2020 මැයි 23 වන සෙනසුරාදා

ඡන්ද මාරුතය

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 97

මේ දවස්වල ලංකාවේ තිබිය යුතු ලොකුම මාතෘකාව කොරෝනාය. එහෙත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව දහසත් පැනගෙන යද්දී එම මාතෘකාව යට ගොස් ඡන්දය ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබේ. ඒ පසුගිය සතිය පුරාම ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලුණු මහ මැතිවරණය හා සම්බන්ධ පෙත්සම් විභාගයට ගැනීම හේතුවෙනි. ඒ පිළිබඳ තීන්දුව බොහෝදුරට ලබන සතියේදී ප්‍රකාශයට පත්වීමට ඉඩ තිබේ. එම තීන්දුව මැතිවරණය සම්බන්ධ ඉදිරි කටයුතු මෙහෙයවීමේ “ස්විචය” බවට පත්වනු ඇත.

මහමැතිවරණය පැවැත්වීමට නියමිත වූයේ අප්‍රේල් 25 වැනිදාට වුවද කොරෝනා තත්ත්වය හමුවේ එය ජූනි මස 20 වැනිදා දක්වා කල්තැබීමට මැතිවරණ කොමිසම තීරණය කිරීම මෙම පෙත්සම් ගොනු කිරීමට නිමිත්ත හැදුවේය. එහිදී මුල්ම පෙත්සම ඉදිරිපත් කර තිබූ නීතිඥ චරිත ගුණරත්න පසුව තම පෙත්සම ඉල්ලා අස්කර ගත්තේ මැතිවරණ කොමිසම නියෝජනය කරමින් උසාවිය හමුවේ කරුණු දැක්වූ නීතිඥවරයාගේ ප්‍රකාශයට පසුවය. එම පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේ මේ දිනවල දකුණේ පමණක් නොව උතුරේද දේශපාලන කරළිය රත්කරන ටී.එන්.ඒ. මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්ය. එසේ වුවද සෙසු පෙත්සම් පසුගිය සතිය පුරාම විභාගයට ගෙන තිබිණි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ දිනයේ සිට මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සඳහා මැතිවරණය පැවැත්විය යුතු අතර, එසේ නොකිරීම නීති විරෝධී බව කියමින් මේ පෙත්සම් ගොනුකර තිබිණි. එසේම එම මූලික අයිතිවාසිකමේ පෙත්සම්වලට එරෙහිව නියමිත පරිදි මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු 11 දෙනෙකු විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබේ. මේ සියලු පෙත්සම් පිළිබඳ තීන්දුව මෙරට දේශපාලන ඉතිහාසයේ වැදගත් හැරවුම් ලක්ෂයක් වන බව නිසැකය.

කෙසේ වුවද විසුරුවා හරින ලද පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමට ඉඩක් ලැබෙනු ඇද්ද යන්න සියලුදෙනාගේම අවධානයට ලක්ව තිබෙන ප්‍රධානම කාරණය වී තිබේ. එහි දේශපාලනමය වශයෙන් මත දෙකක් තිබේ. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මතය වන්නේ තමන් කිසිසේත් පැරණි පාර්ලිමේන්තුව යළි නොකැඳවන බවය. මහ මැතිවරණය පැවැත්වෙනතුරු ජනාධිපතිවරයා විසින් රට පාලනය කෙරෙනු ඇති බවට අදහසක්ද ආණ්ඩුවේ ප්‍රබලයන් විසින් ඇතිකර තිබේ. එහෙත් විපක්ෂයේ මතය වන්නේ ජූනි 02 වැනිදාට පෙර අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සිදුනොවන බැවින් රටේ මුදල් පරිහරණ කටයුතු සඳහා නීතිමය ප්‍රතිපාදන ලබාගැනීමට පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවය. එසේම ජූනි 02 වැනිදා නව පාර්ලිමේන්තුව රැස්වීමට අවස්ථාවක් නැති බැවින් මාර්තු 02 වැනිදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරැවා හරිමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉබේම අහෝසි වන බවද ඔවුන්ගේ තර්කය වී තිබේ.

