2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

19ක් වුණේ රට අරාජිත වීමයි

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

 - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්

  • විපක්ෂයේ ඉන්නකොටම රටට සැලසුම් හැදුවා
  • අහෝසිකරන්න විගණන කොමිසමක් කොහෙද තියෙන්නේ?
  • විශාල සංවර්ධන සැලැස්මකට රට ළඟදීම ඇතුළු කරනවා
  • ද්විත්ව පුරවැසි බව 19ට දැම්මේ බැසිල් ගෝඨාභය මහත්වරුන් ඉලක්ක කරගෙන
  • විස්සට විපක්ෂයෙනුත් සහාය දෙන පිරිසක් ඉන්නවා
  • ස්වාධීන කොමිෂන් වෙනුවට දේශපාලන කොමිෂන් පත්කළා
  • ශ්‍රීලනිපය එක්ක අපට කිසිම ගැටලුවක් නෑ

අවුරුදු පහක් විපක්ෂයේ ඉඳලා අලුත් පක්ෂෙකුත් හදාගෙන 2/3ක බහුතර බලයකුත් ලබාගෙන මේ වෙනකොට ආණ්ඩු පක්ෂය ඔබලා නියෝජනය කරනවා. කොහොමද මේ ඇඟට දැනෙන අලුත් හැඟීම?

පසුගිය යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේම රාජපක්ෂවරුන්ගෙන් පළිගන්න. කිසිම සැලැස්මක් රට ගැන තිබ්බේ නෑ. ඒ නිසා තමයි රට විශාල වශයෙන් කඩාවැටීමට ලක්වුණේ. අඩුමතරමේ ජීවත්වෙන්න පුළුවන් තත්ත්වෙකටවත් පත්කළේ නෑ. විපක්ෂයේ ඉන්නකොටම දැනගත්තා අපි කවදහරි බලය ලබාගන්නවා කියලා. ඒ වගේම ඒ බලය අරගෙන ජනතාවට විශාල වැඩකටයුතු රාශියක් කරන්න සිදුවෙන බවත් දැන සිටියා. ඒ හැමදේම විපක්ෂෙ ඉන්නකොට අපි සැලසුම් සකස් කරලා තිබුණේ.

ඒ කියන්නේ විපක්ෂයේ ඉන්න කාලේ ඉඳන්ම සැලසුම් සකස් කරලා බලය අල්ලන අරමුණේද හිටියේ?

ඔව්. ඒ විපක්ෂයේ ඉන්න කාලේ අපි හදපු සැලසුම් තමයි අද ජනාධිපති ඇතුළු ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන්නේ සෞභග්‍යයේ දැක්ම කියලා අන්න ඒ සැලසුම තමයි. නමුත් අවාසනාවන්ත විදිහට අපි හදපු සැලසුම් මේ කෝවිඩ් වසංගතයත් සමඟ ක්‍රියාත්මක කරන්න පුළුවන් පරිසරයක් ගොඩනැගුණේ නෑ. ඒ නිසා ඒ සැලසුම් වෙනස් කරන්න සිද්ධ වුණා. හැබැයි රජයක් හැටියට අපිට යම් සාර්ථක වැඩපිළිවෙළක් මේ වෙනකොට කරගන්න හැකි වෙලා තියෙනවා. හැබැයි අපි ඉක්මනින්ම විශාල සංවර්ධන සැලැස්මකට රට ඇතුළු කරනවා. අන්න ඒ සැලසුමේ කොටස්කාරයෙක් හැටියට සම්බන්ධ වෙන්න ලැබුණු එක ගැන මට තියෙන්නේ සතුටක්.

ඔය සැලසුමේම කොටසක් වෙන්න ඇතිනේ 20 වැනි සංශෝධනයත්. ඇයි එවැනි සංශෝධනයක් ගේන්න තීරණේ කළේ?

