2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

20 ගොඩදාගන්න අවශ්‍ය ඡන්ද රජයට තිබෙනවා

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප නායක පරිසර අමාත්‍ය මහින්ද අමරවීර

  • කැබිනට් ඇමැතිකම් තව ලැබුණා නම් අපි සතුටු වෙනවා
  • ශ්‍රීලනිප පාක්ෂිකයන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා
  • රිෂාඩ් බදියුදීන්ලා කවදාවත් එකතු කරගන්නෙ නෑ
  • කැලෑ වනසන කතාව විපක්ෂයේ බොරුවක්
  • ආර්ථික ගැටලු අපේ රටට විතරක් බලපාන දෙයක් නෙවෙයි
  • අයවැයටත් කලින්ම ජනතාවට සහන ලබාදීමට රජය පියවර ගත්තා
  • එකපාරට කරන වැඩවල කිසි කොලිටියක් නෑ

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන තමයි මේ දිනවල රටේ හැමතැනම කතා වෙන්නේ. ඔබලා මේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙනවද?

ඔව්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට මේ පිළිබඳව කමිටුවක් පත් කරගෙන සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තා මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබා දෙන්න. නමුත් අපේ වැඩි උනන්දුව තියෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් සඳහා. ඒක තමයි අපේ බලාපොරොත්තුව වගේම ඉල්ලීම. ඒ අතරේ මේ කඩිනම් අවශ්‍යතාවයක් මත ක්‍රියාත්මක වන මෙම 20 වැනි සංශෝධනයට අපි සහය දෙනවා. ඒ වගේම 20 වැනි සංශෝධනයේ තිබෙන යම් යම් කරණා කිහිපයක් සංශෝධනය විය යුතු බවට අපි ජනාධිපතිවරයාට වගේම අගමැතිවරයාට පෞද්ගලිකවම කරුණු ඉදිරිපත් කළා. මොකක්ද රටේ ජනතාව තුළ තිබෙන මතය වගේම ස්වාමීන් වහන්සේලා තුළ තිබෙන මතය ගැන අපි එතුමන්ලව දැනුම්වත් කළා. යම් සංශෝධන ප්‍රමාණයක් එක්ක මෙය සම්මත වෙයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ.

ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාම ග්‍රී නිකායේ ස්වාමින්වහන්සේලා පවා ප්‍රකාශ කරලා තියෙනවා 20 වැනි සංශෝධනය එපා කියලා. තවත් බොහෝ අගමික නායකයන් කියනවා මෙහි ඇතැම් කරුණු සංශෝධනය විය යුතුයි කියලා. එහෙම තිබියදීත් මේ තීන්දුවේම රජය දිගටම ඉන්නවද?

අපෙත් මූලික ඉල්ලීම තමයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. නමුත් මේ 20 වැනි සංශෝධනය පිළිබඳව අපි කරුණු පැහැදිලි කිරීම් කරලා තියෙනවා. ස්වාමින්වහන්සේලා මේ 20 වැනි සංශෝධනය ගැන දක්වන කරුණුත් අපි ඉදිරිපත් කරලා තියෙනවා 

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා පිළිබඳව මේ දිනවල නැවත සමාජය තුළ කසුකුසුවක් පවතිනවා. බොහෝ දෙනෙක් කියන්නේ රජයට ව්‍යවස්ථා සංශෝධනයේදී 3/2ක් නැති නිසා රිෂාඩ් බදුයුදීන් මහතාගේ සහය ලබාගන්න උත්සාහ කරනවා කියලා. මේක ඇත්තද?

අපි කොහොමත් රිෂාඩ් බදුයුදීන්ගේ සහය අරගෙන මේ කටයුත්ත කරන්න බලාපොරොත්තුවක් නැහැ. අපි පැහැදිලිවම මේ මැතිවරණ ව්‍යාපාරයේදී කියපු දෙයක් තමයි මේ අන්තවාදීන්ගේ ජාතිවාදීන්ගේ සහය මේ රජය ලබාගන්නේ නැහැ කියලා. ඒ නිසා අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපිට කොහොමත් මේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න පුළුවන් කමක් තියෙනවා.

