2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

මෙතන වැරැද්දක් වෙලා තියෙනවා

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

ග‍්‍රාමීය හා ප‍්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත

  • බලපත්‍ර කතාවක් නිසයි අයියා ඕකට ගෑවුණේ
  • පරිසර සංවිධාන ජීවත් වෙන්නේ ඩොලර්වලින්
  • සහෝදරයා කරපු දේකට මට ගහන්නේ මොකටද?
  • ආනවිලුන්දාව පටන්ගන්නේ මගේ ගේ පිටිපස්සෙන්
  • අපි හිඟන්නො නොවේ: ඉඩකඩම් ව්‍යාපාර තිබෙන අය
  • වැව්වල බැහැලා සෙල්ලම් කරපු මට පරිසරය ගැන උගන්වන්න ඕන නෑ

 

නතාව සනත් නිශාන්ත කියන නම ළඟ බියවෙනවා නේද? මොකද එහෙම වෙන්නේ? ඔබේ ජනප්‍රියත්වයට කවුරුහරි බයයිද?

ජනප්‍රිය වෙන්නනම් මම ආසා නැහැ. එහෙම නම ඇහෙන්නේ ගොඩක් දිස්ත්‍රික්කවල පතාක යෝධයෝ කඩාවැටෙද්දී සනත් නිශාන්ත මෙහෙම අල්ලන් ඉන්න හින්දා වෙන්න ඇති. මට සමාජ මාධ්‍යවලින් ගහලා වට්ටන්න ගොඩක් උත්සාහ කළා. මැතිවරණ වෙලාවෙදි ගොඩක් වට කරලා ගැහුවා. එතකොට කට්ටිය හිතුවා සනත් නිශාන්ත මන්ත්‍රීවරයෙක්වත් වෙන්නේ නැතුව පැරදිලා ගෙදර යයි කියලා. එහෙම ගහද්දිත් අපි වැටෙන්නැතුව ඉන්න එක ගැන ප්‍රශ්නයක් ඇති. සමහරවිට හිතන්න ඇති කට්ටිය මැතිවරණ කාලේ හෙල්මට් එකක් නැතුව බයික් පැද්ද නිසා මට ඇමැතිකමක්වත් දෙන්නේ නැතුව ගෝඨාභය මහත්තයා එළවයි කියලා.

අපි ඒ කතා ටිකට පස්සේ එමු. දැන් කියන්න බලන්න ඔච්චර ගහන්නේ කවුද කියලා?

විපක්ෂයෙනුත් ගහනවා. අපේ අයත් ගහනවා.

පොහොට්ටුව කියන්නේ එකමුතු පක්ෂයක්නේ. ඇයි ඔබට ගහන්නේ?

මනාපවලට ගහනවා. දිස්ත්‍රික්කේ කට්ටිය ඒ විතරක් නෙමේ මේක සන්ධානයක්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගහන්න හේතුවක් නැහැ. විමල්ලගේ, ගම්මන්පිලලගේ, වාසුලගේ පක්ෂවලින් ගහන්න හේතුවකුත් නැහැනේ?

හරි. ශ්‍රී ලංකා එකෙන් ගහපු හේතුව මම කියන්නම්කො. ඒ තමයි ශ්‍රී ලංකා එක දාලා එළියට යමුයි කියලා යෝජනා කළ පළමු මන්ත්‍රීවරයා මම. ඒ වගේම අලුත් පක්ෂයක් හදමුයි කියලා යෝජනා කළ පළමු මන්ත්‍රීවරයා මම. මේ දේවල් එදා ඒකාබද්ධ විපක්ෂය හැටියට මහින්ද මහත්තයාගේ මිරිහානේ නිවසේදී තමයි සාකච්ඡා කළේ. එදා ඔය වැඩේ කඩාකප්පල් කරන්න මෛත්‍රීපාල මහත්තයා නියෝජිතයන් පවා එවලා තිබ්බා. ඒ සියල්ල මැද තමා මම කතා කළේ. ඒ නිසා ශ්‍රී ලංකා එකේ කට්ටිය මට ගහනවා.

