2020 ජුනි 06 වන සෙනසුරාදා

දැනටමත් ආණ්ඩුව කඩාවැටිලා

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

තිස්ස අත්තනායක - සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක

තිස්ස අත්තනායක එජාපයද සමගි ජන බලවේගයද නැත්නම් වෙනත් පක්ෂයක සාමාජිකයෙක්ද?
මම සමගි ජනබලවේගයේ ක්‍රියාකාරිකයෙක්. මේ මොහොතේ රටේ ක්‍රියාත්මක විය යුතු ජාතික වගකීම තේරැම් අරගෙන සමගි ජනබලවේගය සමඟ කටයුතු කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ සාමජිකත්වය තියාගෙන ඒකටම දර දිය ඇදලා ඒකෙනුත් අයින් වෙලා වෙනත් දේශපාලන තීන්දු අරගෙන නැවත මේ පක්ෂෙත් එක්ක එකතුවෙලා වැඩ කරනකොට එක්සත් ජාතික පක්ෂය අමතක කරලා වැඩ කරන්න පුළුවන්ද?
මෙතන පක්ෂෙට වඩා රට ඉල්ලන ජනතාව ඉල්ලන දේ මොකද්ද කියලා දේශපාලනඥයෙක් හැටියට හඳුනගන්න ඕන. ජනතාව ඉන්නේ අලුත් ගමනක් යා යුතුයි කියන ස්ථාවරයේ. ඒ නිසයි මම කිව්වේ සමගි ජනබලවේගයේ ක්‍රියාකාරිකයෙක් හැටියට මම කටයුතු කරනවා කියලා. 

ඒ කියන්නේ එජාපය අත්හැරලා නෑ?
එහෙම එකක් නෑ. මෙතන ඉන්න හැමෝම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෝ සහ ක්‍රියාකාරිකයෝ. පක්ෂය කියන ලේබලය අපි ගාව නැති වුණත්, අපි පණ දෙන්නේ පාක්ෂිකයන්ගේ හඬට. 

1977 ජේ. ආර්. ජයවර්ධන මහත්මයා අලියට මහා ජයග්‍රහණයක් අරන් දුන්නට පස්සේ එජාපයට එවැනි ජයග්‍රහණයක් ලබාගන්නම බැරිව ගියා. ඒකට කළේ කොට්ටෙ මාරැ කරනවා වගේ පක්ෂෙ ලාංඡන මාරැ කරපු එක. ඒ එකක්වත් හරි ගියේ නෑ. මේ කරන්න යන්නෙත් එවැනි නිෂ්ඵල ක්‍රියාවක් කියලා හිතෙන්නෙ නැද්ද?
අපි ඉස්සෙල්ලාම 2010දී තමයි අලියා ලකුණ අත්හැරලා ඒ වෙනුවට හංසයා යොදාගත්තේ. 2015දිත් හංසයා යොදාගත්තා. එහෙම ලාංඡන වෙනස් වුණත්, සුපුරැදු අරමුණු වෙනුවෙනු අපි එක්වෙලා කටයුතු කරනවා. විශේෂයෙන්ම මෙතන තියෙන්නේ අලුත් ගමනක් යාමේ අරමුණ. ඒ මතය නියෝජනය කරලා අපි මේ පක්ෂය පටන්ගත්තේ. ඒ නිසා මට පැහැදිලියි දුරකථනය ලකුණ යටතේ ජනතාව පෙළ ගැහිලා ඉන්නේ. විශේෂයෙන් වර්තමානයේ ජනතාව පක්ෂවලට පැල් බැඳගත්ත ස්වරෑපයක් නෑ. ක්‍රමයෙන් වෙනස් වෙනවා. මම කියන්නේ අන්න ඒ වෙනස්වීම අනුවයි අපේ බලවේගය සූදානම් වෙලා තියෙන්නේ. 

