2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

ආණ්ඩුව අපට ගහන්නේ බැරිකම වහගන්න

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

 

  • අත්තනෝමතික විධායකයට අපි දුන් පිළිතුර තමයි 19
  • ආණ්ඩුවට තිබුණේ ජේ.ආර්.ට මල් පුදලා ‘’78 ව්‍යවස්ථාවම ගේන්නයි
  • යහපාලනය දින 100 කළ වැඩ මේ ආණ්ඩුව අවුරුද්දකින්වත් කළේ නෑ
  • එජාප නායකත්වයට මම ඉදිරිපත් වුණේ අවුරුදු 38ක අත්දැකීම් එක්ක
  • එජාපය කඩාගෙන ගිය කාටවත් යහපතක් වෙලා නෑ
  • මන්ත්‍රී ධූරයකට වඩා පක්ෂයේ පැවැත්ම අපට වටිනවා
  • කොන්දේසි නැති එකමුතුකම මටත් වැදගත්

 

 

 

 

20 වැනි සංශෝධනය සම්මත කර ගන්න ආණ්ඩුව ප්‍රමුඛත්වය දීලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය හැටියට ඔබලා ඊට විරෝධය පළකරලා තියනවා. ඊට අමතරව මොනවද කරන්නේ? 

රටේ තියන ප්‍රධාන පක්ෂයක් විදිහට අපි මේ සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා ඉදිරියේදී ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව. නමුත් මගේ අදහස තමයි පහුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දු විධායක ජනාධිපති ධූරය නැතුව ඉටු කරන්න බැහැ කියලා. දැන් මේ අයට තේරිලා තියනවා ඒ නිසා මේක අරුම පුදුම දෙයක් නෙවෙයි. 1978 ඉඳලා අධිකරණයට 19 වතාවක් ගිහින් තියෙනවා. මේ ව්‍යවස්ථා සංශෝධන ගේන හැමවිටම ඒ අවස්ථාවල ලබා දුන් තීන්දු හැමෝම දන්නවා.  දැන් ආයේ මේ අය විධායක ජනාධිපති ධූරය අවශ්‍යයි කියලා කල්පනා කරනවානම් කරන්න තියෙන්නේ ජේ. ආර්. ජයවර්ධන පිළිරුව ළඟට ගිහින් මල් වට්ටියක් තියලා සමාවෙන්න කියලා ‘78 ජේ. ආර්. ගෙනාපු ව්‍යවස්ථාව සම්මත කරානම් ඔය මොනවත් ප්‍රශ්න නැහැ.

ආණ්ඩුව දැඩිව කියනවා 19 වැනි ව්‍යවස්ථාව රටට විනාශයක් ඒක නිසා තමයි 19 අහෝසි කරලා 20 ගෙන්නේ කියලා. මේ 19 වැනි සංශෝධනය ගෙනාවේ ඔබලා නියෝජනය කළ යහපාලන ආණ්ඩුව. මොකක්ද මේ රජය කියන කතාව?

ඔව්. 19 ගෙනාවේ අපි. ඒකට හේතුව තමයි මේ අත්තනෝමතික විධායකය ගැන රට තුළ ඇතිවෙලා තිබුණ ප්‍රශ්නය. දැන් මේ 20 වැනි සංශෝධනය සහ 19 වැනි සංශෝධනය තුළ තියෙන්නේ ගැටලුවක්. ඇත්තටම එජාපය මෙවනි තැනකට වැටෙන්න වූ කරුණු මේ 19 තුළ තිබෙනවා. ඒක හංගන්න බැහැනේ. පක්ෂයක් හැටියට මේ ගන්න තීන්දුවලට මම එකඟ වුණාට පෞද්ගලිකව මම මේවා විවේචනය කරලා තියෙනවා. ඒ පක්ෂයේ උන්නතිය සඳහා. එතකොට ඇතැම් කරුණු සංශෝධනය විය යුතුයි කියන මතය මට තියනවා.

·රට නැවත වරක් කොවිඩ් අනතුරට මුහුණ දීලා තියනවා. නමුත් රජය පසුගිය දිනවල පැවසුවේ තමන් මෙය සාර්ථකව පාලනය කළා කියලා. මොකද මේ වෙන්නේ?

