2020 මැයි 30 වන සෙනසුරාදා

තොණ්ඩමන් ලකුණ

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 170

ආරුමුගම් තොණ්ඩමන් සමඟ ඉතාම සමීපව කාලයක් තිස්සේ කටයුතු කළ තලවාකැලේ තරුණයකුට සිකුරාදා (29) ඔහුගේ හිතවතෙක් කොළඹ සිට දුරකථන ඇමතුමක් දුන්නේය. කොළඹ සිට නුවරඑළියට පැමිණ තොණ්ඩමන්ගේ අවසන් කටයුතු සංවිධානය සඳහා හැටන් බලා යාමට සැරසෙමින් සිටි ඔහු දුරකථනයට පිළිතුරු දුන්නේ හඬා වැළපෙමිනි. කැඩිච්ච සිංහලෙන් ඔහු දිගටම මෙසේ කියාගෙන ගියේය.

“අනේ බලන්න අපේ දෙවියො නැතිවුණා. මුළු නුවරඑළියම මළගෙයක් වෙලා. හැමෝටම හරිම කනගාටුයි. මෙහෙ ආවම අපි හැමෝටම නම කියලම කතා කරනවා. මේ පැත්තට එතුමා නැතිවීම හරිම පාඩුවක් වෙනවා. එයා ගොඩාක් දේවල් මෙහෙට කළා. හැමෝම කතා කරනවා ඒ ගැන. අපට රුපියල් දාහක් අරන් දෙන්නත් අන්තිම දවසෙත් කතා කරලා තියෙනවා. මේ පැත්තේ කවුරුත් තාම වැඩට යන්නෙ නෑ. මේ අනුකම්පාව නිසා ජීවන් මහත්තයාට මේ පාර ලොකු ඡන්දයක් වැටේවි. එයා දිගටම අල්ලගෙන ගියොත් හොඳයි....” මේ කතාව ඔහු අවසන් කළේ මෙහෙමත් කියමිනි.

“අපේ තොණ්ඩමන් මහත්තයා නම් සීයාගේ ළඟම ඉඳන් හොඳට දේශපාලනය ඉගෙන ගත්තා. හුඟාක් කල් ළඟින්ම හිටපු හින්දා එයා වැඩේ දන්නවා. හැබැයි ජීවන් මහත්තයා වැඩකරන හැටි ටිකක් බලන් ඉන්න වෙනවා.”

තොණ්ඩමන්ගේ නික්ම යාම තුළ රටේ දේශපාලනය තුළද සිදු වූ කම්පනය පිළිබඳ හරස් කතාවක් මේ සංවාදයේ තිබේ. තොණ්ඩමන්ලා මේ රටේ ප්‍රසිද්ධව සිටියේ රජුන් තනන්නන් හැටියටය. විශේෂයෙන් විධායක ජනාධිපති ක්‍රමයේ ආරම්භයත් සමඟ වතුකරයේ ඡන්දය තීරණාත්මක සාධකයක් බවට පත්විය. ජනාධිපති ධුරයට පත්වූ ජේ.ආර්., ප්‍රේමදාස පමණක් නොව චන්ද්‍රිකා සහ මහින්ද ද අඩුවැඩි වශයෙන් තොණ්ඩමන්ලාගේ ඡන්ද ගොඩ හේතුවෙන් සීයට 50 පන්නා ගැනීමට සමත්වූහ. ඒ තත්ත්වය වෙනස්වූයේ 2015දී තොණ්ඩමන් යටපත් කරගෙන දිගම්බරන්ගේ ඉදිරියට පැමිණීමත් සමඟිනි. එයින් පසුව වතුකරය තුළ පසුබෑමකට ලක්වූ තොණ්ඩමන්ගේ නායකත්වයට අලුත් නැම්මක් ඇතිවූයේ ඔහු යළිත් මහින්ද සමඟ දේශපාලන ගමනක් යාමට එකතු වීමත් සමඟය. ඔහු 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට මහින්ද සමඟ එකට එක්වී කටයුතු කළේය. තොණ්ඩමන් මියයාමට පැය කිහිපයකට පෙරද සිටියේ මහින්ද සමඟ සාකච්ඡාවක නිරත වෙමිනි. එහිදී වතු කම්කරුවන්ට ලබාදීමට යෝජනා වූ රුපියල් දහසේ වැටුප පිළිබඳ සාකච්ඡා වූ බවද සඳහන් විය. එහෙත් තොණ්ඩමන් කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි හදිසියේම අවසන් ගමන් ගියේය.

