2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

පුස්සන් වෙනුවට නිස්සන් තෝරමු

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 93

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තව ඇත්තේ හරියටම දින හතරකි. අද (02) ඉරිදා ප්‍රචාරක ව්‍යාපාරයේ අවසන් දවස වෙයි. හෙට (03) දිනයටත් ප්‍රචාරක වැඩට ඉඩ දෙන්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් මැතිවරණ කොමිසමට ඉල්ලීම් ලැබී තිබුණත් එය ඉටු නොවීය. මේ නිසා සඳුදාත් අඟහරුවාදාත් දින දෙක මහ මැතිවරණයේ නොනගතය වනු ඇත. ගෙවල්වලට වී සිටින ඡන්දදායකයන්ට තමන්ගේ කැමැත්ත කාට ලබාදිය යුතු ද යන්න තීරණය කිරීමට එම දින දෙක හොඳම කාලයයි.

අනපේක්ෂිත ලෙස දික්ගැසුණු මැතිවරණයක් වුවද මෙවර මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පුරාම දකින්නට ලැබුණේ ඇල්මැරුණු ස්වභාවයකි. ජනාධිපතිවරණයේ දී විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුහුණදෙන ප්‍රථම මහ මැතිවරණය මෙය වුවද කොවිඩ්-19 වසංගතය විසින් ඡන්දදායකයා දුර්මුඛ කිරීම එයට එක් හේතුවකි. එහෙත් එම තත්ත්වය උදාවීමට තවත් කරුණු බලපා තිබෙන බවද නොරහසකි. විශේෂයෙන් නාගරික මට්ටමේ තරුණ පරපුර අතර පාර්ලිමේන්තුවේ “225” සම්බන්ධයෙන් පවතින විරෝධාකල්ප ද එයට බලපෑම් එල්ල කර තිබේ. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමේදී පැවති ගැම්ම එලෙසම මහ මැතිවරණයේදීද පවතිනු ඇතැයි බලාපොරොත්තු වීම ප්‍රායෝගික නැති වුවද දේශපාලන පක්ෂ අතර පවතින මහගැටුම් ද ජනතාවගේ කලකිරීමට හේතු වී තිබේ.

වත්මන් ජනාධිපතිවරයා මාස 09ක් තිස්සේ රට කරගෙන යන්නේ හරිහමං ආණ්ඩුවක් නැතිවය. මේ නිසා නව ආණ්ඩුවක අවශ්‍යතාව රටට තදින්ම දැනෙමින් තිබේ. කුමන පක්ෂයක මූලිකත්වයෙන් ගොඩනැගුණ ද එය ශක්තිමත් ආණ්ඩුවක් වීමද අවශ්‍යය. රට ඉදිරියේ පවතින බැරෑරුම් ගැටලු විසදා ගැනීමේදී වැනෙන සුළු ආණ්ඩුවකින් පලක් නැත.

මේ බව රටේ ඡන්දදායකයන් විසින් ද අවබෝධ කරගත යුතු තත්ත්වයකි. ශක්තිමත් ආණ්ඩුවක් හදාගැනීමේ වගකීම ඇත්තේ ඡන්දදායකයන් අතේය. එම වගකීම ඉටුකළ හැක්කේ ලබන 05 වැනිදා වේලාසනින්ම ඡන්ද පොළට ගොස් පනවා ඇති සියලු සෞඛ්‍යාරක්ෂක නීතිරීති අනුගමනය කරමින් තමන්ගේ ඡන්දය භාවිත කිරීමය. ඡන්දය නොදා ප්‍රතිඵල බලාපොරොත්තු වීම ගසක් නොසිටුවා ගෙඩි බලාපොරොත්තු වීමකි. මුලින්ම කළ යුත්තේ ඡන්දය ප්‍රකාශ කිරීමය.

