2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

බ්‍රැන්ඩික්ස් පොකුර : වරද කාගෙද?

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

ශ්‍රී ලංකාවේ කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට කිසි කලකත් බලාපොරොත්තු නොවූ මට්ටමකට ළඟා වෙමින් පවතී. බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුර පමණක් අද හෙටම දෙදහස ඉක්මවා යනු ඇති බවත් එය කොතැනින් නවතීදැයි කිව නොහැකි තත්ත්වයක් පවතින බවත් අපට පිළිගැනීමට සිදුව තිබේ.

කෝවිඩ් - 19 වසංගතය මේ ආකාරයට රට පුරා දිස්ත්‍රික්ක විශාල සංඛ්‍යාවකට අඬු විහිදා සිටින අතර එහි ව්‍යාප්තිය සමාජගත වන වේගය පිළිබඳව ඇත්තේ ඉතාම අවිනිශ්චිත තත්ත්වයකි. සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කරන්නේ කොවිඩ් 19 සමඟ තව සෑහෙන කාලයක් ජීවත් වීමට සිදුවනු ඇති බවත් වෛරසය සමඟ ජීවත් වීමට අප හැඩගැසිය යුතු බවත්ය. රටේ ජනතාවට මෙය අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. දැනුත් ඔවුන් සිදු කරන්නේ ඒ අනුව ජීවත් වීමට හැඩගැසීමය.

රටේ සාමාන්‍ය ජනතාව වෛරසයේ ව්‍යාප්තියට දක්වන බිය හා සමාන බියක් රට ලොක්ඩවුන් කිරීමට ද දක්වති. රට ලොක්ඩවුන් වීම යනු රටේ විශාල පිරිසකගේ බඩට පහර වැදීමකි. ස්වයං රැකියාවල නියුතු පිරිස “රැකියා සොයාං” තත්ත්වයට පත්කරවීමකි. මහා පරිමාණ ව්‍යාපාරික ආයතන පමණක් නොව පාර අයිනේ කඩ ලෑල්ලක් තබාගෙන වෙළෙඳාමක් කරන පුද්ගලයන් පවා අමාරැවේ වැටීමකි. ව්‍යාපාර නැති වී රැකියා අහිමි වී රටේ මහ නගර පාළුවට යනු දැකීමට කැමැති කිසිවෙක් නොවෙති. ඔවුන් සියලු දෙනා රෝගය ව්‍යාප්ත වීම නවතින්නේ කවදාදැයි දැන් සිහින දකිමින් සිටිති. තමන්ගේ ආදායම් අහිමි වීම, දරුවන්ගේ පාසල් ගමන කඩාකප්පල් වීම, එදිනෙදා සියලු වැඩකටයුතු නැවතීම ඒ සිහින වඩාත් බියකරු බවට පත්කර තිබේ. මේ නිසා අකැමැත්තෙන් වුවද තව කාලයක් කොවිඩ් 19 වෛරසය සමඟ ජීවත් වීමට රටේ ජනතාව හිත හදාගනිමින් සිටිති. එසේ සිටින අතර යටපත්ව ගොස් තිබූ වෛරසය යළිත් රට තුළට එන්නත් කිරීමට වගකිවයුතු පිරිස කෙරෙහිද ඔවුහු දැඩි විරෝධයක් දක්වති.

දැන් කළ යුත්තේ උද්ගතව තිබෙන තත්ත්වයට සාර්ථකව මුහුණ දී හැකිතරම් ඉක්මනට වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරගැනීමය. ඒ සමඟ වෛරසය මේ තරම් දරුණු අන්දමින් රට තුළට මුදාහැරීම සිදුවී ඇත්තේ කිසියම් ආයතනයක හෝ එම ආයතනයේ කළමනාකාරීත්වයේ අතපසුවීම්වලින් නම් එවැනි අතපසුවීම් මින් ඉදිරියට සිදු නොවීමට අවශ්‍ය පියවර රජය විසින් ගතයුතුව තිබේ. රෝගය පිළිබඳ සැබෑ තතු වසන් කරන රටේ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන නීතිරීති, වගකීම් විරහිත ලෙස ක්‍රියා කරමින් වෛරසය රට තුළට ගෙන ඒමට කටයුතු කළ ලොක්කන්ට එරෙහිවද ක්‍රියාත්මක කළ යුතුය.

