2020 ජුනි 27 වන සෙනසුරාදා

අපි ගත් තීන්දුවලින් තමයි රට බේරුණේ

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

අපි ගත් තීන්දුවලින් තමයි රට බේරුණේ

ගාල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක වෛද්‍ය රමේෂ් පතිරණ

මොකද මේ දකුණු පළාතේ අපේක්ෂකයන් අතර මනාප ගෝරි තියෙන්නේ?

දකුණු පළාතේ අනෙකුත් දිස්ත්‍රික්කවල තත්ත්වය කියන්න දන්නේ නැහැ. නමුත් ගාල්ල දිස්ත්‍රික්කයේ එවැනි මනාප ගැටුමක් නැහැ කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්. සෑම කෙනකුටම තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරගෙන යන්න පසුබිම සැකසිලා තියෙනවා. මේ මනාප ඡන්දවලදී ඉතිහාසය පුරාවටම විවිධ පක්ෂවල අපේක්ෂයන් අතර ගැටලු ඇති වෙලා තියනවා. නමුත් අපි එවැනි දෙයක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ මැතිවරණ ව්‍යාපාරය ඉතා සාමකාමී ලෙස කරගෙන යනවා.

ජනාධිපතිවරණය නිමාවෙලා මේ වනවිට මාස 7ක් ගෙවිලා ගිහින් ඉවරයි. විපක්ෂය චෝදනා කරනවා ඔබලාට ජනාධිපතිවරණයේ දුන් පොරොන්දු ඉටු කරන්න බැරිවෙලා තියෙනවා කියලා?

ජනාධිපතිවරණයේදී අපි ජනතාවට ලබා දුන් ප්‍රධාන පොරොන්දුව තමයි ජනතාවගේ ජිවිත ආරක්ෂාව සලසනවා කියන කාරණය. අපි ඒ කාරණය ඉටු කරලා තියනවා. ඒ වගේම යහපාලන රජය ගත් ඇතැම් තීන්දු නිසා වුණ දේශපාලන අර්බුදය කළමනාකරණය කියන කාරණයත් අපි ඉටු කරලා තියනවා. කොවිඩ් වසංගතය නිසා අපිට ඒ ලබා දුන් පොරොන්දු සියයට සියයක් ඉටු කරන්න බැරි වෙලා තියෙනවා. නමුත් ජනතාවට අපි ඉදිරියේදී අනිවාර්යයෙන් ඒ පොරොන්දු ඉටු කරනවා.

ඔබතුමන්ලා පුන පුනා කියනවා 3/2 ක ජයග්‍රහණයක් ලබා ගන්නවා කියලා මේක ලබා ගන්න පුළුවන් ඉලක්කයක් කියලා ඔබලා ඇත්තටම විස්වාස කරනවද?

දේශපාලනමය වශයෙන් අපි යම් ස්ථාවරයකට ගොඩ නැගිලා තියෙනවා. පසුගිය දිනවල ජනාධිපතිවරණයේදී ඒක තවත් හොඳින් පැහැදිලි වුණා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ තියන අර්බුදයත් සමඟ අපිට තවත් ඉහළට යන්න පුළුවන්. ඒ වගේම අපි විශාල ඉලක්කයක් වෙත හඹා යනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා අපිට ඒ ප්‍රතිශතය ගන්න පුළුවන් කියලා.

ඔබලා 3/2 බලයක් ලබා ගත්තා කියමුකෝ? ඊට පස්සේ ජනතාව අතර සැකයක් මතුවෙන්න පුළුවන් නේද ඔබලා ඒකාධිපති පාලනයකට රට ගෙනියනවා කියලා?

මේ රටේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට පසුගියදා අවසන් වුණු මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ කාලය දක්වාම ඒකාධිපති පාලනයක් කියලා කිව්වා. නමුත් ඒ චෝදනා වැඩිවශයෙන් එල්ල වුණේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාටත් ප්‍රේමදාස ජනාධිපතිවරයාටත් කියන එක අමතක කරන්න එපා. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ පාලන කාලයට ඇතැමුන් විවේචන ඉදිරිපත් කළත් ඒවා පිළිගන්න බැරි තර්ක. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ තමයි මේ රටේ සංවර්ධනය වෙලා අර්ථිකය ඉහළට ගියේ. අපි සෑමවිටම ජනතාවගේ සර්වජන ඡන්ද බලය ආරක්ෂා කරමින් කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක්.

