2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

20න් ඒකාධිපති පාලනයකට පාර කැපෙනවා

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

 - සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

  • මහින්ද මහත්තයගේ කමිටු වාර්තාවත් අහක දැම්මා
  • අපේ සටන අගමැතිගේ බලතල රැකගන්න
  • එජාපය ගැන මට ඇත්තටම දුකයි
  • විපක්ෂ භූමිකාව ආශ්වාදජනකයි
  • 19 අඩුපාඩු තිබෙනවා: ඒවා හදාගන්න කියලයි අපේ ඉල්ලීම
  • මහ බැංකු අධිපති රටින් පැන්නේ අපිත් නොදැනයි
  • සල්ලිවලට පක්ෂ මාරු කරපු අයත් හිටියා
  • 20 අපට නම් වෙස්වලාගත් ආශිර්වාදයක්
  • දිනුවත් පැරදුණත් අපි සටන් කරනවා

අවුරුදු 5ක් ආණ්ඩු කරලා ඇමැතිකම් දරලා දැන් විපක්ෂයේ. කොහොමද විපක්ෂයේ භූමිකාව ඇඟට දැනෙන්නෙ?

ආණ්ඩුවේ භූමිකාව හරිම වෙහෙසකරයි. විපක්ෂයේ භූමිකාව හරිම ආශ්වාදජනකයි. 

කියන්නෙ ආණ්ඩුවට වඩා විපක්ෂයේ ඉන්න එකද ඇඟට සැප?

ඇඟට නම් සැප ඉතින් විපක්ෂය තමයි. ආණ්ඩුව තියෙන කාලෙ අමාත්‍යංශ ගානෙ යන්න වෙනවා. අර මීටින් මේ මීටින් කියනවා. දැන් පාර්ලිමේන්තුවෙ ඉඳගෙන, ගමේ ඉඳගෙන ජනතාවත් එක්ක වැඩ කරනවා. 

මං මේ ඇහුවමයි ආණ්ඩුවට වඩා විපක්ෂයේ ඉඳලා සැපෙන් ජනතාවට සේවයක් කරන්න පුළුවන් කියල?

නෑ නෑ. මම කියන්නෙ ජනතාවට වැඩ කරන්න නෙමෙයි. ජනතාවත් එක්ක ඉන්න පුළුවන් කියලා. 

ඔබලා බලයෙ ඉන්නකොට අපි දැක්කා ඒකාබද්ධ විපක්ෂයේ භූමිකාව වෙනස්. දැන් ඔවුන් බලයේ ඉන්නකොට ඔබ හිතන්නෙ ඔබ නියෝජනය කරන විපක්ෂයේ භූමිකාව මොනවගේ වෙන්න ඕනෙ කියලද?

අපි ආණ්ඩුව කරන කාලෙ විපක්ෂය ඇත්තටම හැසිරුණේ ඉතාමත් අශෝභන විදියට. ගහගෙන, මිරිස්කුඩු ඉහගෙන, කතානායක පුටුවට වතුර හලලා. ඔබට මතකනෙ දවස් 51 ආණ්ඩුව තිබ්බ කාලෙ වෙච්ච දේවල්. හැබැයි අපි ඉන්න කාලෙ විපක්ෂයට රිසි සේ වැඩ කටයුතු කරන්න ඉඩ සහ නිදහස ලබා දුන්නා. 

හරි. වර්තමාන විපක්ෂයට තියෙන අභියෝග මොනවද?

