2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

අගමැති මහින්දට මහ බැංකු අධිපතිගෙන් රුපියල් දාහක්!

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් දහසේ (1000) අලුත් මුදල් නෝට්ටුවක් මුද්‍රණය කර තිබේ. එම මුදල් නෝට්ටුව අග්‍රාමාත්‍ය සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගිය බ්‍රහස්පතින්දා (24) මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් විසින් ප්‍රදානය කරනු ලැබීය. කොළඹ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවෙසේදී මෙම ප්‍රදානය සිදු වූ අතර එහිදී දෙදෙනා අතර සුහද සාකච්ඡාවක් ද සිදු කෙරිණි.

වත්මන් මුදල් අමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නව දහසේ නෝට්ටුව මුද්‍රණය කර තිබේ.

ඡායාරූපයේ දැක්වෙන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට නව මුදල් නෝට්ටුව බාරදුන් අවස්ථාවයි.

පාර්ලිමේන්තුවේ හිස් මන්ත්‍රී ආසන දෙක?

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව කථා නායකවරයාද ඇතුළුව 225කි. එහෙත් වත්මන් පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රීවරුන් 223 දෙනකු පමණි. යූ.එන්.පීයත් රතන හිමිගේ අපේ ජනබල පක්ෂයත් විසින් හිමිකරගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා තවම මන්ත්‍රීවරුන් දෙදෙනකු පත් කර නොමැති වීම හේතුවෙන් එම ආසන දෙකම තවම පුරප්පාඩු වී පවතී. මේ පත්වීම් 20 වැනි සංශෝධනයට ඡන්දය ලබාගන්නා අවස්ථාව වනවිටත් සිදු නොවී තිබුණොත් තුනෙන් දෙක ලබාගැනීම සඳහා රජය ලබාගත යුතු ඡන්ද සංඛ්‍යාව 150 නොවනු ඇත. කථානායකවරයාද තීරක ඡන්දය භාවිත කළ යුතු අවස්ථාවකදී හැර සිය ඡන්දය භාවිත නොකරයි. මන්ත්‍රීන් සංඛ්‍යාව ගණන් කළ යුතු වන්නේ 223ක් සහභාගී කර ගනිමිනි. එසේ වුවහොත් තුනෙන් දෙකක බහුතරය සඳහා අවශ්‍ය වන්නේ මන්ත්‍රීන් 150කගේ ඊට වැඩි දෙනකුගේ කැමැත්ත නොව 148කගේ හෝ ඊට වැඩි දෙනකුගේ කැමැත්තය. එයද 223ම පැමිණ සිටියොත්ය.

අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රීධූරය සම්බන්ධ ගැටලුව මේ වනවිට උසාවිය හමුවට ගොස් තිබේ. එම ආසනය සඳහා අතුරලියේ රතන, ගලගොඩඅත්තේ ඥානසාර සහ එම පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස යන හිමිවරුද පක්ෂයේ සභාපතිවරයාද තරග වැද සිටීම නිසා මේ අවුල හටගෙන තිබේ. පසුගිය දිනවල පැතිර ගිය ආරංචියකින් කියැවුණේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ ආසනය සඳහා නම් කරනු ඇති බවය. එහෙත් එය පක්ෂයේ කිසිවකු විසින් හෝ සනාථ කර නොතිබිණි.
යූ. එන්. පීයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා වන ජෝන් අමරතුංග මහතාගේ නම යෝජනා වී ඇතැයිද ඉදිරි සති දෙක තුළදී ඔහු මන්ත්‍රී ධූරයේ දිව්රුම් දෙනු ඇතැයිද පසුගිය බදාදා (23) වනවිට මාධ්‍යවල පළවී තිබිණි. එහෙත් ඊට පසුදිනම (24) යූ.එන්.පීයේ මාධ්‍ය ඒකකය මගින් නිකුත් කර තිබූ නිවේදනයකින් එම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කර තිබිණි. එම ප්‍රවෘත්තිය නිවැරදි නොවන බවත් යූ. එන්.පීයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කිසිවකු හෝ නම් කිරීම සම්බන්ධයෙන් පක්ෂය විසින් කිසිම තීන්දුවක් ගෙන නැති බවත් එම නිවේදනයේ දැක්විණි.