මහ මැතිවරණයට නාම යෝජනා දීමට පෙර සිටම පොහොට්ටුව කිව්වේ උගතුන් වියත්මග සංවිධානයේ පිරිස් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල අය ඡන්දයට දානවා කියලා. නමුත් එහෙම අය ඉදිරිපත්වන බවක් පෙන්න නැහැ නේද?

බොහෝ දිස්ත්‍රික්කවලට උගත් බුද්ධිමත් විවිධ ක්ෂේත්‍රවල අපේක්ෂකයන් ඉදිරිපත් වෙලා තියනවා. නමුත් සමහර දිස්ත්‍රික්කවලට ලැයිස්තු අනුව ඉදිරිපත් කරන්න අපහසු වුණා. අනෙකුත් පොහොට්ටුවේ දේශපාලන පක්ෂ අතර  බදා හදා ගැනීමේදී තමයි එවනි ගැටලු මතු වුණේ. කොහොම වුණත් අපිට සියලු දෙනාගේ උදව් උපකාර ලැබෙනවා. අනෙකුත් පක්ෂවලට සාපෙක්ෂව රටේ විවිධ ක්ෂේත්‍රවලින් ඉදිරිපත්වන අය ඉන්නේ අපේ පොදුජන සන්ධානය වටා කියන එක මම කියන්න කැමතියි.

ආණ්ඩුවේ කතාවලින් පේන්නේ ඔවුන් දුර්වල බවයි

කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගය අපේක්ෂක අජිත් පී. පෙරේරා

 

ඔබලට තරගයක් තියෙන්නේ ඇත්තටම ආණ්ඩුව එක්කද, නැත්නම් එක්සත් ජාතික පක්ෂෙත් එක්කද?

ආණ්ඩුවත් එක්ක තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂෙත් එක්ක තිබුණ තරගේ දැන් ඉවරයි. රනිල් වික්‍රමසිංහත් එක්ක තිබුණ සටන මහ පොළවේ පරාජය කරලා අපි දිනලා ඉවරයි. අපි දැන් මේ වෙනකොට නියම මැතිවරණය ආරම්භ කරලා තියෙන්නේ. ඒ පොහොට්ටුවත් එක්ක තියෙන මැතිවරණ සටන. අපි ඒ සටනේ ජයග්‍රහණය හිතේ තබාගෙන මැතිවරණයට මූණ දෙනවා.

දිනනවා කියලා දන්නවනම් එජාපය පැරැද්දුවා කියලත් හිතනවනම් ඇයි තවත් උසාවි ගාණේ රස්තියාදු වෙලා එජාපයේ සාමාජිකත්වය රැකගන්න හදන්නේ?

ඒක තාක්ෂණික කාරණයක්. එක එක අපේක්ෂකයට තියෙනවා තමන්ගේ පක්ෂෙ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න. එජාපයට තියෙන උරැමය අපි අත්හරින්නේ නෑ. ඒ අයිතිය අපි අත්හරින්නෙත් නෑ. ඒ අයිතිය රැකගන්නේ අපි නීතිමය රැකවරණය යටතේ ඉස්සරහට යනවා. අද එජාපය අයිති වෙලා තියෙන්නේ හිමිකමක් ලබාගන්න නුසුදුසු මිනිස්සුන්ට. ඇත්තම කිව්වොත් අපි මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒ පක්ෂයේ අය ගැන කතා කරන එකත් අත්හැරලයි තියෙන්නේ. 

එජාපය කැඩුවේ සජිත් ප්‍රේමදාස කියලා දැන් චෝදනා එල්ල වෙනවා. ඒ පාප වලට කරගහන්න වෙනවා නේද?

