2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

ආයෙමත් මහින්දට ගිය රට

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 187

ආණ්ඩුව ලද මැතිවරණ ජයග්‍රහණය අනපේක්ෂිත වූවක් නොවේ. එහෙත් සමස්ත ප්‍රතිඵලය ඊට වඩා වෙනස් විය. ජයග්‍රාහී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ අනාවැකි පවා ඉක්මවා ගිය විශිෂ්ට වූ ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගැනීමට පොදුජන පෙරමුණට හැකි විය. වෙනස එයයි.

පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තනි පක්ෂයකට හෝ එයට එකතු වූ සෙසු හවුල්කාර පක්ෂ සහිත සන්ධානයකට වුවද තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට අවශ්‍ය ආසන 150 සීමාවට කිට්ටු ආසන සංඛ්‍යාවක් ලබාගැනීම වුවත් පහසු නැත. බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණය ආසන්න දිනයක පුවත්පත් සඳහා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ තුනෙන් දෙකක බලයක් ලබාදීමේ තීන්දුව රටේ ජනතාව විසින් ගත යුතු බවය. තමන්ගේ ගණන් බැලීම අනුව පොදුජන පෙරමුණට 135කට ආසන්න ආසන ප්‍රමාණයක් ලැබෙනු ඇති බවට ඔහු අනාවැකි පළ කළේය. එසේ වුවද ප්‍රතිඵල නිකුත් වී අවසාන වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සියලු බාධා ජයගෙන තිබුණි. 150ට අඩු ආසන කිහිපය ද හවුල්කාර පක්ෂවලින්ම ලබා ගැනීමට තරම් විශාල ආසන සංඛ්‍යාවක් වන 145ක් ලබාගැනීමට හැකිවීම නිසා ආණ්ඩුවට දැන් “සැලුන් දොර”ක් අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවේ දැන් පවතින්නේ තුනෙන් දෙකක බලයකින් යුතු පාර්ලිමේන්තුවකි. ඉතා ශක්තිමත් සහ දේශපාලන වශයෙන් ඉතාම ස්ථාවර වූ ආණ්ඩුවකි.

ප්‍රතිඵලය ඉතාම පැහැදිලිය. කිසිවකුට හෝ ඇඟිල්ල දිගු කර අඩුපාඩු පෙන්වා දීමට අවශ්‍යතාවක් නැත. යන්තම් වසර තුනක අතීතයක් හිමි ශ්‍රී ලංකාවේ අලුත්ම දේශපාලන පක්ෂයට රටේ ජනතාව ලබා දී ඇත්තේ දීප ව්‍යාප්ත විශිෂ්ට ජයග්‍රහණයකි. පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයක් ලබාදෙමින් මෙරට අති බහුතරයක් ජනතාව තමන්ගේ ඉදිරි වසර පහක කාලයේ අග්‍රාමාත්‍යවරයා විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා බව තීන්දු කර තිබේ. ඒ සමඟ ඊළඟට අලුත්ම දේශපාලන පක්ෂය වන සමගි ජනබලවේගයට තමන් ඉදිරිපත් වූ මුල්ම මැතිවරණයෙන් හිමි වී ඇත්තේ විශාල පරාජයක් වුවත් රටේ විපක්ෂයේ භූමිකාවට ඔවුන් පණ දිය යුතු බවට වන තීන්දුව ජනතාව විසින් ලබා දී තිබේ. ඉදිරි කාලය තුළදී ආණ්ඩුවේ ක්‍රියා කලාපය මෙන්ම විපක්ෂයේ භූමිකාවද මහජනතාවගේ දැඩි විමසිල්ලට ලක්වන බව මේ දෙපක්ෂයම සිහියේ තබාගැනීම අවශ්‍යය.