ඔබතුමන්ලා ආණ්ඩුව පිහිටුවන්න කලින් කිව්වා අපි යහපාලනයේ තිබුණ දුර්ගුණ අයින් කරලා ආදර්ශමත්, මුදල් නාස්ති නොකරන පාලනයක් කරා රට ගෙනයන්න තමයි මේ සහය දෙන්නේ කියලා. නමුත් අද ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු රාජ්‍ය බලය පාවිච්චි කරලා විවිධ අකටයුතුකම් කරනවා පේනවා. ඒ වගේම ඇතැම් රාජ්‍ය නිලධාරීන් අත්තනෝමතික විදිහට රාජ්‍ය දේපළ පරිහරණය කරන බවක් පේන්න තියනවා නේද?

අනිවාර්යයෙන්ම ඒවා පිළිබඳව ජනාධිපතිතුමා සහ අපේ කැබිනට් මණ්ඩලය පුළුල්ව සාකච්ඡා කරනවා. එවන් අවස්ථාවලට වත්මන් රජය ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම එවන් අයට නීතිමය කටයුතු කරන්න මේ ආණ්ඩුව පසුබට වෙන්නේ නැහැ. අපි ජනතාවගේ අභිලාෂ ඉටු කරන්න තමයි බලයට ආවේ. ඒ නිසා අපි අනිවාර්යයෙන් ඒ කටයුත්ත සිදු කරනවා.

20 වැනි සංශෝධනයෙන් පස්සේ ඊළඟට එන්නේ අයවැය. රටේ ජනතාව මේ වනවිට ආර්ථික ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා. ඔවුන් බයෙන් ඉන්නේ තවදුරටත් ඔවුන් කබලෙන් ළිපට වැටෙයි කියලා. ඇත්තටම මේ ජනතාවට ඉදිරි අයවැයෙන් සහනයක් ලැබෙයිද?

ජනතාව කබලෙන් ළිපට වැටෙන්න මේ ආණ්ඩුව කොහොමත් ඉඩ තියන්නේ නැහැ. දැනට ලෝකයේ බොහෝ රටවලට මේ ආර්ථික ගැටලුවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා මේ කොවිඩ් උවදුර එක්ක. අයවැය එන්න ඕන නැහැ. අයවැය එන්න පෙරම අපි කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා මේ වනවිටත් අතවශ්‍ය භාණ්ඩ ගණනාවකම මිල අඩු කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදීත් ජනතාවට දෙන්න පුළුවන් සහන හැම එකක්ම අපි ලබා දෙනවා. ඒකට අයවැයම එන්න ඕන නැහැ. අනික අයවැය ලේඛනයෙන් වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ රටේ සංවර්ධනය. අපි අයවැය එන්න කලින්ම ජනතාවට සහන ලබාදීලා ඉවරයි. අපි දැනට සාකච්ඡා කරලා තියෙන්නේ රටේ ආර්ථිකය ගැන. අපි නුදුරේදීම රටේ ආර්ථිකය සවිමත් කරනවා.

කොවිඩ් 19 උවදුර පාලනය කිරීමේදී මේ රට ලෝකයෙන් 2 වැනි තැන ඉන්නවා කියලා රජය පසුගිය කාලයේ කිව්වා. නමුත් දැන් නැවත වරක් රටේ කොවිඩ් උවදුර ව්‍යාප්ත වෙලා තියනවා නේද?

ඇත්තටම එය අවාසනාවන්ත තත්ත්වයක්. ගුවන්තොටුපොළ වහලා තිබුණානම් මෙය අපිට පාලනය කරගන්න තිබුණා. විදේශ රටවල ඉන්න අපේ අය ගෙන්නගත්තේ නැති වුණානම් අදටත් එකම කොරෝනා රෝගියෙක්වත් වාර්තා වෙන්නේ නැහැ. නමුත් අපිට ඒක බැහැර කරන්න බැරි කාරණයක්. මොකද අපේ රටේ ජනතාව ඔය පිට රටවල ගිහින් මෙරට ආර්ථිකයට මනා පිටිවහලක් සැපවුවා. ඉතිං ඒ අය මේ උවදුර හමුවේ අපිට ගෙන්නගන්න වුණා. ඒ අය ගෙන්නගත්තේ නැත්තම් මේ ප්‍රශ්නය මෙච්චර බරපතළ වෙන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුව ජනතාව ගැන හිතන ආණ්ඩුවක්.