අලුත් ගමනක් යන්න හැදුවට ඒ ගමනට එජාප පක්ෂෙවත් ඒ සාමාජිකයන් පිරිසකුත්, විශේෂයෙන් නායකයත් ඔය පෙරමුණට නෑනේ?
මේ මොහොතේත් එජාපයේ බහුතරයක් සමගි ජනබලවේගය සමඟ ඉන්නවා. අපේක්ෂකයන්ගේ ඉඳන් පාක්ෂිකයන් දක්වාම එහෙමයි. ප්‍රතිශතයක් වශයෙන් 90ක් විතර. ඒ විතරක් නෙවෙයි කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත්තත් දැන් බහුතරයක් ඉන්නේ සමගි ජන බලවේගයේ. මේ තත්ත්වයට හේතු වුණේ ජනතාව දිගින් දිගටම ඉල්ලපු පක්ෂ අභ්‍යන්තරයේ වෙනස පක්ෂයේ නායකයා ඇතුළු සීමිත පිරිසක් ලබාදුන්නෙ නෑ. පිළිගත හැකි විසඳුම් ඒ අය මඟහැරියා. ඒ නිසා ඒවා සිදුකිරීමට අපොහොසත් වීම තමයි ඒ තැනට පත්වීමට හේතුව.

දෙගොල්ලොම කියනවා එජාපය තියෙන්නේ අපි ගාව කියලා. පාක්ෂිකයට තියෙන්නේ එක ඡන්දයයි. දැන් එජාප පාක්ෂිකයා හිතන්න ඕන කොයි පැත්ත ගැනද?
එජාපයේ බහුතර පාක්ෂිකයෝ හිටගෙන ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයත් එක්ක. ඒකට හේතුව තමයි එජාප පාක්ෂිකයෝ පහුගිය දශක එකහමාර තුළදී හිටියේ විශාල මානසික පීඩනයක. ඒ නිසා ජයග්‍රහණය කියන එක පෙනි පෙනී පරාජයට පත්වුණා. මේ නිසා පාක්ෂිකයෝ හිතුවා එජාපය මේ යන ගමනත් එක්ක ගිහින් ජයග්‍රහණයක් අපේක්ෂා කරන්න බෑ කියලා. ඒ නිසයි ඒ පක්ෂයේ වෙනසක් ඉල්ලුවේ. ඒ නිසා තමයි එජාපයේ කැමැත්ත මත සමගි ජනබලවේගය පිහිටෙව්වේ. පක්ෂයේ පසුගිය කාලයේ ඇතිවුණ යෝජනාවලට අනුව තමයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය මත මේ සමගි ජනබලවේගය පිහිටෙව්වේ. ඒ අනුව තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා පක්ෂ නායකත්වය හැටියට පිළිගත්තේ. ප්‍රශ්නෙ ඇතිවුණේ සමගි ජනබලවේගයේ ලාංඡනය සම්බන්ධයෙන්. ඒ ගැටලුව නිසා තමයි වෙනම ඡන්දෙ ඉල්ලන තැනට පක්ෂෙ තල්ලු වුණේ. මේක ලොකු දෙයක් නෙවෙයි. සාමාන්‍ය දෙයක්. දේශපාලනය එහෙම තමයි.

දැන් එජාපයේ නායක රනිල් වික්‍රමසිංහත් ඉල්ලන්නේ කොළඹින්. සමගි ජනබලවේගයේ නායකයා ඉල්ලන්නෙත් කොළඹින්. මේ දේවල් එක්ක පාක්ෂිකයන්ට විකාරයක් වෙන්නැද්ද?
මම හිතන්නේ ඒක හොඳයි. එතකොට පුළුවන් කාගෙ කාගෙත් තරම තේරුම්ගන්න. ජනතාව පුළුවන් එතකොට තමන් කැමති කෙනාට ඡන්දෙ දෙන්න. එතකොට අපිටත් පුළුවන් ඇත්තටම ජනතාව ඉන්නේ කවුරැ එක්කද කියලා බලන්න. එහෙම නොවුණනම් එක අතකට හොඳයි. හැබැයි දැන් වෙලා ඉවරයි.

හැබැයි මේකෙන් වුණේ එක්සත් ජාතික පක්ෂය කියන දැවැන්ත පක්ෂය විනාශ වුණ එක නේද?
ඒකට සම්පූර්ණයෙන් වගකියන්න ඕන එජාපය. එජාපය ලැජ්ජා වෙන්න ඕන මේ කරපු වැඩේට. ජනතාවගේ කැමැත්තට දශක එකහමාරක් ඉඩ දුන්නා. ඒක තේරැම් අරන් ඒ වෙනස සිදුකළා නම් මේ තත්ත්වය උදාවෙන්නෙ නෑ. ඇත්තටම දැන් සැබෑ එජාපය තියෙන්නේ අපි ළඟ. රනිල් වික්‍රමසිංහ මහත්මයත් එක්ක දැන් ඉන්නේ එක්තරා කල්ලියක් විතරයි. ජනතාව ඒ කල්ලිය පරාජය කරලා සැබෑ එක්සත් ජාතික පක්ෂය කවුද කියලා ඉදිරි දිනවලම පෙන්නයි.