මෙවර මහමැතිවරණයෙන් අර්බුදයට ලක්වූයේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය ලබා දුන් යූ.එන්.පීයයි. මෙරට ජාතික තලයේ දේශපාලන පක්ෂයක් විසින් මහමැතිවරණයකදී හිමිකරගන්නා ලද ඉතාම බරපතළ පරාජය මෙය බව පැහැදිලිය. යූ.එන්.පී.යේ කිසිදු මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට නොපැමිණිය යුතු බව ප්‍රතිඵලවලින් පෙන්වා දී තිබේ. කෙසේ වුවද සමස්ත ප්‍රතිඵලය අනුව එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට ඔවුන්ට හිමිකම ලැබී තිබේ. එහෙත් ප්‍රථම වතාවට මැතිවරණයකට ඉදිරිපත් වූ රතන හාමුදුරුවන්ගේ පක්ෂයටද ජාතික ලැයිස්තු ධූරයක් හිමිවීම හේතුවෙන් එම මන්ත්‍රී ධූරයට ද සුවිශේෂී තැනක් හිමිවන්නේ නැත.

මෙවැනිම ඉරණමකට මුහුණ දීමට නියමිත වූ ශ්‍රීලනිපය යන්තම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වීමෙන් එම තත්ත්වයෙන් ගැලවිණි. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක්ද සමඟ මන්ත්‍රී ධූර 16ක් හිමිකර ගැනීමට තරම් ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට තරම් ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වුවත් එම පක්ෂයේ අනාගත ඉරණම ලියැවී අවසාන බව මෙවර මැතිවරණය පෙන්වා දෙයි. ඉදිරි කාලය තුළදී මෙරට දේශපාලන කරළියේ ශ්‍රීලනිප නාමයට භූමිකාවක් ඉතිරි වී නැත. වැජඹෙනු ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණු නාමය පමණි. ශ්‍රීලනිපයට සිදුවන්නේ පොදුජන පෙරමුණ සමඟ යහපත් සබඳතාවක් පවත්වාගෙන යාමෙන් සැනසීමට පමණි.

මේ අනුව මෙවර මහමැතිවරණය මෙරට දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වෙයි. නිදහස ලැබීමෙන් පසුව රටේ පාලනය ගෙන ගිය ප්‍රධාන පක්ෂ දෙක වූ යූ.එන්.පීයේ සහ ශ්‍රීලනිපයේ ආයු කාලය ඉවර වී ඇති බවට මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි සංඥාවක් ලබා දී තිබේ. මෙරට දේශපාලනය තුළ ලංකා සමසමාජ පක්ෂයට සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට අයත් වූ ඉරණම රටේ දැවැන්තම පක්ෂ දෙකට ද උරුම වීම දෛවයේ සරදමක් බඳුය. මෛත්‍රීපාල සිරිසේනට සහ රනිල් වික්‍රමසිංහට මෙරට දේශපාලන ඉතිහාසය ලියැවෙනවිට හිමිවනු ඇත්තේ කුමන ස්ථානයක්දැයි තේරුම් ගැනීමට ඡන්ද දායකයන්ට අපහසු නැත.

ඇතැම් දේශපාලන විචාරකයන්ට අනුව යූ.එන්.පීය මේ ලබා ඇත්තේ නිදහසින් පසුව මැතිවරණයකදී එම පක්ෂය ලද දරුණුම පරාජයයි. පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නැගුණු සෑම අවස්ථාවකම එකී අදහස් වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාටම පක්ෂය හැරයාමට කටයුතු යෙදූ රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට මේ ආකාරයට පාර්ලිමේන්තු දේශපාලනයෙන් පරාජයට පත්වීමට සිදුවනු ඇතැයි කිසිසේත් නොසිතන්නට ඇති බව සහතිකය. එහෙත් පාක්ෂිකයන් විසින් ලබා දී ඇති තීරණය ඉතා පැහැදිලිය. ඒ අනුව ක්‍රියාකිරීම හෝ නොකිරීම රනිල් වික්‍රමසිංහ මහතාට අයත් කාර්යයකි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුව වෙද්දී සමගි ජන බලවේගය විපක්ෂය වෙයි. මේ රටේ අවසන් වරට පැවැති මහ මැතිවරණය වූ 2015 අගෝස්තු 17 වැනිදා යූ.එන්.පීයත් ශ්‍රීලනිපයටත් ඊළඟ මහ මැතිවරණයේදී තමන්ගේ ඉරණම මේ යැයි කිසිවිටෙක නොසිතූ බවට සැකයක් නැත. හේතුන් විවිධ වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉඩ දී නික්ම යාමට ශ්‍රීලනිපයට සිදුවනවිට සමගි ජන බලවේගයට ඉඩ දී පිටව යාමට යූ.එන්.පීයට සිදුව තිබේ. යථාර්ථය එයයි.

