2020 ජුලි 18 වන සෙනසුරාදා

කෙළින් කතා

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 172

උගතුන්ගේ පැමිණීම අභියෝගයක් නොවේ, ආශිර්වාදයක්

පිවිතුරු හෙළ උරුමයේ නායක, කොළඹ දිස්ත්‍රික් පොදුජන පෙරමුණ අපේක්ෂක උදය ගම්මන්පිල

පොහොට්ටුවේ අපේක්ෂකයන් අතර නේද තදින්ම මනාප ගැටුම තියෙන්නේ? කොහොමද ඒ මනාප ගැටුමෙන් ඔළුව උස්සන්නේ?

පොහොට්ටුව ඉතිහාසයේ නොවූ විරූ ජයග්‍රහණයක් ලබාගන්න බව හැමෝටම පැහැදිලියි. ඒ නිසා ඒ ජයග්‍රහණ අතරට පැමිණීම සඳහා දැඩි සටනක් තිබෙනවා. ඒ වගේම අතීතයේ මැතිවරණවල මනාප සටන්වල වගේ අවි ආයුධගෙන මනාප සටනක් මෙවර නැහැ. එය ජනාධිපතිතුමා ගොඩනැගූ දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙන යාමක් ලෙස තමයි මම දකින්නේ. අපි වසර පහක් අඛණ්ඩව මේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. ඒ නිසා මනාප පොරයේ කිසිදු බලපෑමක් නැහැ.

මෙවර මැතිවරණය පැවැත්වීමට පෙර සිටම උගතුන් වියතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි කියලා සමාජයෙන් ජනතා හඬක් ගොඩනැගුනා. දැන් වියත්මග මගින් හඳුන්වා දීපු සරත් වීරසේකර වැනි අපේක්ෂකයන් කොළඹට ඉදිරිපත් වෙලා ඉන්නවා. එවැනි වියත්මගේ ඉදිරිපත්වීම් මගින් ඔබ වැනි ජ්‍යෙෂ්ඨ අභියෝගයක් තිබෙනවා නේද?

උගතුන් වියතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි කියන මතයේ එදා සිටම අපි සිටියා. සරත් වීරසේකර මහතාට අම්පාරෙන් කොළඹට එන්න කියලා ආරාධනා කළෙත් මමයි. ඒ ගැන එතුමා කියලා තියෙනවා. ඒ වගේම එතුමා දේශප්‍රේමියෙක්. එතුමා වැනි දේශප්‍රේමී නායකයන් පැමිණීම ගැන මම අවංකවම සතුටු වෙනවා. ඒ නිසා උගතුන් අප වෙත පැමිණීම අපි දකින්නේ අභියෝගයක් ලෙස නෙවෙයි අශිර්වාදයක් ලෙසට.

පොහොට්ටුව සහ ශ්‍රීලනිපය මෙවර එක්ව තමයි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ එහෙත් එම කඳවුරු දෙකෙහිම ජ්‍යෙෂ්ඨයන් එකිනෙකාට පහර ගහන බවක් පේන්න තිබෙනවා. පක්ෂ නායකයන්වත් මෙය නතර කිරීමට උත්සාහ දරන බවක් පේන්න නැහැ නේද?

ඔය පහර ගහන කිසිවෙකුත් මගේ පක්ෂයේ අය නෙවෙයි. මගේ පක්ෂයේ අය සමකාමීව මැතිවරණ ව්‍යාපාරයට ඉදිරිපත් කරගෙන යනවා. ඒ ඒ පක්ෂවල අය දැනගත යුතුයි කොහොමද එක්ව ගමනක් යෑමට කටයුතු කළ යුත්තේ කියලා.

වර්තමාන ජනාධිපතිවරයා කොවිඩ් පැතිරුණු මුල් අවදියේදී එය සාර්ථකව පාලනය කරපු එකෙන් ප්ලස් පොයින්ට් එකක් පොහොට්ටුවට හම්බවුණා. දැන් නැවත වසංගතය හෙමින් හිස ඔසවන්න පටන් අරන් තිබෙනවා. වර්තමාන රජය පෙර පරිදි කොරෝනා මර්දනයට තැනක් දෙන්නේ නැහැ කියලා සමාජයෙන් කථාබහක් මතුවෙලා තිබෙනවා?