තොණ්ඩමන්ගෙන් හිස්වූ වතුකරයේ දේශපාලන කිරීටය ලැබෙනු ඇත්තේ ඔහුගේ පුත් ජීවන්ට බව පෙනෙන්නට තිබේ. ඔහු විදෙස් අධ්‍යාපනය ලැබූ බැරිස්ටර්වරයෙකි. පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් කොතරම් ගැටලු තිබුණත් ඔහු දැනට එම සටනේ ඉදිරියේම සිටී. තොණ්ඩමන් වෙනුවට නාමයෝජනාවට ආදේශ කෙරුණේද ජීවන්ය. ඔහු දේශපාලනයට ආධුනිකයකු වුවත් වතුකරයේ තරුණ නායකත්වයකට ලියැලෙමින් තිබෙන අවස්ථාව ඔහු විසින් තදින්ම ග්‍රහණය කර ගැනීමට ඇත්තේ ලොකු ඉඩකි. එයට හේතුව පියාගේ අකල් මරණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා දේශපාලනයෙන් තොරව පවතින සානුකම්පිත බව ඡන්දවලට පෙරළීමට අවස්ථාව තිබීම හේතුවෙනි. මහ මැතිවරණය ඉක්මනින් පවත්වන තරමට එහි ප්‍රතිඵල වැඩිපුර ලැබෙනු ඇත. එසේ වුවහොත් වතුකර දේශපාලනයේ ඉතිහාසය අලුතින් ලියැවීමටද ඉඩ තිබේ.

එසේ වන්නේ අවුරුදු 24ක් තරම් ලාබාල වයසකදී වතුකරයේ නායකයකු වීමට මීට පෙර කිසිවකුටත් අවස්ථාවක් නොලැබීම නිසාය. එසේම මෙතෙක් කලක් වතුකරයේ බැරිස්ටර්වරයකුට එවැනි අවස්ථාවක් හිමි වී නැත. මේ සියලු කරුණු එකට ගත් විට තොණ්ඩමන්ගේ අකාල වියෝව මහින්ද සහාය දක්වන දේශපාලන කණ්ඩායමට වෙස්වලාගත් ආශීර්වාදයක් වීමටද ඇත්තේ විශාල ඉඩකඩකි. එය මහ මැතිවරණයේදි බලාගත හැකිවනු ඇත.

කෙසේ වුවද මහ මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණීමට තවමත් නොහැකිව තිබේ. ඡන්ද දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලෙන පෙත්සම් විභාග අවසන් වනතුරු ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කිරීමට මැතිවරණ කොමිසම සූදානම් නැත. මේ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාග වන අවස්ථාවලදී වගඋත්තරකාර පාර්ශ්ව නියෝජනය කරන නීතිවේදීන් විසින් මැතිවරණ කොමිසම මහමැතිවරණය ප්‍රමාද කිරීම සඳහා කටයුතු කරන බවට චෝදනා එල්ල කරනු දැකිය හැකි විය. දින දෙකක කාලයක් තුළදී සලකා බැලෙන බව කී මෙම පෙත්සම් පිළිබඳ විභාගය සති දෙකක් ගියද අවසන් වී නැත. මහ මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට නම් මෙම පෙත්සම් මූලික සලකා බැලීම්වලින් පසුව නිශ්ප්‍රභා කොට මැතිවරණය සඳහා දින නියම කිරීමට මැතිවරණ කොමිසමට අවස්ථාව සලසා දිය යුතු වෙයි. එසේ නොවී පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළහොත් එම විභාගය අවසන් වනතුරු මැතිවරණ කොමිසමට සිය ඉදිරි වැඩකටයුතු සිදුකරගෙන යාමට එරෙහිව වාරණයක් පැනවීමට ඉඩ තිබේ. එසේ වුවහොත් මහ මැතිවරණය පැවැත්වීම වසර ගණනාවකින් කල් යා හැකි බවට වගඋත්තරකාර පාර්ශ්වවල නීතිඥවරුන් විසින් අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර තිබිණි.
ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා සිකුරාදා (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශකර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන බවය. යම් විදියකින් මෙම පෙත්සම විභාගයට අවසර දී එම විභාගය අවසන් වනතුරු අතුරු නියෝගයක් ලබා දුන්නොත් මැතිවරණය පැවැත්වීමට වසර ගණනක් යනු ඇතැයිද ජනාධිපති නිතීඥ කුෂාන් ද අල්විස් මහතා ප්‍රකාශ කර තිබිණි. මින් කියැවෙන්නේ මැතිවරණ කොමිසම වක්‍රාකාරයෙන් පෙත්සම්කරැවන්ට සහයෝගය දක්වන බව යැයිද ඔහු කීය.

