2020 ජුලි 11 වන සෙනසුරාදා

කන්දකාඩු හැරවුම

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

මහ මැතිවරණයට තව ඇත්තේ දවස් 24ක් පමණි. කොවිඩ් වසංගතය මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට තදින්ම බලපෑම් ඇතිකරන බව පෙනෙන්නට තිබේ. ජනතාව තුළ වෙනදා තිබූ උනන්දුව සහ උද්‍යෝගගය මෙවර ඒ ආකාරයටම දකින්නට නොහැකි වීම එහි ප්‍රතිඵලයයි. පක්ෂ නායකයන් සහභාගි වන රැස්වීම්වලට ජනතාවගේ සහභාගීත්වය තිබුණත් ඡන්ද අපේක්ෂක මට්ටමින් පැවැත්වෙන රැස්වීම්වල කිසිදු උණුසුමක් දකින්නට නැත. හදිසියේ ඇතිවූ කන්දකාඩු පොකුර තත්ත්වය තවදුරටත් සංකීර්ණ කරනු ඇති බව පැහැදිලිය.

කන්දකාඩු මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරැත්ථාපනය කරන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුරක් ඇතිවීම කනස්සල්ලට කරුණක් වුවත් තමන්ට එය හොඳින් කළමනාකරණය කරගත හැකිවනු ඇති බවට හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ්වාසය පළ කර තිබුණි. ඒ පළමු වටයේ දී රෝගීන් 57 දෙනකු හමුවූ අවස්ථාවේදීය. එම සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට පළකෙරුණු අනාවැකිය සත්‍යයක් කරමින් ඊට පසුදින (10) සිකුරාදා වන විට ආසාදිත රැඳවියන්ගේ සංඛ්‍යාව 257ක් දක්වා ඉහළ නැංගේය. මේ සංඛ්‍යාව ද තවත් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව රජයේ නිවේදනයෙන් දැක්වුණේ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන්ගේ සියලු දෙනා සහ කාර්ය මණ්ඩලය ද සම්පූර්ණයෙන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර තිබීම හේතුවෙනි. මේ සංඛ්‍යාව නියත වශයෙන්ම ඉහළ යනු ඇති බව එම මධ්‍යස්ථානයේ පවතින තත්ත්වය විසින් පෙන්වා දී තිබේ.

කොවිඩ් - 19 අලුත් පොකුර කන්දකාඩු මධ්‍යස්ථානය පමණක් සීමා වී දිගටම පැවැතුණහොත් එයින් රටට සිදුවන බලපෑම අවම වනු ඇත. එය මහ මැතිවරණය සම්බන්ධයෙන් ද එසේම වනු ඇත. එම මධ්‍යස්ථානයේ සේවය කළ මාරවිල උපදේශිකාව ශ්‍රී ලංකාවේ දින 78කට පසුව සමාජය තුළින් හමුවූ ප්‍රථම රෝගියා වීම කොවිඩ් වසංගතය පාලනය කර ගැනීමට දායක වූ සියලු කණ්ඩායම්වල කනස්සල්ලට හේතු වී තිබෙන බවට සැකයක් නැත. එහි බලපෑම වඩාත්ම දැනෙනු ඇත්තේ රටේ දේශපාලන අධිකාරියටය.

කොවිඩ් වසංගතය මුල් අවස්ථාවේ සිටම දැඩිව පාලනය කිරීමට මූලිකත්වය ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ තත්ත්වය කිසිසේත් යහපත් ලෙස නොදකිනු ඇත. මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික්ක කිහිපයක නිදහසේ සංචාරය කරමින් මහජනතාව හමුවූ ජනාධිපතිවරයා අසීරු තත්ත්වයක් යටතේ ඡන්ද ප්‍රචාරක කටයුතු සිදුකිරීමේ නව ප්‍රවණතාවක් ද එයින් රටට හඳුන්වා දුන්නේය. එහෙත් කන්දකාඩු සිද්ධිය එවැනි නිදහස් හැසිරීම් නිසැකවම සීමා කරනු ඇත. එම තත්ත්වය සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ට බලපෑමක් ඇතිකරන බවද පැහැදිලිය.

