2020 මැයි 23 වන සෙනසුරාදා

ප්‍රවේශමෙන් අඩිය පෙරට!

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

රටේ වසා තිබුණු දොරගුළු යළි විවෘත වෙමින් පවතී. එහි සතුට බොහෝ දෙනා විඳිමින් සිටිති. තවත් පිරිසක් ඊළඟ කොරෝනා රැල්ලට මේ තත්ත්වය හේතුවනු ඇතැයි බියකින් පසුවෙති. එය අනියත බියක් යැයි පැවසීමට අපි ඉක්මන් නොවෙමු. ලොවපුරා සිදුවෙමින් පවතින කොරෝනා පැතිරීම පිළිබඳ දත්ත සලකා බලන විට බිය සහ අවිනිශ්චිත බවට ලොකු ලන්සුවක් තැබීමට අපටද සිදුවෙයි. එහෙත් එසේ කියමින් රට හැමදාම වසාගෙන අන්තිම කොරෝනා රෝගියා මෙරටින් වාර්තා වන දවස දක්වාම කිසිදු වැඩක්පළක් කිරීමෙන් වැළකී සිටීමට රටක් වශයෙන් අපටද නොහැකිය. රට විවෘත වනවිට අපටද බිය, අවිනිශ්චිත බව යටපත් කරමින් සතුටක් දැනෙන්නේ එබැවිනි.

කොරෝනා බිය ලොව පුරා පැතිර යද්දී අපට එහි අවදානමේ තරම දැනෙන්නට ටික කලක් ගතවිය. ලොවේ සෙසු බොහොමයක් රටවලද තත්ත්වය එයම විය. ඇමෙරිකාව එහිදී මුලටම කියැවෙන නමයි. ඔවුන් මුල සිටම පවතින අවදානම වරදවා වටහාගෙන තිබූ බව පෙනුණි. මුලදී සිදුවූ අතපසු වීම් අමතක කර වැරදි හරිගස්සා ගැනීමට ක්‍රියා නොකිරීමේ ප්‍රතිඵල අද භුක්ති විඳින්නේ එරට නායකයන් නොවේ. එරට මිලියන 1.5කට අධික ආසාදිත ජනතාවය. ලක්ෂයකට අධික මියගිය පිරිසය. මිලියන 06කට අධික රැකියා අහිමි වූවන්ය. එයින් ගැලවෙන දවස ගැන පුන පුනා පළකළ සියලු අනාවැකිද බොරු විය. එහෙත් ලංකාවේ තත්ත්වය එයට වඩා වෙනස් විය.

ලංකාවට තත්ත්වයේ බරපතළකම හරියට දැනෙන්නේ වැඩිපුර දවස් ගණනක් ගතවූ බව සැබෑය. විපක්ෂයේ මතය අනුව එයට බලපෑ හේතු වශයෙන් දැක්වුණේ මහමැතිවරණ හදිස්සිය සහ තමන්ට වැදගත් පිරිසකට මෙරටට පැමිණීම සඳහා ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට රජයට තිබූ ලොකු උවමනාවය. එහි ඇත්ත නැත්ත හරියට මැන කිරා බැලීම මේ අවස්ථාවේදී අපගේ අරමුණ නොවේ. එහෙත් ඇමෙරිකාවේ නායකයන්ට වඩා ලංකාවේ නායකයෝ වෙනත් මගක් ගත්හ. ඔවුහු දින කිහිපයක් ප්‍රමාද වී හෝ වහ වහා යුහුසුළු වී සෞඛ්‍ය බලධාරීන් සමඟ එක්ව ත්‍රිවිධ හමුදාවේත් පොලීසියේත් සෙසු සම්බන්ධ ආයතනත් එක මිටියකට ගෙන රටේ ජනතාව කොරෝනාවෙන් මුදාගැනීමේ සටන දියත් කළහ. රට පුරා ඇඳිරි නීතිය පැනවූයේත් සියලු සෞඛ්‍යාරක්ෂක නීති රීති දැඩිව ක්‍රියාත්මක කෙරුණේත් ඒ අනුවය. මේ වනවිට එහි යහපත් ප්‍රතිඵල භුක්ති විඳින්නේ රටේ නායකයන් පමණක් නොවේ. රටේ ජනතාවත් එහි ප්‍රතිඵල භුක්ති විඳිති. රටේ දොරටු ටික ටික විවෘත වන්නේ එහි ප්‍රතිඵල වශයෙනි.
අපේ රට ලොවේ සෙසු බොහොමයක් රටවල්වලට වඩා සතුටුදායක ලෙස කොරෝනා පාලනය කිරීමට සමත්වුවත් මේ වනවිට වැලිසර පොකුර හේතුවෙන් රෝගීන් සංඛ්‍යාව දහස ඉක්මවා තිබීම කනගාටුවට හේතුවකි. එය ප්‍රවේශම පිළිබඳ මූලික නීති රීති අනුගමනය කිරීමේදී සිදුවූ වැරැද්දක්දැයි තවම කිව නොහැකි වුවද ඒ පිළිබඳ පත්කර ඇති කමිටුවලින් කරුණු සොයාගැනීමෙන් පසුව ඒ ගැන නිගමනයකට පැමිණිය හැක. වැලිසර කඳවුරේ කොරෝනා පැතිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන වෛද්‍ය විශේෂඥ කමිටුවේ මූලික වාර්තාවෙන් සඳහන් කර ඇත්තේ කඳවුර තුළ නාවික භටයන් විශාල පිරිසක් සීමිත ඉඩකඩක රැඳී සිටීම වේගවත් පැතිරීමට හේතුව බවය. එය එසේ නම් ඔවුන් ස්ථානගත කිරීමේ පටන් යම් වැරැද්දක් හෝ අතපසුවීමක් සිදුව තිබෙන බව පෙනී යයි. එවැනි වැරදි හෝ අතපසුවීම් නොතිබුණා නම් අප රටේ දොරගුළු මීට කලින්ම විවෘත කර ගැනීමට හැකියාව තිබූ බව අපගේ විශ්වාසයයි.

