2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

18ක් උසාවි ගිය 20

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

විස්ස ගැන මේ දවස්වල බොහොමයක් මත පළවෙමින් තිබේ. සිකුරාදා (25) වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විවිධ පාර්ශ්ව විසින් ගොනු කරන ලද පෙත්සම් 18ක් පැවැති බව දැනගන්නට ලැබිණි. සමගි ජනබලවේගය, ටී.එන්.ඒ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පක්ෂ සහ සංවිධාන ගණනාවක් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. මේ පෙත්සම් පිළිබඳ විභාග ලබන අඟහරුවාදා (29) සිට ඇරඹීමට නියම වී ඇත. ඒ සඳහා විනිශ්චයකාරවරුන් පස්දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් පත් කරනු ලැබ තිබේ. අග්‍ර විනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයන් වන්නේ බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබ_, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුය.

පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව කුමක් වනු ඇත්දැයි දැනගැනීමට තව සති දෙක තුනක් යනු ඇත. මේ පෙත්සම්වලින් අවසානයේ කර ඇති ඉල්ලීම වන්නේ 20 වැනි සංශෝධනයේ ඇතැම් වගන්ති මූලික මිනිස් අයිතිවාසිකම් සමඟ ගැටීමක් ඇතිවන බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් සහ ජනමත විචාරණයකින් එය සම්මත කිරීමට පියවර ගන්නැයි නියෝග කරන ලෙසටය. පෙත්සම් විභාග කිරීමෙන් පසුව තීන්දුව කථානායකවරයාට දන්වා යවන අතර පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ එම තීන්දුව කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇත. එහිදී තීන්දුව කුමක් වුවත් පාර්ලිමේන්තුව උණුසුම් වීම නම් බලාපොරොත්තු විය යුතුය.

සංශෝධනයට ඇතුළත් වන වගන්ති පිළිබඳව පූර්ව දැනීමක් නොතිබීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ කනස්සල්ලට හේතු වී තිබේ. එහි තිබූ ද්විත්ව පුරවැසිභාවය මන්ත්‍රීධූරයක් දැරීමට නුසුදුස්සකු බවට පත් කරවන වගන්තිය ඉවත් කිරීම සමහර මැති ඇමැතිවරුන්ගේ අකැමැත්තට හේතු වී තිබෙන බව පැහැදිලිය. මේ වැඩිදෙනකු ඇතැම් අවස්ථාවලදී ප්‍රකාශ කර ඇත්තේ එම වගන්තිය ඉවත් කිරීම දැනටම ද්විත්ව පුරවැසිකම අතැතිව යුරෝපයේ සහ අමෙරිකාව ඇතුළු බටහිර රටවල සිටින ශ්‍රී ලංකා විරෝධී ඩයස්පෝරාවේ ඇතැමුන්ද පාර්ලිමේන්තුවට පිවිසීමට ප්‍රයෝජනයට ගනු ඇති බවය. මෙවැනි පුද්ගලයන් අතර මැතිවරණයකදී විසිකිරීමට ඕනෑ තරම් ඩොලර්, පවුම් තිබෙන බවද රහසක් නොවේ. මහමැතිවරණයට පමණක් නොව වෙනත් ඕනෑම මැතිවරණයකදී වුවද මෙම තර්ජනය ඇතිවිය හැකි බව පැහැදිලිය. එවැනි ඩයස්පෝරාකාරයන් එක්කෙනකු දෙදෙනකු වුවද පාර්ලිමේන්තුවට පිවිසීම බරපතළ ගැටලුවක් වීමට ඉඩ තිබේ.

ද්විත්ව පුරවැසිභාවය තිබෙන අයට ව්‍යවස්ථාදායකට ඇතුළුවීම ලොවේ බොහෝ රටවල් විසින් වළක්වනු ලැබ තිබේ. ඒවා ඍජුවම හෝ වක්‍රාකාරව හෝ නීති පද්ධතියට ඇතුළු කරනු ලැබ තිබේ. අමෙරිකාවේ යුරෝපයේ පමණක් නොව ඕස්ට්‍රේලියාව වැනි රටවල පවා ද්විත්ව පුරවැසිභාවය තිබෙන අයට එවැනි අවස්ථාවක් ලබාදීමක් පිළිබඳව සිතන්නටත් බැරි බව එක් පක්ෂ නායකයෙක් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ඒ පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයකින් පසුව විය යුතුය. දකුණු ආසියාවේම මෙම අවස්ථාව ලබා දී තිබෙන්නේ ඇෆ්ගනිස්ථානයේ පමණක් වීමද මෙහිදී සැලකිය යුතු කරුණකි. රජයේ ලොකුම තේමා පාඨයක් වන “එක් රටක් එක් නීතියක්” යන සංකල්පය ද මේ සමඟ කෙළින්ම ගැටෙන බව සමහර විචාරකයන් විසින් පෙන්වා දී තිබේ. ඔවුන්ට අනුව මේ සංශෝධනයට “බී.ආර්. සංශෝධනය” යනුවෙන් වුවද භාවිත කළ හැක. එසේම ”රටවල් දෙකක්... එක් නීතියක්” වශයෙන් තේමා පාඨයක් බිහිවනු ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