කොරෝනා ගැන කිසි අවබෝධයක් නැති අය තමයි මෙහෙම කථා පතුරැවන්නේ. කොරෝනා කියන්නේ ගෝලීය අර්බුදයක්. කොරෝනා මර්දනය කරන ආකාරය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙත් පැසසුමට ලක්වෙලා තිබෙනවා. අපි අපගේ මැතිවරණ ප්‍රචාරණයන් පවා කරන්නේ එම නීතිරීතිවලට අනුගත වෙමින්. දැනටත් කොරෝනා මර්දනය වෙනුවෙන් විශාල සේවයක් අපි ඉටුකරමින් පවතිනවා. දැන් මෙරට ඇතිවෙලා තියෙන්නේ කොරෝනා දෙවැනි රුල්ලක් නෙවෙයි. පළවෙනි රැල්ලේ දිගුවක් ලෙස තමයි සෞඛ්‍ය අංශත් පවසන්නේ. අපි එය පාලනය කරන්නත් කටයුතු කරනවා.

ඇතැමුන් කියන්නේ මෙවර මහ මැතිවරණයෙන් පස්සේ පොහොට්ටුවට 2/3 ගන්න පුළුවන් වෙන්නේ වෙනත් පක්ෂ සමඟ එකතුවෙලා කියලා. පොහොට්ටුවට 2/3ක් ගන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද?

වර්තමාන ව්‍යවස්ථාව සම්මත වූ දිනයේ සිටම එය බහුබූත ව්‍යවස්ථාවක් ලෙස අපි පෙන්වා දුන්නා. මේ වනවිට එජාපය පවා එම ව්‍යවස්ථාව වෙනස්කොට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දිය යුතුයි කියන මතයේ ඉන්නවා. ඒ පසුබිම තුළ මේ ව්‍යවස්ථාව වෙනස් කර නව ව්‍යවස්ථාවක් ගෙන ආයුතු බවට සියලුම දේශපාලන පක්ෂවල එකඟතාවක් තියෙනවා. අලුත් ව්‍යවස්ථාව කුමක්ද කියන එක සම්බන්ධව පමණයි මත ගැටුම් තියෙන්නේ. ඉදිරි පාර්ලිමේන්තුවක් තුළ ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ 3/2ක් තිබිය යුතුයි ඒ නිසා තමයි අපි ජනතාවට කියන්නේ අපිට 3/2ක බලයක් ලබාදෙන්න කියලා.

ජනතාවට අද ආණ්ඩුව එපා වෙලා

ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බලවේග අපේක්ෂක කාවින්ද ජයවර්ධන

එක පැත්තකින් ආණ්ඩුව තරග කරනවා. තව පැත්තකින් එක්සත් ජාතික පක්ෂය. ඒ අතර ඔබලගේ අලුත් සන්ධානයත් තරග කරනවා. දැන් ඔබලට තරගෙ තියෙන්නේ එජාපය එක්කද ආණ්ඩුව එක්කද?

පැහැදිලිවම අපිට තරගෙ තියෙන්නේ රටේ බලය ඇල්ලීමට. එහෙම බලය අල්ලලා ජනතාවට සේවය සැලසීම. අපිට කිසිම වෙලාවක එක්සත් ජාතික පක්ෂය ඇතුළේ තරගයක් නෑ. එක්සත් ජාතික පක්ෂය සුපුරුදු දේශපාලන ක්‍රියාදාමයේ යෙදිලා ඉන්නවා. අපි අපේ දේශපාලන ක්‍රියාදාමයේ යෙදිලා ඉන්නවා. ඒ නිසා අපිට කිසිම පක්ෂයක් එක්ක තරගයක් නෑ. අපිට ඕන ජනතා බලය ජයග්‍රහණය කිරීම.

එජාපය එක්කත් එහෙම සබඳතා නැත්නම් ඇයි ඔබලා තවමත් එජාපයට අයිතිවාසිකම් කියන්නේ?

අපි කොහොමත් එක්සත් ජාතික පාක්ෂිකයෝ. පක්ෂය අතහැරලා නෑ අපි. අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගත්ත තීන්දුවකට අනුව තමයි සමගි ජනබලවේගය බිහිකරන්නේ. සමගි ජනබලවේගයේ ප්‍රධාන තනතුරැ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත්ත තීන්දු.

ඒ කියන්නේ මැතිවරණයෙන් පස්සේ ඔබලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක නැවත එකතු වෙනවද? නැත්නම් පාක්ෂිකයෝ හැටියට ඉන්නවද?