වත්මන් ආණ්ඩුවට තවමත් හරියට වැඩක් කරගන්න බැහැ කියලා විපක්ෂය නිරතුරුවම චෝදනා කරනවා. මොකද ඔබ මේ ගැන කියන්නේ?

විපක්ෂය පහුගිය කාලයේ ඉඳන්ම අපිට චෝදනා කරනවා. නමුත් පහුගිය ආණ්ඩුව කාලයේ සිදුවුණ දේවල් පිළිබඳව අපි දන්නවා. ඒ වගේම ජනතාවත් දන්නවා. විපක්ෂය පදනම් විරහිත චෝදනා කරන නිසා තමයි අද විපක්ෂයට ඔවැනි ඉරණමක් අත්වෙලා තියෙන්නේ. රටේ ජනතාවට ඕන දේවල් මේ ආණ්ඩුව ලබා දෙනවා. හැබැයි එකපාරට නෙවෙයි. ක්‍රම ක්‍රමයෙන් පියවරෙන් පියවර තමයි අපි වැඩ කරන්නේ. එහෙම නැතුව එකපාරට වැඩ කරන්න බැහැ. එහෙම කරන වැඩවල කිසි කොලිටියක් නැහැ.  අනික විපක්ෂය හැමදාම කරන්නේ බොරු කිය කිය ජනතාව මුලා කරන එක.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා වරක් කියලා තිබුණා ශ්‍රීලනිපය විනාශ කරන කණ්ඩායමක් කකුල දෙපැත්තට තියන් ඉන්නවා කියලා. ඇත්තටම එහෙම කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉන්නවද?

දැන් එහෙම අය නැහැ. එහෙම හිටපු උදවිය ගියා. දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය එක හඬින්ම පක්ෂය තුළ, මේ රජයත් එක්ක ඉන්නවා කියලා මට කියන්න පුළුවන්.

පසුගිය ජනාධිපතිවරණයේ බර ඇදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබලට මෙවර මහ මැතිවරණයෙන් පස්සේ හිමි වුණේ කැබිනට් අමාත්‍ය ධූර දෙකක් පමණයි. ඔබලා ඒ ගැන සෑහීමකට පත් වෙනවද?

ඇත්තටම අපිට තවත් කැබිනට් අමාත්‍ය ධූර කිහිපයක් ලැබුණනම් අපි බොහොම සතුටු වෙනවා. එහෙම බලාපොරොත්තුවකුත් අපිට තිබුණා. නමුත් අපි මේ වෙලාවේ ඒවා අරගල කරගන්න මට්ටමකට ගේන්නේ නැහැ. අපි ඒවා සාකච්ඡා කරලා අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරියේ සාධාරණ තත්ත්වයන් ඇති වෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ ආණ්ඩුවට  ගැටලුවක් ඇති වෙන අයුරින් කිසිම දෙයකට අපි පක්ෂයක් ලෙස මැදිහත් වෙන්නේ නැහැ.

නමුත් බොහෝ දෙනා කියන්නේ එන්න එන්න මන්ත්‍රී ධූර සංඛ්‍යාව අඩුවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වෙයි කියලා. ඇත්තටම එහෙම වෙයිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අය තමයි මේ ආණ්ඩුවේ බහුතරයක්ම ඉන්නේ. අපෙන් කැඩිලා වෙන් වුණ ප්‍රධාන කණ්ඩායම එතන ඉන්නවා. ඒ වගේම අපේ පක්ෂයේ 14ක් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. අපි මැතිවරණට ඉදිරිපත් වුණෙත් බොහොම සුළු ප්‍රමාණයක්. ඉන් බාගෙට වැඩි ප්‍රමාණයක් අපි ජයග්‍රහණය කළා. දැන් අපි ඉදිරියේදී මේ පක්ෂය ශක්තිමත් කරගෙන යන වැඩ පිළිවළ ගෙනියනවා. කොහොමත් අපේ පාක්ෂිකයන් වෙනුවෙන් අපි නිරතුරුවම පෙනී ඉන්නවා. ඒකේ වෙනසක් නැහැ.

