපට යළිත් වරක් පෙන්වා දී තිබේ.