අද විපක්ෂයට තියෙන ලොකුම අභියෝගය තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආණ්ඩුව විසින් ඩෝසර් කරනකොට ඒ වෙනුවෙන් සටන් කරන එක. ඒක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. ජනතා පරමාධිපත්‍යය බලයට පයින් ගැසීමක්. මොකද අපි අමතක කරන්න නරකයි පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 පෙනී ඉන්නෙ මේ රටේ ජනතාව වෙනුවෙන්. විශේෂයෙන් ජනතාවගේ ඒ පරමාධිපත්‍යය බලය කියන එක විනාශ කරන්න නරකයි. ආණ්ඩුව කරන්න හදන්නෙ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් දිය කරලා දාන්න හදන එක. ඒ හරහා විධායකය කියන තනතුර ඉතාමත් බලවත් ආයතනයක් බවට පත් කරන්න හදන එක. 

දැන් ඔබලා කියනවා 20 නිසා අසීමිත බලයක් ලැබිලා රට අවුලෙන් අවුලට යනවා කියලා. ඒත් ආණ්ඩුව කියන්නෙ 19 වැනි සංශෝධනය හරහා සිදුවුණු විශාල දේශපාලන පරිහානිය නැති කරලා ජනතාවට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න 20 අවශ්‍යයි කියල?

19 යම් යම් සුළු අඩුපාඩුකම් තියෙනවා. ඒ අඩුපාඩු හරිගස්සලා ඒක සාර්ථක කරන්න කියල තමයි අපි ඉල්ලන්නෙ.

දැන් ඔබලා කියන ඔය 19+ යෝජනාව මොකක්ද?

අපි කියන්නෙ 20 කියලා විධායකය ඒකාධිපති කරන ක්‍රමයක් නෙමේ. අපි කියන්නෙ 19 අඩුපාඩුකම් හදලා හොඳ ශක්තිමත් විදියට ව්‍යවස්ථාව සකසන්න කියලා. නමුත් දැන් මේ කරන්න හදන්නෙ 19 අහෝසි කරලා 18 ගේන්න යන වැඩක්. 

ඒ කියන්නෙ 20 ගැන පොඩි හෝ පැහැදීමක් නැද්ද? 

20 ගැන හිත යට පොඩි සතුටක් අපිට තියෙනවා. ඒ තමයි 20 සිදුවන අතපසුවීම අපිට නැවත ආණ්ඩුවක් පිහිටුවන්න යම් වෙස්වලා ගත්ත ආශිර්වාදයක් වෙයි කියල හිතනවා. හිතන්න 18 ගෙනාපු වෙලාවේ ඒ ඇතිවෙච්ච ජනතා විරෝධය නිසා තමයි 2015 අපි ආණ්ඩුවක් පිහිටෙව්වේ. මොකද ජනතාවට එදා ඒ අත්තනෝමතික පාලන ක්‍රමය තිත්ත වෙලා තිබ්බෙ. ඒ නිසා මේ 20 කියන්නෙ අපිට නම් වෙස්වලා ගත්ත ආශිර්වාදයක්. 

ඔබලා කොච්චර සතුටෙන් හිටියත් මේ ආණ්ඩුව අවස්ථාව දෙකකදි ලක්ෂ 69කුත් ලක්ෂ 68කුත් වශයෙන් ජනතා ප්‍රසාදය අරගෙනයි බලයට ඇවිත් තියෙන්නෙ. එහෙම නම් හිතනවද ජනතාව ආණ්ඩුව කරන දේවල්වලට විරුද්ධ වෙයි කියල?

නෑනෙ. ආණ්ඩුව හැදුවෙ හරි ජනාධිපති බලයට ආවේ හරි ඔය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පෙන්නලා නෙමෙයි. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කිව්වට ඒ ව්‍යවස්ථාවෙ අන්තර්ගතය ප්‍රසිද්ධ කළේ නෑ. අනික අපේ රටේ ජනතාව ව්‍යවස්ථාව බලලා නෙමේ ඡන්දෙ දෙන්නෙ. වැඩේ වැරදුණාට පස්සෙ තමයි ව්‍යවස්ථාව බලන්නෙ. 

හරි. ඔය කියන 20 ආවොත් රටට වෙන හානිය මොකක්ද?