20 වැනි සංශෝධනය ඇත්තටම ගේන්න හේතුව තමයි 19 වැනි සංශෝධනය හරහා රටේ ඇතිවුණ අරාජිකත්වය නැති කරන එක. කොහොම වුණත් අපි අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ජනතාවට පොරොන්දු වෙලා ඉන්නේ. ඊට අදාළව කමිටුවක් සකස් කරලා මේ වෙනකොට වැඩකටයුතු සිදුකරගෙන යනවා. ඇත්තටම 20 හරහා අපිට වුවමනා කරලා තියෙන්නේ අරාජිකත්වයෙන් කඩාවැටුණු රට නැවත සංවර්ධන මාවතකට යොමු කරන්න.

හැබැයි විස්සට විපක්ෂයේ විශාල විරෝධතාවයක් තියෙනවා නේද?

ඔය විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් ඉතාම සුළු පිරිසක් විසින් ගෙනයන මාධ්‍ය මෙහෙයුමක ප්‍රතිඵලයක් තමයි ඔය විරෝධතාවයක් විදිහට පෙන්වන්නේ. ඔය 19 වැනි සංශෝධනයේ තියෙන ප්‍රතිඵල මේ දවස්වල විභාග වන පාස්කු ප්‍රහාර සම්බන්ධ කොමිසම තුළ දිගඇරෙනවා. සමහර තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපති සහ අගමැති ඇතැම් පක්ෂවල විරෝධතාවයන් ඇතිවෙයි කියලා මඟහැරපු අවස්ථා කියවෙනවා. පොලිස්පතිවරයම තමයි ඒවා කියන්නේ. ඇත්තටම මීට කලින් මේ රටේ ජනාධිපතිවරයාට බලතල ලැබිලා තිබ්බේ. නමුත් 19න් ඒ සියල්ල අඩු වුණා. ඒ නිසා අග්‍රාමාත්‍යවරයාට බලතල පැවරුණා. අපි දන්නවා මේ රටේ අවස්ථා දෙකකදී හැරෙන්න පක්ෂයක් බහුතරයක් ලබාගත්ත අවස්ථා නෑ. ඒ නිසා බොහෝවෙලාවට ආණ්ඩුවට සිද්ධ වුණා සුළු පක්ෂවලින් සහාය ලබාගන්න.

දැන් ඔබ කියන්නේ ඔය සුළු පක්ෂ නිසා රට කරගෙන යන්න බාධා වුණා කියලද?

අපේ රටේ සුළු පක්ෂ කියලා තියෙන්නේ ආගම්වාදී සහ ජාතිවාදී පක්ෂ. ඒවා තාම ගෝත්‍රවාදී පක්ෂ. එවැනි පක්ෂවලින් සහය ලබාගත්තම අග්‍රාමාත්‍යවරයාට අනිවාර්යයෙන්ම ඔවුන් කියන දේවල් අහන්න වෙනවා. පහුගිය කාලේ සිද්ධ වුණෙත් ඒක. ඒ නිසා ජනාධිපතිවරයාටවත් ඒවට විරුද්ධ වෙන්න බෑ. අවසානේ වෙන්නේ අර ගෝත්‍රවාදී පක්ෂවලට අනුව අග්‍රාමාත්‍යවරයාට නතු වෙන එක.

ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයාගෙන් බලය ලබාගන්නද වුවමනාව?

ඇත්තටම විස්සෙන් අපි අලුතෙන් යෝජනා ඉදිරිපත් කරලා නෑ. අපි කරලා තියෙන්නේ 19ට කලින් තිබුණ තත්ත්වය ඇති කරලා ඒ අතීතෙට ගෙන යාම

හැබැයි විපක්ෂයෙන් කියනවා ඔබලා මේ 19 තිබ්බ සාධනීය දේවල් ඉවත් කරලා විශේෂයෙන් ඔය කොමිෂන් සභාව වැනි දේවල් ගලවලා දාලා රට නීතියක් නැති තැනකට තල්ලු කරලා දාන්න හදනවා කියලා?