ඒක පදනමක් නැති ප්‍රශ්නයක්. එජාපය බෙදිලා නෑ. එජාපයේ සාමාජිකයෝ සහ ප්‍රතිපත්ති තැන් තියෙන්නේ ජාතික සමගි බලවේගයේ. ඔය කතාව ආණ්ඩුවට හිතවාදී මාධ්‍ය විසින් ප්‍රචාරය කරන පට්ටපල් බොරුවක්. 

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශෙට රවී කරුණානයක කියනවා එජාපය ඇතුළෙත් ආගම් විරෝධී, ජාති විරෝධී ප්‍රකාශ කරපු කට්ටිය දැන් හෙළිවෙමින් ඉන්නවා, ඒ අය ඉන්නෙ ඔබගේ පැත්තෙ කියලා.

රවී කරැණානායක කියන දේවල් ගැන මේ රටේ මිනිස්සු තඹසතේකට විශ්වාස කරන්නේ නෑ. ඒ වගේ පහත් පෙළේ දේශපාලනඥයෙක් කියන දේවල්වලට මම උත්තර දෙන්නේ නෑ. 

ආණ්ඩුව බලන් ඉන්නවා 2/3ක් ගන්න. ඔබලා බලන් ඉන්නවා ආණ්ඩුවක් ගන්න. ඇත්තටම ආණ්ඩුව ඒ වගේ හීනෙක ඉන්නකොට ඔබලා ආණ්ඩුවක් පිහිටුවාගන්නෙ කොහොමද?

රටේ ජනතාවටයි ආණ්ඩුවටයි හිතෙන්න පුළුවන් 2/3ක් ගන්න පුළුවන් කියලා. හැබැයි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ස්වභාවය අනුවයි ඡන්දෙ තියෙන ක්‍රමවේදය අනුවයි කිසිම පක්ෂයකට 2/3ක් ගන්න බෑ.

ඔබලා ආණ්ඩුවක් ගන්න ඉල්ලනවා. ආණ්ඩුව චෝදනා කරනවා ඔබලගේ ආණ්ඩුව ආර්ථිකය විනාශ කළා කියලා. මිනිස්සු ඡන්දෙ දෙයිද?

රාජපක්ෂලා විනාශ කරලා ගිය ආර්ථිකය ගොඩගත්තේ අපි. බලය අරගෙන කරන්න බෑ කියන්නේ මේ ආණ්ඩුවේ තියන දුර්වලතාවය. කියන්න ඕනේ අපි ගාව ඉන්නේ රටේ ආර්ථිකය පාලනය කරන්න පුළුවන් පිරිසක් කියලා.

හිටපු ජනාධිපති චෝදනා කරනවා මහ බැංකු සොරකම, පාස්කු ප්‍රහාරය එතුමා නොදැනුවත්ව එජාපය විසින් කළේ කියලා. 

පාස්කු ප්‍රහාරය එල්ල වීමට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඒ වගකීමෙන් බේරෙන්න ඔහු බෝලෙ පාස් කරනවා. ඔය සිද්ධි වෙන කාලේ පොලීසිය, ආරක්ෂක හමුදාව හිටියේ එතුමාගේ පාලනේ යටතේ.

හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශය එක්ක බෞද්ධ ඡන්ද විතරක් නෙවෙයි, කතෝලික ඡන්ද ටිකත් නැවතුණා නේද?

මගේනම් අදහස ඒ ප්‍රකාශය නොකියා හිටියනම් හොඳයි. ඒ ප්‍රකාශයට සජිත් ප්‍රේමදාස මහත්මයා සිය කනගාටුව කාදිනල්තුමාට දැන්වුවා. ඒ ප්‍රශ්නෙ දැන් ඉවරයි.

වැටුණු ආර්ථිකය ගොඩගත්තේ අපේ ආණ්ඩුවයි

කොළඹ දිස්ත්‍රික්කය - එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක දයා ගමගේ

ඔබ අම්පාර අතහැරලා කොළඹට ආවේ අම්පාරෙන් දිනන්න බැරි නිසාද?

