2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

පරිසර බහිරවයන් කොටුකිරීම

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

ආනවිලුන්දාව අභයභූමිය ඉස්සන් කොටු සකස් කිරීම සඳහා ඩෝසර් කිරීම වත්මන් රජය බලයට පත්වූ වහාම රට කැළඹූ ප්‍රවෘත්තියක් බවට පත්විය. මුලින්ම තිබුණේ එම වැරැද්දට වගකිවයුතු පුද්ගලයකු සොයාගත නොහැකි වාතාවරණයකි. එම භූමියේ මීට පෙරද ඉස්සන් කොටු පැවැති බවට සහ ඒ සඳහා එම භූමි භාගය නීත්‍යානුකූලව පවරා දී ඇති බවට වන කතාද පැතිරුණේය. එහෙත් ඩෝසර් කර ඇත්තේ රැම්සා තෙත් වනාන්තරයක් බවත් එය අභයභූමියක් බවත් ප්‍රචාරය වනවිට භූමි පාළුවන්ගේ රස්නය අඩුවිය. වැරදිකාරයෝ දෙදෙනක්ද අත්අඩංගුවට පත්වූහ. දැන් ඔවුන්ට විරුද්ධව අධිකරණ කටයුතු ඉදිරියට යමින් පවතී.

මෙකී සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ ඇමැති සී. බී. රත්නායක මහතා විසින් පත්කරන ලද පංච පුද්ගල කමිටුවේ වාර්තාව පසුගියදා නිකුත් කරනු ලැබීය. රජය මගින් පත් කරන ලද කමිටුවක වාර්තාවක් මේ තරම් ඉක්මනට නිකුත් කිරීමත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට පළමුවෙන්ම ස්තූති කළ යුත්තේ මේ ආකාරයට පත් කෙරෙන බොහොමයක් කමිටුවලට සිදුවන්නේ කුමක්දැයි රටේ ජනතාව නොදන්නා බැවිනි. ඒ අතින් වනජීවී අමාත්‍යවරයා තම වගකීම ඉටුකර තිබීම ගැන අපි සතුටු වෙමු.

එම වාර්තාවෙන් හෙළි වී ඇත්තේ ඉස්සන් කොටුවක් සෑදීම සඳහා ආනවිලුන්දාව අභයභූමිය හෙළිපෙහෙළි කර ඇත්තේ රාජ්‍ය ඇමැතිවරයකුගේ සහෝදරයකුගේ ඉල්ලීම අනුව බවයි. ඒ බව වාර්තාවේ පැහැදිලිව නම් ගම් සහිතව සඳහන්ය. කෙසේ වුවද අදාළ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා මේ කාරණාව ප්‍රතික්ෂේප කරයි. ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම සොහොයුරා මේ සිද්ධියට සම්බන්ධ නැති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන්නේ නම් තම විරුද්ධත්වයක් නොමැති බවත්ය.

මොනම රජයකවත් ඇමැතිවරයකු තමන්ගේ සොහොයුරකු සොහොයුරියක තබා මෙහෙකරුවකු හෝ කවර හෝ වැරැද්දක් කර ඇතැයි පිළිගන්නේ නැත. එසේ පිළිගත් අවස්ථා අපගේ මෑතකාලීන දේශපාලන ඉතිහාසයේ නම් සඳහන් නොවේ. එහෙත් අභයභූමි ඩෝසර් කිරීම, කැලෑ කැපීම, ජල පෝෂක ප්‍රදේශ මත සුපිරි හෝටල් ඉදිකිරීම වැනි බරපතළ පාරිසරික හානි සිදු කිරීම් පසුපස කිසියම් හෝ බලවත් දේශපාලන හස්තයක තල්ලුවක් තිබිය යුතු බව අපගේ දේශපාලන ඉතිහාසය පෙන්වා දී තිබේ. බලවත් දේශපාලන හස්තයක ආශිර්වාදය නැතුව පණට ආදරේ ඇති කිසිවකුත් අභයභූමි ඩෝසර් කර ඉස්සන් කොටු ඉදිකිරීමක් කරන්න සිතන්නේවත් නැත. අක්කර සිය ගණන් කැලෑ හෙළිපෙහෙළි කරන්නේද නැත. වැව් තාවුලු මත හෝටල් ඉදිකිරීම වැනි ක්‍රියාවලට අත තබන්නේ ද නැත.

