2020 ජුලි 04 වන සෙනසුරාදා

අනාගෙන කෑම

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

මේ පාර මහමැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව)ට කජු කෑමක් වැනි යැයි කීම බොරුවක් නොවේ. තවත් විදියකට කිව්වොත් යූ.එන්.පී. ප්‍රමුඛ යහපාලන හිටපු ආණ්ඩුව විසින් තම පාලන කාලය තුළදී ක්‍රමක්‍රමයෙන් සකස් කරන ලද බුෆේ කෑම මේසය භුක්ති විඳීම සඳහා රාජපක්ෂලාගේ පොහොට්ටුවට ලැබිය යුත්තේ ආරාධනාවක් පමණි. අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව නිකුත්වන ප්‍රතිඵල එම ආරාධනාව වනු ඇත. යහපාලනය ආරම්භයේදීම සිදුවූ මහබැංකු මගඩියත් පසුගිය වසරේ අප්‍රේල් 21 පාස්කු බෝම්බ ප්‍රහාරයත් එම බුෆේ එක සැකසීමට උත්තේජනයක් විය.

හැබැයි මේ පහසු බව දැනෙන මැතිවරණ ජයග්‍රහණය පෙනි පෙනී වළේ වැටී මඩ ගාගෙන එම මඩ තම පක්ෂයටද වැදීමට ඉඩ සලසන පොහොට්ටු අරක්කැමිලාද සිටිති. හොඳම උදාහරණය මහින්දානන්ද අලුත්ගමගේය. මුලසිටම කටකාර කසකාරයකු වශයෙන් කැපී පෙනුණු මහින්දානන්ද තම ප්‍රතිවාදී දේශපාලනඥයන්ට වැර යොදා හයේ හතරේ පහරවලින් සංග්‍රහ කරන්නෙකි. යහපාලන ආණ්ඩුවට එරෙහිව “ටොප් ටෙන්”දූෂණ ක්‍රියා හෙළිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේද මහින්දානන්දගේ ප්‍රධානත්වයෙනි. ඒ අතරවාරයේ ඔහුට එරෙහිවද විවිධ චෝදනා නැගුණේය. තමන්ට බලය තිබූ කාලයේ කළ කී දෑ සම්බන්ධයෙන් මහින්දානන්දගේ ෆයිල් ක්ලියර් නැත. එහෙම වුණත් ඔහුගේ කට ආණ්ඩුවට හොඳ ශක්තියක් වී තිබුණි. ඒ ගැම්මෙන්ම මෙවර මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භයේදීම ඔහු බෝම්බයක් පුපුරුවා හැරියේය. එහෙත් දැන් පෙනෙන්නේ එය ඔහුගේම අතේ පත්තු වී ඇති සැටියකි.

2011 ක්‍රිකට් ලෝක කුසලානය පාවාදුන් බවට මහින්දානන්ද විසින් කළ ප්‍රකාශයේ බරපතළකම දැන්වත් ඔහුට වැටහී ඇතිදැයි කියන්න බැරිය. එහෙත් ඒ හේතුවෙන් මෙරට සිටින ක්‍රිකට් ක්‍රීඩකයන්ට අසීමිත ලෙස ආදරය කර ජනතාව තුළ ඇතිකරන ලද කම්පනය නම් ආණ්ඩුවටද දැනෙමින් තිබේ. ජරා මඩවලක් බඳු මේ රටේ දේශපාලනයට ක්‍රිකට් ක්‍රීඩාව ඈඳා ගැනීම දේශපාලන භේදයකින් තොරව මෙරට ජනතාවගේ දැඩි විරෝධයට ලක්වී තිබෙන බව සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ප්‍රතිචාරවලින් වටහා ගැනීම අසීරු නැත. තිලංග සුමතිපාල වැනි කිහිපදෙනකු හැර මේ සිද්ධිය බොහෝ දෙනා විසින් හෙළාදකිනු ලැබ තිබෙන බව යථාර්ථයයි.