ඔබ තමයි රනිල් - සජිත් ගැටුම නවත්තලා පක්ෂෙ එකතු කරන්න උත්සාහ කළේ. හැබැයි දැන් ඔබ කියනවා හොඳම එජාපය තියෙන්නේ සජිත් එක්ක කියලා. මොනවද මේ කතා?
ඒක ඇත්ත. 2004න් පස්සේ කඩාවැටුණ එජාපය ගොඩගන්න මම විශාල වැඩ කොටසක් කළා. රනිල් - සජිත් එකට වාඩි වුණේ නෑ. එජාපය මම එකතු කළේ බදුල්ලේ පස්සර රුස්වීමකදී. දෙන්නා එකට වාඩි කෙරෙව්වා. එතනින් පස්සේ පක්ෂෙ ජයග්‍රහණය කරා වැඩකටයුතු කරන්න අපි ඡන්ද පොළ සාමාජිකයෝ පවා පත් කළා. හැබැයි පසුගිය ජනාධිපතිවරණය ගත්තොත් ඉතාම කනගාටුයි සජිත් ප්‍රේමදාස මහත්මයගේ ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂයේ සාමාජිකයෝ වැඩ කළාද කියලා ගැටලුවක් තියෙනවා. හැමතිස්සෙම පක්ෂ නායකයෝ පාක්ෂිකයන්ගේ හදගැස්ම අඳුරගන්න ඕන. එහෙම නොවුණොත් පක්ෂය නැතිවෙනවා. ජනතාව හිතනවනම් එකට යන්න බෑ කියලා තවදුරටත් එය කිරීම ප්‍රතිඵලයක් නෑ. මෙය පක්ෂය කඩා බිඳ දැමීමක් නෙවෙයි.

ඇත්තටම පක්ෂය කැඩුවේ කවුද?
පක්ෂයක් රඳාපවතින්නේ නායකයන්ගේ අරමුණු මත. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ කණ්ඩායම ජනතාවගේ වෙනස තේරැම්ගත්තෙ නෑ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සේරම එකතුවෙලා එක තීරණයක් අරගෙන ඒ තීරණ වෙනස් කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයගේ කණ්ඩායම එකතු වෙලා. ඒ අය කිව්වේ අලියා ලකුණෙන් ඉල්ලමු කියලා. එතකොට ගත්ත තීන්දුව වෙනස් කරලා වෙනත් මගක ගියේ අපි නෙවෙයි. ඔය එජාපයේ සුළු පිරිස නියෝජනය කරන්නේ රජය. ඒ අය රාජපක්ෂ පාලනයත් එක්ක සාකච්ඡා කරමින් තමයි වැඩකටයුතු කරන්නේ. ඒ අය කියලා තියෙනවා මේ මැතිවරණයෙන් පස්සේ ජාතික ආර්ථිකයට, ආණ්ඩුවට සහය දක්වනවා කියලා. පැහැදිලිවම තියෙන්නේ මැතිවරණයෙන් පස්සේ ඒ අය ආණ්ඩුව ශක්තිමත් කරන්න ලෑස්තියි.
එජාය හැරලා ගිහින් සමගි ජන බලවේගය හදපු අයව පසුගියදා එජාපයෙන් ඉවත් කළා. ඒත් ඔබලත් එක්ක ඉන්න අය කියනවා තවම එජාපයේ කියලා. ඇයි මේ පක්ෂය අත ඇරලා ගිහින් ඒ පක්ෂයේ බලෙන් තවත් පක්ෂයක ඉන්න හදන්නේ?
ඔය කියන විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තවම කිසිදු පියවරක් ලිඛිතව අපිට දීලා නෑ. ඒක මාධ්‍ය සංදර්ශනයක් විතරයි. අනික මේ සමගි ජන බලවේගය නිර්මාණය වුණේ එක්සත් ජාතික පක්ෂය හරහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමතය පරිදි. අනික මේ ඉන්න පිරිස එජාපයේම පිරිස. එතකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හිටපු අයයි මේ බලවේගයේ ඉන්න අයයි ඉන්නේ එකම මතයක. ඒ පක්ෂය අලුත් වෙන්න ඕන කියන මතයේ. දැන් බලන්න එජාපයේ මහ ලේකම් අකිල විරාජ් මහත්තයයි, නියෝජ්‍ය ලේකම් රුවන් විජේවර්ධන මහත්තයි කියන කතා. අකිල විරාජ්ට ඕන පක්ෂය බෙදන්න. රුවන් කියනවා හැමෝම එකතුවෙමු කියලා. මේක තමයි ප්‍රශ්නය. කල්ලියකට ඕන මේ සියල්ල විනාශ කරලා පක්ෂය නැති කරන්න. දැන් කොහොමත් බෙදිලා ඉවරයි. ඉදිරි මැතිවරණයෙදී තීන්දු කරයි ජනතාව කවුද බලයේ ඉන්න ඕන කියලා.

