2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

20 කෙක්කක්ද? කොක්කක්ද?

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

අලුත් ආණ්ඩුවේ ප්‍රථම ප්‍රමුඛත්වය දුන් කාර්යය වූ 20 වැනි සංශෝධනයේ පනත් කෙටුම්පතේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් විපක්ෂය බරපතළ විරෝධයක් මතුකරමින් සිටී. හිටපු අග්‍රාමාත්‍ය යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බ්‍රහස්පතින්දා (03) කියා තිබුණේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය උගුලක් බවත් ඊට අතගසන ඕනෑම අයකු විනාශ වන බවත්ය. සම්මත කර තිබෙන 19 වැනි සංශෝධනය අහෝසි කිරීමට යාම මහා විනාශයක ආරම්භය යැයි ද එය ජනතාව පීඩාවට පත්කිරීමක් යැයි ද සඳහන් කර තිබූ වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපතිධූරයේ සියලු බලතල අහෝසි කිරීමට 19 ගෙන ආ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිර්ණායක අනුව ඒ සංශෝධනයේ වෙනස්කම් කිරීමට සිදුවූ බවද කියා තිබිණි.

සජබ මහාලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කරන්නේ 20 වැනි සංශෝධනය මගින් 19 සංශෝධනය හරහා හඳුන්වා දුන් රාජ්‍ය සේවය ඇතුළු ස්වාධීන කොමිෂන් සභා අහෝසි කොට ජනාධිපති පදවියේ බලතල වැඩිකරන ඒකාධිපති ව්‍යවස්ථාවක් නිර්මාණය කර ඇති බවය. එයට තම පක්ෂය විරෝධය පළකරන බවත් ඔහු කියයි.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ද පවසන්නේ මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනතාවට අහිතකර ව්‍යවස්ථාවක් සංශෝධනයක් බැවින් එයට විරෝධය පළකරන බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවද ඔහුගේ මතයයි.

උතුරේ ටී.එන්.ඒ. සහ විග්නේෂ්වරන්ගේ පක්ෂ ද සෙසු දේශපාලන පක්ෂ ද සඳහන් කර ඇත්තේ ස්වාධීන කොමිෂන් සභා ඇතුළු 19 මගින් හඳුන්වා දී තිබූ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන පියවර ඉවත් කෙරෙන සංශෝධනයකට තමන් විරුද්ධ වන බවය. ඔවුන් දැඩිව ඉල්ලා සිටින්නේ 13 වැනි සංශෝධනයේ ප්‍රකාශිත බලතල ඒ ආකාරයටම ලබාගැනීම වෙනුවෙන් තමන් පෙනී සිටින බවය. ඔවුන් තම ගැටලු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා හරහා ඉන්දීය රජයටද දැනුම් දීමටද පියවර ගෙන තිබිණි. 

විපක්ෂය කෙසේ කිව්වත් රජය තමන්ගේ අභිමතය පරිදි 20 වැනි සංශෝධනය කෙටුම්පත් කර ඇති බව බැලූබැල්මට පෙනී යයි. එය සම්මත කරගැනීමේදී පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක බලයක් තිබීම පමණක් ප්‍රමාණවත් වන බවට මතයක් නීතිපති හරහා ප්‍රකාශ කරවා ගැනීමටද ආණ්ඩුව ක්‍රියා කර තිබිණි. එසේ නොවී නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී ඇතැම් කාරණා සම්බන්ධයෙන් තුනෙන් දෙකේ සම්මතයට අමතරව ජනමත විචාරණයකට යාමටද ආණ්ඩුවට සිදුවෙයි. එවැනි කාරණා බැහැරකොට 20 වැනි සංශෝධනය කෙටුම්පත් කර ඇති බව නීතිපතිවරයා විසින් කළ දැනුම් දීමෙන් පැහැදිලි වෙයි. 19 සංශෝධනය සැකසීමේදී තමන්ටද ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්ණායක අනුව යම් යම් වෙනස්කම් කිරීමට සිදුවූ බව රනිල් වික්‍රමසිංහ මහතා ද කියා තිබුණේ මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් බව පැහැදිලිය.