විපක්ෂය ඇතුළත පවතින කුළල් කා ගැනීම් මැද පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි මැතිවරණයකට මුහුණදී සිටින ආණ්ඩුව මහින්දානන්දගේ ක්‍රිකට් පාවාදීමේ කතාවෙන් නැති ප්‍රශ්නයකට මුහුණදී සිටින බව පැහැදිලිය. පොහොට්ටුවෙන් මෙවර තරග කරන අගමැති මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ හිටපු ඇතැම් මැති ඇමැතිවරුන් අමතක කරන එක් කාරණයක් වන්නේ පොහොට්ටුව වටා ජයග්‍රහණයේ රැල්ලක් නිර්මාණය වීමට බලපා තිබෙන හේතුසාධකය. පැහැදිලිව මේ වෙනස ඇතිකළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයයි. එයට මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වයද උදව් වූ බවත් සඳහන් කළ යුතුය. 

එහෙත් ගෝඨාභයගේ ජයග්‍රහණය සඳහා මහින්දානන්දලා එහෙමට යමක් කළේ නැත. ඔවුන්ගේ අතීතය ගෝඨාභයට අවාසියක් මිස වාසියක් වූයේ නැත. ගෝඨාභයගේ ඔහුටම ආවේණික වූ දේශපාලන ප්‍රවේශයත් ඔහු කිට්ටු කරගත් අලුත් පිරිසත් මේ රටේ හැමදාමත් රැවටුණු ජනතාව තුළ නැවුම් බලාපොරොත්තුවක් ඇති කළේය. මෙතෙක් මේ රටේ නායකයකුට සිදුකළ නොහැකි වූ දේ ගෝඨාභය විසින් ඉටුකරනු ඇති බවට ඔවුන් තුළ විශ්වාසයක් ගොඩනැගුණේය. පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ ගෝඨාභයට මේ රටේ 52.3%ක ඉහළම ජනවරමක් ලැබුණේ එකී බලාපොරොත්තුවත් විශ්වාසයත් හේතුවෙනි. නැතුව මහින්දානන්දලාගේ කටවල් හෝ කෙරැවාවල් නිසා නොවේ.

අනෙක් අතට මෙවර මහජනතාව මැතිවරණයට යන්නේ කොවිඩ්-19 හේතුවෙන් ඇතිවූ බරපතළ ප්‍රශ්න මැද බව කිසිවකුත් අමතක නොකළ යුතුය. එවැනි අසහනයක, පීඩනයක සිටින ජනතාවට වෙනස් තීන්දුවක් ගැනීමට මහ ලොකු කාලයක් යන්නේ නැත. මේ නිසා මහින්දානන්දගේ ක්‍රිකට් පාවාදීම් කතාවට රාජපක්ෂලා කලබල වීම සාධාරණය. මහින්දානන්දලාගේ මෙවැනි කතා ගෝඨාභය නායකත්වය දෙන ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත දැමීමට පවා හේතුවිය හැකිවීම ඊට හේතුවය.

මහින්දානන්ද 2011 කාලයේ ක්‍රීඩා ඇමැතිවරයා විය. ඔහු පසුගියදා කළ ප්‍රකාශය හේතුවෙන් ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ආරම්භ කෙරුණු විමර්ශනය අද ආණ්ඩුවේ ජනප්‍රියත්වය උරගා බලන තත්ත්වයට වැටී තිබේ. මේ විමර්ශනය ආරම්භ වනවිට මෙරටින් බිහිවී ලොවපුරා ඉමහත් ගෞරවයට පාත්‍රවන දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ට පැය ගණන් පොලීසියේ රස්තියාදු වීමට සිදුවනු ඇතැයි අඩුම තරමින් මහින්දානන්දවත් සිතන්නට නැත. ඔහුගේ උපක්‍රමය වන්නට ඇත්තේ ක්‍රිකට් කුසලාන පාවාදීමේ කතාව දෙබරයට ගැසූ ගලක් බවට පත්කර දේශපාලන වශයෙන් කිසියම් උත්තේජනයක් ලැබීම විය හැකිය. නැත්නම් තවත් කිහිපදෙනකු සමඟ එක් වී කිසියම් ඉලක්කගත දේශපාලන වශයෙන් සක්‍රීය පුද්ගලයකුට හෝ දෙදෙනකුට පහරදීම විය හැකිය. එහෙත් දැන් සිදුව ඇත්තේ ඔහු වඳින්න ගිය දේවාලය ආණ්ඩුවේ හිස මත කඩාවැටීමය.