ඔබලට හිතෙන්නේ නැද්ද අලියා ලකුණෙන් ඉල්ලුවා නම් එකතුවෙලා මේ කිසිම ප්‍රශ්නයක් නැතිවෙයි කියලා?
ජාතික සමගි ජන බලවේගය ගොඩනැගුණේ හැමෝගෙම එකඟත්වය මත. මේ එකඟත්වය අනුව අලියා ලකුණින් තරණය කිරීමට සමගි ජන බලවේගයේ බහුතරයක් කැමති වුණේ නෑ. අපි කිව්වේ පොදු ලකුණකින් තරග කරමු කියලා. මේ බහුතර බලයට එරෙහිව ක්‍රියාකළේ සමගි ජනබලවේගයේ අය නෙමෙයි. එජාපයේ සුළු පිරිසක්. කල්ලියක්. ඒ කල්ලියට සමස්ත එජාපයම යටවෙලා.

ඔබලට වෙනම අරමුණක් තියෙනවා නම් ඇයි අපි තවමත් එජාපයේ කියලා එල්ලිලා ඉන්නේ.?
ඒකට හේතුවක් තියෙනවා. මෙතන තියෙන්නේ මතවාදී අරගලයක්. මේ පක්ෂයට වෙනසක් අවශ්‍යයි කියලා හිතන මහා පිරිසක් ඉන්නවා. 1997 ඉඳලා පාක්ෂිකයෝ බැලුවේ එජාපයේ ශක්තිමත් බව. හැබැයි බලය ලැබුණු අවස්ථාවල පවා පක්ෂය ශක්තිමත් කිරීමට එජාපයේ නායකයෝ උත්සාහ ගත්තේ නෑ. ඒ නිසා පාක්ෂිකයෝ කිව්වේ වෙනත් මාර්ගයක් අලුත් නායකත්වයකින් පටන් ගන්න කියලා. ඒ අනුව තමයි පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පවා වෙනසක් අපේක්ෂා කරලා අනුමැතිය දුන්නේ. එහෙනම් මේ පක්ෂ දෙකේම නියෝජනය එකම කණ්ඩායමක්. අපි වෙනස් ගමනක් ආරම්භ කරලා තියෙනවා. එජාපය සුපුරුදු ගමන යනවා. ඒ නිසයි අපේ අය කියන්නේ සමගි ජන බලවේගයට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අවසර දීලා සමාජිකත්වය අහෝසි කරන්න බෑ කියලා.