ආණ්ඩුව මහ මැතිවරණයට සූදානම් වීමේදී මුල සිටම තරමක හදිසියක් පෙන්නුම් කළේය. ජනාධිපතිවරණ ජයග්‍රහණයේ උණුසුම මැකී යාමට පෙර මහ මැතිවරණයට ගොස් විපක්ෂය පොඩිපට්ටම් කර දමා විශාල ජයක් ලබාගැනීමට සැලසුම් හැදුවේය. ඒ සමඟ යූ.එන්.පීය දෙකට කැඩී යළි එක්නොවන මට්ටමට වෙන්වී වෙනම තරග කිරීමට ගත් තීරණයත් ජවිපෙ යහපාලන ආණ්ඩුව කාලයේ යූ.එන්.පී. ලේබලය ගසාගැනීමත් හේතුවෙන් ආණ්ඩුවේ එම සැලැස්ම වඩාත් පහසු ඉලක්කයක් සේ පෙනුණි. එසේ සිටියදී ආණ්ඩුව දැක්කේ කොවිඩ් හේතුවෙන් මහ මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසම සැරසෙන බවකි. මේ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) දේශපාලනඥයන් කිහිප දෙනකු විසින්ම මැතිවරණ කොමිසමට දැඩිව පහර දෙනු දැකිය හැකි විය.

එසේ තිබියදී ආණ්ඩුව හමුදාව, සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ ජනතාවගේ ද සහාය ඇතිව කොවිඩ් සාර්ථකව පාලනය කර ගැනීමට සමත් විය. එහිදී දැඩි හිසරදයක් වී තිබුණේ වැලිසර නාවික හමුදා කඳවුර තුළ ඇතිවූ පොකුරයි. එම පොකුර නිවී යන විට රෝගයට ගොදුරු වී සුව වූ නාවික භටයන්ගේ සංඛ්‍යාව 1000කට ආසන්න වී තිබිණි. ජන සමාජය තුළින් මාස දෙකකටත් අධික කාලයක් තුළ එකදු රෝගියකු හෝ වාර්තා නොවීම ආණ්ඩුවට විශාල ජයග්‍රහණයක් විය. එම වටපිටාවේ අගෝස්තු 05 මැතිවරණයේ දී ලබාගත හැකි ආසන සංඛ්‍යාව පිළිබඳ බලාපොරොත්තු දවසින් දවස ඉහළ නැංවුණේය. කාගේවත් ආධාරයක් නොමැතිව තුනෙන් දෙකක බලය සහිත ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දෙන්නැයි පොහොට්ටු නායකයෝ ජනතාව හමුවේ කියන්නට වූහ. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තනි පක්ෂයකට හෝ සන්ධානයකට තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ඇත්තේ ඉතා මඳ අවස්ථාවකි. ආණ්ඩුව තම උපායමාර්ග සැලසුම් කරන්නේ ඉතා දුෂ්කර වූ එකී ඉලක්කය කෙසේ හෝ සපුරා ගැනීමටය. එකවර බැරි වුවොත් පසුව වෙනත් පක්ෂ වලින් තේරීපත්වන මන්ත්‍රීන් පිරිසකගේ සහාය ඇතිව හෝ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීම ආණ්ඩුවේ අරමුණක් විය හැකි බවද බැලූ බැල්මට පෙනී යයි.

