2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

සමත්කම් හා මෝඩකම්

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

අපොස (සා.පෙ) විභාගයේ ප්‍රතිඵල පසුගිය 28 වැනිදා නිකුත් විය. එදින ප්‍රතිඵල නිකුත් කරන බවත් එපමණක් නොව උසස් පෙළ සහ පහ වසරේ ශිෂ්‍යත්ව විභාගවලද ප්‍රතිඵල නියමිත දිනවලදීම නිකුත් කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ මීට සතියකට පමණ ඉහතදීය. ඒ අනුව සා.පෙ. විභාග ප්‍රතිඵල නියමිත දිනයේම නිකුත් කිරීම සම්බන්ධයෙන් සතුටු වෙමු. ඒ සමඟ ඉතිරි විභාග දෙකේ ප්‍රතිඵලද ඒ ආකාරයට නියමිත දිනවලට නිකුත් කිරීමට පියවර ගන්නැයි විභාග දෙපාර්තමේන්තුවෙන් අපි ඉල්ලා සිටිමු. එසේ කියන්නේ විභාග ප්‍රතිඵල දූ දරුවන්ට කොතරම් සංවේදි කාරණයක්ද යන්න අප හොඳින්ම දැන සිටින බැවිනි. දැන් අපි මෙවර ප්‍රතිඵල පිළිබඳව අදහස් කීපයක් පළ කරමු.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වූ මුල්ම දස දෙනාම ප්‍රධාන නගර වල ප්‍රධානම පෙළේ විදුහල්වලින් බිහිවී තිබීම කැපී පෙනෙන ලක්ෂණයකි. කොටින්ම සුපිරි ප්‍රතිඵල ලබා දුන් දූ දරුවන් සියලු දෙනාම සුපිරි පාසල්වලින්ම එම ප්‍රතිඵල ලබාදීමට සමත්ව සිටිති. ඒ සමගම විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ඉතිහාසයේ ගණිතය විෂයයෙන් සමත්ව සිටින වැඩිම සිසු සිසුවියන් පිරිස වාර්තා වන්නේ මේ වසරේදී බවය. ඉතිහාසය විෂයය සම්බන්ධයෙන්ද තත්ත්වය එසේමය. ඊළඟට සඳහන් කළ යුතු වන්නේ විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබා ගැනීමට සමත් වූ සිසු සිසුවියන් 8224ක් සිටින බවය. එයද කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කිරීමකි. මේ සියලු දරුවෝ රටේ අනාගතයේ හැඩ තල වඩාත් යහපත් අතට හරවන්නෝ වෙති. අපි ඔවුන් සියලු දෙනාටම සුබ පතමු. 

ඉහළින්ම දස්කම් පෙන්වා උසස් ප්‍රතිඵල ලබාගැනීමට හැකි වූ දරුවන් රටටද කියා දෙන පාඩම් ගණනාවක් තිබෙන බවද මෙහිදී සඳහන් කරනු වටී. යහපත් මවුපියන් ලැබීමත්, උගැන්වීමට කැපවුණු ගුරැවරැන් සහ විදුහල්පතිවරැන්ගේ මඟ පෙන්වීමක් තිබීමත් අධ්‍යාපනයෙන් ඉහළ ප්‍රතිඵල ලබාදීමට අත්‍යවශ්‍ය සාධක දෙකක් වීම ඉන් එකකි. එසේම පාඩම් කිරීමට අවශ්‍ය පරිසරයක දරුවන් හැදීමත්, නිරවුල් මනසකින් දැඩි අධිෂ්ඨානයකින් සහ ඉලක්කයක් ඇතිව වැඩ කිරීමට හැඩ ගැසීමත් ඉහළ ප්‍රතිඵල ලබාදීමට උපකාරී වන තවත් පාඩම් කීපයකි. මේ පාඩම් ඇතැම් නාහෙට නාහන මාපියන්ටත්, දේශපාලනඥයන්ගේ පිහිටෙන් හොඳ පාසල්වලට පැනගෙන වැඩක් නොකර අයිස් ගසන ඒ සමඟ මුදල් ගසාකන වැඩ කරන විදුහල්පතින් ඇතුළු ගුරුවරුන්ටත් එකසේ අදාළය. ඇතැම් ප්‍රධාන නගර ආසන්නයේ පමණක් නොව ප්‍රධාන නගරවලද අහවල් විදුහල්පති අපට එපා, මේ ගුරුවරු එපා යනුවෙන් පාසල් අසළට වි බෝඩ් උස්සාගෙන කෑගසන මවුපියන් සහ ආදි සිසුන් කියන කතාවලට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු වන්නේ මේ නිසාය. කිසිම මවුපියකු හෝ ආදි සිසුවකු තම විදුහලේ තත්ත්වය පිරිහෙනවා දකින්නට කැමැති නැත. දේශපාලනඥයන්ගේ අත පෙවීම්, ඇඟිලි ගැසීම් තිබෙනවාටද අකැමැතිය. හොඳම ප්‍රතිඵල ලබාදී ඇති පාසල් දෙස විමසිල්ලෙන් බැලුවොත් මේ තත්ත්වය හොඳින්ම අවබෝධ කරගත හැකි වනු ඇත.