ඒ කියන්නේ ශ්‍රී ලංකා එක විතරයි ගහන්නේ?

ඔයා ඉස්සෙල්ලා ඇහුවනේ විමල්ලගෙන් ප්‍රශ්නයක් නැද්ද කියලා. විමල්ලා ආවේ ජේවීපී එකේ ඉඳලා. අද ජේවීපී එක තුනට බහිද්දී විමල්ලා හය දෙනෙක් එක්ක පාර්ලිමේන්තුවේ ඉන්නේ අපේ කණ්ඩායම නිසා. මේක නිකන් නයා පනික්කිය එක්ක ගිහින් නැටුවොත් බිත්තර හම්බ වුණාට නයා තනියම ගිහිල්ලා නටන්න ගියොත් පොලු පාර කන්න වෙනවා වගේ සිද්ධියක්. දැන් මට ගහන එක වුණත් ඉස්සෙල්ලම පාර්ලිමේන්තුව ඇතුළේ ගහන්න ගත්තේ එයාලා. විමල්ට මගෙත් එක්ක ඇරියස් තුනක් තියෙනවා.

මොනවද ඒ ඇරියස් තුන?

පළාත් පාලන මැතිවරණයේදී විමල්ලා ඉල්ලුවා පළාත් පාලන ආයතන 12කට අපේක්ෂකයෝ 24ක්. ඒත් මම දුන්නේ ටිකයි. ඒ දුන්න ඒවාවලිනුත් විමල්ලා දින්නේ පොඩ්ඩයි පළාත් පාලන ආයතනයකට ඒ අයගෙ එක්කෙනෙයි අපේ පැත්තෙ  ඉන්නේ. ලංකාවෙම විමල්ලට අඩුම මන්ත්‍රීවරු ප්‍රමාණය ඉන්නේ මගේ පැත්තේ. ඒ නිසා එයාට පොඩි තරගයක් තියෙනවා මාත් එක්ක. දෙවෙනි එක එයා දාපු ගෝලබාලයා පහුගිය මැතිවරණයේදී පරාද වුණා. ඒ පරාජයට හේතුව මමයි බැසිල් රාජපක්ෂයි කියලා එයාට මතයක් තියෙනවා. 

දැන් ඔබට ගහන්නේ විමල් විතරද? ඔබේ දිස්ත්‍රික්කයේ ප්‍රියන්කරලා, අරුන්දිකලා ගහන්නේ නැද්ද?

එයාලා ඉතින් අපේ පක්ෂයේ අයනේ. මම අරුන්දික, ප්‍රියංකර කියලා කියන්න දන්නේ නැහැ. නමුත් කවුරුහරි අපේ අය මට ගහනවා. මම ඒක මෙහෙම කියන්නම් නම් නොකියා. ඔය ජාවාරම් කරලා දේශපාලනය කරන අය සල්ලිවලින් තමයි වැඩ කරන්නේ. ඒ අය තමයි ගහන්නේ.

දැන් ඔබ කියනවා ඔබට අරයා මෙයා ගහනවා කියලා. එතකොට ඔබ ශුද්ධවන්තයෙක්ද එහෙම නිකරුණේ ගහන්න?

ඉතිං ඔය ගහපු එක හේතුවකටවත් මම සම්බන්ධ නැහැනේ. දැන් ඔය සිද්ධිය ගන්නකො.

කොයි සිද්ධියද, ඔබට සිද්ධි  ගොඩක් තියෙනවනේ?

මොකක්ද මොකක්ද ඔයා කියන්නේ? ඔයා දන්නා සිද්ධි ටික ගැන මගෙන් අහන්නකෝ.

හෙල්මට් නැතුව ගිය ඒවා තියෙනවා, ඔක්සිජන් කතා තියෙනවා. ඒවා හරි ජනප්‍රියයි. 

එකින් ඒක ගමුකො. ඔක්සිජන් එපා කියලා සනත් නිශාන්ත කිව්වද කොහේහරි? 

ඉතින් නම ගෑවුණේ ඔබගෙනේ?