මේ රට අරාජික වීමේ ප්‍රධාන වගකීමක් මේ කොමිෂන් සභා ගන්න ඕනේ. දැන් බලන්න පොලිස්පතිවරයම කියලා තියෙනවා රටේ පොලිස් කොමිසමේ තත්ත්වය ගැන. ඔහු කියනවා ඒ කොමිසම දේශපාලන බලපෑම් මතයි කටයුතු කරන්නේ කියලා. මේ දේවල් කියන්නේ අපි නෙවෙයි. අනිත් කාරණය තමයි මැතිවරණ කොමිසම. මේ රටේ විහිළුවක් වුණා මැතිවරණ කොමිසම. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවස්ථා 3කදී තමන්ගේ අභිමතය පරිදි කොමිසමේ තීරණයට එරෙහිව අධිකරණයට ගියා. තව කොමසාරිස් කෙනෙක් කියනවා ප්‍රසිද්ධියේ අහවල් පක්ෂයට ඡන්දෙ දෙන්න එපා කියලා.

ඔබ ඔය කියන කාරණය ඇතුළේ තියෙන්නේ කොමිෂන් සභාවල ප්‍රශ්නයක් නෙවෙයිනේ. පුද්ගලයන්ගේ ප්‍රශ්නයක්නේ?

ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නේ. මේ කොමිෂන් සභාවලට පුද්ගලයන් පත්කළේ කවුද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන්. ඒ අය තමන්ට හිතවාදී එන්.ජී.ඕ. කීපදෙනෙක්ව දාලා ඔවුන් හරහා තමන්ගේ හිතවාදීන් පත්කරගන්නවා. හැබැයි ඔවුන් පත් කළාට ඒ පත්වෙන අයගෙන් සිදුවන වැරදිවලට වගකියන්න කවුරුත් නැහැ. පූජිත ජයසුන්දර පොලිස්පති වුණේ තව ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු කපලා දාලා. හැබැයි එහෙම එන්න හේතුව ඔය ව්‍යවස්ථා සභාව තවම කියලා නෑ. අන්තිමට පොලිස්පති ලෝකෙ පළවෙනි වතාවට තනතුරේදිම හිරේ යනවා. හැබැයි අද වෙනකල් මේ සිදුවුණ දේට කවුද වචනයක් කතා කළේ? වගකීමක් බාරගත්තේ? ජනතාවට ඇඟිල්ල දික් කරන්න කෙනෙක් නෑ. නමුත් වගකියන තනි කෙනෙක් පත්වුණොත් අපිට පුළුවන් ඒ අයට ඇඟිල්ල දික් කරන්න.

ඔබ කියන්නේ මේ කොමිෂන් සභා දේශපාලනීකරණය වෙනවා කියලද මේ හරහා?

වෙනවා නෙවෙයි වෙලා තියෙන්නේ. මෙතනින් වෙන්නේ රටට හානි කරන පුද්ගලයෝ තමයි මෙතනින් යන්නේ ඒ තැන්වලට. හැබැයි ඒ හානියට කවුරුත් වගකියන්නේ නෑ..

ඔබ ඔහොම කිව්වට ජනාධිපතිවරයා යටතට ඒ තනතුරු පත්කිරීම හරහා පක්ෂයකට හිතවාදී නිලධාරීන් පමණක් ඒ තනතුරු දැරීම සිදුවන බව විපක්ෂයේ චෝදනා තියෙනවා. 