තනි පුද්ගලයකු වටා අසීමිත බලයක් ගොඩනැගීම හොඳ දෙයක් නෙමෙයි කියලා රටම දන්න දෙයක්. ඒ නිසයි ජනතාව විධායකය අහෝසි කරන අදහසක පවා හිටියෙ. මොකද එහෙම බලය ගියොත් ඒකාධිපති පාලනයක් බිහිවෙනවා රට ඇතුළෙ. සාමාන්‍යයෙන් රටේ මුදල් පරිපාලනය තියෙන්නෙ පාර්ලිමේන්තුවට. නමුත් මේ ව්‍යවස්ථාව හරහා තනි පුද්ගලයෙක් අතට ජනතා මුදල් පාලනය කිරීමේ අයිතිය හම්බවෙනවා. ඒක හොඳ දෙයක් නෙමේ. ඒ මදිවට ද්විත්ව පුරවැසිභාවය අනුමත කරලා තියෙනවා. වෙනත් රටක පුද්ගලයෙක්ට වුණත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පුළුවන්. හොරකම් කරලා රට පැන්නත් ඉතින් නිකම් ඉන්න වෙනවා.

ඔබතුමාලට ඒ ගැන අත්දැකීමකුත් තියෙනවා නේද?

ඔව්. අපි ඒ අත්දැකීම් දන්න නිසා තමයි විරුද්ධ. මහ බැංකුවේ අධිපති රට පැනලා ගියේ අපි කවුරුත් නොදැනුවත්වමයි.

ඔබලා මහින්ද රාජපක්ෂ මහත්මයාට මේ දවස්වල හරි ආදරෙන් කතා කරන්නෙ එතුමාගේ බලය රැකගන්න කියලා. නමුත් එතුමා බලය පරිත්‍යාග කරන්න තීරණය කරලා ඉවරයි?

ඒ ආදරේ මහින්ද රාජපක්ෂ මහත්මයට නෙමෙයි. අපි සටන් කරන්නෙ අග්‍රාමාත්‍යවරයාගේ බලතල රැකගන්න. 

ආණ්ඩුවට මේ වෙනකොට 2/3කට ආසන්න බලයක් තියෙනවා. ඔබලා 20ට විරැද්ධයි. ඔය කොච්චර කෑගැහුවත් ආණ්ඩුව ඕක සම්මත කරනවා නේද? ඕක නවත්තන්න පුළුවන්ද?

අපිට අධිකරණය විශ්වාසයි. ඒ නිසා අපි අධිකරණයට යනවා. මොකද ව්‍යවස්ථා විරෝධී සංශෝධනයක් සඳහා කොහොමත් ඉඩ දෙන්න බැහැ. එහෙම බරපතළ වෙනසක් කරනවා නම් අපි යෝජනා කරන්නෙ ජනමත විචාරණයකට යා යුතුයි කියලා. ඒ වගේම මේ සංශෝධනය අභ්‍යන්තරයේ සිදුවෙන විශාල හානිය සම්බන්ධවත් අපි ජනතාව දැනුවත් කරනවා. අපි සටන දිනන්නත් පුළුවන්. සටන පරදින්නත් පුළුවන්. නමුත් සටන කරනවා. 

ඔය මොන දේ කිව්වත් ආණ්ඩුව නම් කියන්නෙ 20 අනිවාර්යයෙන් සම්මත කරනවාමයි කියල?

මෙහෙමයි. හොඳ කොන්දක් තියෙන අපේ විරුද්ධ පක්ෂෙට නායකත්වයක් දෙන්න පුළුවන් පාර්ලිමේන්තුව ඇතුළෙ. ඒ සඳහා අපි කටයුතු කරනවා. අපි එක දෙයක් කියනවා. ඔය 18 ගේන්න මැදිහත් වෙච්ච අයට 20 ගේන්න සටන් කළ අයට අනාගතයේ ඒ දේවල්වලට වගකියන්න වෙයි කියලා. ජනතාව මේවට උත්තර දෙයි. 