අම්පාරෙන් අනෝමා ගමගේ මැතිනිය ඉල්ලනවා. එතුමිය අම්පාරෙන් ඉතා පහසු ජයග්‍රහණයක් ලබාගන්නවා. ඒ වගේම මේ පාර දිගාමඩුල්ල ආසනයෙන් මන්ත්‍රීධූර 3 ක් අපි ලබාගන්නවා. කොළඹ එක්සත් ජාතික පක්ෂයට බෞද්ධ පදනම තිබුණේ අඩුවෙන්. ඒ නිසා තමයි අපි ජනාධිපතිවරණය පැරදුණේ. ඒ වගේම කොළඹට මම ආවේ එක්සත් ජාතික පක්ෂය තවත් ශක්තිමත් කරලා කොළඹ වගේම රටම ජයග්‍රහණය කරන්න.

යූ.එන්.පී. එක දෙකට බෙදිලා යන එකෙන් පොහොට්ටුවට නිකම්ම ජයග්‍රහණය යනවා නේද?

ඒක මැතිවරණයේදී බලාගන්න පුළුවන් වෙයි. යූ.එන්.පී. එක දෙකට බෙදිලා නෑ. එක් කණ්ඩායමක් තමයි එක්සත් ජාතික පක්ෂය හැරදා ගිහින් තිබෙන්නේ. හැමවිටම යූ.එන්.පී. එක තමයි චරිත හැදුවේ. එහෙම හදපු චරිත එළියට ගියත් එක්සත් ජාතික පක්ෂය කාටවත් වට්ටන්න බැරි වුණා. අලියා ලකුණත් එක්ක කවදාවත් එජාප පාක්ෂිකයා එළියට යන්නේ නෑ. මීට කලින් එජාපය හැර ගිය බොහෝ දෙනා නැවත පක්ෂයට ආවා. මහ මැතිවරණයෙන් පස්සේ බලන්න පුළුවන් ඒ ගිය අයට මොකද වෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ ආණ්ඩුවට 2/3ක බලයක් ගන්න බෑ.

ඇයි ආණ්ඩුවට පහර දෙන්න මේ තරම් ප්‍රශ්න තියෙද්දී ඔබලා සමගි ජනබලවේගය පස්සේම යන්නේ.. සමහරැ කියන්නේ රනිල් මහින්ද එක්ක ඩීල් එකක් දාපු නිසා ආණ්ඩුවට පහර දෙන්නේ නෑ කියලා?

එක්සත් ජාතික පක්ෂය කවදාවත් ඩීල් දාපු පක්ෂයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය තමයි මේ ආණ්ඩුව කරන වැරදි නිතරම පෙන්නලා දෙන්නේ. කවුරු කොහොම කිව්වත් අපි ඩීල් දාන පක්ෂයක් නෙවෙයි. ඒ වගේම තමයි මට සමගි ජනබලවේගය ගැන කතා කරන්න දෙයක් නෑ. එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කරනවා.

ඔබතුමාලා ආර්ථිකය ගැන මොන තරම් දොස් පැවරැවත් ආර්ථිකය කඩා වැටුණේ ඔබලාගේ කාලයේ කියලා චෝදනාවක් තියෙනවා?

2015 අපි ආණ්ඩුව බාරගන්නකොට මේ රටේ ආර්ථිකය තිබුණු තත්ත්වය හැමෝම දන්නවා. අපිට කලින් ආණ්ඩුව කරපු රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කෙටිකාලීන වශයෙන් ණය අරගත්තා. ඒ ණය ගෙවන්න වුණේ අපිට. ඒ වගේම මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කළේ අපේ ආණ්ඩුව කාලේ. ගම්පෙරළිය වැනි වැඩසටහන් පටන් අරගෙන අපි තමයි රටට දැනෙන වැඩක් කළේ. වැටිච්ච ආර්ථිකයක් එක්ක බාරගත්ත රටේ නැවත ආර්ථික තත්ත්වයක් ඇති කළේ අපි විතරයි.

පොදුජන පෙරමුණ, සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය මේ වන විටත් තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. කෝ එක්සත් ජාතික පක්ෂය තවමත් ප්‍රචාරණ කටයුතු ආරම්භ කළ බවක් පේන්න නෑනේ?

අපි දැන් පටන් අරගෙන තියෙනවා. අපි අපේ පාක්ෂිකයන් දැනුවත් කරමින් අපේ වැඩපිළිවෙළ පෙර පරිදිම සිදු කරමින් ඉන්නවා. කොහොමත් එජාපය ජනතාව අතර ඉන්න පක්ෂයක්.

