2020 ජුනි 27 වන සෙනසුරාදා

එදා හරීන් සහ අද හරීන්

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 151

මහින්දානන්ද, කරුණා සහ හරීන් එකම දේශපාලන අච්චාරුවක ගස්ලබු කෑලි බවට පත්වුණේ පසුගිය සතිය තුළදීය. ශ්‍රී ලංකාව 2011 ලෝක ක්‍රිකට් කුසලානය ඉන්දියාවට වික්ක බවට අවුරුදු 09කට පසුව මහින්දානන්ද විසින් කළ ප්‍රකාශයත් තමා 2000 දී එලිෆන්ට් පාස් කඳවුරේ සෙබළුන් 2000ක් 3000ක් එක රැයකදී ඝාතනය කළ බවට අවුරුදු 20කට පසුව කරුණා කළ ප්‍රකාශයත් අගරදගුරුතුමන් දේශපාලනය කරන බවට පාස්කු ප්‍රහාරයෙන් වසරකට පසුව හරීන් කළ ප්‍රකාශයත් මෙයට අදාළය. මේ කාරණා තුනම මහ මැතිවරණය හේතුවෙන් උණුසුම් වී තිබෙන දේශපාලන වේදිකාවටම සම්බන්ධය.

මහින්දානන්දගේ සහ කරුණාගේ ප්‍රකාශ දෙකම මහින්දගේ ප්‍රසාදයට හේතු වන්නේ නැත. එහෙත් හරීන්ගේ ප්‍රකාශය නම් මහින්දලාගේ අතටම ලැබුණු පහසු උඩ පන්දුවකි. හරීන්ගේ කතාව ගැන මහින්ද මුලින්ම කිව්වේ ආගමක ආගමික නායකයකුට අපහාසාත්මකව කතා කරන පුද්ගලයන් දේශපාලනයෙන් අතුගෑවී යන බවය. ඉන්පසුව කුරුණෑගල පොල්ගහවෙල ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී කිව්වේ තමන් දන්නා ආකාරයට කාදිනල්තුමන් කිසි දිනක දේශපාලනය නොකළ බවය. ඔහු එහිදී මෙසේ ද කීය. “විපක්ෂයේ මැතිවරණ වේදිකාවේ කාදිනල්තුමන්ට අපහාස කරනවා. බෞද්ධ, හින්දු හෝ මුස්ලිම් හෝ වෙනත් කුමන ආගමික නායකයකුට හෝ අපහාස කිරීම වැරදියි. අපි මේ වගේ දේවල් ගැන කනගාටු වෙනවා. මේ වගේ ප්‍රකාශ සිදු කිරීමට උල්පන්දම් දෙන අයට හා එම ප්‍රකාශ සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් දැඩි පියවර ගත යුතුයි.”

හරීන්ට නොතේරෙන දේශපාලනය මෙයයි. කාදිනල්තුමාට හෝ වෙනත් ආගමික නායකයකුට හෝ එරෙහිව සිදු කරන කුමන හෝ ප්‍රකාශයක් මහින්දලාට හොඳ මුවහත් දේශපාලන අවියක් බව තේරැම් නොගන්නවා නම් දේශපාලනය නොකර සිටීම වඩාත් බුද්ධිමත් තීරණයක් වනු ඇත. පොදු වශයෙන් බලපාන කාරණයක් සම්බන්ධයෙන් පෞද්ගලික මතයක් ප්‍රකාශ කිරීමෙන් හානියක් සිදුවිය හැක්කේ තමාට පමණක් වුවත් ආගමික නායකයන් සම්බන්ධව සිදු කරන විවේචන වලින් හානිය සිදුවන්නේ තමන් නියෝජනය කරන පක්ෂයට බව තේරැම් ගත යුතුව තිබිණි.

මෙරට බෞද්ධ සහ කතෝලික ආගමික නායකයන්ගේ ප්‍රබල විශ්වාසයට සහ පිළිගැනීමට ලක්ව සිටින රාජපක්ෂවරැන් රටේ පාලනය භාරගෙන සිටියදී එවැනි ප්‍රකාශ දෙබරයකට ගල් ගැසීමක් බඳු වන බව හරීන්ට අවබෝධ නොවීම පුදුමය. අද කතෝලික පල්ලියේ අගරදගුරුතුමන් වෙනුවෙන් වැඩිපුරම කතා කරන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා වීමෙන් ඒ බව වඩාත් පැහැදිලි වෙයි. ආණ්ඩු බලය අතැතිව සිටින රාජපක්ෂවරුන් සමඟ සිදු කරන මාධ්‍ය ගනුදෙනුවලදී තමන් සිටින්නේ අවාසිදායක පැත්තේ බවද හරීන් විසින් අවබෝධ කරගත යුතුව තිබිණි. හරීන් ලබාදුන් පිළිතුරට වඩා ඔහුගේ ප්‍රකාශයට පහරදෙන කතාබහට වඩාත් ප්‍රසිද්ධියක් ලැබී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