මෙවර ලබා ඇති ප්‍රතිඵලය අනුව ඇමැති මණ්ඩලය නම් කිරීමේදී වෙනත් දේශපාලන පක්ෂවල සහාය ලබා ගැනීමට පොදු ජන පෙරමුණට අවශ්‍යතාවක් මතු නොවේ. එසේම සුළු ජාතික දේශපාලන පක්ෂවල ප්‍රාණ ඇපකරුවන් බවට පත් වීමට ද අවශ්‍ය නොවේ. එහෙත් එයින් ලබාදෙන පණිවුඩය සියලු සුළු ජාතික දේශපාලන පක්ෂවල අවශ්‍යතා නොසලකා හරිමින් අත්තනෝමතික පාලනයක් ගෙන යාමට මහජනතාව විසින් වරමක් ලබා දී ඇති බව නොවේ. සුළු ජාතික දේශපාලන පක්ෂ මන්ත්‍රීවරු ද මහජන ඡන්දයේ තේරීපත් වූවෝ වෙති. ඔවුන්ගේ දුක් ගැනවිලි සහ අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමාණවත් තරමින් අවධානය යොමු කිරීම ආණ්ඩුවෙන් අපේක්ෂා කෙරේ. පාර්ලිමේන්තුව තුළදී මේ සම්බන්ධයෙන් සැබෑ අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට ආණ්ඩුව පියවර ගත්තොත් එය රටේ අනාගතයට ද යහපත් වනු ඇත.

රටේ පාලනය ඉදිරි පස් වසරක කාලය තුළදී මෙහෙයවනු ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට අනුකූලවය. එසේ වුවද පාර්ලිමේන්තුව තුළ ක්‍රියාදාමයට විනිවිදභාවයක් ලබා දෙන කෝප් සහ කෝපා (රාජ්‍ය ව්‍යවසාය සහ රාජ්‍ය ගිණුම්කාරක) කමිටු මනා ක්‍රියාකාරීත්වයකින් පවත්වාගෙන යාමද අවශ්‍යය. පවතින සමානුපාතික ඡන්ද ක්‍රමයට අනුව කිසිදා අපේක්ෂා කළ නොහැකි වූ ජයග්‍රහණයක් ලැබීමෙන් උද්දාමයට පත් නොවී ජනතාව එයින් තමන්ට ලබා දී ඇති ජනවරමට සාධාරණය ඉටු කරන පාලනයක් ගෙන යාම පොදු ජන පෙරමුණේ වගකීමයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් තවදුරටත් ශක්තිමත් වන ආකාරයෙන් ක්‍රියා කරමින් ජනතාව විසින් නව රජය කෙරෙහි තබා ඇති බලාපොරොත්තු ඉටු කිරීම යුගයේ අවශ්‍යතාවයයි. තමන් ඉදිරියේ ඇති ආර්ථිකය ඇතුළු බරපතළ අභියෝගවලට සාර්ථක විසඳුම් ලබාදීමට හැකියාවක් ඇති බව අලුත් රජය මුල සිටම ජනතාවට පෙන්වා දීම අවශ්‍යය. එය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු රජයේ ප්‍රධානම අභියෝගය වනු ඇත.

ශශීන්ද්‍ර

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00