අපේ ටෝන් එකත් වෙනස් කරන්න වෙනවා

කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගය අපේක්ෂක විමල් කැටිපෙආරච්චි

ඔබ යහපාලනෙත් එක්ක ඉඳලා යහපාලනේට වැඩ කරලා තනතුරුත් දරලා දැන් ජාතික ජන බලවේගයෙන් ඡන්දෙ ඉල්ලනවා. ඇයි මේ ජාතික ජන බලවේගයෙන් නැවතුණේ?

ඔබ අහපු ප්‍රශ්නයේ තැන් කිහිපයක් නිවැරදි කරන්න තියෙනවා. මම යහපාලන ආණ්ඩුවේ වැඩ කරලා ඒකෙ තනතුරැ අරගෙන නෑ. ඔය කියන ආණ්ඩුව තුළ එක්තරා රාජ්‍ය මාධ්‍යක මාධ්‍යට අදාළ තනතුරක් මම දැරැවා. ඒකට මට ආරාධනා කළේ එවකට ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා. හැබැයි මම ඔහුට කිව්වා මම ඔබේ පක්ෂයේ කෙනෙක් නෙවෙයි මම ඒ පක්ෂයේ න්‍යාය පත්‍රය අනුව වැඩ කරන්නෙ නෑ කියලා. මට උවමනාව තිබ්බේ විද්‍යාව වෙනුවෙන් පෙනී සිටින මිත්‍යාව අත්හල මාධ්‍ය ක්‍රමයක් හදන්න. විශේෂයෙන් ජාතිවාදය ආගම්වාදය නැති කරන්න. ඕක තමයි ඔබ කිව්ව කතාවට හරි වචනය.

ඇත්තටම ජනබලවේගය තෝරගත්තෙ ඇයි?

ජනාධිපතිවරයාට සහ අනුරකුමාර සහෝදරයට අපි වැඩ කළා. අපිට කළ හැකි හැමදේම අපි කළා. ඒ හරහා ජාතික ජනබලවේගයත් එක්ක විශ්වාස කළ හැකි දේශපාලන බැඳීමක් ඇතිවුණා.

හැමෝම උත්සාහ කරන්නේ බහුතරය තියෙන පැත්තෙන් පාර්ලිමේන්තු යන්න බලය අල්ලන්න. ඔබට තිබ්බනේ වෙන බහුතරය තියන පක්ෂයක් තෝරගන්න?

නිවැරදි දේශපාලනය කොහෙද තියන තැන තමයි අපේ දේශපාලන තීන්දුව ගන්න පුළුවන් තැන. එහෙම නැතුව බලය කේන්ද්‍රගත වෙන්නේ කොහෙද, ඉල්ලක්කම් අපි බලන්නේ නෑ. ඔය ඉලක්කම් වෙනස් කරන්න පුළුවන් කියලා අපි දන්නවා. ඒවා කරන්න පුළුවන් මිනිස්සුන්ට. අපිට දේශපාලන ලැජ්ජාව ගැන වැටහීමක් තියෙනවා. එනිසා අපි නිවැරදි තැන හිටගන්නවා. අපි උත්සාහ ගන්නේ බලය අපි කැමති කේන්ද්‍රයට ගෙන්නගන්න. එහෙම නැතුව දේශපාලන ඩීල් නෑ. 

පසුගිය මැතිවරණයත් එක්ක 3% කියලා චෝදනාවක් ආවා. එජාපය එක්ක ඩීල් තියෙනවා කියලා චෝදනා ආවා. 