ජනාධිපතිවරණයේ දී ඉහළම ප්‍රතිශතයක් වාර්තා කර තිබූ ඡන්දය ප්‍රකාශ කිරීම මහ මැතිවරණයේ දී අඩු වුවොත් එහි වගකීම රටේ දේශපාලන නායකයන් වෙත පැවරෙන බවද ඒ සමඟ සඳහන් කළ යුතුය. ඡන්දය ලබාදෙන්නැයි ජනතාවට ආයාචනා කරමින් කප්පරක් පොරොන්දු දෙන බොහොමයක් මන්ත්‍රීවරුන්ට ජයග්‍රහණයෙන් පසු ඒ කිසිවක් මතක නැත. මේ අමතක වීමේ ලෙඩේ වඩාත්ම බලපාන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරැන්ටය. තමන්ට ලබාදුන් පොරොන්දු ඉටුකිරීම වෙනුවට තමන්ගේත් තම බත් බැලයන්ගේත් ඕනෑ එපාකම් වෙනුවෙන් කැප වී වැඩ කරන මන්ත්‍රීලා දැන් මේ රටේ ජනතාවට තිත්ත වී ඇතැයි පෙනෙන්නේ ඔවුන් “225” දෙනාම එපා කියන තත්ත්වයට ජනතාව වැටී සිටීමෙනි. ඉදිරි ඡන්දය එවැනි මන්ත්‍රීවරුන්ට වඩාත්ම තීරණාත්මක විය හැකිය. පසුගිය කාලයේ බලයේ සිටි සහ විපක්ෂයේ සිටි සියලුම මන්ත්‍රීන්ට මේ කාරණය අදාළය.

රටේ ජනතාවගෙන් විශාල පිරිසක් සමාජ මාධ්‍ය කෙරෙහි ආකර්ශනය වී සිටීමෙන් මන්ත්‍රීවරුන්ට ලාභයක් මෙන්ම පාඩුවක් ද සිදුවී තිබෙන බව පෙනී යයි. තමන්ගේ ඡන්ද ප්‍රචාරක කටයුතුවලදී සමාජ මාධ්‍ය හරහා වැඩි වියදමකින් තොරව එය ජනගත කළ හැකි වීමත් හොඳ වැඩක් කළොත් වහාම ඒ බව විශාල පිරිසකට දැනගත හැකි වීමත් වාසියකි. එහෙත් අපේ රටේ බොහොමයක් මන්ත්‍රීවරුන් වඩාත් ජනප්‍රිය වන්නේ නරක වැඩ හේතුවෙනි. හොඳ වැඩක් කරන්නේ කලාතුරකිනි. අඩුම තරමින් තමන්ට ඡන්දය දී පාර්ලිමේන්තුවට යැවූ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී කතා කිරීම පවා මොවුන් පැහැර හරින්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. රටට වැදගත් වාද විවාදවලදී මහජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය පිළිබඳ සොයා බැලිය හැකි නම් යථාර්ථය වටහා ගැනීම අසීරු නොවේ. අතීතයේ දී මෙන් නොව සමාජ මාධ්‍ය හරහා මේ තොරතුරු ජනතාවට ඉතා පහසුවෙන් ලබාගත හැකිය. හොරට වැඩ කරන මන්ත්‍රීවරුන්ට නම් එය මහත් පාඩුවකි.

අපේ රට ඉදිරියේ පවතින්නේ දැවැන්ත ගැටලු රාශියකි. කොවිඩ්-19 වසංගතය විසින් එය වඩාත් සංකීර්ණ තත්ත්වයට පත් කරනු ලැබ තිබේ. ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට තේරීපත් වන මන්ත්‍රීවරුන්ට ඊළඟ වසර කිහිපය තුළදීම වැඩි වගකීමක් පැවරෙන බව අවිවාදිතය. ඒවායි කර ඇරීමට කටයුතු කළහොත් මහ මැතිවරණවලින් බලයට පත්වෙන ආණ්ඩු කෙරෙහි මෙරට ජනතාව තුළ පවතින විශ්වාසය තවදුරටත් හීන වනු ඇත. එහි ප්‍රතිඵල වනු ඇත්තේ ඡන්දය දැමීමට ජනතාව තුළ පවතින උනන්දුව තවදුරටත් අඩු වී යාමය. විපක්ෂයට යන මන්ත්‍රීවරුන්ට ද මේ වගකීමෙන් මිදිය නොහැක. රටක ආණ්ඩුව ශක්තිමත් වනවිට ශක්තිමත් විපක්ෂයක් තිබීම ද අනිවාර්ය සාධකයකි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්ම සඳහා බලපාන තීරණාත්මක කරැණක් වග සඳහන් කරනු වටී.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00