මේ විමර්ශනය හේතුවෙන් මෙරට ක්‍රිකට් දැවැන්තයන් කිහිපදෙනකුටම පොලීසියට යාමට සිදුවිය. හිටපු විශිෂ්ටම ක්‍රීඩකයකු වන අරවින්ද ද සිල්වා පසුගිය අඟහරුවාදා (30) පොලිසියට කැඳවනු ලැබීය. ඔහු 1996 ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනූ අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් ලබාගත් පිතිකරුවාය. ඊටපසු දින බදාදා (01) මෙරටින් බිහිවූ විශිෂ්ට ආරම්භක පිතිකරුවකු සහ හිටපු ක්‍රිකට් නායකයකු වන උපුල් තරංගට පොලිසි යාමට සිදුවිය. ක්‍රිකට් ලෝකය පුරාම ශ්‍රී ලංකාවේ නම රැන්දූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයකු වන කුමාර සංගක්කාර (02) බ්‍රහස්පතින්දා පොලිසියට ගොස් එහි පැය 9ක් පුරා ප්‍රකාශයක් ලබා දුන්නේය. මේ සියලු විශිෂ්ටයෝ පොලිසියට කැඳවා ප්‍රකාශ ලබාගත්තත් තරගය පාවාදුන් බවට චෝදනා කරමින් කතාකළ මහින්දානන්දගේ ප්‍රකාශය සටහන් කරගනු ලැබුවේ ඔහුගේ නිවෙසට ගොස් වීම වඩාත්ම හාස්‍යජනක කාරණය විය.

කෙසේ වුවද මේ තත්ත්වය ආණ්ඩුවේ ඉහළම තැන්වල දැඩිව විවේචනයට ලක්වූ බව දැනගන්නට තිබේ. ඊළඟට පොලිසියට එන්නැයි දැනුම් දී සිටි තවත් ක්‍රිකට් ලොවේ විශිෂ්ටතම ක්‍රීඩකයකු වන මහේල ජයවර්ධනට ඊට පෙරදින එනම් බ්‍රහස්පතින්දා (02) රාත්‍රී 11.30ට පමණ ලැබුණු දුරකතන පණිවුඩයකින් දැනුම් දී තිබුණේ ඔහුගේ පැමිණීම අනවශ්‍ය බවකි. එහෙත් සිකුරාදා (03) උදෑසන මහේල පැමිණ සිටි අතර පොලීසිය පවසා තිබුණේ පසුව දිනයක් ලබාදෙන බවය. එහෙත් ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිකුරාදා (03) දහවල් ප්‍රකාශ කළේ පරීක්ෂණය අවසන් කළ බවය.

මහින්දානන්දගේ වරින්වර වෙනස් කරමින් කරන ලද ක්‍රිකට් පාවාදීම් කතාවත් එයින් හටගත් පොලිස් විමර්ශනයත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක්විය. නාමල් රාජපක්ෂ පවා පණිවුඩයක් නිකුත් කරමින් මේ සිදුවෙමින් පවතින දේ දැඩිව හෙළාදැක තිබිණි. මහින්දානන්ද මුලින් කිව්වේ 2011 ක්‍රිකට් කුසලාන පාවාදුන් බවය. ඉන්පසුව පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් කියා තිබුණේ එවැන්නක් සිදුවූ බවට සැකයක් පවතින බවය. එසේම ක්‍රීඩකයන් මේ වැරැද්දට හවුල් නැති බවද ඔහු කියා තිබිණි. එහෙත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරැඹිය යුතු බවට ගනු ලැබූ තීරණය මගින් වැඩේ දිග්ගැසුණේය. දැන් එය සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලන ප්‍රශ්නයක් බවටද පත්වී තිබේ. එය ආණ්ඩුව කිසිසේත් කැමැති තත්ත්වයන් නොවන බව නම් පැහැදිලිය.