කෙසේ වුවද ලෝකයේ කොරෝනාවෙන් දරුණු ලෙසට බැට කෑ ප්‍රධාන පෙළේ රටවල් පවා දැන් ප්‍රකාශ කරන්නේ තම රටවල් දිගින් දිගටම ලොක්ඩවුන් යටතේ තබාගැනීම කළ නොහැකි බවය. තමන්ගේ රටවල් වල ආර්ථික පිරිහීම වළක්වා ගැනීම උදෙසා ඒ රටවල් සාමාන්‍ය තත්ත්වය ඉක්මණින් ළඟා කර ගැනීම සඳහා සැලසුම් සකස් කොට ඒවා ක්‍රියාත්මක කිරීමට ඔවුහු පියවර ගනිමින් සිටිති. ටිකෙන් ටික හෝ කම්හල් විවෘත කර, නිෂ්පාදන ආයතන යළි පියවරින් පියවර විවෘත කිරීම අරමුණු කරගනිමින් ඔවුන් ක්‍රියාකරන බව අසන්නට දකින්නට තිබේ. කොරෝනා මර්දනය අතින් එවැනි බොහොමයක රටවලට වඩා ඉදිරියෙන් සිටින රටක් වශයෙන් අපටද එම මාර්ගයේ යනවා හැර වෙනත් මාර්ගයක් නැත. එහෙත් සියල්ල සිදුකළ යුත්තේ ජනතාවගේ ආරක්ෂාව අංක එකේ තබාගෙනය. ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් සහ මාර්ගෝපදේශ අකුරටම පිළිපැදිය යුතු බවද සඳහන් කළ යුතුය. යළිත් වරක් වරද්දාගෙන වැලිසර පොකුර වැනි පොකුරැ ඇතිවීමට කිසිම ඉඩක් තැබිය යුතු නැත.
මාස දෙකක් පමණ කාලයක් නිවෙස්වලටම කොටු වී සිට එයින් නිදහස් වීමේදී ජනතාවට දැඩි සතුටක් සහ මානසික සහනයක් ලැබෙන බව සැඟවිය නොහැක. එහෙත් එම සතුට සහ සහනය දිගටම තබා ගැනීමට නම් දැඩි අධිෂ්ඨානයක් සහ කැපවීමක්ද ජනතාව තුළ තිබිය යුතුය. රටක් සමඟ තමන්ටත් ගොඩයා ගත හැකි වන්නේ ඒ ආකාරයට කටයුතු කිරීමෙන් පමණි.

අපේ රටේ ආර්ථිකය කොරෝනාවට ගොදුරුවීමට පෙර සිටම පැවතුණේ අබලන්, කෑලි හැලෙන වාහනයක් පරිද්දෙනි. එයට මෙතෙක් බලයේ සිටි හැම ආණ්ඩුවක්ම වගකිවයුතු වුවද මේ ඒ ගැන කතා කිරීමට වෙලාව නොවේ. කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙන් රටේ දොරගුළු ඇරගෙන ඉදිරියට යාමේ වත්මන් අරගලයට දායකවීමය. එය සාර්ථක කර ගැනීම රටේ ජනතාවගේ පමණක් නොව නායකයන්ගේද වගකීමක් බව සඳහන් කළ යුතුය.