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දිව්රැම් දුන්නා. ඉතින් ආණ්ඩුව කැමැති දේවල් ආණ්ඩුව සිදු කරන එක නවත්වන්න බෑ කියල දැන් හිතෙන්නෙ නැද්ද?

ඒක ඇත්ත. ඒවා සිදුකෙරෙනවා. 

ආණ්ඩුවෙන් කියනවා විපක්ෂයේ කණ්ඩායමක් ඉන්නවා කියලා 20ට අත උස්සන. එහෙම කට්ටියක් ඉන්නවද?

මම හිතන්නෙ නැහැ. හැබැයි මම සහතික කරන්නෙ නෑ එහෙම නැහැයි කියලා. මොකද මහින්ද රාජපක්ෂ මහත්මයගෙ කාලෙදි සල්ලිවලට පක්ෂ මාරැ කරපු අය හිටියා. ඒත් අපි බලමු මොකද වෙන්නෙ කියලා. 

ඔබලට තියෙන අරමුණු වෙනුවෙන් ආණ්ඩුවේ ඔය ව්‍යවස්ථා විරෝධී අදහස් ප්‍රකාශ කරන අය එකතු කරගෙන වැඩ කටයුතු කරන්න අදහසක් නැද්ද?

අපි අපේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. අපිට කාත් එක්කවත් පෞද්ගලිකව සාකච්ඡා කරන්න වුවමනාවක් නැහැ. ඕනම කෙනකුට ඒ සටන වෙනුවෙන් එකතු වෙන්න පුළුවන්. 

ඔබලට හිතෙන්නෙ නැද්ද ඔබේ ආණ්ඩුව කාලෙදි මේ දේවල් හරියට කර ගත්තා නම් අද මේ වගේ විඳවන්න වෙන්නෙ නෑ කියල?

යම් යම් අඩුපාඩුකම් තිබ්බා කියලා අපි පිළිගන්නවා. නමුත් ඔය කියන දේවල් ප්‍රායෝගිකව කරගෙන යනකොට තමයි පැහැදිලිව පේන්නෙ. ඉතින් ඒ අඩුපාඩු දැක්කාම තමයි ඕන දෙයක් නිවැරදි කරගෙන ඉදිරියට යන්න පුළුවන්.

ඉතින් ඒ වැරැද්ද නිවැරදි කරන්න නෙමෙයිද මේ ආණ්ඩුව හදන්නෙ?

නෑනෙ. මේ හදන්නෙ එක්තරා පවුලක් වසර ගණනාවක් බලයෙ ඉන්න හදන වැඩක්. ඔය 19ට අත ඉස්සුව අය 20ටත් අත උස්සනකොට අපිට ලැජ්ජාවක් එනවා කොහොමද අප්පා මෙහෙම කරන්නෙ කියලා. 

ඔබලට හිතෙන්නෙ නැද්ද මේ ප්‍රශ්නය සාකච්ඡා කරල විසඳගන්න පුළුවන් කියලා ආණ්ඩුවත් එක්ක?

මෙහෙමනෙ. අපි 19 ගේනකොට සාකච්ඡා වට 6ක් විපක්ෂයත් එක්ක තිබ්බා. එතකොට තමයි සමහර වැරදි දේවල් නිවැරදි කරගන්න පුළුවන් වුණේ. නමුත් අද අඩුම තරමෙ එක සාකච්ඡාවක්වත් නෑ. 

විපක්ෂය හැටියට ඔබලට ආරාධනා කළේ නැද්ද ආණ්ඩුව?

කොහෙද? මොන ආරාධනාද? කිසිම කතාවක් නැතුව තමයි ඔය ව්‍යවස්ථාව ගේන්නෙ. අඩුම තරමෙ කැබිනට් මණ්ඩලයේ කට්ටියත් සම්මත කරන දවසෙ උදේ තමයි දැක්කෙ ඔය කෙටුම්පත. ඉතින් කොහෙද අපිට දෙන්නෙ. 