ඒක මැතිවරණයෙන් පස්සේ අපි තීන්දු කරන්න ඕන. දැනට තියෙන එකම අරමුණ අපි මේ මැතිවරණය ජයග්‍රහණය කරන එක. මේ වෙලාවේ අපිට තනතුරැ තානාන්තර ගැන හිතන්න වෙලාවක් නෑ. ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ රටේ ජනතාවට. අන්න ඒ එපාවීම වෙනුවෙන් සහ රට ගොඩනැගීම වෙනුවෙන් අපි ඉදිරිපත් වෙන්න ඕන. 

දැන් රටේ එක්සත් ජාතික පාක්ෂිකයෝ ඉදිරියේ පක්ෂ දෙකක් තියෙනවා. ඒ පක්ෂ දෙකේම තමන් දන්න අය ඉන්නේ. පාක්ෂිකයෝ ඡන්දෙ දෙන්න ඕන කොයි කණ්ඩායමටද?

සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෝ මේ වනවිට සමගි ජන බලවේගයත් එක්ක. අන්තිමට රටට පාක්ෂික බලවේගයක් හැදෙන්නේ සමගි ජනබලවේගය හරහා විතරයි.

ඔබේ පියා අරටු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. නමුත් ඔබ දැන් එජාපයෙන් ගැලවිලා වෙනත් පක්ෂයක. ඔබ හිතනවද පාක්ෂිකයෝ ඔබට ඡන්දෙ දෙයි කියලා?

එජාප පාක්ෂිකයන්ගේ හඬට ඇහුම්කන් දීලා තමයි අපි මේ තීරණේ ගත්තේ.

හැබැයි එජාපය නම් කියන්නේ එජාප පාක්ෂිකයෝ ඉන්නේ එයාලත් එක්ක කියලා?

අපේ ඉන්න බිම් මට්ටමේ සියලු දෙනාම එජාප පාක්ෂිකයෝ වගේම ආධාරකරැවෝ. ඒ අය තමයි කිව්වේ මේ අලුත් ගමන ආරම්භ කරන්න කියලා. ඒ අයගේ පූර්ණ ආශිර්වාදය අපිට දෙනවා කියලා. ඒ නිසා තමයි මේක අපි ආරම්භ කළේ. 

හැබැයි පක්ෂය ඇතුළෙත් ප්‍රශ්න නේද?

ඔව්. පක්ෂයක් වුණාට පස්සේ විවිධ මතිමතාන්තර තියෙනවා. ආණ්ඩුවෙත් එහෙමයි. ඒ වාද විවාද මැද්දෙ තමයි පක්ෂයක් ඉදිරියට යන්නේ. 

අවසාන වශයෙන් කියන්න ගම්පහ ජනතාව ඇත්තටම කාවින්ද ජයවර්ධනට ඡන්දය දියයුත්තේ ඇයි?

මම වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. මම හොරකම් කරලා නෑ. මම වංචා කරලා නෑ. මම ජනතා මුදල් ගසා කාලා නෑ. හැබැයි මම හැමදාම ජනතාව වෙනුවෙන් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි කෙනෙක්. මම ඉල්ලන්නේ මටත් වඩා මේ පවතින තත්ත්වය ගැන ජනතාවට හිතන්න කියලා. මේ තත්ත්වය අනාගතයේදී නරක අතට හැරෙන්න පුළුවන්. ඒ නිසා හොඳට හිතලා තීන්දුවක් ගන්න කියලයි මට රටේම ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ.

මේ ආණ්ඩුව කිව්ව කිසිම දෙයක් කළේ නෑ

 

පුත්තලම දිස්ත්‍රික් එ.ජා.ප. අපේක්ෂක පාලිත රංගේ බණ්ඩාර

ජනාධිපතිවරණයේදී සජිත්ට ඡන්දෙ දෙන්න කියලා කියපු ඔබ ඇයි දැන් අත දිගහැරලා සමගි ජන බලවේගයට පහර දෙන්නේ. කාගේ හරි කොන්ත්‍රාත් එකක්ද?

සජිත් අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ යූ.එන්.පී. එකෙන්නේ. දැන් සජිත් යූ.එන්.පී. නෙවෙයිනේ.

ඒ නිසාද ඔබලා සමගි ජන බලවේගයට පහර දෙන්නේ?