මහ මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් සිදු කරන කතා පිළිබඳ දෙවරක් නොව තෙවරක්ම සිතා බැලිය යුතු බව හරීන්ගේ සිද්ධිය රටටම පෙන්වා දී තිබේ. කටින් පිටවෙන වචන වලින් සිදුවිය හැකි ආපදාවේ ප්‍රමාණය පිළිබඳව නිවැරදි තක්සේරුවක් සෑම දේශපාලනඥයකුටම තිබිය යුතුය. මෙහිදී හරීන් තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරාපේක්ෂකයකු වශයෙන් කටයුතු කිරීමේ භූමිකාව ද අමතක කර දමා තිබේ.

පසුගිය 2015 මහ මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු ආසන යූ.එන්.පීය වෙනුවෙන් ජයග්‍රහණය කර දී චැම්පියන් කෙනකු වූ හරීන් මෙවර ජාතික ලැයිස්තුවෙන් එන්නේ තමා සමගි ජනබලවේගයේ ප්‍රධාන කථිකයකු බවට වන සහතිකයක් ද සමගිනි. එහෙත් කටට ආ පළියට කතා කිරීමේ ප්‍රතිඵල අද ඔහු පමණක් නොව සමගි ජනබලවේගය ද අත්විඳින බව සජිත් ප්‍රේමදාසට හරීන්ගේ ප්‍රකාශය වෙනුවෙන් සමාව ඉල්ලීමට සිදු වීමෙන් පැහැදිලි වෙයි. අද හරීන්ට පහර දෙන්නේ රාජපක්ෂලා පමණක් නොවේ. යූ.එන්.පීයේ බලකණු ද හරීන්ට අත දිගහැර පහර දීමට ඉදිරිපත්ව සිටින්නේ කඩාගෙන ගිය සමගි ජනබලවේගයට පාඩමක් ඉගැන්වීමේ අරමුණින් බවද පෙනෙන්නට තිබේ. එහෙත් ඊට පෙර යූ.එන්.පීය වටහාගත යුතු හරීන් සතු දේශපාලන අතීතයක් තිබේ.

හරීන් ප්‍රනාන්දු චරිතය අඩු වයසින්ම දේශපාලන කරළියේ ඉහළම ජනප්‍රියත්වයක් අත්කර ගත්තේ 2014 වසරේදීය. ඒ වන විට පාර්ලිමේන්තුවේ සිටි තරුණ මන්ත්‍රීවරයකු වූ හරීන් ඌව පළාත් සභා ඡන්දයේ තුරුම්පුවක් බවට පත් කිරීමට යූ.එන්.පී. නායකයන්ගේ සැලැස්ම වී තිබිණි. 2014 දී ශක්තිය පිරිහෙමින් තිබූ මහින්දගේ ආණ්ඩුවේ ශක්තිය උරගා බැලීමේ එක් තීරණාත්මක අවස්ථාවක් වූයේ ඌව පළාත් සභා ඡන්දයයි. ඒ වන විට මහින්දගේ රජය පමණක් නොව රනිල්ගේ යූ.එන්.පීය ද සිටියේ ජනප්‍රියත්වයෙන් පිරිහිලාය. එහිදී යූ.එන්.පීය සිටියේ විපක්ෂයේ වුවද ඔවුන්ගේ ජනප්‍රියත්වයේ මට්ටම තිබුණේ ඉතා පහළ මට්ටමකය. එහෙත් ඌව පළාත් සභා ඡන්දය තමන්ට ජනප්‍රියත්වය ඔසවා ගැනීමට ලැබුණු හොඳ අවස්ථාවක් බව වටහාගෙන සිටි යූ.එන්.පීයේ රනිල් ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ගේ මහ ඇමැති අපේක්ෂක තෝරාගැනීම වූයේ තරුණ හරීන්ය. එය තමන්ට හොඳ අභියෝගයක් වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අතහැර පළාත් සභාවට ගොස් කට්ටක් කෑමට සිදුවනු ඇති බවට හරීන් තුළ සැකයක් ද තිබිණි. ඊළඟ මහ ඡන්දයෙන් යූ.එන්.පීය ප්‍රමුඛ පෙරමුණ පැරදුණොත් තමන්ගේ දේශපාලන අනාගතයේ අවසානයට මේ තීන්දුව හේතු වනු ඇතැයි හරීන්ට නොසිතුණා නම් පුදුමය. එහෙම හිතුණත් ඔහු ඒ අභියෝගය බාර ගත්තේය.