මෙහෙමනේ සමාජ ජාලාවල ඕන කුණු ගොඩක් දැන් ගහනවා. පොඩි සිද්ධියක් අරගෙන මහා සිද්ධියක් බවට පත් කරනවා. මේකත් ලියන්න. මේ ලංකාවේ රට මෙහෙයවන්නේ ප්‍රශ්න ඇති කරන්නේ ඔය සමාජ ජාලා කියලත් ලියන්න. පේජ් හදාගෙන රැ.5000ට ගහනවා. ඔය ඔක්සිජන් සිද්ධිය ගත්තම ඇස් දෙක පේන කන් දෙක ඇහෙන ඕන කෙනෙකුට බලන්න පුළුවන් සනත් නිශාන්ත වරදක් කරලා නැති වග.

ඔබ කොහොම කිව්වත් ඒ වෙලාවේ ඔබේ ආධාරකරැවන් වනජීවී නිලධාරිනියට තර්ජනය කරනකොට ඔබ සද්ද වහගෙන හිටියා. එක වැරැද්දක් නේද?

නැහැ නැහැ නැහැ. මතක තියාගන්න මේ ගනුදෙනුව කරන්නේ ධීවරයොත් එක්ක. අපේ රටේ ධීවරයෝ පී.එච්.ඩී. කරලා නැහැ. එහෙම අඩු අධ්‍යාපනයක් තියෙන මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. දේශපාලකයෙක් හරි රජයේ සේවකයෙක් එක්ක හරි ගනුදෙනු කරන විදිහක් තියෙනවා. තවත් වාද කරන්න ගියානම් ඒ මිනිස්සු එන්නේ මන්න අරගෙන. මම ඒ වෙලාවේ ජනතාවත් රාජ්‍ය සේවිකාවත් අතර වෙන ගැටුම නතර කරන්නයි උත්සහ කළේ.

හරි ඔය ඔක්කොම අමතක කරන්නකෝ. දැන් කියන්න ඔබගේ අදහස ආනවිලුන්දාව සිද්ධිය ගැන?

ආනවිලුන්දාව කියන රුම්සා තෙත්බිම පටන් ගන්නේ මගේ ගේ පිටිපස්සෙන්. මේක රුම්සා තෙත් බිමක් බවට පත්වුණේ 2001 දී. මේක කුරැලු අභය භුමියක් බවට පත් වුණේ 1997. මම ඉපදුණේ 1975. මම කොළඹ 07 එකෙක් නෙමේ. මම ඔය වැව්වල බැහැලා සෙල්ලම් කරපු කෙනෙක්. ඒ නිසා මට කවුරැත් අලුතෙන් පරිසරයට ආදරය කරන හැටි ගැන කියා දෙන්න ඕනේ නැහැ. ඔය අභය භුමිය ලෝකෙට ගෙනියන්න මැදිහත් වුණු මිනිහෙක් තමා සනත් නිශාන්ත කියන්නේ. අදට වුණත් ප්‍රශ්නයක් වුණාම මම තනියම ගිහිල්ලා කුරුලු අභය භුමියට වෙලා ඉන්නවා ඒ පරිසරය බල බලා. ඒ තරම් මගේ ඔලුව නිවන තැනක් ඒ තැන. ඒ නිසා ඒ පරිසරයට විතරක් නෙමේ රටේම පරිසරයට මම ආදරෙයි. මට බය මේ යන විදිහට ඔය භුමිය ඇතුළෙ තියෙන වැව් 06ක් ආශ්‍රිත අක්කර 3000ක පමණ වගා බිම් ටික නතර කරයි කියලා. මොකද ඒ අවට මිනිස්සු ජීවත් වෙන්නේ ගොවිතැන්වලින්. මට බයයි ඒ මිනිස්සුන්වත් එළවයි කියලා. මේක දැන් ඛේදවාචකයක්. හැබැයි මාව මෙතෙනට ගෙනාපු මිනිස්සුන්ට අසාධාරණයක් වෙන්න දීලා මට බලාගෙන ඉන්න බැහැ.

දැන් ඔබ කියන්න ඒ ඉඩම් නිත්‍යනුකූලද කියලා?

