2020 ජුලි 11 වන සෙනසුරාදා

බැසිල්ගේ කැමැත්ත

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ප්‍රථම වරට පසුගිය බදාදා (08) මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී විය. බැසිල් පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා ද වෙයි. මැතිවරණ සංවිධාන කටයුතු හේතුවෙන් පසුගිය සති කිහිපයම දැඩි කාර්යබහුල තත්ත්වයකින් පසුවීම හේතුවෙන් ඔහු මාධ්‍යවල පවා දැකගත හැකි නොවීය. මැතිවරණයේදී පොහොට්ටුව ඉතා විශාල ජයග්‍රහණයක් ලබනු ඇතැයි දැඩි විශ්වාසයකින් කතා කළ ඔහු පොහොට්ටුවේ අපේක්ෂකයන් වැඩි වශයෙන් පාර්ලිමේන්තුවට පත්වනු දැකීම තමන්ගේ ආසාව බව සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ මේ මාධ්‍ය හමුව පැවැත්විණි. ඔහු එහිදී දේශපාලන කරුණු හැර රටේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ගෙනහැර දැක්වූ කරුණු මෙසේ විය.

 ජූනි මාසය වනවිට අපනයන ආදායම ඩොලර් මිලියන 950ක් විය. එය ආර්ථිකයේ ශක්තිමත් යළි පණගැන්වීමකි.
 මැතිවරණයෙන් පසුව රජයේ ඉහළම ප්‍රමුඛත්වය ආර්ථික පුනරුදය වනු ඇත.
 සංචාරක කර්මාන්තයේ ලැබෙන ආදායම් තවදුරටත් අර්බුදයක පවතිනු ඇත. ඒ ආදායම් වර්ධනය කරගැනීමට වෙනත් ක්ෂේත්‍ර කෙරේ අවධානය යොමු කෙරෙයි.
 විදේශ විනිමය උපයාගැනීම සඳහා අපනයනය වර්ධනය කරගැනීම තීරණාත්මක වනු ඇත.
 කොවිඩ් හේතුවෙන් පහර වැදුණු ව්‍යාපාරික අංශය නගා සිටුවීම සඳහා බැංකු ක්ෂේත්‍රයේ වඩාත් ශක්තිමත් සහයෝගයක් අවශ්‍ය වනු ඇත. රජයද ඒ සඳහා දිගටම සහාය දක්වයි.
 19 A ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට වඩාත් ශක්තිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම සඳහා කටයුතු කළ යුතු වෙයි.
 වෙනත් පක්ෂවල ප්‍රාණ ඇපකරුවන් බවට පත් නොවී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගැනීම සඳහා තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගැනීම අවශ්‍යය.

පසුගිය අප්‍රේල් මාසය වනවිට ඩොලර් මිලියන 250කට බැස තිබූ අපනයන ආදායම ජූනි මාසය වනවිට ඩොලර් මිලියන 950ක් දක්වා වර්ධනය වීම සුබවාදී ලකුණක් සේම රටක් වශයෙන් ලද විශාල ජයග්‍රහණයක් බව ප්‍රකාශ කළ බැසිල් මේ තත්ත්වය U හැඩයේ යළි පණ ලැබීමක් නොව V හැඩයේ පණ ලැබීමක් බව සඳහන් කළේය. කොවිඩ් - 19 වසංගතයෙන් පසුව ලොවේ බොහොමයක් රටවල් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටියදී ශ්‍රී ලංකාව එම තත්ත්වයට හොඳින් මුහුණ දී ඇති බව එයින් පෙන්නුම් කරන බවද ඔහු පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ඉලක්ක ජය ගැනීමට ආර්ථික සංවර්ධනය ඉතා වැදගත් බවත් ඔහු සඳහන් කළේය.

ඩේලි එෆ්.ටී

මෙවර අහිමි අමෙරිකා “වන්දනාව”

හැම වසරකම සැප්තැම්බර් මාසය ශ්‍රී ලංකාවේ දූත කණ්ඩායම් අමෙරිකාවේ වාර්ෂික වන්දනාවේ යන කාලයයි. ඒ නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාර නිමිත්තෙනි. දූත සවාරිය ඉතා විශාල මුදල් සම්භාරයක් යට කරමින් සිදුවීම සෑම වසරකම කතාබහට ලක්වෙයි. මේ “වන්දනාව” ඇතැම්විට සතියක් දෙකක් හෝ ඇතැම් පිරිස්වලට මාසයක කාලයක් දක්වා දීර්ඝ වෙන අවස්ථාද තිබේ. තරු හතරේ හෝ පහේ හෝටල් කාමර, අසීමිත විදේශ දුරකථන ඇමතුම්, ඥාති හිතමිතුරන්ට පිරිනැමෙන ප්‍රණීත රාත්‍රී භෝජන සංග්‍රහවලින් නිව්යෝක් සවාරිය අඩු නැත. එක් අවස්ථාවකදී එක් හෝටල් කාමරයක නිල් චිත්‍රපට නැරඹීමක්ද සිදුවී තිබුණි. මේ සියලු සැප සම්පත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ බදු මුදලිනි.