කෙසේ වුවද 19 සංශෝධනයේදී ජනමත විචාරණයකට යාමෙන් වැළකීම සඳහා සිදුකළ වෙනස්කම් හේතුවෙන් විධායක ජනාධිපතිධූරයේ බලතල සෑහෙන පමණින් රැකුණේය. ඒ අවස්ථාවේ යහපාලන ආණ්ඩුව ජනමත විචාරණයකට යාම නුසුදුසු යැයි තීරණය කරන්න ඇත්තේ එයින් ජයගැනීමට තමන්ට ඇති අසීරුකම පිළිබඳව නිසි තක්සේරුවකින් විය යුතුය. ඒ වන විට පාර්ලිමේන්තුවේ තිබුණේ යූ.එන්.පියට තනි බලයක් නොතිබූ අටවාගත් ආණ්ඩුවකි. මෛත්‍රීපාල ජනාධිපතිවරයා ජයගෙන තිබුණේ වැඩි ඡන්ද ලක්ෂ 4කට ආසන්න සංඛ්‍යාවකිනි.

එහෙත් 20 වැනි සංශෝධනයේදී වත්මන් ආණ්ඩුව සිටින්නේ වඩාත් ස්ථාවර සහ ශක්තිමත් මට්ටමකිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ලක්ෂ 14ක් පමණ ලබමින් ඉහළම ජයක් ලබා සිටින අතර පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් පවතී. අවශ්‍ය වුවහොත් තවත් කිහිපදෙනකු එකතු කරගැනීම ඉතාම පහසුවෙන් සිදුකරගත හැකිය. මේ නිසා බැලූබැල්මට ජනමත විචාරණයකට යාම වුවද වත්මන් ආණ්ඩුවට ගැටලුවක් වන්නේ නැත. එහෙත් එවැනි අවදානමක් නොගැනීමට ආණ්ඩුව තීරණය කරන්න ඇත්තේ ජනාධිපතිවරයාගේ බලතල වඩාත් ශක්තිමත් වන ආකාරයකට ඉදිරිපත් වන සංශෝධනයක් ජනමතය උරගා බැලීමට සුදුසු නොවන බව උපකල්පනය කිරීමෙන් විය හැකිය. ඒ සඳහා බලපාන විවිධ හේතු සාධක තිබෙන බවත් පැහැදිලිය.

20 වැනි සංශෝධනයක් පිළිබඳව ආණ්ඩුවට පූර්ව මැතිවරණ කාලයේ සිටම කතා කිරීමට හේතු වූයේ යහපාලනය මගින් සම්මත කරගත් 19 වැනි ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තමන්ගේ පාලන රටාව සමඟ නොපෑහෙන බැවින් යැයි කෙනකුට පෙන්වා දිය හැක. රටේ සිවිල් සංවිධානවලටත්, එන්ජීඕවලටත් වැඩි ඉඩකඩක් ලබාදෙන ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම පිළිබඳව කවදත් රාජපක්ෂවරුන්ගේ පාලනය තුළ කැමැත්තක් තිබුණේ නැත. ඔවුන්ට හවුල් වූ සියලුම සෙසු දේශපාලන පක්ෂවලටද සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් අරහං වී තිබිණි. ඔවුන් හඳුන්වනු ලැබුවේ එන්.ජී.ඕ. කාක්කන් ලෙසිනි. මේ “කාක්කන්” හරහා ශ්‍රී ලංකාවට හතුරුකම් කරන බටහිර බලවේගවල ඉත්තන්ට රටේ පාලනයට ඇඟිලි ගැසිය හැකි බවට ඔවුහු නිරතුරුවම චෝදනා කළහ. තමන්ගේ රජයක් යටතේ එවැනි තත්ත්වයකට ඉඩ නොතබන බවට ඔවුහු දැඩිව ප්‍රකාශ කළහ. මේ නිසා 20 වැනි සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභාවල පැවැත්ම අභියෝගයට ලක්වනු ඇති බවට තිබූ පූර්ව නිගමනය සත්‍ය වී තිබේ. සියලුම ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කරනු ලැබීමේ බලය පවරා ඇත්තේ ජනාධිපතිවරයාට වීම මගින් එය සනාථ වෙයි.

19 න් මූලික වශයෙන් ඉලක්ක කෙරුණේ විධායක ජනාධිපති පදවියේ බලතල අඩුකොට අගමැති මූලික පාර්ලිමේන්තුවේ බලය වැඩිකිරීමට බව පැහැදිලිය. 2015 වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් භුක්ති විඳිමින් සිටි අසීමිත බලතල අහෝසි කිරීමත් එසේ කරමින් පත්වෙන ජනාධිපතිගේ බලය අඩුකර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය වැඩිකිරීමත් එයින් අරමුණු කරගෙන තිබිණි. එසේ නම් 20 වැනි සංශෝධනයෙන් සිදුකෙරෙන්නේ අගමැති බලය අඩුකර ජනාධිපතිගේ බලය අසීමිතව වැඩි කිරීමද? 20 වැනි සංශෝධනය හරිහැටි අධ්‍යයනය කිරීමෙන් තොරව එයට පිළිතුරක් සොයාගැනීම පහසු නැත. එහෙත් මූලික කාරණාවලින් පෙනෙන්නේ එය එසේ වන බවය.

