2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

විස්සට ගස්සන කට්ටිය

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

20 සම්මත කරගැනීමට අවශ්‍ය තරම් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තමන්ට සිටින බව ආණ්ඩුව කිව්වේ වරක් දෙවරක් නොවේ. ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ හැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනත් කිසිදු මන්ත්‍රීවරයකු 20ට අකැමති බවක් හෝ අකැමති වුණත් ඡන්දය නොදෙන බවක් හෝ කියා නැත. එහෙම නම් රිෂාඩ් බදුයුදීන් වැනි ආණ්ඩුවේ දැඩි දේශපාලන ප්‍රහාරයකට ලක් වූ පක්ෂ නායකයකු සමඟ ඇයිහොඳයිකම් අලුත් කරගැනීමට ගොස් වැඩේ අවුල් කර ගන්න තරමට කලබල වෙන එක අවශ්‍යද?

බැලූබැල්මට නම් පෙනෙන්නේ එහෙම අවශ්‍යකමක් නැති බවය. 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේදී එයට මුලින්ම කොකු දැමූ පක්ෂ නායකයකු වූයේ ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංසය. ද්විත්ව පුරවැසිභාවය ඇති අයකුට මැතිවරණ තරග කිරීමට හැකි වන සේ වගන්තිය ඇතුළු කිරීම ඔහුගේ දෝෂ දර්ශනයට ලක්විය. එසේම 20 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව එය අධ්‍යයනයට කාලය ඉල්ලා සිටියේද විමල්ය. එහෙත් එම ඉල්ලීම ඉටුවූයේ නැත. කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය 20 කෙටුම්පතට හිමිවෙන විට විමල්ද ඒ සඳහා තම කැමැත්ත ප්‍රකාශ කර තිබිණි.

විමල් එසේ කැමැත්ත ප්‍රකාශ කළත් එයින් පසුවද 20ට ඇතුළත් වගන්ති කිහිපයක් සංශෝධනය විය යුතු බවට වරින්වර අදහස් ප්‍රකාශ කර තිබුණි. එසේ අදහස් පළ කරද්දී විමල්ට විරුද්ධව ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව ප්‍රහාරයක් දියත් විය. ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය අනුව එය 20ට එරෙහිව ආණ්ඩුව ඇතුළේ සිට කෑගසන වෙනත් අයත් සිටී නම් ඔවුන්ගේ හඬද යටපත් කිරීමට යොදාගනු ලැබූ උපක්‍රමයකි. කෙසේ වුවද විමල්ගේ පක්ෂය විසින් පසුව නිවේදනයක් නිකුත් කෙරිණි. 20ට ඇතුළත් කරුණු 3ක් සංශෝධනය කරන්නැයි ඉල්ලා සිටි එම ලිපිය අවසන් කර තිබුණේ “කපන්න බැරි අත සිඹින” ආකාරයකිනි.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් එස්. විජයසිරි මහතාගේ අත්සනින් අගමැතිවරයාට යොමු කර තිබූ එම ලිපියෙන් රජයට බහුතර කොටස් හිමි සමාගම් විගණකාධිපතිවරයාගේ විගණනයෙන් නිදහස් කිරීම, ගැසට් කිරීමෙන් තොරව හදිසි පනත් සම්මත කිරීම සහ ද්විත්ව පුරවැසි බාධකය ඉවත් කිරීම යන කරුණු 3 සංශෝධනය කළ යුතු බව කියා තිබිණි. තම පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා පිළිබඳව යම් එකඟතාවයකට පැමිණීමට උත්සාහ කිරීම තමන්ගේ අගැයීමට ලක්වන නමුත් නීතිපතිවරයා විසින් රජයේ යෝජනා ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සහ පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට නියමිත බවට සඳහන් කළ යෝජනාවලිය තුළ තම පක්ෂයේ නායකයා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන කිසිවක් අඩංගු නොවන බව කනගාටුවෙන් සඳහන් කරන බවද කියා තිබේ. සංශෝධනය කළ යුතු බවට තම නායකයා සඳහන් කරන කාරණා තුන පිළිබඳව ප්‍රබල මහජන විරෝධයක් ගොඩ නැගී ඇති බවද එම විරෝධයන් නොසලකා හැරීම ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් ඇති කරන බවද සඳහන් කරන එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ ආණ්ඩුවක් ලෙසට එම වැරදි නිවැරදි කළ යුතු බවය. ආණ්ඩුව එම දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම තමන් විසින් බාර නොගන්නා බවද සඳහන් කරන එම ලිපිය අවසන් කර ඇත්තේ ආණ්ඩුවට සහ රටට එරෙහිව පවතින සතුරු වටලෑම පිළිබඳව ගැඹුරු අවබෝධයකින් යුතුව 20 වැනි ව්‍යවස්ථාවට අදාළව ආණ්ඩුව ආරක්ෂා කිරීමේ දේශපාලන ස්ථාවරයක් තමන් විසින් ගනු ලබන බව ප්‍රකාශ කරමිනි.