කෙසේ වුවද කන්දකාඩු මධ්‍යස්ථානයේ ඇතිවූ අලුත් කොවිඩ් පොකුර ආණ්ඩුවේ එවැනි අරමුණු ජය ගැනීමට සිදුකරන බලපෑමේ තරම දැන්ම කීම අපහසුය. එම පොකුර මධ්‍යස්ථානය තුළටම සීමා කරගත හැකි වූවොත් තවදුරටත් කොවිඩ් පාලනය කිරීමේ ගෞරවය රජය අතේම තබාගත හැකි වෙයි. එවැනි සහතිකයක් සමඟ මහ මැතිවරණයට මුහුණ දිය හැකි නම් ආණ්ඩුවේ මුලින් තිබූ බලාපොරොත්තු බොහෝ දුරට සපුරා ගැනීමට ද හැකිවනු ඇත. ඊළඟ සතිය ඒ අතින් ආණ්ඩුවට තීරණාත්මකය.
මේ අතර යූ.එන්.පී. නායකයා දිගින් දිගටම කියා සිටින්නේ පොහොට්ටු ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශ කර දමා ඇති බවය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ කළ ප්‍රකාශයක සඳහන් වූයේ වත්මන් රජය අසමත් වූ රජයක් බවයි. සිය දහස් ගණනකට රැකියා අහිමි වී ඇති බවත් ජීවන වියදම උග්‍ර වී ආදායම අඩු වූ ජනතාව කබලෙන් ලිපට වැටී ඇති බවත් ඔහු සඳහන් කර තිබිණි. කොරෝනාවට මුහුණදුන් රටවල් විශාල ප්‍රමාණයක් කඩා වැටුණු ආර්ථිකය යළි පණගන්වාගෙන ඇති නමුත් පොහොට්ටු ආණ්ඩුව මාස 08ක් මේ වන විට බලයේ සිටියත් ආර්ථිකය යළි ගොඩනැගීමට අසමත්ව සිටින බවටත් රනිල් චෝදනා කළේය. එසේම ඔහු ප්‍රකාශ කර තිබු‍ණේ තමන් ජනතාවගේ ආර්ථික තත්ත්වය නගාසිටුවීමේ වගකීම බාරගැනීමට සූදානම් බවය. පසුගිය මාස කිහිපය තිස්සේ පොහොට්ටු ආණ්ඩුව පොල් ගෑවාදැයි ඔහු ප්‍රශ්න කළේය. අපනයන වෙළෙඳපොළ රැකගැනීමට කටයුතු කළ යුතු බවත් විදේශ විනිමය උපයා නොගතහොත් කිසිදු ගැටලුවක් විසඳිය නොහැකි බවත් රනිල් කියා තිබුණි.
පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සති කිහිපයකට පසුව තම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය සාකච්ඡාවක් තබා රටේ ආර්ථික සංවර්ධනය ඇතුළු බොහෝ කරැණු සම්බන්ධයෙන් රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දීර්ඝ විස්තරයක් කළේය. (එම සාකච්ඡාව පහත වෙනම පළවෙයි.)

සජිත් පාර්ශ්වය ද ආණ්ඩුවට පහරදෙන අතරවාරයේ යූ.එන්.පීයේ කෙණෙහෙලිකම්වලට ද කිහිප වතාවක් පහර දුන්නේය. හොර මැරකම් කළ, බැංකු කොල්ලකෑ දූෂිතයන් තමන්ගේ කණ්ඩායමේ නැති බවට කළ සඳහන එයින් එකකි. ඒ සමඟ ආණ්ඩුව තම සටන් පාඨයක් බවට පත් කරගෙන සිටින ජාතිකත්වයට මුල්තැනක් දීම සහ බුදු දහම රැකගැනීම පිළිබඳ කතා ද ඔවුන්ගේ විවේචනයට ලක් වී තිබේ.

කුරුණෑගලදී පැවැති මුස්ලිම් සම්මේලනයට සහභාගි වෙමින් අගමැති මහින්ද කියා තිබුණේ මුස්ලිම් ජනතාව විකුණමින් මඩිය තර කරගත් මුස්ලිම් නායකයන් ඉකුත් ආණ්ඩුවේ සිටි බවය. තමන්ගේ රජය සියලුම ජාතීන් එකතු කර ගනිමින් ඉතාම හොඳ ගමනක් යන බවද ඔහු කියා තිබිණි. “එක්සත් ජාතික පක්ෂය මැතිවරණවලට බයයි. පළාත් සභා මැතිවරණයත් කල් දැම්මා. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට උදව් කළේ මුස්ලිම් නායකයො තමයි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැතිව රනිල් වික්‍රමසිංහට රට ගෙන යන්න මේ අය උදව් කළා. රනිල්ව ගෙනල්ලා වැඩක් තියෙනවද? සජිත්ව ගෙනැල්ලා වැඩක් තියෙනවද? ප්‍රේමදාස මහත්තයා ගෙනාවොත් ඉතින් රෑට රෑට ඇවිල්ලා තමුන්නාන්සේලාගේ ජනේල ඇරගෙන බලාන ඉඳීවි” යැයි මහින්ද එහිදී කීවේය.
ත්‍රිකුණාමලයේ මුතූර් හි රැස්වීමකදී සජිත් කීවේ ආගම් භේදයෙන් ජාති භේදයෙන් රට අවුස්සා ගිනි තබන්න හදන්නේ සැබෑ බෞද්ධයන් නොවන බවය. සමගි ජනබලවේග රජයක් යටතේ ආගම්වාදය, ජාතිවාදය, අන්තවාදය මෙන්ම ත්‍රස්තවාදය ද ශ්‍රී ලංකාවෙන් අතුගා දමන බවද ඔහු සඳහන් කළේය. “රණසිංහ ප්‍රේමදාස මහත්තයා සැබෑ බෞද්ධයෙක්. එතුමා දැන් කාලෙ ඉන්න සමහර බෝඩ් ලෑලි බෞද්ධයන් වගේ නෙවෙයි. අද ඉන්න සමහර කාඩ්බෝඩ් වීරයන් තමයි ජාතිවාදය ආගම්වාදය අවුස්සන්නේ. මම ආගම් භේදයෙන් ජාතිභේදයෙන් රට අවුස්සා ගිනි තියෙන බෞද්ධයෙක් නොවෙයි.” යැයි ද සජිත් කීවේය.