මෙහෙමනේ. ජනතාව ඒ ආණ්ඩුව පත්කරගන්නේ ජනතාවට වැඩ කරගන්න. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒක. හැබැයි ඔබ කියන විදිහට ජනතාවට හිතවාදී නැති රටට හිතවාදී නැති පුද්ගලයකු පත් කළාම ඒක රටට සුබවාදී වෙන්නේ කොහොමද? ඒ පත්කරපු අය පවා ඒ පත්කිරීම් සම්බන්ධව වගකීමක් නොදරනකොට ජනතාවට යහපතක් වෙනවද? උදාහරණයක් හැටියට මේ රටේ පොලිස්පතිවරයා පසුගිය කාලේ සිදුකරපු හානිය ඔබට මට විතරක් නෙවෙයි අනාගතයේ කිසිම කෙනකුට මකන්න බෑ. ඔහු නිසා මේ රටේ ආර්ථිකයට පවා හානි සිදුවුණේ. අන්තිමට කවුද ඒ ගැන වගකීම ගන්නේ?

මේ අස්සේ විගණන කොමිසමත් අහෝසි කරලා රටේ විනිවිදභාවය නැතිකරන්න හදනවා කියලා චෝදනා තියෙනවා.

විගණන කොමිසම අහෝසි කරන්න විගණන කොමිසමක් කොහෙද තියෙන්නේ? ඔවුන් විගණන කොමිසමක් කියලා ඒක කඩදාසියක සටහන් කරගෙන ඒ කොමිසම කඩදාසි කොළේ විතරක් තියාගෙන හිටියා. ප්‍රායෝගිකව කොහෙද ක්‍රියාත්මක වෙන්නේ? ඒ නිසා ඔය ප්‍රශ්නය අහන්න ඕනේ විපක්ෂයෙන් විගණන කොමිසම කෝ කියලා.

විපක්ෂය කොහොම වෙතත් ආණ්ඩුව ඇතුළෙනම් යම් යම් අයගේ අදහස් තියෙනවා විස්ස සම්බන්ධයෙන් විරුද්ධව. ඒ කියන්නේ ඇතුළේ ප්‍රශ්නද?

අපේ පක්ෂය සන්ධානයක්. ඒ සන්ධානය ඇතුළේ විවිධ පක්ෂ තියෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා මේ සියලු පාර්ශ්ව රටට ආදරේ පාර්ශ්ව. කිසි කෙනෙක් නෑ රට බෙදන්න ඕන කියන අදහසින්. හැබැයි මේ සන්ධාන ඇතුළේ පක්ෂවල විවිධ මත තියෙනවා. ඒ හැම මතයක්ම රටට උපරිම යහපතක් ඉෂ්ට කරන්න මිසක් රටට අගතියක් සිදුකරන්න නෙවෙයි.

ඇත්තද විස්ස සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දුන්න යෝජනා ඒ සඳහා ඇතුළත් කළේ නෑ කියන්නේ?

නෑ එහෙම කිසි ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ යෝජනාවලටත් යටත්ව තමයි නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට සංශෝධනය සම්බන්ධයෙන් දැනුම් දීලා තියෙන්නේ.

ඔව්. නීතිපතිවරයා කියලා තියෙනවා වගන්ති 32ක් සහ පේළි 51ක් ඉවත් කරනවා කියලා. මොනවද ඉවත් කරන්නේ?

නෑ. මම ඔබට මුල ඉඳන්ම කිව්වේ අපි අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. ඊටකලින් මේ රටට පිළිලයක් වුණ 19 වැනි ව්‍යවස්ථාව අයින් කරන එක තමයි අපේ මූලික අරමුණ. එතනදී ඇතුළේ කතිකාවතක් ඇති වෙලා 19 ඇතැම් සාර්ථක සහ පිළිගත හැකි සංශෝධන රුකගන්න තීන්දු කරන්න. ඒ නිසා තමයි ඔය දැනුම්දීම කරන්නේ. ඒක අපි ප්‍රජාතන්ත්‍රවාදීව කරන වැඩක්. එතනදී කාරණා දෙකක් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා තියෙනවා.

ඔබට කියන්න පුළුවන්ද ඒ යෝජනා අවධානය යොමු කළ කාරණා ටික මොනවද කියලා?