මේ ලිපිය පැහැදිලිවම පෙන්වා දෙන්නේ අදාළ සංශෝධන තුන සිදු නොකළත් විමල් වීරවංශගේ පක්ෂය විරෝධයට යටත්ව 20 සම්මත කර ගැනීමට සිය ඡන්දය ලබාදෙන බවය. එය ඔහු කැමැත්තකින් ලබාදෙන ඡන්දයක් නොව. නොදී බැරිකම නිසා ලබාදෙන ඡන්දයක් හැටියට පෙනී යයි. ආණ්ඩුව පිහිටුවීමට වසර කිහිපයක් තිස්සේ දැඩි වෙහෙසක් ගෙන ක්‍රියා කළ විමල් වීරවංශ ආණ්ඩුව පිහිටුවා මාස 3ක් යන්නටත් පෙර මෙහෙම වෙනස් වෙන එක හොඳ පෙරනිමිත්තක් නොවන බව පැහැදිලිය.
විමල් වීරවංශ මේ ලිපිය අගමැතිවරයා වෙත යොමුකර තිබුණේ චමල් රාජපක්ෂ වවුනියාවේදී රිෂාඩ් බදුයුදීන් හමුවී බොහෝම සුහදව කතාබහක නිරත වීමෙන් පසුව දින දෙකක් තුළදී වීමද මෙහිදී කැපී පෙනෙයි. ඒ වනවිට මාස 05ක් අත්අඩංගුවේ සිටි රිෂාඩ් හිටපු ඇමැතිගේ සොහොයුරා රියාද් පාස්කු ප්‍රහාරයට අදාළව චෝදනා නැගීමට සාක්ෂි නැතැයි පවසමින් මුදාහැර ගතව තිබුණේ දින කිහිපයක් පමණි. මේ සිදුවීම් කිහිපයද 20 සම්මතයට අදාළ එකම රේඛාවේ සිදුවී ඇති බවක්ද පෙනී යයි. ඇත්තටම එසේ වීදැයි සොයා බැලීමටනම් ඊට සමගාමීව එම දින කිහිපය තුළදී සිදු වූ තවත් කරැණු ගණනාවක් කෙරෙහි අවධානයට යොමු කළ යුතුය.

රිෂාඩ් බදුයුදීන් සහ චමල් රාජපක්ෂ හමුවෙන් දින 02කට පසුව මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරුතුමා කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කිව්වේ මේ සිදුවන දේවල් තුළ දේශපාලන ඩීල් එකක් තිබෙනවා දැයි කියන සැකයක් මතුවන බවය. සිදුවෙමින් පවතින මේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ජනතාව තමන්ගෙන් ප්‍රශ්න කරන බවද තමන්ට අත සෝදාගෙන පැත්තකට වීමට බැරි බවද අගරදගුරුතුමා ප්‍රකාශ කර තිබිණි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා එය පිටුපස සිටි සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට රජය දුන් පොරොන්දුව ඉටුවේද යන ප්‍රශ්නය මතු වී තිබෙන බවත් ප්‍රකාශ කළ අගරදගුරුතුමා සඳහන් කළ කරුණු කිහිපයක් මෙසේය.