මේ කතා වලින් මැතිවරණ කරළියේ උණුසුම් බවක් දැකිය හැකි වුවත් ජනතාව වැඩි වශයෙන් එකතුවන විශාල රුස්වීම් නොමැතිවීම නිසා ඇතැම් පළාත්වල ඡන්දයක් තිබෙන බවක් පෙනෙන්නේ ද නැත. පෝස්ටර්, කටවුට් සහ බැනර් ප්‍රදර්ශනයට තහංචි වැටීම හේතුවෙන් අපේක්ෂකයන් සිටින්නේ ද මනාප රැස්කර ගැනීමේ අරගලයකය. විශේෂයෙන් අලුතින් සටනට බැස සිටින අපේක්ෂකයන්ට එය ගැටලුවක් වී තිබේ. මේ නිසා ඔවුන්ට සිදුවී තිබෙන්නේ වඩාත් වියදම් සහිත දැන්වීම් ප්‍රචාරක ව්‍යාපාර කෙරෙහි විශ්වාසය තැබීමටය. එය බොහෝ දෙනකුට පහසු වැඩක් නොවේ.

මේ අතර සමහරුන් පෙන්වා දෙන්නේ මනාප සටන පොහොට්ටුවට පමණක් සීමා වූ ප්‍රශ්නයක් වශයෙනි. එය තේරැම් ගැනීම අමාරැ නැත. ඉතාම ප්‍රබල තරගකාරීත්වයක් ඇත්තේ පොහොට්ටුව ඇතුළේය. ඔවුන් ශ්‍රීලනිපයට දැඩිව පහර ගැසීමට මූලික හේතුවක් වන්නේ ද එම සටනයි. පොහොට්ටුවේ බලවත්ම දේශපාලන චරිතය වන බැසිල් පසුගිය බදාදා ප්‍රකාශ කළේ තමන්ගේ ආශාව මෙවර පාර්ලිමේන්තුවට වැඩිපුර පොහොට්ටු මන්ත්‍රීන් සංඛ්‍යාවක් තේරීපත් වනු දැකීම බවය. ඒ කතාව ප්‍රසන්න රණතුංගලාට ලොකු උත්තේජනයකි. මෛත්‍රීපාලලාට, දයාසිරිලාට, අමරවීරලාට පහර වැදීමකි. කොහොම වුණත් අවසානයේ වඩාත් වැදගත් වන්නේ ඡන්ද දායකයාගේ තේරීමය.

ඡන්ද දායකයන් අතුරින් වඩාත්ම අමාරුවේ වැටී සිටින්නේ යූ.එන්.පීයට සම්ප්‍රදායිකව ඡන්දය දුන් එම පක්ෂයේ ඡන්ද පදනම වශයෙන් සැලකෙන පාක්ෂිකයන් පිරිසය. ඔවුන් ඡන්ද පොළේ දී ගහන කතිරය අනුව ආණ්ඩුව කවුදැයි යන ප්‍රශ්නයට කෙසේවෙතත් සිරිකොතේ සැබෑ අයිතිකරුවන් වනු ඇත්තේ කවුදැයි යන ප්‍රශ්නයට නම් පිළිතුරක් ලැබෙනු ඇත.

තව සති තුනකුත් දින තුනකින් පැවැත්වෙන ඡන්දයේ දී ඡන්ද දායකයන් ක්‍රියා කරන ආකාරයේ දැනට වඩා ලොකු වෙනසක් සිදුනොවන බව පැහැදිලිය. තමන් ඡන්දය දෙන්නේ කාටදැයි යන්න මේ වන විට ද ඔවුන් තීරණය කර අවසන්ය. කන්දකාඩු හදිසි පොකුර මගින් ඊට ඇතිකරන බලපෑම නම් කෙසේ වනු ඇතිදැයි කීම අමාරුය.

- ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00