අද යූ.එන්.පිය කොතරම් කෑගැසුවත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවිය දැරූ සමයේ භුක්තිවිඳි බලය ඔහු විසින් අයිති කරගත් බලයක් නොවේ. මහින්ද මහතා එම බලතල උරුම කරගත්තේ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් 1978 දී හඳුන්වාදෙන ලද  නව විධායක ජනාධිපති ව්‍යවස්ථාව යටතේ ජේ.ආර්.ම භුක්ති විඳි බලයයි. එහෙත් මහින්ද 2010 දී කඩිමුඩියේ හඳුන්වාදෙන ලද 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් එම බලතල සීමා තවදුරටත් පුළුල් කර ගත්තේය. ජනාධිපතිධූර කාලයේ වාර ගණනට තිබූ සීමාව ඉවත් කිරීම ඇතුළු බලතල ගණනාවක් වෙනස් කරනු ලැබිණි. පාර්ලිමේන්තුවේ තිබිය යුතු සියලු බලතල එක් පුද්ගලයකු වටා ගොනුවීමද එම සංශෝධනය හරහා සිදුවූ ප්‍රබල වෙනසක් විය. එම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා විට මහින්ද රාජපක්ෂ රජයට තුනෙන් දෙක ඉක්මවා යන බහුතරයක් තිබූ අතර යූ.එන්.පියේ විරෝධය පාර්ලිමේන්තුව පරිශ්‍රය තුළ පමණක් සිදුකෙරුණු විරෝධතා පුවරු අල්ලාගෙන සිටීමකට සීමා විය. එහිදීද රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය දැඩිව විවේචනයට ලක්වූ අතර එම විවාදයේදී යූ.එන්.පිය වෙනුවෙන් කතා කිරීමට මන්ත්‍රීවරැන් යොදවා තිබූ ආකාරය ද පක්ෂයේම ඇතැමුන්ගේ අමනාපයට හේතු විය.

කෙසේ වුවද මෙම අසීමිත බලතල සමඟ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට වැඩිදුර ගමනක් යාමට නොහැකිවනු ඇති බවට රනිල් වික්‍රමසිංහ මහතා තුළ දැඩි විශ්වාසයක් තිබූ බව පෙනෙන්නට තිබිණි. රනිල් බලාපොරොත්තු වූ පරිදිම වසර තුනක් ඉක්මවා යනවිට ආණ්ඩුව ඇතුළේ පිපිරීම්වල ලකුණු පහළ විය. එම පිපිරීම් කොතරම් දරුණුවට සිදුවූවාදැයි කිව්වොත් ආණ්ඩුව ඇතුළෙන්ම විපක්ෂයක්ද බිහිවන ලකුණු පහළ විය. එම (විපක්ෂයේ) මුදුන්මුල වශයෙන් හඳුනාගෙන සිටි මෛත්‍රීපාල මහතා ආණ්ඩුවෙන් ගලවාගෙන පොදු අපේක්ෂකයා කොට යළිත් වරක් යූ.එන්.පිය ප්‍රමුඛ ආණ්ඩුවකට රනිල් පාර කපා දුන්නේය. අසීමිත බලතල හරහා ජනාධිපතිවරයකුට යා හැකි දුර සීමිත බව රනිල්ගේ තියරිය වන බව පෙනේ. එහෙත් ඉන්පසුව පිහිටුවාගත් යහපාලන ආණ්ඩුවේ ජනාධිපති බලතල සීමාකර ගත්තත් එම ආණ්ඩුවට කෙළින් යා ගත හැකිවූයේ වසර තුනකටත් අඩු කාලයකි. ඉන්පසු පරදිනතුරු කාලසීමාව ආණ්ඩුව ගියේ කොරගසමිනි.  බලයේ සිටි ආණ්ඩුවට බලයත් අඩුවී රජයත් අහිමිකර ගැනීමට සිදුවීම දේශපාලනයේ විශේෂ පෙරළියක් බව පැහැදිලිය.