“මෙම ම්ලේච්ඡ ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයාගැනීමේ ක්‍රියාදාමය අපක්ෂපාතීව හා විනිවිදභාවයකින් සිදුවීම ඉතා වැදගත්”

“මාස පහකට පෙර ත්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ වැඩ කළ බව කියූ කෙනෙක් එකවර කිසිම වරදක් නොකළා කියා නිදහස් වීම ගැන අපේ හිතේ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා”

“මෙම සිදුවීම පුදුමසහගත වෙනසක්. ඒ හිටපු ඇමැතිතුමා සමඟ පුදුම සුහදතාවයක් ඇති වී තිබෙන ආකාරයක් පසුගිය දිනවල අපි දුටුවා. මේ පිටුපස මොකක් හෝ හේතුවක් තිබෙන්න පුළුවන්. අපි තුළ ලොකු සැකයක් තිබෙනවා.”

මෙම මාධ්‍ය හමුව රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ බව පැහැදිලි විය. ආණ්ඩුව කෙරෙහි ඉතාම ලෙන්ගතුභාවයකින් සහ විශ්වාසයකින් යුතුව කටයුතු කළ අගරදගුරුතුමන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටි බවක් එහිදී පැහැදිලිව පෙනුණේය. උද්ගත වූ මේ තත්ත්වයෙන් පසුව පාර්ලිමේන්තුවේදී චමල් රාජපක්ෂ මහතා පසුගිය අඟහරාවාදා (06) ඒ පිළිබඳව ප්‍රකාශයක් කරමින් පැවසුවේ මොහු (රිෂාඩ් බදුයුදීන්ගේ සහෝදරයා) එම බෝම්බ පිපිරවීමට සම්බන්ධ වී ඇති බවට හෝ සහභාගී වී ඇති බවට හෝ ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වී ඇති බවට හෝ ඒ විමර්ශනවලදී කරුණු අනාවරණය වී නැති බවය. එබැවින් රැඳවුම් නියෝග අවලංගු කිරීම සඳහා ලිපි ලේඛන සකස් කර ආරක්ෂක අමාත්‍යංශයට යොමු කිරීමෙන් පසුව නිදහස් කළ බවය. මේ පුද්ගලයා නිදහස් කළේ සෘජු සාක්ෂි නැති නිසා බවත් එය නිර්දෝෂීභාවය නොවන බවත් පැවසූ චමල් රාජපක්ෂ මහතා තවදුරටත් විමර්ශනය කරන බවත් ඉදිරියේදී තව තව අය අත්අඩංගුවට ගත හැකි බවත් කිව්වේය. “ඔය පුද්ගලයා නිදහස් කිරීම ගැන අලුත් විමර්ශනයක් පැවැත්වෙනවා අලුත් අධ්‍යක්ෂකවරයා යටතේ. නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කරලා මේ සිද්ධිය ගැනම නැවත වරක් පරීක්ෂණ කරගෙන යනවා. හැමෝටම සාධාරණය වෙන්න ඕනෑ. එහෙම නැතුව ඩීල් එකක් නොවෙයි. 19 වැනි සංශෝධනය ගෙනැත් එෆ්.ඩී.අයි.ඩී. හැදුවා. මාස තුන හතර රිමාන්ඩ් බාරයේ තබාගෙන හිටියා. නඩු පැවරැවාද? නෑ. ඒකෙන් අත්අඩංගුවට ගත් අයට නින්දාවක් අපහාසයක් වුණා.”