නැහැ. අපේ ප්‍රතිපත්තිය තමයි එජාපයේ ප්‍රතිපත්තිය. ඒ වගේම රට ගොඩනැගුව පක්ෂයක් තමයි එජාපය කියන්නේ. සමගි ජනබලවේගය කියන්නේ එවැනි පක්ෂයක් නෙවෙයි. ඒ නිසා අපිව හැරගිය කවුරැත් කියන දේවල්වලට අපි මොනවත් කියන්නේ නැහැ. ඒ අයට ඕන පක්ෂ මූලස්ථානය අල්ලගන්න. නමුත් අපිට ඕන එජාපයේ සැබෑ පාක්ෂිකයන් එක්ක ඉදිරියට යන්න. ඔය දෙක අතර වෙනසක් තියෙනවනේ. අනික අපිට ඔය එක එක පක්ෂවලට ගහන්න කොන්ත්‍රාත් ගන්න උවමනාවක් නැහැ.

ඔබ මාධ්‍ය සාකච්ඡාවලදී කියනවා එජාපයේ හිටපු හොරු දූෂිතයන් ඔක්කොම ගියා කියලා. නමුත් සමගි ජන බලවේගය කියන්නේ දැන් එජාපයේ ඉන්නේ නායකතුමාට හිතවත් අය විතරයි කියලා. ඔබත් එයින් කෙනෙක් කියලා ඔවුන් චෝදනා කරනවා?

පාස්කු බෝම්බයට වග කියන්න ඕන අය දැන් අපි එක්ක නැහැ. වංචාවලට සම්බන්ධ අය අපිත් එක්ක නැහැ. බැඳුම්කර වංචාව සාධාරණීකර‍ණය කරන්න පොත් ලියපු අය අපිත් එක්ක නැහැ. කොම්පැනි අධ්‍යක්ෂකම් ගත් අය නැහැ. ඒ වගේම මහා සංඝරත්නයට, කාදිනල් හිමියන්ට අපහාස කරපු අය නැහැ. අපිත් එක්ක ඉන්නේ යුක්තිසහගත උදවිය. ඒ නිසා ඉතාම පැහැදිලිව මේ මැතිවරණය ගැන අපිට කිසි ගැටලුවක් නැහැ. අපිට දුර ගමනක් යන්න පුළුවන්.

දැන් ඔබතුමන්ලාගේ අභ්‍යන්තර ප්‍රශ්න හැර මේ ආණ්ඩුවේ වැරුද්දක් ඔබලා දකින්නේ නැද්ද? නැත්තම් ඒ ගැන කථා නොකර ඉන්නේ මේ ආණ්ඩුව එක්ක ඩීල් එකක් දාපු නිසාද?

අපි ආණ්ඩුවට ගහන ගැහිල්ල කවුරැත් ගහන්නේ නැහැ. දැන් වත්මන් ජනාධිපතිවරයා පත්වෙලා මාස නමයයි ඔහු හාල් මිල අඩු කරන්න තීරණය කළා. ඒක වුණේ නැහැ. ඔහු මහ බැංකු ප්‍රධානීන්ට දෙහි කැපුවා. නමුත් තවමත් ජනතාවට සේවයක් වුණේ නැහැ. ඔහු වේරහැරට ගිහින් කාර්යක්ෂම සේවාවක් ලබාදෙන්න කිව්වා. තවම ඒක වුණේ නැහැ. කිසිම දෙයක් මේ ආණ්ඩුවට කරගන්න බැරිවුණා. අපිට කවුරැවත් එක්ක ඩීල් දාන්න වුවමනාවක් නැහැ. එජාපය කියන්නේ කවදාවත් ඩීල්දාන පක්ෂයක් නෙවෙයි. අපිට ඩීල් දානවා කියන අය තමයි ආණ්ඩුව එක්ක ඩීල් දාන්නේ.

මෙවර මහ මැතිවරණය සඳහා ආණ්ඩුව 2/3ක් ගන්න බවට ඉලක්ක කරලා කියනවා. මොකක්ද ඔබලාගේ ඉලක්කය?

ආණ්ඩුවේ ඉලක්කය සම්පූරණ කරගන්න පුළුවන් වෙයිද කියලා බලන්න ඕන මේ මැතිවරණයෙන් පස්සේ. අපේ ඉලක්කයත් රටේ ආණ්ඩු බලය ලබාගැනීම එලෙස ආණ්ඩු බලය ලබාගෙන රටේ ජනතාවට යහපත් හෙට දවසක් උරැම කරදීම තමයි එජාපයේ ප්‍රධානම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ. අපි 2015 ඔය වර්තමාන ආණ්ඩුවට බැහැ කියපු සියලුදේම කරලා දීලා තිබෙනවා. ඒක ජනතාව දන්නවා. ඒ වගේම අතරමග නතරවුණ අපගේ සංවර්ධන කටයුතු ඒ අකාරයටම කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

ඔබ නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතා බලය ලබාගන්නා බව සමගි ජන බලවේගය පුන පුනා කියා සිටිනවා. එහෙම වුණොත් ඔබට මොකද වෙන්නේ?

