2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

විමල් - වාසු - උදය සහ බැසිල්ගේ හමුව!

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 239


20 වැනි සංශෝධනය හේතුවෙන් ඇවිස්සී සිටින්නේ විපක්ෂය පමණක් නොවේ. විරුද්ධ මත ප්‍රකාශ වෙන්නේ ද විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පමණක් නොවේ. ආණ්ඩුව ඇතුළේ ද මතවාද ගණනාවක් තිබිණි. මුල සිටම 20 ගැන පරස්පර අදහස් දැරුවන් අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ඉදිරියෙන්ම සිටියහ.

මේ තිදෙනාම වරින්වර පළ කළ 20 විරෝධී අදහස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂට ඇල්ලුවේ නැත. ඒ අතර ආණ්ඩුවට විරුද්ධ මත දැරූ පිරිසක් විමල් පළ කරන අදහස් බැසිල් විරෝධී අදහස් වශයෙන් හංවඩු ගසා තිබිණි. වාසුදේව ද ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව අදහස් දැක්වීම හේතුවෙන් කතාබහට ලක්වූ අතර උදය ගම්මන්පිල ද දැරුවේ ඒ හා සමාන අදහසකි.

කැබිනට් මණ්ඩලය මගින් 20 පනත් කෙටුම්පතට ඒකමතික අනුමැතිය ලබාදීමෙන් පසුව ද ආණ්ඩුව ඇතුළේ මේ තිදෙනා පරස්පර අදහස් වරින්වර ප්‍රකාශ කිරීම නිසා විමල් වීරවංශ ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය කිහිපයක් ඔස්සේ දැඩි ප්‍රහාරයකට ලක්වෙමින් සිටියේය. අවසානයේ ඔහු නිවේදනයක් නිකුත් කරමින් පනතට තමන් විරුද්ධ වන වගන්ති කිහිපය පිළිබඳව සඳහන් කොට තමන්ගේ මන්ත්‍රී පිරිස ආණ්ඩුවත් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පනතට ඡන්දය ලබාදෙන බව ප්‍රකාශ කර තිබිණි. වාසුදේව නානායක්කාර මහතා ද තම විරෝධයට හේතු ප්‍රකාශ කළත් රජයට පක්ෂපාතීව තම ඡන්දය ප්‍රකාශ කරන බව කියා තිබිණි. උදය ගම්මන්පිල පසුව පනතට විරුද්ධව තදින් කතා කළේ නැත.

කෙසේ වුවද මේ තිදෙනාගේ 20ට එරෙහි අදහස් ප්‍රකාශ කිරීම අළු යට ගිනි පුපුරු මෙන් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට දැනගන්නට ලැබිණි. මේ පරස්පරතා සමතයකට පත්කොට සියලු දෙනා 20 සම්බන්ධයෙන් එකම මතයකට ගෙන ඒම සඳහා සැලැස්මක් කතා කළ තුන්වැනි පාර්ශ්වයක් මේ සිව්දෙනා එනම් බැසිල්, විමල්, වාසු සහ උදය රාත්‍රී භෝජන සංග්‍රහයක දී එකම මේසයක වාඩිකරවා 20 ගැන ප්‍රශ්න විසදා ගැනීමට ඉඩ දිය යුතු යැයි තීරණය කර තිබිණි. ඒ අනුව රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් කිරීම පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට පැවරිණි.

පසුගිය සතියේ දිනෙක මේ සිව්දෙනා ටිරාන් අලස් මහතාගේ බොරැල්ලේ නිවෙසට ගියේ අදාළ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වීම සඳහාය. මේ භෝජන සංග්‍රහයේ ප්‍රධාන මාතෘකාව විය යුතුව තිබුණේ 20 පිළිබඳ මතවාදයි. භෝජන සංග්‍රහය අවසන් වන විට මතවාදී ගැටුම් විසඳී තිබෙනු ඇතැයි යන්න තුන්වැනි පාර්ශ්වයේ අදහස විය.

එහෙත් පුදුමයකට මෙන් භෝජන සංග්‍රහයේ දී ප්‍රධාන මාතෘකාව වූ 20 වැනි සංශෝධනය පිළිබඳව වචනයක්වත් මේ සිව්දෙනාගෙන්ම පිටවූයේ නැත. බැසිල් හෝ විමල්, උදය, වාසු හෝ 20 මාතෘකාවට පිවිසුණේම නැත. රාත්‍රී භෝජන සංග්‍රහය භුක්ති විඳිමින් විමල්ට, උදයට සහ වාසුව සිදු වූයේ බැසිල් විසින් ආණ්ඩුවේ ඉදිරි සැලසුම්, කොවිඩ් ව්‍යාප්තිය, සංවර්ධන කමිටු කාර්යභාරය සහ ආර්ථික පුනර්ජීවන සභාවේ කටයුතු පිළිබඳ සිදු කළ සවිස්තර දේශනයකට සවන් දීමටය. සංග්‍රහය පුරාවට කතා කර තිබුණේ බැසිල් පමණි. විමල් හෝ වාසු හෝ උදය හෝ 20 පිළිබඳව එකම ප්‍රශ්නයක්වත් ඇසුවේ නැත. බැසිල් ඒ ගැන කතා කරන්න ගියේ ද නැත.

රසවත් භෝජන සංග්‍රහයට පසුව සභා තොමෝ සතුටින් විසිර ගොස් තිබිණි.