බලතල අඩුවීම හෝ අඩුකර ගැනීම පමණක් ආණ්ඩුවක පැවැත්ම තීරණය නොකරන බව මෙයින් පැහැදිලිය. අවශ්‍ය වන්නේ රටේ ජනතාවගේ විශ්වාසය හොඳින්ම දිනාගන්නා ක්‍රමවේදයකි. ඒ සඳහා වඩාත්ම අවශ්‍ය වන්නේ ජාතික ධනය කොල්ලකන පාලනයකින් මිදී නාස්තිකාර වියදම් කපාහැර ජනතාවට පමණක් පටි තදකර ගන්නැයි කියන පාලනයකින් තොර ආණ්ඩුවක් තිබීමය. එසේ වන බවට විශ්වාසයක් ජනතාව තුළ ගොඩනැගෙන්නේ ආණ්ඩුවේ ඉහළම නායකයන් විසින් ලබාදෙන ආදර්ශය අනුවය. මීට පෙර පැවැති බලවත් ආණ්ඩුවල නායකයන් කෙසේ කටයුතු කළත් ගෝලබාලයන් විසින් කරන ලද මගෝඩි වැඩ, කෂඩ වැඩ සියල්ලේම කුණු එකතු වූයේ නායකයන්ගේම බොක්කේය. මේ තත්ත්වය යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩුවලට මෙන්ම ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්ඩුවටලද අදාළය.

20 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපති බලතල තනි පුද්ගලයකු වටා ඒකරාශී වන බව ඇතැම් දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබේ. ව්‍යවස්ථාදායක සභාව අහෝසි කිරීම, ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන්, නීතිපති සහ ඉහළ අධිකරණවල විනිසුරුවන් පත්කිරීමේ බලය ජනාධිපතිට පැවරීම, ඇමැතිවරුන් පත්කිරීමේදී අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය නම් පමණක් කළ යුතු වීම, කැබිනට් අමාත්‍යවරු සහ නි. ඇමැතිවරු සංඛ්‍යාවට සීමාවක් නොතිබීම, සිවිල් සමාජ සාමාජිකයන්ට අවස්ථාවක් නොතිබීම වැනි වගන්ති ඇතුළත් වීම ඔවුන් එවැනි මතයක් දැරීමට හේතු වී තිබේ. අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවට සීමාවක් පනවා තිබීම 19 ව්‍යවස්ථාවේ එක් සාධනීය ලක්ෂණයක් විය. රටේ ජම්බෝ කැබිනට්ටු පිහිටුවීම පක්ෂ විපක්ෂ භේදයකින් තොරවම ජනතාවගේ දැඩි විවේචනයට ලක්වූ කරුණක් වී තිබුණු බව අමතක නොකළ යුතුය.

තවත් සමහරුන් පෙන්වා දෙන්නේ ස්වාධීන කොමිෂන් සභාවල පැවැත්ම සහතික කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වඩාත් ශක්තිමත් කරන බවය. එම කොමිෂන් සභා පිහිටුවීම 19 වැනි ව්‍යවස්ථාවේ කැපීපෙනුණු වෙනසක් විය. එහෙත් එම කොමිෂන් සභාවලට පත්කෙරුණු ඇතැම් සාමාජිකයන් විසින්ම ඒවායේ ස්වාධීනභාවය නැතිවන පරිදි කටයුතු කළ බව යථාර්ථයයි. තවත් ඇතැම් සාමාජිකයන් තමන් පිළිගත් දේශපාලන පක්ෂයකට ලැදියාව දැක්වීම මගින් ද ඒවායේ ස්වාධීනභාවයට හානිවන ලෙස කටයුතු කළ බවද ප්‍රකට රහසකි. තවත් අය රජය සමඟ නඩුකීමටද පියවර ගත්හ. 20 වැනි සංශෝධනයෙන් විය යුතුව තිබුණේ ඒවා අහෝසි කිරීම හෝ සියලු පත්කිරීම් ජනාධිපතිවරයාට පවරාදීම හෝ නොව ඒවාට වඩාත් ස්වාධීන මට්ටමින් කටයුතු කිරීමට මග පෑදීමය. එහෙත් එය සිදුනොවන බව පෙනෙන්නට තිබේ.

20 වැනි සංශෝධනයෙන් ආපසු ගමන් කරන්නේ 78 දී ජේ.ආර්. ජයවර්ධන විසින් හඳුන්වාදෙන ලද, මෙතෙක් බලයට පත් සියලු ආණ්ඩුවල දැඩි දෝෂදර්ශනයට ලක්වූ එහෙත් එය වෙනස් කිරීමට සැබෑ උත්සාහයක් නොදැරෑ ප්‍රබල විධායක ජනාධිපති ක්‍රමයටදැයි කියන්නත් බැරිය.

ශශීන්ද්‍ර

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00