2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

කෙළින් කතා

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 158

පසුගිය කාලයපුරා අපි වැඩ ගොඩක් කළා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක ප්‍රේමනාත් සී. දොලවත්ත

නීතිඥ වෘත්තියේ නමක් දිනා සිටින ඔබ ඇයි එකපාරටම පොහොට්ටුවේ දේශපාලනය තෝරාගත්තෙ?
මම පසුගිය කාලය පුරාවටම ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස අසධාරණයට ලක් වූ අය වෙනුවෙන් පෙනී සිටියා. දේශපාලනයට එන්න ප්‍රධානම හේතුව වුණේ මහජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඬක් නගන්න. රටේ ඉන්න පීඩිත පන්තිය වෙනුවෙන් තමයි මම පෙනී ඉන්නෙ. කොහොමත් මම දේශපාලනය පසුගිය කාලය පුරාම කළා. ශක්තිමත් පක්ෂයක් තුළින් ජනතාවට සේවය කරන්න තමයි මම සක්‍රීය දේශපාලනයට එන්නෙ.

පොහොට්ටුව ජාතික උරුමය, ජාතිකත්වය, සංස්කෘතිය ගැන නිරතුරැවම කියනවා. එහෙම කියන පොහොට්ටුවේ ප්‍රබල දේශපාලන නියෝජිතයෙක් කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කරනවා. ඊට පස්සේ ඉතිහාසයේ එහෙම එකක් නෑ කියලා එම සිදුවීම යට ගහන්න හදනවා. ඇයි මෙහෙම කරන්නෙ?
ඒක සම්බන්ධව විමර්ශන කටයුතු මේ වෙනකොට සිදු කරගෙන යනවා. කිහිප දෙනෙක් විවිධ කතා කියනවා. ඒ වගේම අපිට තියෙන ගැටලුව තමයි මේක පෞරාණික ගොඩනැගිල්ලක් නම් කොහොමද මෙතන ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගියේ කියලා. ඒ වගේම ටයිල් අල්ලපු බාත්රූම් තියෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි දැක්කා පසුගිය කාලයේ සාම්පූර්වල චෛත්‍යයක් ඩෝසර් කරනවා. කිළිනොච්චිවල නටබුන් අයින් කරනවා. මේ වෙලවේ අපිට පේන්න තියෙන්නේ සාවද්‍ය කරුණු යම් කණ්ඩායමක් ප්‍රචාරණය කරමින් ඉන්නවා කියලා. කොහොමත් වැරැද්දක් කරලා තියෙනවා නම් කවුරු වුණත් ඒ පුද්ගලයා අපි ආරක්ෂා කරන්නේ නෑ.

පොහොට්ටුවේ කොළඹ මනාප සටන උග්‍රයි. ඔබ දේශපාලනයට නවකයෙක්. කොහොමද මේ අය එක්ක තරග කරලා මනාප සටන දිනන්නෙ?
පසුගිය කාලය පුරාවටම අපි කරන්න ඕන දේවල් සමාජය වෙනුවෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම මම අනිත් අයගේ තරම තරාතිරම ගැන බලපු අයෙක් නෙවෙයි. එහෙම බලා සිටියා නම් යහපාලන ආණ්ඩුව බිමට වට්ටන්න ක්‍රියා කරපු මුල් 10 අතර මගේ නම කියවෙන්න විදියක් නෑ. ඒ දායකත්වය අපි ලබා දුන්නේ හරි දේවල් වෙනුවෙන් පෙනී හිටපු නිසයි. මම විශ්වාස කරනවා අපේ ලැයිස්තුවේ පතාක යෝධයෝ ඉන්නවා. අපි කොහොමත් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය කිරීම තුළ අපිට මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලැබෙනවා. මම ජනතාව වෙනුවෙන් දැනෙන දෙයක් රටට කරලා තියෙන නිසා මගේ ගමන මට යන්න පුළුවන් කියලා හිතනවා.

