2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

සිංහල අවුරුද්ද දේශපාලනයට තල්ලුවීම

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

දැනට අවුරුදු පනහකට පමණ පෙර මම සරසවි සිසුවෙක් වශයෙන් “ඩේලි නිවුස්” පුවත්පතට සිංහල අවුරුදු සිරිත් විරිත් පිළිබඳ ලිපියක් සැපයුවෙමි. පුවත්පතේ මැද පිටුවේ විසිතුරු ලෙස කර්තෘතුමා විසින්  එය පළකර තිබුණි. එම ලිපිය කියවූ එවකට පේරාදෙණිය සරසවියේ දර්ශන විද්‍යාව පිළිබඳ මහාචාර්ය වූ කේ.එන්. ජයතිලක දුරකථනයෙන් මගෙන් ලිපිය ගැන විස්තර විමසා සිටියේය. ඔහුගේ කුතුහලය දැනවූයේ ඉස්සර ගම හා නෑදෑ පවුලට සීමා වූ අවුරුදු උත්සවය දැන් වඩාත් සංවිධානාත්මක දේශපාලන සංදර්ශනවලට පරිවර්තනය වී ගෙන එන බවට මා ලියා තිබුණ බැවිනි. සිංහල අවුරුද්ද පොදුවේ නෑකම් හා බන්ධුත්වය හුවා දක්වන්නක් නොව ආගමික “භක්තිය” හුවා දක්වන උත්සවයක් බවට අනාගතයේදී පෙරළිය හැකි බව ම විසින් සඳහන් කර තිබුණි.

අපේ කුඩා කාලයේදී අවුරුදු උත්සවය සැමරුවේ වෙනත් විධියකටය. අවුරුද්ද ළංවන විට අපේ ළඟම නෑදෑයින් සියල්ලම පාහේ මගේ මවගේ මුල් ගෙදර බලා පිටත්වීම පුරුද්දක් විය. විවිධ පාසැල්වල ඉගෙනුම ලැබූ අපේ තරුණ ඥාතීන් අවුරුද්දකට එක සැරයත්වත් එසේ එක්වී අපේ ජීවන විස්තර කතා කර ගත්තෙමු. විශාඛා විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටි එක් සහෝදරියක් කටකාරියක් වූයෙන් එම පාසැලේ නොයෙක් සිද්ධි විස්තර කළේ තරැණ අපේ කුතුහලය දනවමිනි. අවුරුදු උත්සවයේ ප්‍රධාන තැනක් වෙන් කරන ලද්දේ මගේ මවගේ වැඩිමහල් සහෝදරයාටයි. ඔහු කෑගල්ලේ විසූ ශ්‍රීමත් එඩ්වින් විජේරත්නගේ හිතවත්ම මිතුරා විය. මා ලංකා සිවිල් සේවයට බැඳුන විට එකල ඔත්පලව සිටි සර් එඩ්වින් මාව ඔහුගේ ලෙඩ ඇඳ ළඟට ගෙන්වා ආදරයෙන් කතා කළ හැටි මට තවම මතකය. ඔහුට මිතුරන් කිසිවෙක් නැතිව සිටි කළ ඔහු අත්නොහලේ මගේ මාමා පමණක් බව ඔහු මට කීවේය. තම සමීපතමයින්ගේ දරැවන් දියුණුවීම දැකීම සහ ඔවුන් හමුවී සතුටු වීම ඒ කාලයේ ජාතික නායකයින්ගේ ලකුණක් විය. අද අප ප්‍රභූ සමාජයේ බොහෝ දෙනෙක් එවැනි සිද්ධීන් ආදරයෙන් මතක් කරන බව මම දනිමි.  එඩ්වින් විජේරත්න වැනි ජන නායකයින් සිංහල අවුරැදු සිරිත් විරිත් ප්‍රචලිත කිරීමට මහන්සිගෙන ඇති බව මට පසක් වූයේ ලංකා ජාතික සංගමයේ වාර්තා කියවූ විටය. ඒ පසුපස සුන්දර පුවතක් තිබේ.

ජේ.ආර්. ජයවර්ධන ලංකා ජාතික සංගමයේ තරුණ නායකයින් අතර කැපී පෙනෙන්නෙක් විය. ඔහුත් ඩඩ්ලි සේනානායකත් එම සංගමයේ ලේකම්වරුන් හැටියටද කලක් සේවය කළහ. ඊට ප්‍රථම දීර්ඝ කාලයක් එම ලේකම් තනතුරු දැරුවේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ය. ඔහු තම සහයට යොදා ගත්තේ ආර්.එස්.එස්. ගුණවර්ධන මහතාය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති වූවායින් පසුව තමාගේ භාරයේ පැවති ලංකා ජාතික සභාවේ ලිපි ලේඛන පළ කිරීමට තීරණය කළේය. ඒ කාර්යය සඳහා ඔහු විසින් තෝරාගන්නා ලද්දේ ලංකා විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අංශයේ දක්ෂ තරුණ ඉතිහාසඥයෙකු වූ ආචාර්ය මයිකල් රොබට්ස්ය. මයිකල් මගේ සමකාලීන මිතුරෙක් විය. රාමනාදන් ශාලාවේ විසූ  මයිකල් අප අතර ඉගෙනුමට මෙන්ම ක්‍රීඩාවට දක්ෂ සරසවි ජීවිතයේ කැපී පෙනෙන ශිෂ්‍යයෙක් විය. 