ඇත්තටම මේකට කාරණා කිහිපයක් මුල් වෙලා තියනවා. මේක රජයේ ගුවන්විදුලිවල රජය කියන ආකාරයට මම කියන්නම්. දැන් මේ දවස්වල රජය කියන්න පටන් අරන් තියනවා මේක තනිකර රජයේ වරදක්වත්, සෞඛ්‍ය අංශවල හෝ හමුදාවේ වරදක් නෙවෙයි ජනතාවගේ නොසැලකිලිමත්කම නිසා වුණ දෙයක් කියලා. ඒක සම්පූර්ණයෙන් ඇත්ත. දැන් පහුගිය කාලයේ මහජනතාව විශාල වශයෙන් බොහොම හොඳින් තමන්ගේ පාලනය සිදු කරගත්තා. නමුත් ඒ වෙලාවේ මේ රජය මහජනතාවට ස්තූති කළේ නැහැ. ඒක තමන් කරපු විශ්වකර්ම වැඩක් ලෙසට ලකුණු දාගත්තා. නමුත් දැන් ආයේම මහජනතාවට මොවුන් චෝදනා කරනවා. කලින් කියපු විදිහටම පුළුවන්නේ මොවුන්ට මෙය පාලනය කර කරන්න. මේ රජයට වගකීමක් තිබුණේ නැහැ ඒ ගැන. ඒකයි මේක නැවත වරක් ව්‍යාප්ත වුණේ රට තුළ.

මේ සියල්ල මැද්දේ රටේ ආර්ථිකය බරපතළ අනතුරක තියෙන්නේ. බඩු මිල ඉහළ ගිහින්. ණය බර වැඩිවෙලා. නමුත් රජය හැමවිටම කියන්නේ යහපාලනය ගත්ත තීන්දු නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා. ඒත් එක්කම ඔවුන් චෝදනා කරනවා යහපාලන කාලයේ රටට වැඩක් වුණේ නැහැ කියලා. ඇත්තටම එහෙමද?

නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කියලා කතාවක් ති‍ෙයනවනේ. ඒ වගේ තමයි මේ ආණ්ඩුවත්. තමන්ගේ නොහැකියාවන් වහගන්න මොවුන් අපිට චෝදනා කරනවා. දැන් ජනාධිපතිවරයා පත් වෙලා මේ පාලන යන්ත්‍රය අවුරුද්දකට ආසන්න වෙලා තියනවා. බඩු මිල අහස උසට නැග්ගා මිසක් බඩු මිල අඩු වුණේ නැහැ. නමුත් 2015 සිරිසේන මහත්තයා ජනාධිපතිවරයා බවට පත් වුණ මොහොතෙම අපි අත්‍යවශ්‍ය ආහාරවල මිල අඩු කරලා දින සියයේ වැඩපිළිවළ තුළ ලංකාවේ සියලු ග්‍රාම සේවා වසම්වල සංවර්ධන කටයුතු සිදු කළා. ඒ වගේම පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ පඩි වැඩි කරලා අවුරුද්දක් තුළ ආර්ථිකය ශක්තිමත් කළා. නමුත් මේ ආණ්ඩුවට තවමත් බැරි වෙලා තියනවා ඒ මොනවත් කරන්න. එතකොට වැඩ කළේ කවුද නැත්තේ කවුද කියලා ජනතාව දන්නවා. 

ඔබත් එජාප නායකත්වයට සූදානමින් හිටපු කෙනෙක්. දැන් මේ වනවිට නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජයවර්ධන මහතා පත් කරලා තියනවා. ඔහුම ඉදිරියේ එජාප නායකයා වෙයි කියලා රට තුළ කසුකුසුවක් තියනවා. දැන් තවදුරටත් මේ නායකත්ව සිහිනය ඔබ තුළ තියනවද?