ජෝන් අමරතුංග මහතා පසුගිය මහ මැතිවරණයට තරග කළේ නැත. යූ.එන්.පීයේ ජාතික ලැයිස්තුවේ අංක 1ට සඳහන් වන්නේ ජෝන් අමරතුංග මහතාගේ නමයි. මෙම මන්ත්‍රී ධූරය නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා හෝ භාර නොගනු ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

උතුරේ පිළිරූ උණුසුම

දකුණේ දේශපාලනය 20න් උණුසුම් වෙද්දී උතුරේ දේශපාලනය ද වරින් වර උණුසුම් වෙයි. එහෙත් වෙනත් කාරණා හේතුවෙනි.

ඉකුත් සතියේ සිකුරාදා (18) උතුරේ මන්ත්‍රීවරුන් රැස්ව සිටියේ හර්තාලයක් සැලසුම් කිරීම සඳහා තීන්දුවක් ගැනීමටය. කොටි ගරිල්ලා නායකයකු වූ තිලීපන්ගේ පිළිරුවක් ඉදිකිරීම සඳහා අවසර නොලැබුණොත් හර්තාලයක් කිරීම ඔවුන්ගේ තීරණය වී තිබේ.

මේ රැස්වීම සඳහා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ සමස්ත ලංකා දමිළ කොංග්‍රස් පක්ෂය සහභාගී වී සිටියේ නැත.

ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් මාරාන්තික උපවාසයක් ඇරැඹූ තිලීපන් (කොටින් ලබා දී තිබූ නම) එයින් මරණයට පත්විය. මේ උපවාසය නල්ලූර් කන්දසාමි කෝවිල අසළ විශේෂ ඉදිකළ පීඨිකාවක සිදු කෙරිණි.
මන්ත්‍රීන් පිරිස තීරණය කළේ මේ ඉල්ලීම ප්‍රථමයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමටය. එයට ප්‍රතිචාරයක් නොලැබුණොත් හර්තාලයක් දියත් කිරීමට තීරණය කළ බව රුස්වීමට සහභාගී වූ එක් මන්ත්‍රීවරයෙක් පැවසීය.

සුමන්තිරන්ගේ වැසිකිළි අරමුදල

දේශපාලන කරළියේ එක් පොදු කියමනක් වන්නේ දේශපාලනඥයන් ජනතාව ගැන සැබෑවටම සොයාබලන්නේ විපක්ෂයේ සිටින විටදී බවය. මහ මැතිවරණයේදී පසුබෑමකට ලක් වූ ටී.එන්.ඒ.ට මේ දිනවල උදා වී ඇත්තේ එවැනි දසාවක් බව පෙනෙන්නට තිබේ.

ටී.එන්.ඒ. මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් යාපනය නගරසභා බල ප්‍රදේශයේ වසන්තපුරම්හි දිවි ගෙවන පවුල් 86ක් වෙනුවෙන් වැසිකිළි 10ක් ඉදිකිරීමේ වැඩසටහනකට අත ගැසුවේය. මේ ගමේ දැනට ඇත්තේ වැසිකිළි 02ක් පමණි.

සුමන්තිරන් පැවසූ ආකාරයට පවතින මිල ගණන් යටතේ එක් වැසිකිළියක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂයක් වැය වෙයි. මුළු ව්‍යාපෘතියටම ඒ අනුව රුපියල් මිලියනයක් අවශ්‍යය. ඔහු මේ මුදල සොයාගැනීම සඳහා තම ෆේස්බුක් සහ ට්විටර් පිටු උපයෝගී කරගනිමින් සිටී. මේ සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමැති පිරිස සඳහා ඔහු තම බැංකු ගිණුම් විස්තර ද එහි පළ කර තිබිණි.

යාපනයේ වැසියකු මේ පිළිබඳව තම සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පසුගිය කාලයේ මැතිවරණ තරග කිරීම සඳහා ඩයස්පෝරාවෙන් ලැබුණු රුපියල් මිලියන ගණන් මුදලින් කොටසක් මේ ව්‍යාපෘතියට යොදවා ගැනීමට නොහැකි මන්දැයි ප්‍රශ්න කර තිබිණි.

- සන්ඩේ ටයිම්ස්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00