දැනට පවතින මේ මත දෙක එකක් බවට පත් කෙරෙනු ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදෙන තීන්දුවට අනුවය. මේ අතර ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළේ යූ.එන්.පී. මහා ලේකම් හිටපු ඇමැති අකිල විරාජ් විසිනි. මේ සියලු පෙත්සම් සඳහා ලබාදෙන තීන්දුව දෙස දැන් රටම බලා සිටියි.

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවක් යළි කැඳවීම පිළිබඳ පූර්වාදර්ශ මේ රට තුළ නැති බවට තර්ක කරන පිරිසක්ද වෙති. එහෙත් 2018 වසරේ ඔක්තෝබරයේදී සිදුවූ “සිරිසේන - වික්‍රමසිංහ” බල අරගලයේදී (එය ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් ලෙසද ඇතැමුන් විසින් හැඳින්විණි) පැවැති පාර්ලිමේන්තුව අත්හිටුවමින් එවකට සිටි ජනාධිපතිවරයා විසින් පැනවූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ආපසු හරවනු ලැබීය. ඒ සමඟ පැවැති රජය යළි බලයේ පිහිටුවනු ලැබීය. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවටද තීරණය කර තිබිණි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ රජය විසුරුවා හැරීමට නම් එම පාර්ලිමේන්තුවට වසර හතරහමාරක කාලයක් ගතවී තිබීම හෝ මන්ත්‍රීවරුන් තුනෙන් දෙකකගේ යෝජනා සම්මතයෙන් තීන්දුවක් ගෙන තිබීම අවශ්‍ය වීම එයට හේතු වී තිබිණි.

එය කෙසේ වුවද මේ අවස්ථාව 2018 ට වඩා වෙනස්ය. මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පවතින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලවය. නමුත් මහමැතිවරණය පැවැත්වීමට හරස් වූයේ කොරෝනා වසංගතයයි. එම වසංගතය නොවන්නට මේ වනවිට මේ රටේ පවතින්නේ අලුත් එසේම බොහෝදුරට බලවත් ආණ්ඩුවකි. නිසැකවම එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වීම නියතයකි. එහෙම නම් ඇයි ආණ්ඩුව මහ මැතිවරණය පැවැත්වීම මේ තරම් ගැටලුකාරී තත්ත්වයකට යනතුරු බලා සිටියේ? සියල්ල මැතිවරණ කොමිසම මත පටවා තමන් නිදහස් වීමටද? එසේම මැතිවරණය පැවැත්වීම උසාවිය දක්වා දික්වූයේ ආණ්ඩුවේ තීන්දු තීරණ හේතුවෙන් වන බවට විපක්ෂයෙන් නැගෙන චෝදනාවලට ආණ්ඩුවට පිළිතුරක් තිබෙනවාද?

ආණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිප දෙනකු දිගින් දිගටම මැතිවරණ කොමිසමට චෝදනා එල්ල කරන්නේ මහ මැතිවරණය පැවැත්වීම කුමන තත්ත්වයක් යටතේ වුවද කොමිසමේ වගකීමක් බව පෙන්වා දෙමිනි. එම වගකීම කොමිසම මගින් පැහැර හැර ඇති බවට ඔවුහු චෝදනා කරති. එහෙත් මැතිවරණ කොමිසම කොරෝනා වසංගතය හේතුවෙන් උද්ගත වූ තත්ත්වය සමඟ ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසට ඉල්ලීමක් කර තිබිණි. එහෙත් එයට ජනාධිපතිවරයාගේ ලේකම් විසින් එවා තිබූ පිළිතුරු ලිපියේ සඳහන්ව තිබුණේ මහමැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා අදහස් නොකරන බවය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ දිනයේ සිට මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සඳහා මැතිවරණය පැවැත්විය යුතු අතර එසේ නොකිරීම නීති විරෝධී බවත් එමගින් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවත් සඳහන් කරමින් පුද්ගලයන් සහ දේශපාලන පක්ෂ ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට දොර විවෘත වීමය. දැන් රට නැවතී සිටින්නේ ඊට ලැබෙන තීන්දුව අභියසය.