පසුගියදා සමගි ජනබලවේගය ඇතුළු කීප දෙනෙක් දාපු පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා. වැඩිම පෙත්සම් තිබුණේ ඔබලගෙන්. බොහෝ අය චෝදනා කරන්නේ ඔබලා මැතිවරණය කල්දාන්න යන්නේ කියලා. ඇයි ඒ වගේ අරමුණක්?
අපි කිසිවෙලාක මැතිවරණ කල්දානවට එකඟ වෙන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න අවශ්‍ය දෙයක් හැටියට අපි ඡන්දය පිළිගන්නවා. අපි කතා කළේ මැතිවරණ කල්දාන්න නෙමෙයි. අපි කතා කළේ මේ වර්තමානයේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක නිදහස් සාධාරණ මැතිවරණයක් තියන්න බෑ කියන එක. අපි හැමතිස්සෙම බලන්න ඕන ඡන්ද දායකයගේ ආරක්ෂාව, නිලධාරීන්ගේ ආරක්ෂාව වගේ දේවල්. අපිට උවමනාව තිබ්බේ මේ වෛරසයේ පළවෙනි වටයෙන් ඡන්දයකට යන්න හදපු උත්සහය නවත්තන එක. අප්‍රේල් 25 වෙනිදා ඡන්දය තියන්න තිබ්බේ. එහෙම තිබ්බා නම් බරපතල ප්‍රශ්නයක්, ආණ්ඩුව උත්සහ කළේම තියන්න. ජූනි මාසේ 20 දැම්මත් ආණ්ඩුවට ඕන වුණේ මැයි මාසේ තියන්න. ඒ නිසා අපි පෙනී හිටියේ ජනතාව වෙනුවෙන්. ජනතාවගේ අයිතිය වෙනුවෙන්. අපිට ජනතාව උගසට තියලා ඡන්ද තියන්න උවමනාවක් නෑ. දැන් පුළුවන් දැන් ඒ පරිසරය ගොඩනැගිලා.

ඔබලා හිතනවද ඡන්දය පවත්වන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා කියලා?
තවම සීයට සීයක් ඒ නිදහස් පරිසරය නෑ කියන එක අපේ පිළිගැනීම. ඒත් අපි සූදානම් මැතිවරණයකට ඕනෑම වෙලාවක. කොමිෂන් සභාවත්, සෞඛ්‍ය අංශත් ලබාදෙන නිර්දේශ අනුව කටයුතු කරන්න අපි සූදානම්. අපි හිතනවා මැතිවරණය අගෝස්තු මාසයේ තියාවි කියලා. ඒ සඳහා අපි සූදානම්ව කටයුතු කරනවා. අපි ඉදිරි සතියේ අපේක්ෂකයෝ කොළඹට ගෙන්නලා මැතිවරණ ව්‍යාපාරය කරන ආකාරය ගැන වෙන වෙනම උපදෙස් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම අපි දැනටමත් ඒ අයට සෞඛ්‍ය ආරක්ෂිත විදිහට මැතිවරණ ව්‍යාපාරය කරණ ආකාරය ගැන උපදෙස් ලබාදීලා තියෙන්නේ. හැබැයි අපිට ප්‍රශ්න තියෙනවා. ඒ තමයි මැතිවරණ කොමිසමට සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් වාර්තාවක් තියෙනවා. ඒ වා‍ර්තාවේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නෑ. අපි හැබැයි කියනවා කොමිසමට මේ උපමානවලට පිටින් වැඩකරන දේශපාලන පක්ෂවලට එරෙහිව ක්‍රියාත්මක වෙන්න කියලා.

ඇත්තටම සමගි ජනබලවේගය අරමුණ ආණ්ඩුවක් ගන්න එකද නැත්තන් එක්සත් ජාතික පක්ෂය පරාජය කරලා ඒ පක්ෂයේ බලය අල්ලන එකද?
අපේ මුලික අරමුණ පාර්ලිමේන්තු මැතිවරණය ජය ගන්න එක. මේ වෙනකොට රටේ ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටිලා ඉවරයි. ජනාධිපති ගෝඨාභය සම්බන්ධයෙන් තියන විස්වාසය කඩාවැටිලා තියෙන්නේ. නීතියේ විශාල පිරිහීමක් තියෙනවා. ව්‍යවස්ථාව කඩවීම් පවා වෙනවා. මේ වැටුණු තැනින් ගොඩ එන්න ආණ්ඩුවට ජාතික වැඩපිළිවෙළක් තියෙනවා කියලවත් පේන්න නෑ. එහෙම අරමුණක් නැති මොහොතක රටත් ජනතාවත් අවදානමක ඉන්නේ.අපේ පළවෙනි අරමුණ ඒ අවදානමෙන් ගලව රට අලුත් ගමනක් යන එක.අපි විස්වාස කරනවා ජනතාව අපි සමඟ පෙළගැහෙයි කියලා.

 ගයාන් ගාල්ලගේ