මෙහිදී අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු තවත් කාරණයක් තිබේ. බොහෝමයක් මවුපියන් නැති කරදර විඳිමින්, තොග ගණනින් බොරු කියමින් දොළපිදේනි පුදදෙමින් තම දරුවා කෙසේ හෝ සුපිරි පාසලකටම ඇතුළු කරවා ගැනීමට දරණ වෑයම යට තිබෙන යථාර්ථයයි. හොඳම පාසලකට දරුවා දා ගත්තොත් ගොඩම තමයි කියා බොහෝමයක් මවුපියන් සිතන්නේ නිකමට නොවන බව මෙවර සා.පෙ. ප්‍රතිඵල හොඳින්ම කියාදී තිබේ. ජනප්‍රිය පාසල්වලට දරැවන් ඇතුළු කිරීමේදී පවතින උග්‍ර තරගයේදී බෙල්ල කඩාගෙන හෝ ජයගැනීමට මවුපියන් දඟලන්නේ අධ්‍යාපනය සුපිරි මට්ටමින් එම පාසල්වලදී තම දරැවාට ලබාදිය හැකි බවට විශ්වාසයක් ඔවුන් තුළ තිබෙන බැවිනි. ඒ ගැන අධ්‍යාපන බලධාරීන් අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍යය.

හොඳින්ම සමත් වූ දරුවන් ගැන රටේ සමාජයේ සෑම දෙනාම සතුටු වෙදදී හද කම්පා කරවන එම සතුට ආපසු හරවන සිදුවීම් කීපයක් වාර්තා වීමද කනගාටුවකි. ගණිතය විෂයය අසමත් වීම නිසා ඇති වු කම්පනය දරාගත නොහැකි වීමෙන් සිසුවකු හා සිසුවියක සියදිවි නසා ගැනීමත් ගණිතයට සම්මානයක් නොලැබී සාමාන්‍ය සාමාර්ථයක් පමණක් ලැබීම නිසා ඇති වූ වේදනාවෙන් බෙහෙත් පෙති අධික මාත්‍රාවක් ගැනීම නිසා එක් සිසුවියක රෝහල්ගත කිරීමත් එම කනගාටුදායක සිදුවීම්ය.

ගණිතය අසමත් වීම ජීවිතය නැතිකර ගැනීමට තරම් හේතුවක් කරගන්නා සිසුවකු හෝ සිසුවියක සිටී නම් එහි කොතැනක හෝ බරපතළ වැරුද්දක් තිබෙන බව අපගේ හැඟීමය. අධ්‍යාපනය යනු අකුරැ ඉලක්කම් ඉගෙනීම පමණක් නොව විනය, හික්මීම සහ ජය පරාජය විඳ දරාගැනීමේ හැකියාව වැනි බොහෝ කාරණා පිළිබඳ දැනුම ලබාගැනීමකි. ගණිතය මේ වසරේ අසමත් වූයේ නම් ඊළඟ වසරේදී මහන්සි වී හොඳින්ම සමත්වීමට ඕනෑම දරැවකුට හැකියාව තිබෙන බව තේරැම් ගැනීම අවශ්‍යය. අනෙක් අතට ගණිතය හෝ වෙනත් විෂයයක් හෝ අසමත් වීම සියල්ලෙහි අවසානය නොවන බව තේරැම් ගැනීමත් අවශ්‍යය. ඒ බව වටහාගැනීමට හැකියාවක් නැති දරැවන්ට ඒ බව වටහාදීමට මවුපියන් මෙන්ම ගුරැවරැන්ද පියවර ගැනීම අවශ්‍යය. ඇතැම් විට එක් කාරැණික වචනයකින් අවවාදයකින් එම ජීවිත දෙක බේරාගැනීමට හැකියාව තිබෙන්නට ඇතැයි අපි අවංකවම විශ්වාස කරමු. කොතැනක හෝ වැරුද්දක් ඇතැයි අපි මුලින් පැවැසුවේ එබැවිනි. 

මෙවැනි කනගාටුදායක අවස්ථා උද්ගත විය හැකි බවත් ඒවා වළක්වාගැනීමට නිසි අවස්ථාවේම පියවර ගත යුතු බවත් මවුපියන් සේම ගුරුවරුන්ද සිත්හි තබා ගැනීම අවශ්‍යය. ගණිතය නැතත් ඉදිරියට යා හැකි ඕනෑ තරම් මංමාවත් තිබෙන බව දරැවන්ට අවබෝධ කර දීමෙන් මෙවැනි ඛේදවාචක වළක්වාගත හැකි වනු ඇත. එසේ වුවත් දරැවන්ගේ සිත් හැදීම පසෙක තබා විභාගෙ ෆේල් වුණේ ඇයිදැයි කියා දරුවන්ට කඩා පනින මවුපියන් සිටින බව රහසක් නොවේ. අවාසනාවන්ත සිදුවීම් ඒවායේ ප්‍රතිඵල වීමට හොඳටම ඉඩ තිබේ. දරුවන්ට ගෝරණාඩු කිරීමට පෙර මෙවැනි මවුපියන් තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කර බැලීම අවශ්‍ය යැයි අපි සිතමු. 

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00