මෙහෙමයි අපේ රටේ ඉඩම් විවිධ ක්‍රමවලට තියෙනවා. දීර්ඝ කාලීන, කෙටි කාලීන, වාර්ෂික වශයෙනුත් ඉඩම් ලබාදී තියෙනවා. දැන් මේ ගැටලුවට මුහුණ පාන්න වෙලා තියෙන්නේ ඔප්පු අහිමි මිනිස්සුන්ට. එදා ඔතන ඉස්සෝ වගාකරන්න ඉස්සෙල්ලම අවසර දුන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා, බහු ජාතික සමාගමකට. අක්කර 136ක බදු දුන්න එදා කාසන් කියන සමාගමකට.

හැබැයි ඒ සමාගමට දෙනකොට ඔය භූමිය රුම්සා තෙත් බිමක් ලෙස නම් කර තිබුණේ නැහැ නේද?

ඔව් එක හරි. අන්තිමට 1996දී කාසන් සමාගම මේක දාලා ගියා. අන්තිමට ඕකේ හිටිය මැනේජර්ලා සමහර අය ඔතන සුද්ද කරලා ඉස්සෝ වවන්න පටන් ගත්තා. ඊටපස්සේ ප්‍රාදේශීය ලේකම් ඒකෙන් කරන්නේ ඒවා බදු දෙන්න ගන්නවා. මේ කැලෑව ඇතුළේ එක එක අය කිව්වට කඩොලාන තියෙනවා කියලා එහෙම කඩොලාන නැහැ. ඕකේ තියෙන්නේ තණකොළ පඳුරු. 

මේ භුමිය ඇතුළේ ඔය ප්‍රාදේශීය ලේකම් එකෙන් බදු දීල කොච්චර කල් වෙනකම් කරගෙන ආවද?

2016, 2017 වෙනකනුත් මේක කළා. 2014 තමයි ප්‍රාදේශීය ලේකම්ට වන සංරක්ෂණ එකෙන් දැනුම් දෙන්නේ වනජීවී සහ වන සංරක්ෂණ ප්‍රදේශවල ඉඩම් බදු දෙන්න එපා කියලා. ඊටපස්සේ වාර්ෂික බලපත්‍ර නිකුත් කරන එක නතර වුණා. එතකොට මම පළාත් සභා ධීවර ඇමති. බලපත්‍ර දෙන එක නතර වුණාට මිනිස්සු තමන්ගේ පොකුණුවල ඉස්සෝ වගා කරන එක නතර වුණේ නැහැ. මේ කතා කරනකොටත් ඕක ඇතුළෙ පැටව් දාපු ඉස්සෝ පොකුණු තියෙනවා.

මේ අවසර ගැනීම නතර වුණාට පස්සේ මිනිස්සු අවසර නැතුව මේ වැඩේ කරගෙන යනවා. හැබයි ඔය මිනිස්සු කිසිම කෙනෙක් ගහකට කොලේකට අත තියලවත් නැහැ. ඒ අය තිබුණු ඉස්සෝ කොටුම සුද්ද කරලා තමයි වැඩේ කරගෙන යන්නේ. මෙතන තියෙන එකම වැරැද්ද තමයි ප්‍රාදේශීය ලේකම්ගේ අවසරයක් නැතිකම.

එත් අපි දැක්කනේ ඩෝසර් කරලා එහෙම අලුත් භූමියක් හදන්න හදනවා. එතකොට ඒක තිබිච්ච ඉස්සෝ කොටුවක් නෙමේනේ?

ඒක ඒ ඩෝසරයක් නෙමේ. ලෝඩරය කියලා එකක්. ඉස්සෝ කොටුව යට අඟල් තුනක ලේයර් එකක් තියෙනවා එක හදන්න ඕනේ. මොකද මීට කලින් දාපු ඉස්සන්ගේ මල එහෙම අයින් කරන්න ඕනේ, එහෙම කරන්න තමයි මේ ලෝඩරය දාන්නේ.