ඉදිරි පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව ඉදිරිපත් වෙනවද එහෙම නැත්තම් පොහොට්ටුව සමඟ සන්ධාන ගත වෙලා ඉල්ලනවද?

දැනට අපේ අදහස තියෙන්නේ කණ්ඩායමක් ලෙස එකට ඉදිරිපත් වෙන්න. තාම ඒ ගැන දින නියම වෙලාවත් අදහසක්වත් නෑනේ. අපි ඒ ගැන ඒ කාලය වනවිට සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා. කොහොමත් අපි සන්ධාන ගතවෙලා යන්න තමයි බලාපොරොත්තුවක් තියෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තරුණ නායකත්වයක් යටතට පැවරිය යුතුයි කියලා ඔබ සිතන්නේ නැද්ද?

තවම අපේ හිටපු ජනාධිපතිතුමා පක්ෂයේ වැඩ කටයුතු කරගෙන යනවා. අපි පක්ෂය ගොඩනගන්න තනතුරු තාන්න මාන්නවලින් තොරව සම්පූර්ණ සහය ලබා දෙනවා.

පසුගිය කාලය පුරාවට මාධ්‍ය මගින් සමාජ මාධ්‍ය මගින් රජයේ රක්ෂිත විනාශ වන බවටත් කැලෑ විනාශ කරමින් පරිසරය විනාශ වන බවටත් තොරතුරු වාර්තා කර තිබුණා. මේ ගැන විෂය භාර ආමාත්‍යවරයා ලෙස ඔබ මොකද කියන්නේ?

මේ පිළිබඳව සොයා බැලීමේදී අපට හෙළිවූයේ  විපක්ෂය සැලසුම් සහගතව රජය අපකීර්තියට පත් කිරීම සඳහා මෙවැනි ප්‍රචාර යොදා ගෙන ඇති බව. අපි දැනටමත් මේ පිළිබඳව සම්පූර්ණ සොයා බැලීමක් සිදුකරනවා. ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයත් මේ පිළිබඳව නිවේදන නිකුත් කර තියෙනවා. සම්පූර්ණයෙන්ම මේ පිළිබඳව සොයා බැලීමක් සිදු කරනවා. ඒ වගේම විපක්ෂ නායකවරයා වතාවක් ප්‍රකාශ කර තිබුණා විශාල පරිසර හානියක්, කැලෑ හානියක් සිද්ධ වෙනවා කියලා. මම එතුමාට ආරාධනා කළා එන්න ඕනෑම විවාදයක් වුවත් මම ඔප්පු කරලා පෙන්නනවා කියලා මේ කාලය ඇතුළත එහෙම සිද්ධීන් ඇති වුණේ නැති බව. 

එතකොට මේකතා සේරම බොරුද?

මේක සම්පූර්ණයෙන් රජය අපකීර්තියට පත් කිරීම සඳහා සැළසුම් සහගතව ක්‍රියාත්මක කරන තවත් එක් අදියරක් කියලා තමයි සඳහන් කරන්න වෙන්නේ. මම එතුමටත් ආරාධනා කරනවා මම තනියෙන් එන්නම් අවශ්‍ය නම් ඕනෑම කෙනෙක් එක්ක එන්න කියලා. එහෙම පරිසර විනාශයක් සිද්ධ වෙලා නෑ. ඉතාමත් සුළු සිද්ධීන් කීපයක් වෙලා තියෙනවා. ඒ සියල්ලමට අදාළව සියලු දෙනා අත්අඩංගුවට අරන් තියෙනවා, නඩු පවරලා තියෙනවා. රජයේ දේශපාලනඥයෙකුත් ඉන්නවා. විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයෙකුත් ඉන්නවා. මොන තරාතිරමක පුද්ගලයෙක් වුණත් මේ වන සංහාරයට සූදානම් වෙනවා නම් පරිසරයට හානියක් වනවා නම් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ඉතා වගකීමෙන් කියනවා. ඒ සඳහා අවශ්‍ය සහයෝගය හා උපදෙස් ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන් ඇතුළු කැබිනට් මණ්ඩලය ලබාදී තිබෙනවා. ඒ නිසා කිසිදු පරිසර හානියක් වන්නට අප ඉඩ තියන්නේ නැහැ.

 සටහන - හසිත් අංජන