පොහොට්ටුවේ නායකයන් ජනතාවගෙන් ඉල්ලන්නේ 2/3ක බලයක්. නමුත් මේ රටේ 2/3 බලයක් ලබාගත් සියලු ආණ්ඩු අත්තනෝමතික ලෙස බලය පාවිච්චි කරනවා කියලා මහජනතාව තුළ මතයක් තියෙනවා නේද?
බලය සම්බන්ධව කතා කළොත් ඇයි මේ අපි 2/3 ඉල්ලන්නේ කියලා හැමෝම දන්නවා. අපිට ඕන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න. රටේ ජනතාවට සේවයක් කරන්න තමයි අපි බලයක් ඉල්ලන්නෙ. මොකද, මේ නායක දෙපළ ඇති කරන ආණ්ඩුවක් තුළ සැමටම එක ලෙස ජීවත් වීමට හැකිවෙනවා.

පොහොට්ටුවේ ඡන්ද ව්‍යාපාරයේ කැපීපෙනෙන ලක්ෂණයක් තමයි සුළු ජාතික පක්ෂවල විශ්වාසයක් නැතිව කටයුතු කරන එක. මේක ඡන්ද ප්‍රතිඵලයට අයහපත් බලපෑමක් කරන එකක් නැද්ද?
සුළු පක්ෂවල අය හිතාගෙන ඉන්නවා ඒ අය තමයි අපේ අනෙකුත් සහෝදර ජාතීන්ගේ ගැලවුම්කරුවා කියලා. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඒ සහෝදර ජාතීන් අපිත් එක්ක අත්වැල් බැඳගෙන තියෙනවා. ඒ අය කවුරුත් දන්නවා පසුගිය කාලයේ සමාජයේ සිදුවුණු දේවල් ගැන. රටේ ජනතාව දැන් බලාපොරොත්තු වෙන්නේ එකව ජීවත් වෙන්න පුළුවන් රටක්. සහෝදර ජාතීන් දැන් දන්නවා එහෙම කරන්න පුළුවන් කාටද කියලා. අනෙක සුළු පක්ෂවල ඡන්ද මෙවර මැතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ නෑ. 

ගම්පහට වැඩක් කරන්නේ කවුද කියලා දන්න අය දන්නවා

ගම්පහ දිස්ත්‍රික් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු අපේක්ෂක හර්ෂණ රාජකරුණා

සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් රැසකගේ පක්ෂ සාමාජිකත්වය එක්සත් ජාතික පක්ෂය විසින් තහනම් කරලා තියෙනවා. මේ තත්ත්වය එක්ක ඔබලා අමාරුවේ වැටුණා නේද?
කිසිසේත්ම මෙම සිදුවීම එක්ක අපි අමාරැවේ වැටිලා නෑ. එක්සත් ජාතික පක්ෂය අපිව නෙරපන්න කටයුතු කිරීම එජාපයට අවාසනාවක් කියලා පෙන්නුම් කරනවා. මේ වෙලාවේ බොහෝ එක්සත් ජාතික පක්ෂයට ළැදි එජාප පාර්ශ්විකයන් අපි වටා තමයි එක්වී සිටින්නෙ. ඔවුන් කලකිරිලා ඉන්නේ මේ කරපු වැඩේ නිසා. ඒ වගේම මේ පිළිබඳව නැවත වරක් අපි අධිකරණයේ සහාය පැතීමට බලාපොරොත්තු වෙනවා.

ඔබගේ නායකයන් විශාල වශයෙන් පොරොන්දු දෙනවා දේශපාලන වේදිකාවල. මේවා බොරු පොරොන්දු කියලා කෙනකුට හිතෙන්න පුළුවන් නේද?
ඇත්තටම අපිට මේ පොරොන්දු ඉටු කරන්න පුළුවන්. මොකද මේ රජය අරගෙන තියෙන වර්තමාන තීරණ එක්ක බැලුවම එම පොරොන්දු ඉටු කිරීම ලොකු දෙයක් නෙවෙයි. දැන් උදාහරණයකට අර ගල්කිස්ස වෙරළ තීරයට වැලි පිරෙව්වා. අන්තිමට මොකද වුණේ කියලා හැමෝම දන්නවා. ඒ වගේ නාස්තිකාර වියදම් අවම කර ගත්තා කියන්නේ අපිට මේ පොරොන්දු ඉටු කරන්න පුළුවන්. අපි කවදාවත් ජනතාවට ඉටු කරන්න බැරි පොරොන්දු දුන්නේ නෑ. එහෙම දීලත් නෑ.