දැනට වසර කිහිපයකට පෙර නිව්යෝක් සවාරියේ අධි වියදම් පිළිබඳව පමණක් නොව දේශපාලනඥයන්ගේ, ඔවුන්ගේ බිරියන්ගේ සහ විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීන්ගේ නවාතැන් වූ සුපිරි හෝටල්වලට ගෙවූ බිල්පත්වල ඡායාරූප සටහන්ද අපි පළ කළෙමු. මේ දූත පිරිසට දෛනික ඩොලර් දීමනාවක් සහ රියැදුරන් සහිත අධි සුඛෝපභෝගී වාහන භාවිතයටද පහසුකම් තිබේ. එපමණක් නොව නයගරා ඇල්ල, අත්ලාන්තික් නගර කැසිනෝ පමණක් නොව වොෂින්ටන්හි ධවල මන්දිරය නැරඹීමේ ගයිඩ්වරුන් සහිත සංචාර ද සංවිධානය කළ අවස්ථාද ඇත. ඇතැම් වසරවලදී මෙරටින් ගිය ඊනියා දූතයෝ අඩුම තරමින් නිව්යෝක්හි එ.ජා. මූලස්ථාන ගොඩනැගිල්ලට පා තැබීමටවත් උනන්දු නොවූහ. මේ සවාරිය හුදෙක් නිවාඩු කාලය ගතකිරීමක් වශයෙන් සැලකීම ඊට හේතුවය.

එහෙත් මේ සැප කිසිවක් මේ වසරේ ලබා ගැනීමට ඉඩක් නැති බව පෙනෙයි. කොවිඩ් 19 වසංගතය විසින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලය පමණක් නොව එහි පැවැත්වීමට නියමිත මහා මණ්ඩල සැසි වාරය ද වසා දමනු ලැබූ තත්ත්වයකට පත්කර තිබීම හේතුවෙනි. පසුගිය මාර්තු මාසයේ සිට මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ල වසා දමා තිබේ. ජූලි මාසය අග වනතුරැ මේ ගොඩනැගිලි පරිශ්‍රය පාළුවට ඇර දමා ඇත. එය බොහෝවිට මේ වසර අග දක්වා දීර්ඝ වීමට ද ඉඩ තිබේ. මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන්, සෙසු දූත කණ්ඩායම් සහ මාධ්‍යවේදීන් ඇතුළත් 3000ක් පමණ වන කාර්ය මණ්ඩලය සමස්තයක් වශයෙන් රාජකාරි ඉටු කරන්නේ නිවෙස්වල සිටිමිනි.

ආරක්ෂක මණ්ඩල රැස්වීම් ඇතුළු සියලු හමුවීම් සිදු කෙරෙන්නේ “වීඩියෝ ටෙලිකොන්ෆරන්සින්” තාක්ෂණය භාවිතයෙනි. ඉකුත් සතියක අමාත්‍යවරුන් සතු ආධාර ලබාදීමේ සමුළුවක් ක්‍රියාත්මක කෙරුණත් ශාලාවේ එකම අමාත්‍යවරයෙක් හෝ පෙනෙන්නට සිටියේ නැත.

ලොව පුරා 150කට අධික රාජ්‍ය නායකයන් එක්රුස් වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම මේ වසරේදී සිය 75 වැනි ජයන්තිය සජීවීව සැමරීමට ද නියමිත විය. කොවිඩ් නිසා එ.ජා.ගේ වසර 75ක ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර ලොව පුරා සිටින රාජ්‍ය නායකයන් වීඩියෝ ටෙලිකොන්ෆරන්සින් තාක්ෂණය ඔස්සේ මහ සමුළුව අමතනු දැකිය හැකිවනු ඇත. එම දේශන බොහෝදුරට රාජ්‍ය නායක නිල නිවෙස්වල කලින් පටිගත කරන කතා වීමටද ඉඩ තිබේ.

මේ වනවිට එ.ජා. සැලසුම් කර ඇත්තේ එක් රටකින් දූත පිරිස් දෙකකට පමණක් ඇරියුම් කිරීමටය. ඒ සඳහා සහභාගී කරවීමට අමෙරිකා තානාපති කාර්යාලවල ශ්‍රී ලාංකික නිලධාරීන් 06 දෙනකු සිටියත් දේශපාලනඥයන් හෝ විදේශ අමාත්‍ය නිලධාරීන් දෙදෙනකුගෙන් සමන්විත පිරිසක් අමෙරිකාවට යාමට මෙය අවස්ථාවක් කරගැනීමටද ඉඩ තිබෙන බවද දැනගන්නට තිබේ.

සන්ඩේ ටයිම්ස්