මේ අතර විශ්‍රාමික විනිශ්චයකාරවරුන්ගේ සංගමය ද අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා වෙත ලිපියක් යවමින් 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ සඳහන් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් තම සංගමයේ “බරපතළ ව්‍යාකූල බව” පළකර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් තෝරාගැනීම සහ පත්කිරීම සම්බන්ධයෙන් ඇතිකර තිබෙන බලතල වෙනස් කිරීම ඔවුන්ගේ ලිපියෙන් දැඩිව අවධාරණය කර තිබේ. රජයක ප්‍රධාන පාර්ශ්ව තුන සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය (ලැටිමර් හවුස්) මූලධර්ම කෙරෙහි අවධානය යොමුකර ඇති සංගමය නීතියේ ආධිපත්‍යය රැකගැනීම සඳහා විනිශ්චයකාරවරුන් පත්කිරීමේ ක්‍රමවේදය මහජනතාවට විනිවිද පෙනෙන ආකාරයට සහ වගවීමක් සහිත ආකාරයට සිදුකිරීම වැදගත් බවද පෙන්වා දී තිබේ. විනිසුරුවරුන් පත්කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව වෙනුවට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට පමණක් බලය ඇති පාර්ලිමේන්තු සභාවක් පත්කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් තමන් අවධානය යොමුකරන බවද සඳහන් කරයි. ඔවුන්ගේ යෝජනාව වී ඇත්තේ ඉහළ අධිකරණයේ විනිසුරු පත්වීම් සඳහා නම් නිර්දේශ කිරීමේ බලය ද සහිතව ව්‍යවස්ථාදායක සභාව තබාගත යුතු බවය.

මේ සම්බන්ධයෙන් අලි සබ්‍රි ඇමැතිවරයාගෙන් තවම පිළිතරක් ලැබුණු බවක් දැනගන්නට නැත. එහෙත් 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත සුළු වෙනස්කම් කිහිපයක් සහිතව පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබේ. (එම වෙනස්කම් පළමු පිටුවේ ප්‍රවෘත්තියක සඳහන් වෙයි.) සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කොට වාර්තාවක් සැපයීමට අග්‍රාමාත්‍ය මහින්ද මහතා විසින් කමිටුවක් පත්කළ අතර මහින්ද මහතාගේ ඉල්ලීම පරිදි එම වාර්තාව පැය 48ක් තුළදී ලබාදෙනු ලැබීය. එම වාර්තාව කැබිනට් රුස්වීමට ඉදිරිපත් කොට සාකච්ඡා කරනු ඇතැයි යනුවෙන් පළවූ වාර්තා සියල්ලම බොරු විය. එම වාර්තාවට කුමක් වීදැයි කිසිවෙක් නොදනිති. එසේම ඇමැතිවරැන් කිහිප දෙනකු විසින් මතුකළ විරෝධතාවලට පිළිතුරැ ලැබුණේද නැත.