නමුත් පරිසර සංවිධාන කියන්නේනම් මේක සම්පූර්ණයෙන්ම අලුතෙන් සුද්ද කිරීමක් කියලා.

පරිසය සංවිධාන ජීවත් වෙන්නේ ඩොලර්වලින්. මොකක් හරි එන්. ජී. ඕ. එකක් හදාගෙන ඩොලර් ගන්න එක තමයි එයාලා කරන්නේ. හැබැයි අපේ ගම්වල මිනිස්සු ජීවත් වෙන්නේ කැත්තෙන් උදැල්ලෙන්.

ඇයි මේ පරිසරය ගැන කතා කරන සංවිධානවලට එන්. ජී. ඕ. කියන්නේ?

එයාලා මොකක් හරි අටෝගෙන ලෝකෙට පෙන්නනවා අපි මේ දෙයක් කරනවා කියලා. ඊටපස්සේ ඩොලර් ගන්නවා. අරන් ඒ සල්ලිවලින් තමයි ජීවත් වෙන්නේ.

දැන් ඒ අයට කියන්න පුළුවන්නේ ඒ අය කරන හරි දේ ඔබලාට ප්‍රශ්නයක් නිසා එන්. ජී. ඕ. චෝදනාව දාලා වහන්න හදනවා කියලා? 

නැහැ. එහෙම එකක් නැහැ. ඔය පරිසර සංවිධාන ජීවත් වෙන්නේ එහෙමයි.

දැන් ඔබ කොහොමද මේ භූමිය සුද්ද කරන වැඩේට සම්බන්ධ වුණේ?

මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මාව මේකට පටලගන්න හදන්නේ මගේ සහෝදරයා නිසා. ඔය ඉස්සෝ ගොවිපළේ හිමිකාරයා කතා කරලා මගේ සහෝදරයට කිව්වා 2017 ඉඳන් අවසර දෙන්නේ නැහැ වගා කරන්න කියලා. ඊටපස්සේ මගේ සහෝදරයා කියලා තිබ්බා එහෙම බලපත්‍රයක් වනජීවී එකට කතා කරලා අපි හදලා දෙන්නම් කියල. එහෙම තමයි මගේ නම මේකට ගෑවුණේ.

සහෝදරයා එහෙම කියන්න ඇත්තේ ඔබ මන්ත්‍රීවරයෙක් නිසා දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතලා වෙන්න ඇති?

එයා එහෙම හිතන්න ඇති. අයියා විතරක් නෙමේ ඔය මිනිස්සුන්ව බස් එකක් පුරෝගෙන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ගාවට එක්කන් ගිහින් ඉල්ලුවා මේ මිනිස්සුන්ට අවසරයක් ලබාදෙන්න කියලා ඉස්සෝ වගා කරන්න.

හරි දැන් කියන්න ඔබ පිළිගන්නවද මේක වැරැද්දක් කියලා?

මම පිළිගන්නවා මෙතන වැරැද්දක් වෙලා තියෙනවා කියලා. 

හරි ඔබ කිව්වා දැන් කට්ටිය එක්කන් වනජීවී දෙපාර්තමේන්තුවට ගියා කියලා. දැන් මේ සිද්ධියට ඔබේ සහෝදරයාගේ නමත් ගැවෙනවා. ඇයි ඔබට බැරි ඔබේ සහෝදරයව අතින් අල්ලන් ගිහින් පොලීසියට බාරදෙන්න?

මගේ සහෝදරයව හොයනවා කිව්වට මගේ සහෝදරයා හැංගිලා නැහැ ගෙදර ඉන්නවා. පොලීසියට ගිහින් ඕනෙනම් එක්ක එන්න පුළුවන්. 

ඒ කියන්නේ පොලීසියේ වැරැද්දක් තියෙන්නේ?