ඇත්තටම මම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඉදිරිපත් වුණේ අවුරුදු 38ක විතර එජාප අත්දැකීම් තියන පුද්ගලයෙක් විදිහට. නායකයන් 4 දෙනෙක් යටතේ මම වැඩ කරලා තියනවා. ඒ වගේම මම හොඳ එක්සත් ජාතික පක්ෂ අනුගාමිකයෙක්. නායකයෙක් වෙන්න කලින් හොඳ අනුගාමිකයෙක් වෙන්න එපැයි. ඒ නිසා එජාපය ගොඩගන්න මට වැඩපිළිවළක් තිබුණා. ඒ නිසා මම නායකතුමා සමඟ සාකච්ඡා කරලා තමයි ඉදිරිපත් වුණේ. දැන් නියෝජ්‍ය නායකයා පත් කරන වෙලාවෙත් ප්‍රශ්නයක් ඇති වෙන්න ගියාම මම කිව්වේ මේ පක්ෂය බෙදන්න එපා කියලා. ඒ නිසා මේ පක්ෂය ගොඩගන්න තමයි මට මේ වෙලාවේ අවශ්‍ය. 

මේ ඔක්කොම ප්‍රශ්න මතුවෙන්නේ එජාපය දිගින් දිගටම ලැබූ මැතිවරණ පරාජයන් නිසා. මේ පරාජයන්වලට ඇඟිල්ල දිගුවෙන අය අතරේ ඔබේ නමත් තියනවා. පක්ෂය දෙකඩ කරන්න ඔබත් හවුල් වුණා කියලා ඇතැමුන් කරන චෝදනා ඔබටත් එල්ල වෙනවා.

මම කිසි වෙලාවක එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරන්න ක්‍රියා කරලා නැහැ. අනිවාර්යයෙන් පක්ෂයකට විනයක් තිබිය යුතුයි. නමුත් දැන් බහුතරයක් පක්ෂවලට විනයක් නැහැ. පාර්ලිමේන්තුවට විනයක් නැහැ. ඒ නිසා ඔය 20 වැනි සංශෝධනයට පාර්ලිමේන්තුවේ විනය පිළිබඳ වගන්තියක් ඇතුළත් කරානම් හොඳයි කියලා හිතනවා. මම වැඩ කරන්නේ නායකතුමාට. පක්ෂයේ ප්‍රතිපත්ති සමග මේ පක්ෂය කඩාගෙන ගිය කිසිවකුටත් යහපතක් වෙලා නැහැ. මේ පක්ෂය විවිධ අවස්ථාවල විවිධ නායකයන් කඩා ගෙන යනවා. නමුත් ඔවුන් කිසිවෙකුටත් හොඳ දේශපාලන අනාගතයක් හිමි වූයේ නැහැ. අපිට ඕන මේ එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සාර්ථක කරගන්න.

මෙරට පැරණිතම බලවත් දේශපාලන පක්ෂ වන ශ්‍රීලනිපයයි, එජාපයයි දෙකම ජනතාවගෙන් දැන් ඈත් වෙලා බව පේනවා. නමුත් ශ්‍රීලනිපයට තමන්ගේ කිව හැකි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ඉන්නවා. නමුත් එජාපයට ජාතික ලෑයිස්තුවෙන් හම්බුණ මන්ත්‍රී ධූරයවත් පුරවන්න බැරි වෙලා තියනවා?

ඇත්තටම එය කලබල විය යුතු කාරණයක් ලෙස මම දකින්නේ නැහැ. ඒ සඳහා නායකතුමා නියමිත වේලාව අරගෙන කල් අරගෙන මේ ප්‍රශ්නය විසඳයි. අපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට වඩා වටින්නේ මේ පක්ෂයේ පැවැත්ම සහ උන්නතිය. මේ වෙලාවේ අපිට අංක එක තමයි පක්ෂය.

නමුත් බොහෝ අය කියන්නේ නැවත තව දුරටත් එක්සත් ජාතික පක්ෂය ඔළුව උස්සන එකක් නැහැ කියලා?

ඒක ගැන බයවෙන්න එපා. නියත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය මේ රටේ පාලන යන්ත්‍රයට එකතු වෙනවා. මම බොහොම විශ්වාසයෙන් ඒක කියන්නේ. මහජනතාව දැන් අපිව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් ඉදිරියේදී ඔවුන්ට අපේ පක්ෂයේ අවශ්‍යතාවයක් දැනෙනවා.

දැන් දැන් මෙහෙම වෙනකොට සමගි ජන බලවේගය කියනවා එක්සත් ජාතික පක්ෂය එක්ක වැඩ කරන්න කතා කරන්න සූදානම් කියලා. එජාප නියෝජ්‍ය නායකතුමත් ඒකට කැමැත්තක් දක්වන බවක් පේන්න තියෙනවා. ඔබතුමා මොකද ඒ ගැන කියන්නේ?