එකක් තමයි ඔය ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ආපු මතය. ඒක වසර 5 කරන්න අපි තීරණය කළා. කොහොම වුණත් ඔය කාරණා කිහිපය සම්බන්ධයෙන් තීරණයකට ආවේ යම්කිසි ආකාරයකින් ජනමත විචාරණයකට යන්න වෙයි කියන අදහස නිසා. එවැනි විශාල ක්‍රමවේදයක් අවශ්‍ය නැති නිසා අපි ඔය කාරණා දෙක විතරක් තියන්න තීරණය කළා. කොහොමත් අපි ඉක්මනින්ම අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.

විපක්ෂය කියනවා 19+ කියලා 19 අඩුපාඩු හදාගෙන ඒක ක්‍රියාත්මක කරන්න කියලා. 

19 අඩුපාඩු හදාගෙන වැඩ කරන්න කියන එක ගැන ඇත්තටම ඔවුන් ලැජ්ජා වෙන්න එපැයි. තමන් කරපු සංශෝධනේකට අඩුපාඩු තියනවනම් විපක්ෂය ලැජ්ජා වෙන්න ඕන ඒ අඩුපාඩු අපිට හදාගන්න කියන එක ගැන.

ඇතැම් අයට ප්‍රශ්නයක් තියෙනවා විස්ස සම්මත කරගන්න 2/3ක බහුතරයක් නැතිවෙයි කියලා. ආණ්ඩුවේ සමහර අයගේ සහයත් නොලැබෙයි කියලා. 

එහෙම කිසිම ගැටලුවක් නෑ. අපිට 2/3 බලය ලැබිලා තියෙන්නේ. ඒකෙන් කතානායකවරයා හැටියට අපේ එක ඡන්දයක් ඉවත් වුණා. නමුත් මම විශ්වාස කරන දෙයක් තියෙනවා විපක්ෂයේ අය විපක්ෂයේත් ඉන්නවා යම්කිසි ආකාරයේ රටට වැඩ කරන්න කැමති රටට එරෙහිව දෙයක් සිදු වනවාට අකමැති අය. අන්න ඒ අය විස්සට සහයෝගය දෙයි කියලා මගේ අදහසක් තියෙනවා.

ඔය කියන අලුත් ව්‍යවස්ථාව කොච්චර කාලෙකට පස්සෙද එන්නේ?

ඔය 19 ගෙනාවා වගේ රොටි හදන්නා වගේ ව්‍යවස්ථාව ගේන්නනම් අරමුණක් නෑ. මාස 3න් ගේන්නත් වගේ අදහසකුත් නෑ. අපිට තියෙනවා යම්කිසි අරමුණක් ඉතාම සැලසුම්සහගතව අඩුපාඩුවක් නැතිව ව්‍යවස්ථාවක් සකසන එක. ඒක කාලයක් අරගෙන සකසලා අදාළ කාලයේදී සම්මත කරගන්නවා. හැබැයි ඒ ජනතා පොරොන්දුව අපි අනිවාර්යයෙන් ඉෂ්ට කරනවා. විශේෂයෙන් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි දේශපාලන අස්ථාවරභාවයක් ඇති නොවන මැතිවරණයෙන් යම් දූෂිත තත්ත්වයන් ඇති නොවන ව්‍යවස්ථාවක් ගේන්න තමයි අපේ අදහස.

පොහොට්ටු පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයත් අතර යම් විරසකයක් තියෙන බව පේනවා. ඇතැම් අය ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කරනවා. අද දැක්කා දයාසිරි ජයසේකර මහත්මයා කියලා තියෙනවා ඔහු කලකිරීමෙන් ඉන්නේ කියලා. මොකද්ද මේ ප්‍රශ්නේ?

