2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

19ට වඩා හොඳ විය යුතු 20

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය දැන් උසාවිය හමුවට ගොස් තිබේ. 20ට අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය මගින් සම්මත කොට පසුගිය 22වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය. එසේ කිරීමෙන් දින 07ක් ඇතුළත එයට එරෙහි උසාවියට යාහැකි වීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් මේ වනවිට පාර්ශ්ව 12ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇත. මෙකී සංශෝධන පනත් කෙටුම්පත නීතියට පටහැනි බවත් එය පාර්ලිමේන්තු විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නියෝග කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති. මේ පෙත්සම්වල වගඋත්තරකරු වශයෙන් නම්කරනු ලැබ සිටින්නේ නීතිපතිවරයාය. 

අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය මගින් ඒකමතිකව සම්මත කරන ලද බව මීට පෙර සඳහන් විය. එහෙත් කැබිනට් ඇමැතිවරුන් කිහිපදෙනකු විසින්ම කෙටුම්පතේ වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් තම විරෝධය පළකර තිබූ බව මාධ්‍යවල පළ වී තිබිණි. අදාළ කැබිනට් තීන්දුව දැනුම්දුන් මාධ්‍ය සාකච්ඡාවේදී පාර්ලිමේන්තු විවාදයේදී එයට සංශෝධන එකතු කළ හැකි බවට ප්‍රකාශ විය. එහෙත් මාධ්‍යවේදීන් විසින් එය ප්‍රශ්න කරනු ලැබීය. කැබිනට් රැස්වීමේදී එය සම්මත කිරීමෙන් පසුව යළිත් එයට සංශෝධන ගෙන එන්නේ කෙසේදැයි ඔවුන් විසින් කළ විමසීමට පැහැදිලි පිළිතුරක් ලැබුණේද නැත. මේ අනුව පෙනී යන්නේ ඇමැතිවරැන් කිහිපදෙනකු නගන විරෝධය නොතකා ආණ්ඩුව 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කරනු ඇති බවය.

19 වැනි සංශෝධනය අහෝසි කරන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළදී මෙන්ම මහමැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදීත් දැඩිව කියා සිටියේය. මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළදී එක් ලොකුම සටන් පාඨයක් වූයේ රටේ ඉදිරි ගමනට 19 වැනි ව්‍යවස්ථාව විශාල බාධාවක් බැවින් එය අහෝසි කොට 20 වැනි සංශෝධනය ගෙන එන බවය. ඉන්පසුව සම්පූර්ණ ව්‍යවස්ථාවම අලුතින් සකස් කරනු ඇති බවද සඳහන් විය. 19 වැනි සංශෝධනයට එරෙහිව ආණ්ඩුව දැඩි මතයක සිටින බැවින් එය අහෝසි කොට 20 සම්මත කර ගැනීම ඔවුන්ගේ මූලික අරමුණු බව පැහැදිලිය. පනත තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීමට රජය සියලු ක්‍රියාමාර්ග ගනු ඇත. ඒ සඳහා බාධාවක් වනවා නම් එසේ වනු ඇත්තේ ඡන්ද පෙත්සම්වලින් ලැබෙන තීන්දුව අනුව පමණි.

20 සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බහුතරය තමන්ට ප්‍රශ්නයක් නොවන බව ආණ්ඩුව දිගටම ප්‍රකාශ කරයි. එහෙත් කැබිනට් මණ්ඩලය ඇතුළේම සිටින ඇමැතිවරැන් කිහිපදෙනකු විසින් දක්වන විරෝධය ආණ්ඩුව මුලින් බලාපොරොත්තු වූ ගැටලුවක් නොවේ. මේ නිසා ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ අවශ්‍ය වෙනස්කම් කාරක සභා අවස්ථාවේදී සිදුකර ගත හැකි බවත් මෙය මේ අවස්ථාවේදී වෙනස් කිරීමට ගියොත් එය සම්මත කර ගැනීම තවත් කල් වනු ඇති බවත්ය. එම ප්‍රකාශයට ඇමැතිවරැන්ගේ එකඟත්වය පළ වී තිබෙන බව පෙනේ.

රජය සූදානම් වන්නේ කාරක සභා අවස්ථාවේදී 20 වැනි සංශෝධනයට වෙනස්කම් හතරක් සිදු කිරීම බවද වාර්තා වෙයි. අපගේ මුල් පිටුවේ ප්‍රවෘත්තියකින් අනාවරණය කෙරෙන පරිදි එම වෙනස්කම් වනු ඇත්තේ රටේ ඒකීයභාවය සඳහා දිවුරුම ලබාදෙන උපලේඛනය ඇතුළු කිරීම, මැතිවරණ කොමිසමේ ඝනපූරණය 2ක් වශයෙන් දැක්වීම, තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් වශයෙන් සැලකීම සහ පාර්ලිමේන්තුවට වසරක් පිරීමෙන් පසුව එය විසුරැවා හැරීම සඳහා ජනාධිපතිවරයාට ලැබෙන බලය වසර 2 ½ක් දක්වා දීර්ඝ කිරීමය. මෙම වෙනස්කම් ආණ්ඩුවේ ඇමැතිවරැන් කිහිපදෙනකු විසින් මතු කළ කරුණු කිහිපයක් පමණි. මේ නිසා පාර්ලිමේන්තුවේදී පනත සම්මත වනතුරු තරමක අවිනිශ්චිත බවක් පවතින බව පිළිගත යුතු වෙයි. මෙහිදී විශේෂයෙන්ම 120කට අධික රාජ්‍ය ආයතන සංඛ්‍යාවක් විගණකාධිපතිගේ විෂය පථයෙන් ඉවත් කිරීම පාර්ලිමේන්තුවෙන් බාහිර පිරිසකගේ ද විරෝධයට හේතු වී තිබෙන බවද සැලකිය යුතුය. එම ආයතන අතර ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, සතොස, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ලිට්‍රෝ ගෑස් වැනි ප්‍රධාන පෙළේ ආයතනද පවතී. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් යනු අති විශාල පාඩුවක් ගෙන දෙන ආයතනයකි. එය “ඔඩිට්” කිරීමෙන් වැළකීම බරපතළ මූල්‍යමය අනතුරකට අත වැනීමක් විය හැකි බව මැදහත් විද්වතුන්ගේද මතයයි. මෙවැනි ජනතාවට සංවේදී කරුණු කෙරෙහි සැලකිලිමත් වීම රජයේ වගකීමක් බව සඳහන් කිරීමට කැමැත්තෙමු.

19 වැනි ව්‍යවස්ථාව හේතුවෙන් රජයට තම රාජ්‍ය පාලන කටයුතු කරගෙන යාම අසීරු බව දිගටම ප්‍රකාශ විය. එය වෙනස් කොට අලුත් සංශෝධනයක් ගෙනඒමට මේ රටේ ජනතාව ජනාධිපතිවරණයේදී 52.3%ක වැඩි ප්‍රතිශතයකින්ද මහමැතිවරණයේදී තුනෙන් දෙකකට ආසන්න මන්ත්‍රීන් සංඛ්‍යාවක් පත්කිරීමෙන්ද අනුග්‍රහය දක්වා තිබේ. මේ නිසා 19 අහෝසි කොට 20 ගෙන එද්දී එය ආණ්ඩුවේ අවශ්‍යතා පමණක් නොව ජනතාවගේ අවශ්‍යතාද සපිරෙන සංශෝධනයක් වීම අවශ්‍ය බව සඳහන් කරමු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00