ඔව් ඔව්. පොලීසියට පුළුවන් ඕනේ වෙලාවක ගිහින් එක්කගෙන එන්න. කිසිම ගැටලුවක් නැහැ. මේක උසාවියට දැම්මම උසාවියෙන් අහලා තියෙනවා මේකට තව කවුද ඉන්නේ කියලා. ඊටපස්සේ පොලීසියෙන් කියලි තියෙනවා තාම මේ ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් යනවා කියලා. එහෙම නැතුව ඔහු හැංගිලා නැහැ. හරි මගේ සහෝදරයා සම්බන්ධයම කියන්නකෝ. සනත් නිශාන්තයි, ජගත් සමන්තයි කියන්නේ දෙන්නෙක්නෙ. එයා කරපු දේට මට ගහලා හරියන්නේ නැහැනේ.

හැබැයි ඔබට වගකීමක් තියෙනවා නේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඔබේ සහෝදරයා වැරැද්දක් කළානම් නිවැරදි කරන්න?

ඉතින් පොලීසියට තාම ඔහුව අවශ්‍යතාවක් නැහැ.

ඇත්තද ඔබේ සහෝදරයා කප්පම් ගන්නවා කියලා කියන්නේ ඒ පැත්තේ කර්මාන්තශාලාවලින්?

නැහැ නැහැ. එහෙම දෙයක් නැහැ. ඔයාලා වගකිවයුතු මාධ්‍යයක් හැටියට එහෙම කියපු කෙනා කවුද කියලා මට කියන්න.

එහෙම කියන්න බැහැ. හැබැයි වෙබ් අඩවිවල පවා යනවා.

ඔය වෙබ් අඩවි ගණිකා වෘත්තියේ යෙදෙන ඒවානේ. කප්පම් ගන්නවානම් ඕන කෙනෙකුට ඇවිදින් මට කියන්න කියන්නකෝ.

ව්‍යාපාරික ආයතනවල ප්‍රවාහන සේවා පවා ලබාගන්නේ ඔබගේ සහෝදරයා කියලා චෝදනා තියෙනවා.

නැහැ ඒවා සම්පූර්ණ අසත්‍ය චෝදනා. එහෙම දෙයක් නැහැ.

ඔබගේ ප්‍රදේශයේ යම්කිසි කර්මාන්ත ශාලාවක් විවෘත කරනවානම් සනත් නිශාන්ත මහත්මයාගේ අවසරයක් ගන්න ඕනේ කියලා එහෙම නීතියක් තියෙනවද?

නැහැ. එහෙම එකක් නැහැ.

ඔබට මේ එල්ල වෙන චෝදනාත් එක්ක හිතෙන්නේ නැද්ද මේ පහර වදින්නේ වර්තමාන ආණ්ඩුවට කියන එක?

සාමාන්‍යයෙන් ඉතිහාසයේ ආණ්ඩු පෙරළලා තියෙන්නේ ජනතාවට ආණ්ඩු එපා වුණහම. දැන් මේ සමාජ ජාල රැල්ලත් එක්ක ආණ්ඩු එපා කරවන්න ව්‍යාපෘති කරවන්න පුළුවන්. මේ වෙන්නෙත් ඒ වගේ දෙයක් තමයි. ඒ වගේ ප්‍රොජෙක්ට් එහෙකට තමයි මේ සනත් නිශාන්තත් අහුවෙලා තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී අගමැතිතුමා ඇහුවද මේ ප්‍රශ්නයට ඔබගේ සම්බන්ධයක් තියෙනවද කියලා?

නැහැ. අගමැතිතුමානම් ඇහුවේ නැහැ. ජනාධිපතිතුමානම් ඇහුවා මොකක්ද නිශාන්ත මේ යන කතාව කියලා.

ඔබ මොකද කිව්වේ?

මන් කිව්වා සර් මේ පැත්තේ අලුතෙන් ඉස්සෝ කොටු දාන්න දෙන්නේ නැහැ ධීවර අමාත්‍යංශයෙන්. කාසන් සමාගමෙන් හදපු ඉස්සෝ කොටු තමා සුද්ද කරලා තියෙන්නේ* කියලා. ඊටපස්සේ ජනාධිපතිතුමා මට කිව්වා මේ කතාව හරි සැරට යනවා නිශාන්ත ඔයා  පුළුවන්නම් පාර්ලිමේන්තුවේදී වෙලාවක් අරන් මේක රටට කියන්න කියලා. මම කිව්වා සර් මේකේ මගේ නම කියවෙන්නේ නැහැ. මම උත්තර දෙන්න ගියොත් හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා වගේ දෙයක් තමා සිද්ධ වෙන්නේ. ඒ නිසා මට මගේ නම නැති තැනකට ඇවිත් උත්තර දෙන්න බැහැ. මම මේකට වෙන කෙනෙක් ලවා උත්තර දෙන්නම්* කියල. ඒ අනුව තමා සී. බී. රත්නායක ඇමතිතුමා ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළේ.