මහ මැතිවරණයට හරියටම මාසයක කාලයක් තියා සිදුවන මෙවැනි ක්‍රියා හටගන්නේ මනාප ඡන්ද ගොඩ වැඩි කරගනිමින් ඊළඟ ආණ්ඩුවේ වඩාත් හොඳ ඇමැතිකමක් ලබා ගැනීමේ බලාපොරොත්තුව හේතුවෙන් විය හැකිය. ඒ සිතුවිල්ලෙන් බොහෝදුරට සටන් කරන්නේ හිටපු මැති ඇමැතිලාමය. මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වීමෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයේදී අලුත් මුහුණු විශාල සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති බවට මහජනතාව තුළ තිබූ විශ්වාසය මේ වනවිට සේදී ගොස් තිබේ. හැම දිස්ත්‍රික්කයකම දැකගත හැකි වන්නේ හිටපු මුහුණුමය. ඒ තත්ත්වය විපක්ෂයටද සමානව බලපා තිබෙන බවද පෙනේ. යූ.එන්.පී.ය පමණක් අලුත් මුහුණු එකතු කර ඇති බවට උදම් ඇනුවත් එයට හේතුව පරණ බලකණු වැඩි සංඛ්‍යාවක් සමගි ජන බලවේගය සමඟ එකතුවීම බව පැහැදිලිය. කෙසේ වුවද සමගි ජනබලවේගයද දුවන්නේ පරණ අශ්වයන්ටම තැන දෙමින් බව පෙනෙන්නට තිබේ.

ඡන්දයට සපයන උණුසුම් මාතෘකා අතර එම්.සී.සී. ගිවිසුමද ඉහළින්ම කැපී පෙනේ. එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකරන බවට රජය කොතරම් කිව්වත් විපක්ෂය කියන්නේ මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩුව එය අත්සන් කරනු ඇති බවය. එය රජය දිනන බවට විපක්ෂය ලබා දෙන සහතිකයන් වුවත් මේ ගිවිසුම අත්සන් නොකරන බවට රජය නිල වශයෙන් තීන්දුවක් ගෙන තිබේ නම් එය අධ්‍යයනය සඳහා කමිටුවක් පත් කිරීම, එහි වාර්තාව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කොට සියලු ඇමැතිවරුන්ට එහි පිටපත් ලබාදීම සහ ඒ පිළිබඳ මහජනතාවගේ අදහස් ලබාගැනීමටද සැලසුම් කිරීම සිදුකරන්නේ කුමකටද යන්න ප්‍රශ්නාර්ථයකි. ගිවිසුම එපා නම් එය ස්ථිරවම ප්‍රකාශ කිරීමට ආණ්ඩුවට හොඳටම හැකියාව තිබේ. එහෙත් එවැන්නක් නොකියා වටේ යාම රටේ ජනතාව තුළ කිසියම් අවිශ්වාසයක් ගොඩනංවා තිබෙන බව පැහැදිලිය.

මේ අතර රටේ ආර්ථික තත්ත්වයද බරපතළ අනතුරක පවතින බව පෙනෙන්නට තිබේ. ජනතාවගේ එදිනෙදා සියලු වියහියදම් ඉහළ ගොසිනි. ඒ අතර ස්වයංරුකියා තවමත් ක්‍රියාත්මක වන්නේ මඳ වශයෙනි. යන්තමින් හෝ එදිනෙදා ජීවිතය එසවීගෙන එද්දී ඡන්ද කටයුතු අතරමැද යළිත් වරක් ඇඳිරි නීතිය පැනවීමට හෝ ලොක්ඩවුන් කිරීම හෝ සිදුවුවහොත් සිදුවිය හැකි හානිය බරපතළය. මේ ගැන දේශපාලනඥයන්ට නම් ගාණක් නැති බව පෙනේ. එහෙත් දුරදිග නොබලා දේශපාලන ජයග්‍රහණ පමණක් අරමුණු කරගනිමින් කටයුතු කිරීමෙන් වැළකී සිටීම සියලුදෙනාගේ ඇඟට ගුණය. සෞඛ්‍ය ආරක්ෂාව අංක එකට තවමත් තිබෙන බව සැබෑ තත්ත්වයයි. මේ අවස්ථාවේ රටට එරෙහිව ක්‍රියාත්මක විය හැකි ලොකුම කුමන්ත්‍රණය වෙන කිසිවක් නොව යළිත් කොරෝනා වෛරසය හිස එසවීමය. ක්‍රිකට් පාවාදීමේ කතාව මෙන් වෛරසයත් අනාගෙන කෑ යුතු නැත.

- ශශීන්ද්‍ර