මේ අතර මහමැතිවරණය සම්බන්ධයෙන් විපක්ෂය රුඳී සිටින්නේද දුර්වල විකට්ටුවක බව පැහැදිලිය. ප්‍රධාන විපක්ෂය වන යූ.එන්.පී.ය එයින් කැඩීගිය සමගි ජන බලවේගය සමඟ දේශපාලන අඩව් අල්ලමින් සිටින අතර ජවිපෙ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සද්ද නැතුව සිටී. ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මහ මැතිවරණය පවත්වන තුරු ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බව පෙනෙන්නට තිබේ. එහි බලපෑම ඔවුන්ගේ පාර්ශ්වයක් වන ශ්‍රීලනිපයටද දැනෙමින් තිබේ. ශ්‍රීලනිපය තුළ යම් බෙදීමක් ඇති කිරීමට කැසකවන කිහිප දෙනකු සිටින බවද එය මෙහෙයවන්නේ පොහොට්ටුවේ පිරිසක් බවටද ඔවුන් තුළ දැඩි සැකයක් පවතී. මේ අනුව පැහැදිලිව පෙනෙන්නේ පොහොට්ටුවට හැකිතරම් ඉක්මණින් මහමැතිවරණය පවත්වා ගැනීමට තිබෙන උවමනාවත් විපක්ෂයට එය හැකිතරම් දුරට කල්දමා ගැනීමට තිබෙන උවමනාවක් අතර රටේ දේශපාලන ව්‍යාපෘතිය දෝලනය වෙමින් තිබෙන බවය. ඡන්දය හැකිතරම් ඉක්මන් වන තරමට ලබාගත හැකි ආසන සංඛ්‍යාව වැඩිවන බව පොහොට්ටු නායකයෝ හොඳින්ම දැන සිටිති. ඡන්දය කල් යන විට ඉදිරියේදී මුහුණදීමට සිදුවන බරපතළ ආර්ථික සහ සමාජ ගැටලු හමුවේ ලබාගත හැකි වාසිය අඩුවනු ඇති බවට ඔවුන් ගණන් බලා ඇතිවාට සැකයක් නැත. මේ නිසා නඩු තීන්දුව ඔවුන් බලාපොරොත්තු වන මැතිවරණ ජයග්‍රහණයේ තරම පිළිබඳ කියැවෙන අනාවැකියක්ද වනු ඇත.

එහෙත් විපක්ෂයට නම් ඡන්දය කල්දැමීමේ ඇති එකම වාසිය වනු ඇත්තේ වෙන් වී ගිය යූ.එන්.පී.ය යළි එක්වීමට අවස්ථාවක් ලැබුණොත් පමණි. එසේ වුවද නාමයෝජනා ලැයිස්තු වෙනසක් සිදුවීමට ඉඩක් නැත්නම් එයින් සිදුවනු ඇත්තේ තවත් අවුලක් හටගැනීම පමණි. තමන්ගේ අතේ ආණ්ඩුව තිබියදී කළයුතු දේ නොකර කම්මැලි දේශපාලනයක් කිරීමේ ආදීනව අද යූ.එන්.පී.ය විඳිමින් සිටින බව පැහැදිලිය.

මහමැතිවරණයට සියලු දේශපාලන පක්ෂ පොර අල්ලද්දී මහජනතාව නම් තවමත් සිටින්නේ කොරෝනා වසංගතය හේතුවෙන් අත්විඳින දුක්කන්දරාව මැද්දේය. ඡන්දයට ඔවුන් තුළ ඇත්තේ කුමන ආකාරයේ උනන්දුවක් දැයි මැන බැලීම නඩු තීන්දුව ගැනම බලාපොරොත්තු තබාගෙන සිටිනවාට වඩා දේශපාලන පක්ෂවලට වැදගත් වනු ඇත.

- ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00