කිසිම ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක අපිට කිසිම ගැටලුවකුත් නෑ. ඒ අය ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලේ වගේම රාජ්‍ය අමාත්‍ය ධුරවලත් වගකීම් දරනවා. ඔබ ඔය කියන ආකාරයේ දෙයක් වෙනවනම් ඒ පක්ෂයේ තියෙන ගැටලුවක් නෙවෙයි ඇතැම් අයගේ පෞද්ගලික ගැටලු. ඒවා පක්ෂයේ ප්‍රශ්න නෙවෙයි. කොහොම වුණත් ඔබ කියන ආකාරයේ ගැටුමක් මම තාම දැකලා නෑ.

අවසාන වශයෙන් ඔබගෙන් අහන්නේ ගොඩදෙනකුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ද්විත්ව පුරවැසිභාවය වෙනුවෙන් ඔබලා ගේන්න යන ලිහිල් ප්‍රතිපත්තිය ගැන. මේක අතීතයේ සිද්ධි අනුමාන කරලා බොහෝ අය මේ දේ කරන්න එපා කියලා කියනවා විපක්ෂය.

මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්නද? මට කියනවද අතීතයේ වුණාට කියනවා වගේ සිද්ධියක්?

ඔවුන් කියන්නේ මහ බැංකු සිද්ධිය වගේ සිද්ධි එයට උදාහරණ හැටියට.

නැවතත් මම අහනවා ඒක ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ ප්‍රශ්නයක්ද?

නෑ. ඔහු විදේශ රටක පුද්ගලයෙක්. නමුත් ඔහු පැනලා ගියා. ඉතින් එවැනි අවදානමක් එන්න බැරිද?

මම ඔබට කියනවා මෙහෙම. ද්විත්ව පුරවැසියන් නිසා මේ රටට සිදුවුණ යහපත් ප්‍රතිඵල අතිවිශාලයි. මම දන්න තරමින් ද්විත්ව පුරවැසියන් නිසා අයහපත් ප්‍රතිඵල ඇතිවෙලා නෑ. විශේෂයෙන් යුද්ධ කාලයේදී අපේ රටේ හිටිය බුද්ධිමත් අය මේ රට අතහැරලා දාලා ගියා. 88 – 89 කාලයේ ගිය අයත් ඉන්නවා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා යුද්ධය ජයග්‍රහණය කළාට පස්සේ ප්‍රසිද්ධියේ හැමෝටම ආරාධනා කළා නැවත රටට එන්න කියලා. ඒ වෙනකොට ඒ අය ඒ රටවල වගකීම් සහගත රැකියා කරමින් හිටියේ පුරවැසිභාවයත් සමඟ. ඒ අය කොයිවෙලාවකවත් ලෑස්ති නෑ ඒ දේවල් දාලා එන්න. ඉතින් අපිට තියෙන ලොකුම අරමුණ තමයි ඒ අය නැවත ලංකාවට ගෙන්වාගැනීම. අනික ඔය 19 ව්‍යවස්ථා සංශෝධනයට ද්විත්ව පුරවැසිභාව ප්‍රශ්නය ගෙනාවෙම ගෝඨාභය රාජපක්ෂ මහත්මයත් බැසිල් රාජපක්ෂ මහත්මයත් ඉලක්ක කරගෙන. ඒ නිසා ද්විත්ව පුරවැසියන් නිසා රටට සිදුවුණ හානියක් නෑ හොඳක් මිසක්. අනෙක මතක තියාගන්න අමෙරිකාවේ පවා ජනාධිපති වෙන්න ඒ රටේ උපන්න අය වියයුතුයි කියලා තිබුණට ද්විත්ව පුරවැසියන්ට අවස්ථාවක් නෑ කියලා කොයි වෙලාවකවත් සඳහන් කරලා නෑ. ඒ නිසා ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය කරා විවෘතව යනකොට ලංකාව දේශපාලන අරමුණු වෙනුවෙන් පුද්ගල නිදහස සීමා කිරීම ඇත්තටම ප්‍රශ්නයක්.

 ගයාන් ගාල්ලගේ

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00