2020 මැයි 23 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 206

මහ මැතිවරණ සූදානමේදී පොහොට්ටුව කල්තබාම ඉදිරියෙන්

එළඹෙන මහා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ශ්‍රීලපොපෙ) ප්‍රමුඛ රජය උපරිමව සූදානම් වීම සඳහා සියලු පියවර ගනිමින් සිටී. පසුගිය වසරේ නොවැම්බරයේදී පැවති ජනාධිපතිවරණ පූර්ව මැතිවරණ සමයේදී මෙන්ම බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලය ඉතා උද්යෝගීමත්ව ප්‍රචාරක කටයුතු සඳහා සන්නද්ධ වෙමින් පවතී.

එහි බිත්ති මත විවිධ ප්‍රස්ථාර සටහන් සවි කෙරෙමින් තිබේ. පසුගිය මැතිවරණ වාර්තා පිළිබඳ විශ්ලේෂණ ඒවායේ සඳහන්ය. ප්‍රචාරක ව්‍යාපාරය පවත්වාගෙන යා යුත්තේ කෙසේද යන්න සාකච්ඡා වෙමින් තිබේ. සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති විශාල රැස්වීම් මඟහැර කටයුතු කිරීමේදී උපමානවලට එහිදී විශේෂ සැලකිල්ලක් යොමු කෙරේ. කුඩා රැස්වීම් සහ මාධ්‍ය ප්‍රචාරයද සාකච්ඡාවලට බඳුන් වෙයි.

කෙසේ වුවද මෙවර ඡන්ද ව්‍යාපාරය පොහොට්ටුවේ ඉහළින්ම සිටින ප්‍රධාන පුද්ගලයාගෙන් තොරව සිදුවීම විශේෂත්වයකි. අතීතයේදී ඔවුන්ට විධාන දුන් බැසිල් රාජපක්ෂ මෙවර ඔවුන්ගෙන් ඈත් වී සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයා වශයෙන් ලබා සිටින නව තනතුර හේතුවෙනි. ප්‍රචාරක ව්‍යාපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙහෙයවෙනු ඇත.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂ වන එජාපය සහ සමගි ජන බලවේගය තමන්ගේ ප්‍රධාන ප්‍රචාරක ව්‍යාපාර කෙරෙහි තවමත් අවධානය යොමුකර නැත. මැතිවරණ දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන තුරැ ඔවුහු බලා සිටිති.

විමල්ගේ ක්‍රමයට ඡන්ද පත්‍රිකා තැම්බීම

මේ අතර මැතිවරණ පිළිබඳව සහ වසංගත තත්ත්වයක් තුළ මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේද පිළිබඳ විවිධ සාකච්ඡා අතරට විමල් වීරවංශ අලුත්ම අදහසක් ඉදිරිපත් කර තිබේ.

ඉකුත් සතියේ රජයේ රූපවාහිනී නාළිකාවක පැවැති වැඩසටහනකදී ඔහු විශේෂයෙන් සැකසූ ඡන්ද පෙට්ටියක් තුළට දමනු ලබන ඡන්ද පත්‍රිකා ඉන්පසුව විනාඩි 20ක් එක් උෂ්ණත්වයකට රත් කිරීමෙන් වයිරසය විනාශ කළ හැකි බව සඳහන් කළේය.
“අපි ඒක ඔක්කොම ඡන්ද පත්‍රිකාවලට කළයුතු නෑ. කොවිඩ් - 19 පවතින ප්‍රදේශවල තිබෙන ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද පත්‍රිකා පමණයි එහෙම රත් කරන්න ඕනෑවෙන්නේ” යැයිද වීරවංශ ඇමැතිවරයා කීය.

බොහෝදෙනකු විමසුවේ වීරවංශ මහතා ඡන්ද පත්‍රිකා “ඉවීම” ට යෝජනා කරන්නේද යන්නයි. එයට කොතරම් වියදමක් යනු ඇත්දැයි පිරිසක් විමසූ අතර තවත් පිරිසක් විමසුවේ ආහාර පිස ගැනීම සඳහාද මේ උපකරණය භාවිතා කළ හැකිද කියාය. ඇතැම් විපක්ෂ දේශපාලනඥයෝද මීට එක්වූහ.

ඇමැතිවරයා දැන සිටින මේ අලුත්ම ක්‍රමය පිළිබඳ විස්තර විමසීමට මැතිවරණ කොමිසම උනන්දුවක් දැක්වීදැයි දැනගන්නට නැත.

- සන්ඩේ ටයිම්ස්

රට යන්න හදන ලොක්කා

බටහිර රටකට සංචාරය කිරීමට ඉහළ පෙළේ නිලධාරියකු දරණ උත්සාහයක් පිළිබඳව ලොකු කසුකුසුවක් පවතී. ඊට හේතුව ඔහු ආපසු මෙරටට නොපැමිණ සිටීමට සැලසුම් කර ඇතැයි දැනගන්නට තිබීමය.

ඔහුගේ වීසා අයැදුම්පත්‍රය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කට අරින්නේ නැත. එහෙත් තතු දත් පිරිසක් පවසන්නේ “බරපතළ තර්ජන” පිළිබඳ කතාවක් මේ ගමනට  සම්බන්ධ බවයි.

භාණ්ඩාගාර ලේකම් අස්වූ කතාව බොරු

තමා ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර ගිය කටකතාව බොරුවක් බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා තම ධුරයෙන් අස්වීමේ ලිපිය භාරදී ඇතැයි හෝ ඒ සඳහා සූදානමකින් පසුවන්නේ යැයි පවසන කටකතාවක් පසුගිය සති කිහිපය තිස්සේ පැතිර යමින් තිබිණි.
අදාළ කටකතා සම්බන්ධයෙන් “ඩේලි එෆ්.ටී.” ආටිගල මහතාගෙන් විමසූ විටදී ඔහු ප්‍රකාශ කළේ “තමා කාර්යාලයේ හොඳින්ම” සිටින බවයි.

වෛද්‍යමය හේතුවක් මත පසුගිය සති කිහිපය තුළදී අසනීප නිවාඩු මත සිටීම මේ කටකතාවලට හේතුවන්නට ඇතැයි ඔහු සඳහන් කළේය. මේ කාලසීමාව තුළ මූල්‍යමය තත්ත්වයන් සම්බන්ධයෙන් රජය ප්‍රබල අභියෝග රුසකට මුහුණ දෙමින් සිටී.

- ඩේලි එෆ්.ටී.