මෙහිදී අප පෙන්වා දෙන්නේ රජයක් බලයට පත්වූ වහාම මේ ආකාරයේ පරිසරය වන සහ ක්‍රියාවලට අත තැබීමට යම් පුද්ගලයන් බය නැතුව අත ගසන බවය. බලවත් රජයක් පාලනය අතට ගත් වහාම දුම්මල වරම ගත් යකැදුරන් සේ හැසිරෙන මෙවැනි ගෝලබාලයන් නිසා මඩ ගෑවෙන්නේ පළාතේ දේශපාලන බලවතාගේ ඇඟේය. ඒ බව ඔහු හෝ ඇය නොදන්නවා විය නොහැක. ආණ්ඩුවේ මුල් කාලය තුළ මොනම නීති විරෝධී ක්‍රියාවක් කළත් තමන්ගේ ඇඟට අත තැබීමට කාටවත් නොහැකි බවට ගෝලබාලයන් තුළ පවතින අධි මානසිකත්වය මේ තත්ත්වයට හේතුවයි. තමන් සිටින්නේ නීතියට ඉහළින් බවට ඔවුන් තුළ පිළිගැනීමක්ද තිබේ. පළාතේ පොලීසිය පවා තමන්ගේ ඇඟට අත නොතබන බවට විශ්වාසයක් ද ඔවුන්ට ඇත. මේ නිසා පරිසරය වනසන ක්‍රියා වැළැක්වීමට නම් මුලින්ම කළ යුත්තේ මේ මානසිකත්වය කඩා දැමීමට පියවර ගැනීමය. ඒ සඳහා පියවර ගත යුත්තේ ආණ්ඩුවේ ඉහළ නායකයන් විසිනි. එවැනි දැඩි පියවරක් නොගෙන කමිටු වාර්තාව බැලීමෙන් පමණක් සැනසෙනවානම් ඉදිරියේදීත් මෙවැනි විනාශකාරී පරිසර දූෂණ දැකගැනීම නියතයක් වනු ඇත. ඒ අනුව වන ජීවී හා වන සංරක්ෂණ ඇමැති සී. බී. රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයද අගය කළ යුතුය. ඔහු කියා තිබුණේ කුමන තරාතිරමක සිටියත් වනය, පරිසරය විනාශ කරන කිසිවකුටත් මේ රජයෙන් කිසිම බුරුලක් නොලැබෙන බවය. අප බලා සිටින්නේද වැරදිකරුවන්ට එරෙහිව ඒ කියන ආකාරයටම දැඩිව නීතිය ක්‍රියාත්මක වනතුරු බවද සඳහන් කරමු.

මේ රටේ වනාන්තර ප්‍රමාණය ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින බවට බරපතළ අනතුරු ඇඟවීම කාලයක් තිස්සේ සිදුකෙරෙමින් පවතී. මහා වනාන්තර ඇතුළේ යාන්ත්‍රික කියත් යොදවාගෙන මාස ගණන් වාඩි ගසාගෙන ගස් කපමින් කැලෑ සමතලා කරන ජාවාරම්කාරයෝ රැසක් රටේ වෙති. මොවුන් පසුපස දේශපාලනඥයන් පමණක් නොව වන ජීවියේ මහත්වරුන්ද සිටින බවටත් චෝදනා එල්ල වෙයි. ඒ බව ඇමැතිවරයාද දැනසිටීම වැදගත් යැයි අපි සිතමු. පොළොන්නරුවේ සෝමාවතී රක්ෂිතය ද මෙවැනි වන සංහාරයකට ගොදුරුව ඇතැයි සති කිහිපයකට පෙර අපගේ (දේශය) පළ කළ ලිපියකින්ද හෙළිදරව් කර තිබිණි. වත්මන් රජයෙන් රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ එවැනි සැහැසි ලෙස සිදු කරන පරිසර හානි වළක්වාගෙන වන සම්පත පෝෂණය කරනු දැකීමටය. ආනවිලුන්දාව වැනි (සිල්ලර) වැඩවලින් සිදුවන්නේ එම අරමුණ ආපස්සට හැරවීම බව පෙන්වා දීමට කැමැත්තෙමු.