පෙත්සම් පිළිබඳව එසේ කරුණු ප්‍රකාශ වුවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මූලික පියවර ගණනාවක් ක්‍රියාත්මක කර තිබූ බවද පෙනී යයි. ඔහු සෞඛ්‍ය අංශ වෙතින් පවතින තත්ත්වය පිළිබඳව වාර්තා ලබාගන්නා බවද පාලිත තත්ත්වයන් යටතේ මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ විවිධ සාකච්ඡා පවත්වන බවද දැනගන්නට තිබේ. අවශ්‍ය වුවහොත් මහ මැතිවරණය දින දෙකකදී පැවැත්වීම පිළිබඳවද කරුණු සලකා බලාගෙන යන බවද ප්‍රකාශ වෙයි. එසේම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා සූදානම් වන්නැයි රජයේ මුද්‍රණාලයට පූර්ව දැනුම්දීමක්ද සිදුකර තිබේ. ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඇඟිලිවල තීන්ත තැවරීම වැනි අත් ස්පර්ශ වීම වැළැක්වීමේ ක්‍රමවේද පිළිබඳවද ඔවුන් හැදෑරීම් කරන බවත් සඳහන්ය. එසේ වුවත් පවතින තත්ත්වය එනම් වරින්වර කොවිඩ් - 19 පොකුරු සක්‍රීය වීම් සිදුවන වාතාවරණයක මහ මැතිවරණය පැවැත්වීමට සිදුවුවහොත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳගෙන සිටියදී අනන්‍යතාව තහවුරු කරගැනීම, ඡන්ද පත්‍රිකා එකම පැන්සලකින් ලකුණු කිරීමට සිදුවීම සහ පෝලිම් දීර්ඝ වීම වැනි ප්‍රායෝගික දුෂ්කරතා ගණනාවකට මුහුණදීමට සිදුවනු ඇත. එසේ වුවද ඡන්දය පැවැත්වෙන දිනය වනවිට මෙරට කිසිදු ස්ථානයකින් රෝගියකු වාර්තා නොවන තත්ත්වයක් මතුවී තිබුණත් මේ දුෂ්කරතා මගහැරීම අපහසුවක් නොවනු ඇත. සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙන සහතිකයට විශාල වටිනාකමක් හිමිවන බවත් එය මහමැතිවරණය පැවැත්වීමේ කොළ එළිය වනු ඇති බවත් පැහැදිලිව පෙනෙන්නට තිබේ.

බලය අතැතිව සිටින ආණ්ඩුවකට මහ මැතිවරණය තමන්ට උවමනා කාලසීමාවකදී පවත්වා අවසන් කිරීමට පවතින්නේ ප්‍රබල උනන්දුවකි. රාජපක්ෂ ආණ්ඩුවට ඒ උනන්දුව වැඩිකරන තවත් කාරණා දෙකක්ම පවතී. එකක් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේ ඉහළ ජයග්‍රහණයක් ලබා වැඩි කාලයක් ගත නොවී තිබීමය. අනෙක් කාරණය ප්‍රධාන විපක්ෂය වන යූ.එන්.පී.ය දෙකට කැඩී තිබීමය. මේ කාරණා දෙකම ආණ්ඩු පක්ෂයට ඉතාම වාසිදායකය. ඒ හා සමානව විපක්ෂයට අවාසිදායකය.
එසේ වුවද කොරෝනා වසංගතය හේතුවෙන් රටේ පවතින තත්ත්වය ව්‍යාකූල වෙමින් පැවතීම ආණ්ඩුවට අවාසිදායක වීමටද ඉඩ තිබේ. කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව පාලනය කරගැනීමට දැක්වූ නායකත්වයේ ආදර්ශය ආණ්ඩුව ඉහළටම ඔසවා තැබුවත් වසංගතය හේතුවෙන් රටේ බහුතර මහජනතාව මුහුණ දෙන ගැටලු විශේෂයෙන් ආර්ථික, රුකියා සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල ගැටලු බරපතළ අර්බුදයක් බවට පෙරළෙමින් තිබේ. මැතිවරණය පැවැත්වීම කල් යන තරමට මේ ගැටලුද වැඩිවෙයි. මේ නිසා ආණ්ඩුවට එරෙහිව ඇතිවිය හැකි අවාසිදායක තත්ත්වය මගහරවා ගැනීමට නම් හැකි ඉක්මනින් මැතිවරණයට යා යුතුව තිබේ. එහෙත් ආණ්ඩුව කොපමණ අවාසිදායක තත්ත්වයකට මුහුණ දුන්නත් එයින් වාසියක් ලබාගැනීමට යූ.එන්.පී. ප්‍රමුඛ විපක්ෂයට නම් හැකිවනු ඇතැයි සිතන්න අමාරුය.

- ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00