ගම්පහ ප්‍රබල මනාප සටනක් තියෙනවා. ඒ වගේම පොහොට්ටුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ විශාල මන්ත්‍රීධූර සංඛ්‍යාවක් හිමිකරගන්න බව කියනවා. කොහොමද මේ තත්ත්වය එක්ක ඔළුව උස්සන්නෙ?
මේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු දිහා බැලුවම පොහොට්ටුවට ඔය කියන තරම් ප්‍රතිශතයක් සහ මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ගන්න බෑ කියලා අපිට පේනවා. ඒ වගේම සමගි ජනබලවේගය ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඉදිරියට ඇවිත් තියෙනවා. දැන් වත්මන් ආණ්ඩුව මේ කෙටි කාලය තුළ ජනතාවට එපාවෙලා තියෙන්නෙ. මිනිස්සු දන්නවා ගම්පහට වැඩක් කරන්නේ කවුද? නැත්තේ කවුද? කියන එක. ඒ නිසා සමගි ජනබලවේගයට මේ මනාප සටන ජය ගන්න එක ලොකු දෙයක් නෙවෙයි 

දැන් ඔබලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයත් සමඟ සටනක. ඒ වගේම තමයි ඔබලා කියනවා පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියලා. ඇයි ඔබලා ජනතාවට කියන්නේ පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියලා?
පොහොට්ටුව තමයි අපේ විරුද්ධවාදීන්. ඒ වගේම ලංකා ඉතිහාසයේ කෙටි කාලයක් තුළ ජනතාවට පොහොට්ටුව එපාවෙලා තියෙන්නෙ. ඇත්තටම පොහොට්ටුව 2/3ක බලයක් ලබාගත්තොත් රට නැවත වරක් ආපස්සට යනවා. මේ ව්‍යවස්ථාව සංශෝධනය කරනවා ඔවුන්ට වුවමනා විදියට. ඒකට තමයි මොවුන් බලය ඉල්ලන්නෙ. වැඩක් කරන්න බැරි ආණ්ඩුවකට ජනතාව ඡන්දය දීලා වැඩක් නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියලා.

සමගි ජනබලවේගය සූදානම් සිරිකොත අල්ලන්න. නමුත් එක්සත් ජාතික පක්ෂය සූදානම් ආණ්ඩු බලය අල්ලන්න කියලා එජාපය ඔබලාගේ ඡන්ද සටන හෑල්ලු කරනවා නේද?
අපේ බලාපොරොත්තුව වෙන්නේ ආණ්ඩු බලය ලබාගන්න. එහෙම අපි ආණ්ඩු බලය ලබාගත්තම සිරිකොත විතරක් නෙවෙයි අරලියගහ මන්දිරයත් අපිට හිමිවෙනවා. මේ ආණ්ඩු බලය ලබාගන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි කැප වෙන්නෙ.

 

පාර්ලිමේන්තුවෙන් පිට ඉඳගෙනත් මම ජනතාව වෙනුවෙන් සටන් කළා

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු  අපේක්ෂක එස්.එම්.එස්. මොහොමඩ්