කාරක සභා අවස්ථාවේදී අවශ්‍ය වෙනස්කම් සිදුකළ හැකි බවට ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් කළ ප්‍රකාශය අනුව සියලු දෙනා නිහඬව සිටිති. එසේ වුවද පවතින තත්ත්වය යටතේ කාරක සභා අවස්ථාවේදීද 20 වැනි සංශෝධනයට විශාල වෙනස්කම් සිදුකළ නොහැක. එය කෙටුම්පත් කර තිබෙන්නේ එවැනි ලොකු වෙනස්කම් සිදුකළ හැකි ආකාරයට නොවන බවත් සුළු වෙනස්කම් කිහිපයක් සඳහා ඉඩකඩ ඇති බවත් සඳහන්ය. එම වෙනස්කම් මොනවාද යන්නත් ප්‍රකාශයට පත්වී ඇති හෙයින් දැන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ඉතිරිව ඇත්තේ සුළු වෙනස්කම් සහිතව ඉදිරිපත් වන 20 වැනි සංශෝධනය තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත වන සේ කැමැත්ත ප්‍රකාශ කිරීම පමණි. සියලු මැති ඇමැතිවරු ඒක කරයිද?  
ඒ හැර වෙනත් තීන්දුවක් ගැනීමට ඔවුන්ට හැකියාවක් නැත. මේ සියලු දෙනා සිටින්නේ බලවත් ආණ්ඩුවක අලුතින් පත්වූ ශක්තිමත් ජනාධිපතිවරයකු යටතේය. ජනාධිපතිවරයා ඡන්දයෙන් දිනුවා පමණක් නොව ඔහු තවමත් සිටින්නේ ජනප්‍රියත්වයේ ඉහළම තැනකය. ඔහු යන යන තැන ජනතාව විසින් වටකරගනු ලබයි. ගැටලු ඉදිරිපත් වෙයි. ජනාධිපතිවරයා හැකි ආකාරයට ඇතැම් ගැටලුවලට එවෙලේම විසඳුම් දෙයි. මේ නිසා රජයේ සාමාජික මැති ඇමැතිවරුන්ට 20ට අත ඔසවනවා ඇරෙන්න වෙනත් විකල්පයක් නැත.

එහෙත් ආණ්ඩුව තමන්ට නොලැබී යා හැකි ඡන්ද සම්බන්ධයෙන් ද ගණන් බැලීමක් කර ඇති බවට සැකයක් නැත. මෙවැනි සංකීර්ණ සහ වැදගත් ඡන්ද ගණන් ගැනීමකදී කිසිදු අවදානමක් ගැනීමට රජය සූදානම් නොවනු ඇත. බැසිල් මෙවැනි අවස්ථාවලදී අතිශයින් ක්‍රියාකාරීය. කොක්කෙන් බැරි නම් කෙක්කෙන් වැඩේ කර ගැනීමට බැසිල් අති දක්ෂයෙකි. ඔහු එවැනි ක්‍රියාන්විතයක දැන් යෙදී නොසිටිනවා නම් ඒ ගැන පුදුම විය යුතුය.

කෙසේ වුවද ආණ්ඩුව තමන් අපේක්ෂා කළ තරම් පහසුවෙන් 20 ගොඩදා ගත නොහැකි වන බවට උපකල්පනය කර ඇති බවක්ද පෙනී යයි. මන්ත්‍රීවරයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා නඩුව අසන තුරු සිරගෙදර සිට පාර්ලිමේන්තුවට එන පිල්ලෙයාන්ට මඩකලපු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධූරය ලැබෙන්නේ ද ඒ හේතුව නිසා විය යුතුය. එහෙත් එම පත්වීම ආණ්ඩුව ඇතුළේම සහ ආණ්ඩුව ගෙන ඒමට දායක වූ ඇතැම් පිරිස්වලද ප්‍රබල විවේචනයට ලක් විය.
මේ අලකලංචිය අස්සේ රටේ ජීවන වියදම දැඩිව ඉහළ නගිමින් ජනතාව පීඩනයට පත් කරමින් සිටී. එසේම විදේශ විනිමය ඉතිරිකර ගැනීම සඳහා රජය දැඩි ලෙස ආනයනය සීමා කර තිබීම ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ තවදුරටත් අර්බුදයක් ඇතිකරමින් තිබේ. මේ ගැටලුවලට ආණ්ඩුවෙන් පැහැදිලි පිළිතුරු ලැබීම අවශ්‍යය. එසේ නොවුණොත් මේ වන විට ඉතා දුර්වල අඩියකට වැටි සී.සී.කඩ ගොස් ඇති විපක්ෂයට සේලයින් සහ ඔක්සිජන් දෙකම එකවර ලැබීමට අවස්ථාව පෑදෙනු ඇත. 2010 දී ඉතා ජනප්‍රියව බලයට පත්වූ මහින්ද රාජපක්ෂගේ රජයට පසුව සිදුවූ දේ 2020 දී ඉතාම ජනප්‍රියව බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂගේ රජයට ද සිදුවනු ඇතිදැයි දැන්ම කීම නම් අමාරුය.

- ශශීන්ද්‍ර

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00