ජේ.ආර්. විසින් භාරදෙන ලද ජාතික කොන්ග්‍රසයේ වාර්තා ඉතාම ක්‍රමානුකූලව සංස්කරණය කළ මයිකල් ඒවා රජයේ මුද්‍රණාලය හරහා පාඨකයින් අතට පත් කළේය. මේ වාර්තා අප රටේ නිදහසට පෙර පැවති දේශපාලනය පිළිබඳ අත්පොතක් වැන්න. මාස්පතා රැස්වූ කාරක සභාව එකල පැවති දේශපාලන ප්‍රශ්න විග්‍රහ කරනවා පමණක් නොව නිදහස් සටනට පණ පොවන ක්‍රියාමාර්ග ගැනද සාකච්ඡා කළ බව හෙළි වෙයි. බණ්ඩාරනායක මහතා මෙම කාරක සභාවේ කටයුතු ගැන දැඩි උනන්දුවක් දැක්වූ බව පෙනේ. රුස්වීම් පවත්වන ලද්දේ එකල ඔහු පදිංචිව සිටි “සිල්වර් සට්‍රිට්” හි පිහිටි ඔහුගේ නිවසේයි. එහෙත් කල් යෑමේදී බණ්ඩාරනායකගේ උනන්දුව අඩු විය. 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ආසන වැඩි ප්‍රමාණයක් පිහිටුවන ලද  නිසා  ඔහු වඩාත් උනන්දු වූයේ හුදෙක් තමාටම පක්ෂපාතී දේශපාලන සංවිධානයක් ඇති කිරීමටය. ඒ අනුව ඔහු සිංහල මහ සභාව පිහිටෙව්වේය. 

ඒ අවදියේ ජාතික මට්ටමේ දේශපාලනඥයින්ට අවශ්‍යය වූයේ ජනතාව අතරට යෑමට මාර්ග සොයා ගැනීමටයි. ඊට ප්‍රථම අමද්‍යප ව්‍යාපාරය තුළින් අනගාරික ධර්මපාල, ඩී.බී. ජයතිලක, එෆ්.ආර්. සේනානායක හා ඩබ්ලිව්.ඒ සිල්වා වැනි නායකයින් රට පුරා ජනප්‍රියත්වය ලබාගත්හ. හේවාගම් කෝරලයේ අමද්‍යප සභා, බෝතලේ  සේනානායකවරැන් එම ප්‍රදේශයේ ජනප්‍රිය නායකයින් බවට පත් කරවූහ. එහෙත් 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීමත් සමගම අමද්‍යප ව්‍යාපාරය පස්සට තල්ලු වී දේශපාලන සංවිධාන  ඉදිරියට පැමිණියේය.

ඒ නව ජවය ලබාගැනීමට ලංකා ජාතික කොන්ග්‍රසය ජනතා සිරිත් විරිත් කෙරෙහි  සිය උකුසු ඇස යොමු කළේය. ඒ අතින් ජේ.ආර්. ජයවර්ධන හා ඩඩ්ලි සේනානායක එම පරිවර්තනය ඇති කිරීමට මුල් තැන ගත්තෝය. කොන්ග්‍රසයේ රුස්වීම සඳහා එතෙක් විදේශීය පරිපාලකයින්ට පමණක් සීමාවූ තොරණ බැඳීම, පාවඩ එලීම, උඩරට නැටුම් ආදියද යොදා ගන්නා ලදී. මෙයට ආදර්ශයක් වූයේ ඉන්දියාවේ කොන්ග්‍රස් රැස්වීම් වලදී ප්‍රදර්ශනය කරන ලද දේශීයත්වයේ සංකේතයි.

ලංකා ජාතික කොන්ග්‍රසය විසින් අවුරැදු උත්සව සංවිධානය කළ යුතු යැයි යෝජනා කළේ ජේ.ආර්. ජයවර්ධනය. ඒ අනුව තැනින් තැන දේශපාලකයින්ගේ මූලිකත්වයෙන් ජන නැටුම්, පොර පොල් ගැසීම්, මිනිරන් ගහේ නැඟීම, හා කොට්ට පොර ආදිය සංවිධානය කරන ලදී. ඒ අනුව අපේ දේශපාලන නායකයින් දේශීයත්වය හුවා දැක්වීමට අලුත් අවුරැදු උත්සව යොදා ගත්තෝය. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ සර්වජන ඡන්දය හිමිවූ පසු බොහෝ සිංහල නායකයෝ තම ආගම වෙනස් කළා පමණක් නොව කලිසම් කෝට් පසෙක තබා ජාතික ඇඳුම් අඳින්නටද පටන් ගත්තෝය.