ඔබලට පුළුවන්නෙ සාකච්ඡාවක් ඉල්ලන්න?

සාකච්ඡා කොහෙද අපිට. මහින්ද මහත්තයගෙ කමිටුව දුන්න වාර්තාවත් අහක දාලා තියෙද්දි. 

එක්සත් ජාතික පක්ෂය අලුත් මුහුණුවරකින් අලුත් ගමනක් ආරම්භ කරන්න යනවා කියලා සඳහන් වෙනවා. ඔබට මොකද හිතෙන්නෙ?

ඇත්තටම කනගාටුයි. මට එක්සත් ජාතික පක්ෂය ගැන තියෙන්නෙ ඇත්තටම දුකක්. 

නායකතුමත් ඉවත් වෙනවා කියලා තියෙනවා. අලුත් නියෝජ්‍ය නායකයෙක් පත්වුණා. ඉතින් හිතෙන්නෙ නැද්ද පක්ෂය හරියයි කියල?

එහෙම දේවල් ඉතිහාසෙත් වුණා. අවසානයෙ නායකතුමා ඉවත් වෙන්නෙ නැහැ. ඕක ඉතින් හැමදාම වෙන නිසා ඒ ගැන අමුතු හැඟීමකුත් නෑ. 

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහත්තයත් මේ ගැන සඳහන් කරලා තියෙනවා. ඔබලාට අදහසක් නැද්ද දැන් එකතුවෙලා ගමනක් යන්න?

අපි මන්ත්‍රී කණ්ඩායම රැස්වුණු වෙලාවෙ තීන්දුවක් ගත්තා එක්සත් ජාතික පක්ෂය සමඟ යම් එකතුවීමකට හරි සන්ධානගත වීමට හරි යනවා නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලුම තීන්දු තීරණ නායකතුමාට බාරදෙන්න. එතුමා හිතලා ගන්න නිවැරදි තීන්දුවකට අපි එකඟයි. 

ඇයි එජාප මන්ත්‍රී කණ්ඩායමට හයියක් නැද්ද තීන්දුවක් ගන්න?

නෑ නෑ. අපි කියන්නෙ එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීම සම්බන්ධයෙන් ගත යුතු තීරණ.

ඔබලා එජාපය සමඟ එකතු වෙනවා නම් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ?

ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නෙ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහත්මයාට ලබාදෙයි කියලා. ඒක දුන්නොත් යම්කිසි ආකාරයකින් ටිකක් හිතලා බලන්න පුළුවන්. ඒත් දැන් ගොඩක් දෙනෙක් සමගි ජනබලවේගයත් එක්ක ගොඩනැගිලා තියෙනවා.

ඒ කියන්නෙ සමගි ජනබලවේගයද ඔබලාගෙ අනාගත පක්ෂයත්?

ඔව්. අපේ පක්ෂය දැන් සමගි ජනබලවේගය. අපි මේක දැන් බිම් මට්ටමේ ඉඳන් ගොඩනගාගෙන යන්නෙ. ඒකට විශාල ජනතා ප්‍රසාදයක් වගේම පාක්ෂිකයන් රැසක් ඉන්නවා. ඒ නිසා අපි විධිමත්ව පක්ෂය ගොඩනගමින් ඉන්නවා. 

ඒ කියන්නෙ සදාකාලිකවම ඉදිරි මැතිවරණ සඳහා තරග කරන්නෙ දුරකතනයේ සමගි ජනබලවේගයෙන්ද?

ඒක කියන්න දන්නෙ නැහැ. අනාගතය තීන්දු කරයි මොකක්ද අපේ පක්ෂය සහ අපේ ගමන කියලා. 

 ගයාන් ගාල්ලගේ