ඩීල් කියන වචනේ ඇතුළෙම තියෙනවා ගේම් ගහලා යටිකූට්ටු වැඩ කරනවා කියන අදහස. ජාතික ජන බලවේගය කිසිම වෙලාවක ඔය ඩීල් දේශපාලනයේ නෑ. ඔය ඩීල් කියන අයගේ පක්ෂ දිහා බලපුවාම අපිට පේනවා ඒ පක්ෂවල ඒ අය ඉන්නේ කොයි කොයි තැන්වලද කියලා. අපිට තියෙන හොඳම උදාහරණය තමයි මේ ආණ්ඩුව බලය ගන්නකල් යහපාලන ආණ්ඩුව මහ බැංකු චෝදනා සම්බන්ධව විවිධ දේ කිව්වා. හැබැයි අපි දන්නවා ඒකට නීතිය ක්‍රියාත්මක වෙන විදිහ මේ වෙනකොට. අපේ දේශපාලනය ඔය ඩීල් දැමීම නෙවෙයි. 

සාමාන්‍ය මනුස්සයෙක් එක්ක කතා කළාම දූෂකයෝ හරියන්නෑ අලුත් අය එන්න ඕනේ වගේ කතා කියනවා. ඒ අදහස් ඔබලගේ අදහස් හා සමානයි. හැබැයි ඡන්දෙකට ගියාම ඔබලට ඡන්දෙ අඩුයි. 

මේ රටේ ජාතිවාදය, ආගම්වාදය ඇතිකරන්න හරි ලේසියි. අන්න අරූට ගහපන් කිව්වම ගහන මිනිස්සු ඉන්නවා. මිනිස්සු තලන්න පෙලන්න හරි පහසුයි. මොකද ලොකුවට බුද්ධිය මෙහෙයවන්න ඕන නෑනේ. එවැනි බුද්ධිය මෙහෙයවන්නෙ නැති අවුලවන්න පුළුවන් දේශපාලනය නැගලා යනවා. හැබැයි මිනිස්සුන්ට ප්‍රේමය වපුරන, සමගිය වපුරන දේශපාලන ව්‍යාපාරයත් අපේ වචනයෙන් කියනවම් හිට් කරන්න අමාරුයි. හැබැයි හිට් වෙන්නෑ කියලා ඒ ඇත්ත අත්හරින්න බෑ. අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වගේම තවම මම විශ්වාස කරන දේ තමයි අපේ ටෝන් එකත් වෙනස් කරන්න වෙනවා. අලුත් නිර්මාණශීලී අදහස් ඉදිරියේදී ඇතිවෙන්න ඕනෙ. 

අපි දකිනවා සමාජ මාධ්‍ය ඇතුළේ අනුර කුමාර සහෝදරයා වගේම කැටිපෙ සහෝදරයත් ජනප්‍රියයි. කැටිපෙ හිතනවද ඒ ජනප්‍රියතාවය සහ පිළිගැනීම ඇත්තටම සමාජය ඇතුළේ තියනවා කියලා?

මාලිමාව වශයෙන් ප්‍රචාරය කරන් යන අතුරතුර එක් එක් අපේක්ෂකයා තමන්ගේ ප්‍රචාරණයත් කරගෙන යනවා. එතැනදී ඒ ඒ අපේක්ෂකයාට කැමති අය, මිත්‍රයෝ සහ මිත්‍රයෝ නොවන අය අපි වෙනුවෙන් ආදරේ ප්‍රකාශ කරනවා. ඒ අපි වෙනුවෙන් තියන විශ්වාසය සහ අපේක්ෂාව නිසා. ඒක අපි පිළිගන්නවා. අපි ඒ ආදරේට හිස නමනවා. හැබැයි අපි විශ්වාස කරනවා සයිබර් අවකාශයත් මහපොළවත් අතර දුර එච්චර දුරක් නෑ කියලා. ඒ මේ කොරෝනාවලින් පස්සේ. මේ සමාජ ජාලා ඇතුළේ තියෙන ප්‍රබෝධයම එළියේ සමාජෙත් ඇතිවෙනවාද කියන සම්බන්ධයෙනුත් අපි අවබෝධයෙන් ඉන්නේ. සමාජ මාධ්‍ය ඇතුළේ ඇතිවන රුල්ල, ප්‍රබෝධය ආදරයෙන් පිළිගන්නා ගමන් එයට මෝහනය නොවී කල්පනාවෙන් මහ පොළොව තුළ දේශපාලනය වපුරමින් අපි ගමන් කරමින් ඉන්නවා.

හසිත් අංජන / ගයාන් ගාල්ලගේ