අප එසේ කියන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන පිරිස් විසින් මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශවල අර්ථය වටහාගනිමිනි. ඔවුන් ප්‍රකාශ කර තිබුණේ තමන්ට අසනීප වී සිටියදී එය ගණන් නොගෙන දිගටම වැඩ කළ යුතු බවට කළමනාකාරීත්වය තමන්ට දැනුම් දුන් බවය. ඇතැම් අය උණ, හිසරදය පමණක් නොව සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන බවට පැමිණිලි කළත් තමන්ට ලැබී ඇති “ඇණවුම” වෙලාවට බාරදිය යුතු බව ප්‍රකාශ කරමින් දිගටම වැඩ කළ යුතු බව එහි සිටි කළමනාකරුවන් ප්‍රකාශ කළ බවද ඔවුහු කියති. මේ බැව් කියන්නේ අප නොවේ. ආයතනයේ සේවක පිරිස්මය. ඔවුන් පැහැදිලිව කියා ඇත්තේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ පාලකයන් තමන්ට ඉතා හොඳින් සලකමින් සියලු පහසුකම් ලබාදුන්නත් මිනුවන්ගොඩ කම්හලේ අලුතින් පත්ව ආ කළමනාකාරීත්වය ඒ සියල්ල කනපිට හැරවූ බවය. ඔවුන්ට අවශ්‍යව තිබුණේ ඇණවුම අවසන් කර බාරදීම පමණක් බවත් තමන්ට කලන්තය හැදී සේවය කිරීමට බැරිවූ විට පවා වේදනා නාශක පෙති බී වැඩ කරන ලෙසට දැනුම් දීමට තරම් ඔවුන් අකාරුණික වූ බවද කියා තිබිණි. ලෙඩ වූ පිරිස වෛද්‍යවරයකුට යොමු කර තිබුණද ඔහුද පැවති භයානක තත්ත්වය තේරුම් ගෙන නොතිබීම වෛරසය රට පුරා ඉගිල යාමට අගුල විවෘත කිරීමක් විය.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක පිරිස මේ ප්‍රකාශ කරන්නේ කොවිඩ් 19 වෛරසය රට තුළ යළි ව්‍යාප්ත වීමට මුල පිරුණු ආකාරය බව පෙනී යයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ද ප්‍රකාශ කර තිබුණේ බ්‍රැන්ඩික්ස් පොකුරේ ප්‍රථම රෝගී කාන්තාව හඳුනාගැනීමට පෙර තවත් 33 දෙනකු ආසාදිතව සිට ඇති බවය. වෛද්‍යවරුන්ගේ මතය වන්නේ වෛරසය පැතිරීම පටන්ගෙන ඇත්තේ ප්‍රථම රෝගියා හමුවීමට සති දෙකකට පමණ පෙර සිට බවය. එසේනම් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කළමනාකාරීත්වය මුල සිටම පොට වරද්දාගෙන තිබූ බව පැහැදිලිය. මුළු ලොවම කොවිඩ් 19ට එරෙහිව උපරිම අවධානයකින් විමසිල්ලකින් කටයුතු කරද්දී මිනුවන්ගොඩ කළමනාකරැවන් කිහිපදෙනකු ක්‍රියා කර ඇත්තේ අඳබාලයන් සේ බවට කතා දෙකක් නැත. එහි ප්‍රතිඵලය රටම කොවිඩ් අනතුරට ගොදුරැ වීමේ අවදානමක් හටගැනීමය. එය බරපතළ වැරැද්දකි.

බ්‍රැන්ඩික්ස් ආයතනය මේ රටේ කීර්තිමත්, තම සේවකයන්ට සියලු පහසුකම් සහ හොඳ වැටුප් ගෙවන රටට විශාල විදේශ විනිමයක් උපයා දෙන ආයතනයක් බව අපි දැනසිටිමු. එම ආයතනයේ සේවකයන්ගේ චෝදනා එල්ල වන්නේ ආයතනයේ අයිතිකරුවන්ට නොව මිනුවන්ගොඩ කම්හලේ පාලනය භාරව සිටි අලුත් කළමනාකාරීත්වයට බවද තේරුම් ගත යුතුය. ඔවුන්ගේ වැරදි හේතුවෙන් ආයතනයට සිදුවිය හැකි හානිය වළක්වා ගත හැක්කේ වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමෙන් පමණි.