ඔබ විශාල සමාජ සත්කාර සඳහා දායක වෙලා තියෙනවා. එවැනි සමාජ සත්කාර ඔබ සිදු කළේ මේ මහ මැතිවරණය ඉලක්ක කරගෙනද?
ඇත්තටම නෑ. මම සමාජයට සේවය කළේ රටේ ජනතාව වෙනුවෙන්. ජනතාවට සේවය කරන්න තමයි මට වුවමනාව තියෙන්නෙ. මේ රටේ තියෙන දේශපාලනය ගැන ජනතාව තුළ කිසිදු පැහැදීමක් නෑ. මේ කණ්ඩායම වෙනුවට අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවන්න ඕන කියලා සමාජයේ මතයක් තිබුණා. එහෙම මහජන මතයක් ගොඩනැගුණේ පාර්ලිමේන්තුව ජනතාවට එපා වුණු නිසයි. මම පාර්ලිමේන්තුව පිට සිට ජනතාව වෙනුවෙන් හඬ නගපු කෙනෙක්. මම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙත් ජනතාව වෙනුවෙන්. මම පාර්ලිමේන්තු ගියත් මම මගේ වැටුප බැර කරන්නේ පිළිකා අරමුදලට.

ඔබ නියෝජනය කරන්නෙ අලියා. මොනවද ඔබලගේ පක්ෂයේ ජයග්‍රණ බලාපොරොත්තු?
ඇත්තටම අපි ආණ්ඩුවක් පිහිටුවනවා කියන එක තමයි අපේ තියෙන බලාපොරොත්තුව. අපි ජයග්‍රහණ රාශියක් ගත්ත පක්ෂයක්. එජාපය පසුගිය මාස තුන හතරක කාලය තුළ විශාල පිබිදීමක් ලබාගත්තා. එජාපයේ හිටපු හොරකම්, වංචා දූෂණවලට සම්බන්ධ අය පක්ෂයෙන් ගියා. දැන් නව කණ්ඩායමක් සමඟ තමයි නායකතුමා මහ මැතිවරණයට අවතීර්ණ වෙලා ඉන්නෙ. දැනුමකුයි දැක්මකුයි තියෙන කණ්ඩායමක් අපි වටා දැන් තියෙනවා. පසුගිය කාලයේ පක්ෂයට තිබුණු බාධක කිසිවක් දැන් නෑ. ඒ නිසා මහ මැතිවරණ ජයග්‍රහණය ගැන අපේ බලාපොරොත්තුවක් තියෙනවා.

ඔබ නියෝජනය කරන්නෙ කොළඹ දිස්ත්‍රික්කය. ඒ වගේම ප්‍රතිවාදී කණ්ඩායම්වලත් මුස්ලිම් අපේක්ෂකයන් ඉන්නවා. මැතිවරණයකදි මුස්ලිම් ඡන්ද වැදගත් සාධකයක්. ඔබට මේ මුස්ලිම් ඡන්ද ලබාගන්න පුළුවන් වෙයිද?
එක්සත් ජාතික පක්ෂයේ බලකොටුව කොළඹ. බොහෝ මුස්ලිම් ජාතිකයන් ඉන්නවා කොළඹ අලියා ලකුණට එජාපයට ආදරය කරන. මමත් පසුගිය මාස තුන හතරෙම මේ කොළඹ පුරාවට ඇවිද්දා. එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් කිසිම පක්ෂයක් කොළඹ මුස්ලිම් ජනතාව ගැන හොයා බැලුවේ නෑ. ඒ වගේම එකපාරට පිටින් ඇවිත් ජනතාවගේ ඡන්දය ගන්න බෑ. කොළඹ දිස්ත්‍රික්කය තුළ. ඒ නිසා මෙවරත් කොළඹ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා. ඒක කාටත් වළක්වන්න බෑ.