එය බාරගත්තා පමණක් නොව තමන් ගත්තේ හරි තීන්දුව බවත් හරීන් පක්ෂයේ නායකයන්ට පෙන්වා දීමට සමත් විය. පළාත් සභාව ජයගැනීමට නොහැකි වුවත් එම සටනින් බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිරිහී ගොස් තිබූ යූ.එන්.පීයේ ශක්තියට යළිත් සේලයින් ලැබුණේය. ඌව පළාත් සභා ඡන්දයෙන් ඔවුන් ලැබුවේ සුළු පරාජයකි. එහි ගැම්ම කොතරම්දැයි කිවහොත් යූ.එන්.පී. නායකයන් එම පරාජය දැක්කේ තම ජයග්‍රහණයක් වශයෙනි. ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලය නිසැකවම 2015 ජනාධිපතිවරණයෙන් මහින්දලා පරාජය කිරීමේ පළමු වෙඩිමුරය විය.

හරියට වැඩේ දුන්නොත් ජනාධිපතිවරණය ජයගැනීමට හැකිවන බවට යූ.එන්.පීය තුළ විශ්වාසය ගොඩනැගුණේ හරීන්ගේ ඌවේ සටන හේතුවෙනි. එහෙම වුණත් 2015 දී මහ මැතිවරණයෙන් පිහිටුවූ යහපාලන ආණ්ඩුවෙන් හරීන්ට සාධාරණය ඉටු වූයේ නැත. ඔහුට කැබිනට් අමාත්‍ය ධූරයක් ලැබුණත් එය බදුල්ල දිස්ත්‍රික්කයට වැඩක් කිරීමට හෝ තම ආධාරකරුවකුට රැකියාවක් ලබා දීමට හෝ ප්‍රමාණවත් වූයේ නැත. ඔහු වරක් ඒ ගැන බදුල්ල දිස්ත්‍රික් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවේය. නමුත් යූ.එන්.පී. නායකයන්ගේ ඇල්ම බැල්ම හරීන්ගේ පැත්තට වැටුණේම නැත. 

එහෙම වුණත් හිටිගමන් මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයා රනිල් අස්කොට මහින්ද අගමැති වශයෙන් පත් කළ බල අරගලයේ දී හරීන් කිසිම කොන්දේසියකින් තොරව රනිල් වෙනුවෙන් පෙනී සිටියේය. සජිත්ලා සමඟ එකම වේදිකාවට ගොඩ වී රනිල්ගේ ආණ්ඩුව ලබාගැනීමේ අරගලයේ සක්‍රීය කොටස්කරුවෙක් විය. මාධ්‍ය සාකච්ඡාවලදී නිර්භයව මෛත්‍රීපාලත් මහින්දත් දැඩිව විවේචනය කළේය. අරගලය නිම වී රනිල් යළි අගමැති පදවියට පත්කොට ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව හරීන් යූ.එන්.පීය තුළ වෙනසක් ඉල්ලා දියත් කෙරුණු සටනේ ප්‍රබල කොටස්කාරයෙක් විය. පක්ෂය තුළ පවතින කිහිප දෙනාගේ බලකොටුව බිඳ තමන් ඇතුළු සෙසු පිරිසට ද පක්ෂයේ නිසි තැනක් ලබාදෙන ලෙසත් පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරන ලෙසටත් ඔහු අඛණ්ඩව අරගල කළේය. එහෙත් පක්ෂය වෙනස් වූයේ නැත. රනිල් තම ස්ථාවරයෙන් ඈත්වෙන්නට පියවර ගත්තේ ද නැත. අවසාන ප්‍රතිඵලය වූයේ යූ.එන්.පීය කැඩී ගොස් සජිත්ගේ නායකත්වයෙන් සමගි ජනබලවේගය පිහිටුවීමය.

හරීන් එම සටනේ ද ඉදිරියෙන්ම සිටියේය. එහෙම වුණත් කාදිනල්තුමන්ට එරෙහිව සිදු කළ කතාව හේතුවෙන් හරීන් අද දේශපාලන වශයෙන් උණුවතුරටම වැටී සිටී. කට පරිස්සම් කර නොගැනීම හේතුවෙන් ඔහු අතින් පක්ෂයට සිදුවී ඇති හානියේ තරම බලාගැනීමට අගෝස්තු 05 වැනිදා පසුවනතුරු සිටිය යුතුය.

ශශීන්ද්‍ර