පුත්තලම පසුගිය වසර කිහිපයක කාලයකටම වැඩ කළේ කවුද කියලා ජනතාව දන්නවා. ඒ වගේම පුත්තලමේ ජනතාවගේ ජනදුක දන්නේ කවුද කියලා ජනතාව දන්නවා. ඇතැම් නායකයන් ජනතාවගෙන් ඡන්දය අරන් ඊළඟ ඡන්දෙදි තමයි නැවත එන්නේ. ඒ නිසා රංගේ බණ්ඩාර කියන්නේ කවුද කියලා පුත්තලමේ මිනිස්සු දන්නවා. වැඩ කළේ කවුද? වැඩ කළේ නැත්තේ කවුද කියලත් ඔවුන් දන්නවා.

තක්කඩියන්ගේ සල්ලිවලට අපව විනාශ කරන්න බෑ

ගම්පහ දිස්ත්‍රික් - ජාතික ජන බලවේගය අපේක්ෂක විජිත හේරත්

ජනතා විමුක්ති පෙරමුණ හැටියට දේශපාලනයට පැමිණි ඔබලා මේ වෙනකොට අලුත්ම බලවේගයක් හදාගෙන මාලිමාවෙන් තරග කරනවා. මේ දේශපාලන පෙරුළියක්ද, නැත්නම් ජනතාවට සිදු කරන ඇස් බැන්ඳුමක්ද?

ජනතා විමුක්ති පෙරමුණ ජාතික විද්වත් කමිටුව, ඒ වගේම ප්‍රගතිශීලී දේශපාලන කඳවුරු ගණනාවක්, සංවිධාන 28ක් එකතුවෙලා තමයි මේ ජනබලවේගය ගොඩනැගුවේ. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එජාපය වගේ පක්ෂවල ඉන්න හොඳ මිනිස්සු පවා එක්වුණු තැනක්. මේක රට අලුත් මාවතකට පැමිණීමේ විශාල වුවමනාවක් තිබ්බ අවකාශයක හැදුණු එකතුවක්. ඒ ආපු හිමින් ගමන අද වෙනකොට ශක්තිමත්ව යනවා. 

ඔබලා ඔය දරන මතවාදී අදහස තමයි රටේ බහුතරයක් ජනතාව දරන්නෙ. ඒත් ඡන්දෙකට ගියාම ඡන්ද හම්බවෙන්නෙ ඉතාම සුළු ප්‍රමාණයක්. ඇයි ඒ?

ක්‍රිස්තුස් වහන්සේට කුරැසෙ ඇණ ගහන වෙලාවේ පිලාත් ජනතාවගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ වෙලාවෙ අත්අඩංගුවේ හිටියා හොරෙක් වෙච්චි බරබ්බස්. පිලාත් ඇහුවා ප්‍රශ්නයක් ජනතාවගෙන් නිදහස් කරන්න ඕනෙ කවුද කියලා. එවිට ජනතාව කිව්වෙ බරබ්බස්ව නිදහස් කරන්න කියලා. බරබ්බස් කියන්නෙ පට්ටපල් හොරෙක්. හැබැයි නිවැරදි ජේසුස් වහන්සේට ඇණ ගැහුවා. හැබැයි උන්වහන්සේ දේශනා කරපු යුක්තිය, සාධාරණත්වය, නිදහස මරා දාන්න බැරි වුණා. අන්න ඒ වගේ තමා අදත් ජනතාව වැඩිපුර යන්නෙ හොරැ දූෂිතයො පස්සෙ. හැබැයි සත්‍ය කියන දේ මරා දාන්න බෑ කවදාවත්. හැබැයි සත්‍ය කියන එක ආයෙ ඉක්මනින්ම මහා බලයක් බවට පත්වෙනවා. 

පක්ෂය දිනන්න කෝටි ගණන් වියදම් කරද්දි ව්‍යාපාරිකයෙක් වන නිශ්ශංක සේනාධිපති කෝටි ගණනක් වියදම් කරනවා කිව්වා මාලිමාව පරද්දන්න. මෙහෙම වේදනාවක් තියෙන්න මොකක් හරි සාධාරණයකුත් ඇති නේද?

