2020 මැයි 30 වන සෙනසුරාදා

යූ.එන්.පී. - එස්.ජේ.බී. එළිපිට සටනට

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 86

යූ.එන්.පී.යේ දෙදරා යාම මේ වනවිට මාධ්‍ය සංදර්ශන සඳහා තෝතැන්නක් වෙමින් තිබේ. යූ.එන්.පී. නායකයන් තම පක්ෂය කඩාගෙන ගොස් සමගි ජනබලවේගය (එස්.ජේ.බී.) පිහිටුවා ගත් හිටපු මැති ඇමැතිවරුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමෙන් පසුව එම තත්ත්වය උග්‍ර විය. පක්ෂයෙන් කඩාගෙන ගිය පිරිසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් සමගි ජනබලවේගයෙන් නාමයෝජනා ලබාදුන් පිරිස පක්ෂයෙන් නෙරපා හරින බවත් ප්‍රකාශ කරමින් පක්ෂයේ මහලේකම් අකිල විරාජ් හිටපු ඇමැතිවරයා විසින් සිදුකරන ලද මාධ්‍ය ප්‍රකාශයෙන් පසුව මේ ගැටුම තදින් ඇවිලී ගියේය.

එම ප්‍රකාශයට එරෙහිව එස්.ජේ.බී. මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හිටපු ඇමැතිවරයා විසින් තද පිළිතුරක් ලබාදී තිබිණි. බෝඩ් ලෑල්ලක් බවට පත්ව තිබෙන දේශපාලන පක්ෂයක් වන යූ.එන්.පී.ය අද සමගි ජන බලවේගයට පහර එල්ල කිරීමේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව බාරගෙන ඇති බවට ඔහු චෝදනා කළේය.

මෙම දෙපාර්ශ්වය අතර ඇවිලීගෙන යන සටනේදී යූ.එන්.පී.ය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද දරුණුම ප්‍රහාරය වශයෙන් මේ ප්‍රකාශය සැලකිය හැකිය. මෙතෙක් කලක් එහෙන් මෙහෙන් අතපත ගාමින් ටොකු අනින ස්වරූපයෙන් පිළිතුරු දෙමින් සිටි සමගි ජල බලවේගයට දැඩිව රිදී ඇත්තේ පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුද ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගනු ලැබූ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමගිනි. මේ පිළිබඳව දැනගත් වහාම එස්.ජේ.බී. ප්‍රබලයකු වන සුජීව සේනසිංහ හිටපු රාජ්‍ය ඇමැතිවරයා කියා තිබුණේ තමන්ගේ පක්ෂය යූ.එන්.පී. කෘත්‍යාධිකාරී කමිටුවේ අනුමැතිය ලබාගෙන පිහිටුවූවක් බැවින් විනය විරෝධී කිසිවක් සිදුකර නැති බවය.

මේ වාග් ප්‍රහාර දෙපසින්ම එල්ල වෙමින් තිබියදී පසුගිය බ්‍රහස්පතින්දා (28) යූ.එන්.පී. නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එස්.ජේ.බී. මහා ලේකම් සහ යූ.එන්.පී. හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාට යවන ලද ලිපියක් මාධ්‍යයට නිකුත් කර තිබිණි. මාධ්‍යයේ සීමිත පිරිසක් අතට ලැබුණු එම ලිපියෙන් දන්වා තිබුණේ රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාගේ යූ.එන්.පී. පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන ලද බවයි.

එම ලිපියේ සඳහන් වී ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාවේ 3 (A), 3 (C), 33.4 (a), 93 (g) යන වගන්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමුකර ඇති මේ ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත්තේ මද්දුම බණ්ඩාර මහතා පක්ෂයේ අනුමැතියකින් තොරව යූ.එන්.පී. සාමාජිකයන්ට වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාදීම හරහා පක්ෂ ව්‍යවස්ථාව කඩකර ඇති බවය. ලිපිය ලැබී දින හතක් ඇතුළත නිදහසට කරුණු ප්‍රකාශ කළ යුතු බවද එමගින් දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා “ඩේලි මිරර්” පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සමගි ජන බලවේගය පිහිටුවාගනු ලැබුවේ යූ.එන්.පී. කෘත්‍යාධිකාරී කමිටුවේ අනුමැතිය ඇතිව බවය. “සමගි ජන බලවේගයේ මහා ලේකම්වරයා වශයෙන් මා පත් කරනු ලැබුවේ යූ.එන්.පී. කෘත්‍යාධිකාරී කමිටුව මගිනුයි. සමගි ජනබලවේගය පිහිටුවීමටද එහිදී අනුමැතිය ලැබුණා. මේ නිසා කාටවත් කියන්න බෑ මම පක්ෂ ව්‍යවස්ථාව කැඩුවා කියලා” ඔහු ප්‍රකාශ කළේය. මද්දුම බණ්ඩාර මහතා තවදුරටත් ප්‍රකාශ කළේ සමගි ජනබලවේගය නියෝජනය කරන හිටපු යූ.එන්.පී. මන්ත්‍රීවරුන් 80ක් සිටින බවයි. “අපේ එස්.ජේ.බී. එක තමයි සැබෑ යූ.එන්.පී. එක. කෘත්‍යාධිකාරියේ සාමාජිකයන් 40කටත් වඩා ඉන්නේ අප සමඟයි” යැයිද ඔහු කීය.

මේ අතර යූ.එන්.පී.  කෘත්‍යාධිකාරී මණ්ඩලය සිකුරාදා (29) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් විය. එහිදී සමගි ජල බලවේගයේ නාමයෝජනා ලැබුණු එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 99 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගනු ලැබූ තීන්දුව ඒකමතිකව අනුමත කළ බවද ප්‍රකාශයට පත් විය. එම රැස්වීමේදී කතා කළ රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු ගිවිසුමකට එජාපය එකඟ නොවන බවද ප්‍රකාශ කර තිබිණි.

උද්ගතව තිබෙන මේ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා සමගි ජන බලවේගය විසින් සිකුරාදාම (29) දහවල් 2.00ට ඇතුල්කෝට්ටේ තම පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. එහිදී කරැණු දැක්වූයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ඉම්තියාස් බාකීර් මාකර් මහතාය.

කෙසේ වුවද එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් පැවසුණේ යූ.එන්.පී. සහ එස්.ජේ.බී. පක්ෂ දෙක අතර සමගි සම්මුතියක් ඇතිවීමට කිසිදු ඉඩකඩක් දැන් නොමැති බවයි. එසේම යූ.එන්.පී. කෘත්‍යාධිකාරියේ වැඩි බලයක් ඇත්තේ එස්.ජේ.බී.ට බැවින් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගනු ලබන තීරණවල වලංගුභාවයක් නැති බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.