මේ ගැන කරපු පරීක්ෂණයේදී ඔබේ සහෝදරයගේ නම සම්බන්ධයි කියලා ඔවුන් කියලා තියෙනවා නේද?

එහෙම සම්බන්ධ වුණේ අර මිනිහා කියලා තියෙනවා අපේ අයියට කියලා බලපත්‍රයක් අරන් දෙන්නම් කියලා. අනිත් කතාව තමා ඕවා බදු දෙන කාලේ මගේ සහෝදරයත් අක්කර හතරක් පහක් බදු අරගෙන කරලා තිබුණා.

ඇත්තටම අගමැතිතුමා ඔබට කතා කරලා මේ ගැන ඇහුවේ නැද්ද?

අගමැතිතුමා මගෙන් ඇහුවා මේ ගහන්නේ ඔයාට නේද කියලා? මම කිව්වා සර් මට ගහන්නේ අපේම මනාප පොරයේ ඉන්න කට්ටිය තමයි* කියලා. එතුමත් මට කිව්වා මේ ගැන පාර්ලිමේන්තුවේ වෙලාවක් අරගෙන කතා කරන්න කියලා.

දැන් මේ සිද්ධිය ගැන සහෝදරයාගෙන් ඇහුවේ නැද්ද?

මට සෘජුව එයාට මොකුත් කියන්න බැහැ. එයා අසනීපකාරයෙක්. එයත් මේකට සෘජුව මැදිහත් වෙලා නැහැනේ. එයා කවදාවත් කියලා නැහැ උඹ ගිහින් ඩෝසර් කරහන් කියලා. 

ඇත්තටම දැන් ඔබේ සම්බන්ධයක් නැද්ද මේ වැඩේට?

මම දන්නෙත් සමාජ මාධ්‍යවල ගියාට පස්සේ.

පුත්තලමේ අරුන්දික ඉන්නවා, ප්‍රියංකර ඉන්නවා. හැබැයි වැඩිපුර කතා අහන්නේ ඔබ. 

ඵල ඇති රැකටනේ ගල් ගහන්නේ. එයාලා සිරිසේන මහත්තයා ළඟටත් ගිහින් ඇමැතිකම් කරලා නන්නත්තාර වෙලා ආපු අයනේ. සනත් නිශාන්ත කියන්නේ පක්ෂය වෙනුවෙන් දරදිය ඇදපු මිනිහෙක්.

මොනවද ඔබට තියෙන ව්‍යාපාර?

මට තියෙනවා ලක්ෂ 1500 - 2000ක වටිනාකමක් තියෙන ඉස්සෝ අභිජනනාගාරයක්. මගේම කියලා ඉස්සෝ වගා කරන අක්කර 65ක් තියෙනවා. මගේම කියලා තව ඉඩම් අක්කර 40ක් 50ක් තියෙනවා. අපි හිඟන්නෝ නෙමේ. යමක් කමක් තියෙන ව්‍යාපාර කරන මිනිස්සු. අපේ අයියලටත් ගොවිපොළවල් තියෙනවා.

අවසාන වශයෙන් අහන්නේ ඔබට ලොකු නීතියද? ජනතාවද? 

මට ජනතාව ලොකුයි.

ඒ කියන්නේ ඔබට නීතිය අදාළ නැහැ?

මිනිහෙක්ට අසාධාරණයක් වුණොත් නීති 100ක් කැඩුණත් මම ඒ මිනිහා වෙනුවෙන් පෙනී ඉන්නවා.

 ගයාන් ගාල්ලගේ

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00