චමල් රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ සමගි ජනබලවේගයේ චමින්ද විජේසිරි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව වෙනුවෙන් චමල් රාජපක්ෂ මහතා ලබාදුන් පිළිතුරෙන් අගරදගුරුතුමන් සෑහීමකට පත්වී දැයි තවම දන්නේ නැත. චමල් මහතාගේ මෙම ප්‍රකාශයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ද නිවේදනයක් නිකුත් කරමින් රිෂාඩ් සමඟ තම රජයට කිසිදු දේශපාලන ගනුදෙනුවක් නැතැයි ප්‍රකාශ කර තිබිණි. විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා හිතට එකඟව ඡන්දය දෙන්න පුළුවන්දැයි ප්‍රශ්න කරමින් ජනාධිපතිවරයාට දීර්ඝ ලිපියක් යවා තිබුණේ ඒ අතරය. පසුගිය සැප්තැම්බර් 28 වැනිදා දාතමින් යොමුකර තිබූ එම ලිපිය ඔක්තෝබර් 05 වැනි සඳුදා වනවිට මාධ්‍යයට ලැබී තිබූ අතර එම ලිපියේ පිටපතක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ද යොමුකර තිබුණි.

19 වැනි සංශෝධනය මගින් හඳුන්වා දුන් නීති අහෝසි කරන බවට “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිසිදු තැනක සඳහන් කර නැති බව අවධාරණය කරන බව පවසන විජයදාස රාජපක්ෂ මහතා මතභේදයකට හෝ මහජන විරෝධයකට බඳුන් නොවන සේ සුළු සහ සරල සංශෝධනයක් කළ හැකිව තිබියදී රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඉදිරිපත් කර ඇති 20 වැනි සංශෝධනය මගින් ආණ්ඩුව පිරිහීමට හා පාක්ෂිකයන්ගේ අපේක්ෂා භංගත්වයට පත්වීමේ ඉඩකඩ ඇති බව ඔබතුමා තේරැම්ගනු ඇතැයි මම විශ්වාස කරමි” යනුවෙන්ද සඳහන් කර තිබිණි.

20ට එරෙහිව මෙලෙස විවිධ පාර්ශ්වවලින් විවේචන එල්ල වෙද්දී ආණ්ඩුව තම මන්ත්‍රීවරුන් අදාළ සංශෝධනය පිළිබඳව දැනුවත් කිරීම සඳහා විශේෂ රැස්වීමක් කැඳවා තිබිණි. තමන්ට 20 සංශෝධනයට අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් නොලැබුණු බවට මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කරන ලද කරුණු දැක්වීම් හේතුවෙන් මේ රැස්වීම කැඳවීමට තීරණය විය. ඒ සඳහා විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සහභාගි වූවා දැයි දැනගන්නට නැත.

මේ අතර සිකුරාදා (9) පැවැති සජබ මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ තමන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීම සඳහා ආණ්ඩුවට එක්වීමේ කිසිදු සූදානමක් නැති බවය. ඔහු එසේ ප්‍රකාශ කිරීමට හේතු වූයේ කිසියම් බලපෑමකට අනුවදැයි පැහැදිලි නැත. ඔහුගේ ඡන්දය 20 වැනි සංශෝධනයට ලබාගැනීමේ බලාපොරොත්තුවක් ආණ්ඩුවට තිබිණි නම් ඒ ගැන යළිත් සලකා බැලීමට ඔවුන්ට සිදුවනු ඇත.

පසුගිය සතියේ 20 සම්බන්ධයෙන් වැඩියෙන්ම නම් කියැවුණු තිදෙනා වූයේ රිෂාඩ්, විමල් සහ විජයදාස රාජපක්ෂය. මේ අතුරින් විජයදාස රාජපක්ෂ එක් ඡන්දයක් පමණි. රිෂාඩ්ට මැතිසබයේ ඡන්ද 05ක් තිබේ. විමල්ට 06ක් තිබේ. මේ ඡන්ද 11 ඡන්ද විමසීමේදී ඉතාම තීරණාත්මක වනු ඇති බව පැහැදිලිය. කොරෝනාව හේතුවෙන් රටම දැඩි අනතුරකට මුහුණපා සිටියදී රජය 20ට ප්‍රමුඛත්වය ලබාදීමට ජනතාව අනුමත කරනවාද නම් කියන්න දන්නේ නැත. එසේ වුවත් 20 සංශෝධනය 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ සැලසුමය.

ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00