ඔය ව්‍යාපාරිකයා රජයට හිමිවිය යුතු විශාල මුදලක් රාජපක්ෂ පාලන සමයේදි පෞද්ගලිකව භුක්ති වින්දා. අපි ඒකට විරෝධතාවය දක්වලා ඒ කෝටි ගාණක ආදායම රජයට අරන් දුන්නා. අන්න ඒ තරහ තමයි අපිත් එක්ක තියෙන්නෙ. හිතන්න අපිව පරද්දන්න ඔච්චර වියදම් කරනවා නම් අනිත් පැත්ත දිනවන්න කොච්චර වියදම් කරනවා ඇතිද? එහෙම මුදලක් වියදම් කරන්නෙ එයාගෙ පෞද්ගලික වාසියට. හැබැයි ඕවගෙ තක්කඩි කෝටි ගණන් වියදම් කළත් අපි වගේ පිරිසුදු ජනතා ව්‍යාපාරයක් පරද්දන්න බෑ. යකඩින් ලේ වලින් අපිව විනාශ කරන්න ආවා. ඒකත් බැරි වුණා. 

ඔබලා කාලයක් විපක්ෂයෙ භූමිකාව ඉෂ්ට කළා. ඒ වගේම මේ වෙනකොට යම්කිසි ආකාරයක විපක්ෂයේ භූමිකාවක් ඉෂ්ට කරන්න සිද්ධ වුණොත් තවත් කණ්ඩායම් තුනක් ඉතිරි වෙනවා විපක්ෂය සඳහා. එතකොට කොහොමද අර පරණ විපක්ෂයේ භූමිකාව ඉෂ්ට කරන්නෙ?

මේ වෙලාවේ ජනතාව අපිට බලය දෙනවා නම් අපි සූදානම් ආණ්ඩුව හදන්න. ඒ වගේම මේ වෙලාවේ අපිට දෙන්නෙ මහ පොළොවේ ශක්තිමත් භූමිකාවක් නම් අපි ඒක ඉෂ්ට කරන්නත් ලෑස්තියි. අපි කියන්නෙත් අපේ මාලිමාවේ කණ්ඩායම වැඩි කරන්න. ශක්තිමත් කණ්ඩායමක් අපිට ලබා දෙන්න. මේ රටේ තැලෙන පොඩිවෙන මිනිහා වෙනුවෙන් සටන් කරන්න, අරගල කරන්න අපි සූදානම්. 

ආණ්ඩුව කියනවා 2/3ක් දෙන්න කියලා. ඇත්තටම ආණ්ඩුවට 2/3ක් ගන්න පුළුවන් වෙයිද?

මේ මැතිවරණ ක්‍රමය යටතේ කිසිම පක්ෂයකට 2/3ක් ගන්න බෑ. එහෙම ගත්තත් රාජපක්ෂ පාලන සමයේ ඉතිහාසයේ ඉඳන් ගත්තාම ඉතා භයානකයි. ඔවුන් රට හදනවා කියලා ඇවිල්ලා 2/3 බලය අරන් දූෂණ වංචා වැඩි කළා. යහපාලන ආණ්ඩුවත් එහෙමයි. එතකොට පැහැදිලිව පේන දේ තමයි 2/3 බලයක් ගත්තා කියලා රට හදන්න බෑ කියලා. වර්තමාන තත්ත්වය වෙනකොට මේ ආණ්ඩුවට 2/3 බලයක් තියා 113වත් ගන්න බැරි තැනක ඉන්නෙ. 

ඔබ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂයෙක්. හැම පාරම පාර්ලිමේන්තු ගියා. මේ පාර තරගය වැඩියි. ලේසි වෙයිද?

මම අවුරැදු එකහමාරක් පළාත් සභාවෙ හිටියා. ඊටපස්සෙ අවුරුදු 20ක් පාර්ලිමේන්තුව නියෝජනය කළා. ඒ හැම මොහොතකම ගම්පහෙ ජනතාව මා කෙරෙහි විශ්වාසය තිබ්බා. මට විශ්වාසයි ගම්පහ ඉන්න එජාප, ශ්‍රී ලංකා, පොහොට්ටු දුරකථන හැම දෙනාගෙම ආදරය ඡන්දයක් බවට පෙරළෙනවා කියලා. ඒක ඉතිහාසෙත් වුණා. අන්න ඒ විශ්වාසය මට වගේම මගේ පක්ෂය වන ජාතික ජනබලවේගයටත් තියෙනවා.

 

හසිත් අංජන / ගයාන් ගාල්ලගේ

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00