කොන්දේසි විරහිතව මුළු මහත් රටේ පාක්ෂිකයනුත් ඇතුළු සියලු දෙනාම සාකච්ඡා නැතිව එකට වැඩ කළ යුතුයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ඉන්නවා. එතුමාට දේශපාලනයේ අත්දැකීම් තියෙනවා. මට ඒ ගැන ප්‍රකාශයක් දෙන්න බැහැ. ඒ වගේම බලය සඳහා එකමුතුකම වැදගත් කියන එක මම කියනවා. 

සමගි ජන බලවේගය සමඟ එක් නොවුණහොත් ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙනවද? එහෙම ඉදිරිපත් වෙන්නේ තනියමද?

මගේ පෞද්ගලික මතය නම් එක්සත් ජාතික පක්ෂය මේ රට පාලනය කරන්න බලාපොරොත්තු වෙනවනම් රටට අනාගතයක් හදන්න බලාපොරොත්තු වෙනවනම් එක්සත් ජාතික පක්ෂය තනිව නැගිටිය යුතුයි. මොකද එජාපය කියන්නේ ශ්‍රේෂ්ඨ නායකයන් මෙරට බිහි කළ පක්ෂයක්.

නමුත් ඔබලාට එක මන්ත්‍රී ධූරයක්වත් නැතුව ජනතාව අතරට යන්න පුළුවන්ද? ජනතාව පිළිගනියිද?

ඇයි බැරි? අපිට පුළුවන්. පක්ෂයට සැලැස්මක් වැඩපිළිවෙළක් තිබෙනව නම් මහජනතාව එතනට රොක් වෙනවා. අද රටේ අනාගතයක් නැති පක්ෂ බවට පත් වෙලා තියනවා මේ රට පාලනය කරන පක්ෂ සහ අනෙක් දේශපාලන පක්ෂ. අරමුණක් ඇති වැඩපිළිවෙළක් තියනවනම් මහජනතාව වැල නොකැඩී එකතු වෙනවා එක්සත් ජාතික පක්ෂයට.

යම් හෙයකින් පළාත් සභා මට්ටමින් මන්ත්‍රී ධූර ප්‍රමාණවත් තරම් ලබා ගැනීමට ඔබලාට නොහැකි වුණොත් එජාපය දියාරු වෙයි නේද?

තිබෙන තත්ත්වය උඩ ඔබ කියන එකට උත්තරය හරි. නමුත් අරමුණක් වැඩපිළිවෙළක් තුළ මන්ත්‍රී ධූර ලබා ගැනීම සුළු දෙයක්. අනුගාමිකයන් නායකයා පසුපස ගමන් කරනවා මිසක්  ඔවුන් නායකයා එක්කරගෙන යන්නේ නැහැ. 

ආණ්ඩුව කියනවා පසුගිය රජය කාලයේ අරලියගහ මන්දිරය තුළ සාකච්ඡා කරලා තමයි එවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ හිතවත් අයට දඬුවම් ලබා දුන්නේ කියලා. ඒක ඇත්තද?

දේශපාලන වේදිකාවේ තිබෙන සටන් පාඨ සහ දේශපාලන වේදිකාවෙන් පිට තිබෙන සටන් පාඨ කියන්නේ නීතිය, අධිකරණය නෙවෙයි. දේශපාලන සටන් පාඨ ඕන අයකුට ඉදිරිපත් කරන්න පුළුවන්. යම් යම් පුද්ගලයන්ට එරෙහිව. ඒ චෝදනා යම් දේශපාලකයකු මෙහෙයවනව නම් රටක කොයි ආණ්ඩුවක් තිබුණත් එය වැරුද්දක් විදිහට දකින දේශපාලකයෙක් තමයි මම.

රුවන් විජයවර්ධන මහත්තයට  එජාපයේ නායකත්වය ලැබුණොත් ඔබ ඔහු එක්ක දිගටම වැඩ කරනවද?

ඒක ගැන දැනට මට මුකුත් කියන්න බැහැ. දැනට රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ මම සාකච්ඡා කරලා තියෙන්නේ.

සටහන - හසිත් අංජන