එක්සත් ජාතික පක්ෂය බලයට ආවොත් ආර්ථිකය වර්ධනය කරන්න විශාල වැඩපිළිවෙළක් තියෙනවා කියලා නිරතුරුවම කියනවා. එහෙම වැඩපිළිවෙළක් තියෙනවා නම් ඇයි ඔබලා පසුගිය යහපාලනය කාලයේ ඒවා ක්‍රියාත්මක කළේ නැත්තෙ?
ඇත්තටම මම පළවැනි වතාවට තමයි ඉල්ලන්නෙ. නමුත් මම පුරවැසියෙක් විදියට අවදියෙන් හිටියා. යහපාලන කාලයේ එජාපයට මුකුත් කරන්න බැරිවුණේ. හිටපු ජනාධිපතිතුමාගේ සහාය නැතිවීම නිසයි. මොකද යහපාලන ආණ්ඩුව යටතේ විශාල කාර්යභාරයක් කරන්න තිබුණත් එයට හිටපු ජනාධිපතිතුමා ඉඩ දුන්නෙ නෑ. ඒ නිසා තමයි ජනතාව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන්න බැරි වු‍ණේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකයන් කියනවා ප්‍රතිවාදී පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියලා. ඇයි ඔබලා පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියන්නෙ?
2/3ක බලයක් හම්බවුණොත් ඕනෑම වෙලාවක මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්. මේ ව්‍යවස්ථාවේ හැමෝගෙම අයිතීන් සුරුකිලා තියෙනවා. නමුත් අලුතෙන් 2/3 හම්බවුණොත් වඳුරට දැලිපිහිය හම්බවුණා වගේ වැඩ කටයුතු කරයි. ඒ නිසා තමයි අපි මේ බලය පොහොට්ටුවට දෙන්න එපා කියලා කියන්නෙ.

 

මේ ඡන්දෙදි අපි ලොකු වෙනසක් කරනවා

ජාතික ජනබලවේගය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා නිරූපා සේරසිංහ

දූෂණය, වංචාව, අපරාධවලට, හොරකමට විරුද්ධ වන දේශපාලනයක් මාලිමාව මේ රටට හඳුන්වා දෙන බව කියනවා. නමුත් පසුගිය යහපාලන ආණ්ඩුව කරපු හොරකමට දූෂණයට මාලිමාවේ ප්‍රධාන පක්ෂය වුණු ජවිපෙ විරුද්ධ වුණේ නෑ කියලා ජනතාවගෙන් චෝදනාවක් තියෙනවා?
ඒක සම්පූර්ණ වැරදියි. පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් තමයි ඒ ආණ්ඩුව කරපු වැරදි සියල්ල පෙන්වා දුන්නෙ. ඒ වගේම රටට අහිතකර ගිවිසුම් ගෙනෙනකොට විරැද්ධ වුණු එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. 2015 රාජපක්ෂ ආණ්ඩුව පළවා හරින්න ව්‍යංගයෙන් යහපාලනයට සහාය දුන්නා. නමුත් එහෙම වුණා කියලා යහපාලනය කරපු අවශ්‍ය නැති දේවල්වලට ජවිපෙ සහාය දුන්නෙ නෑ. ඊළඟට එන ආණ්ඩුවත් රටට හිතකර ජනතාවට හිතකර දෙයක් කළොත් සහාය දෙනවා. එහෙම නැත්තම් සහාය දෙන්නෙ නෑ.

වෙනදාට බොහෝ දුරට මහ මැතිවරණ සටන තුන්කොන් සටනක් වුණත් මෙවර පොහොට්ටුව, සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ජාතික ජනබලවේගය ලෙස කොටස් 4ක් තියෙනවා. කොහොමද? දිනන්න පුළුවන් වෙයිද?
නෑ. පක්ෂ හතරක තරගයක් නෑ. පක්ෂ දෙකක් තමයි තියෙන්නෙ. දැන් මේ මැතිවරණයෙන් පස්සෙ මොකද? යූ.එන්.පී. එකෙන් රනිල් පිල මෙහෙයවන්නෙ මහින්ද මහත්තයා. සජිත්  පිල මෙහෙයවන්නෙ බැසිල් මහත්තයා. ඔය කණ්ඩායම් තුනම එකට එකතුවෙලා තමයි අගෝස්තු 5 න් පස්සෙ ආණ්ඩුව හැදෙන්නෙ. ඒ නිසා තමයි මොවුන් දේශපාලන වේදිකාවේ එකිනෙකාට පහර නොගසන්නෙ. ඒ වගේම බැඳුම්කර වංචාව ගැන, සංස්කෘතික අරමුදලේ සල්ලි ගැන පරීක්ෂණ පැවැත්වෙන්නෙ නැත්තෙ ඒ නිසයි. ඒවා තියෙනකම් මේ අය එකට ඉන්නෙ.  මේ හැමෝම පහර ගහන්නෙ ජාතික ජනබලවේගයට. ඒ නිසා මෙවර මහ මැතිවරණයට කණ්ඩායම් 4ක් නෑ. දෙකයි තියෙන්නෙ.

මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදි අපි දකිනවා ජාතික ජනබලවේගය වටා විශාල ජනතාවක් එක් වී සිටිනවා. නමුත් මැතිවරණ ප්‍රතිඵලවලදි ජනතා මනාපය පේන්නෙ නෑ නේද?
මිනිස්සු මේ රටේ දේශපාලනය ගැන හිතන්නෙ ප්‍රසිද්ධ චරිත ගැන. ඒ වගේම පරම්පරා දේශපාලනය ගැන තමයි සමහර මිනිස්සු හිතන්නෙ. මිනිස්සු දන්නවා මේ සමහර පාලකයන් හොරැ වංචාකාරයෝ කියලා. නමුත් මිනිසුන්ට තමන්ගෙ පුරුද්දෙන් ගැලවෙන්න බෑ. පරම්පරාවෙන් ඡන්දය ඒ ඒ පක්ෂවලට දීපු නිසා ඇතැම් අය බලයට පත්වුණා. ලබා දුන්නු තාවකාලික දේවල් නිසා ඡන්දය ලබා දෙනවා. ඇත්තටම ඒ දේවල් මිනිසුන්ට දෙන්න තමයි ඔවුන් පාර්ලිමේන්තු යන්නෙ. ජනතා මුදල්වලින් තමයි ඒ දේවල් මොවුන් ලබා දෙන්නෙ. නමුත් මිනිස්සු හිතන්නෙ ඒවා නියෝජිතයන් විසින් ලබා දෙනවා කියලා. එහෙම වුණාම මිනිස්සු ඡන්දය දෙනවා එතනට හිරවෙලා. ඒක තමයි මෙච්චර කල් වුණේ. නමුත් මෙවර මහ මැතිවරණයේ එය වෙනස් වෙයි කියලා හිතනවා.

පසුගිය ජනාධිපතිවරණයේදි ඔබලා ලබාගත්තෙ 3ක වගේ ප්‍රතිශතයක්. කොහොමද මෙවර මහ මැතිවරණයේදි ඔබලගේ බලාපොරොත්තු?
අපි අනිවාර්යෙන් ඊට වඩා ප්‍රතිශතයක් ගන්නවා. මොකද 3 කතාව ජනාධිපතිවරණයකදි අදාළ වුණාට එය මහ මැතිවරණයට අදාළ වෙන්නෙ නෑ. ගෝඨාභය, සජිත් ජනාධිපති සටනක් තිබුණා ප්‍රධාන පක්ෂ දෙකෙන්. එතනදි මිනිස්සු අපිට වැඩිපුර ඡන්දය ලබා දුන්නෙ නෑ අපි තුන්වැනි බලවේගයක් නිසා. නමුත් මෙවර මහ මැතිවරණයේදි එය අනිවාර් යෙන්ම වෙනස් වෙනවා.

ඔබ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොහොමද මැතිවරණ ජයග්‍රහණ බලාපොරොත්තු?
මෙහෙමයි. ඕන තරම් අපේක්ෂකයන් ඉන්නවා. නමුත් මැතිවරණ සටනකට වඩා අපිට තියෙන්නෙ ජනතාවට සේවය කිරීමේ සටනක්. අපි එකතු වෙන්නෙ පොදු අරමුණකට. මමත් මැතිවරණයට එන්නෙ ජනතාවට ඒ අනෙකුත් අයගෙන් වෙන්නෙ නැති සේවයක් කරන්න. ඒ නිසා ජනතාවගේ ආදරය අපිට තියෙනවා.

 

► හසිත් අංජන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00