2020 මැයි 23 වන සෙනසුරාදා

එජාපය නැතිවෙලා ගොඩක් කල්

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

 - ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර

  • තමා නායකයෙක් නොවේ කියලා සජිත් දැනටම ඔප්පු කරලා
  • ඩබල් ගේම් ගහන කට්ටිය තියාගන්න හොඳ නෑ
  • ආණ්ඩුව අනාගනී කියලා එජාප - සජිත් තාම බලන් ඉන්නවා
  • හැම පක්ෂයකම පක්ෂ කඩන පිල්ලි ඉන්නවා
  • අමාරැවෙන් වුණත් ඡන්දෙ තැබීම කළයුතුම දෙයක්
  • සහරාන් ප්‍රහාරයේදී වන්දි දෙන්නටත් එජාප ආණ්ඩුවට බැරිවුණා
  • ආණ්ඩුවට විශාල ජනරැල්ලක් තිබෙනවා

රට තුළ ඇතිවෙලා තියෙන වසංගත තත්ත්වයත් එක්ක ගොඩක් අය කියනවා ඡන්දෙ තියන්න එපා කියලා. නමුත් ආණ්ඩුව තියන්න ලෑස්තියි. ඔබ ශ්‍රීලනිප මහ ලේකම් හැටියට හිතන්නෙ ඡන්දෙ තියන්න ඕනද, නැත්නම් නොතියන්න ඕනැද?

අපි මුල ඉඳන් හිටියේ ජනතාව බිල්ලට දීලා මැතිවරණ කරන්න ඕන නෑ කියලා. නමුත් දැන් තියෙන තත්ත්වයත් එක්ක අපි හිතනවා ඉදිරි සති දෙක මේ තත්ත්වය යම් ආකාරයකට සමනයක් වෙයි කියලා. ඒ සෞඛ්‍ය අංශයත්, ජනාධිපතිතුමත්, රාජ්‍ය සේවකයනුත්, ත්‍රිවිධ හමුදාව හා පොලීසියත් සිදු කරන සේවයත් එක්ක. ඒ නිසා මේ මැතිවරණය තියන එක ගැටලුවක් නෑ කියන අදහසින් අපි ඉන්නේ.

නමුත් බහුතරයක් කියනවනේ තියන්න එපා කියලා?

දැන් බලන්න අපි මැතිවරණය තියන්න එපා එපා කියලා කියනතාක් විපක්ෂයේ අය දේශපාලන අස්ථාවරභාවයකට රට තල්ලු කරමින් යනවා. දැන් බලන්න ජනාධිපතිට මුදල් බලතල නෑ කියලා අධිකරණවලට ගිහිල්ලා රට අස්ථාවර කිරීමේ ව්‍යාපෘතියේ එයයි ඉන්නේ. මේ වැඩපිළිවෙළ දිගටම සිදුවෙනවා. ඒ නිසා මහ මැතිවරණය පැවැත්විය යුතුයි.

හැබැයි මේ හැමදේකටම විසඳුමක් විදිහට විපක්ෂය කියන්නේ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා.

ඒ අය කරන්න හදන්නේ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවලා නැවත රට විනාශ කිරීමට යූ.එන්.පී. ආණ්ඩුවක් හදාගන්න උත්සාහ කරන වැඩපිළිවෙළක්.

විපක්ෂය චෝදනා කරනවා නේද මේ වෛරස මර්දන වැඩපිළිවෙළ ආණ්ඩුවේ දේශපාලන ප්‍රචාරණයක් හැටියට යොදාගන්නවා කියලා?

ඕක ඉතින් කොයි ආණ්ඩුව කාලෙත් වෙනවා. යූ.එන්.පී. ආණ්ඩුව කාලේ ගංවතුර කාලේ හදිසි විපත් අවස්ථාවල ඔය වගේම ආණ්ඩුව විසින් සිදුකරන දේවල් දේශපාලන වාසිවලට ගත්තා. ඒ නිසා ඒක ඕනම ආණ්ඩුවක සාමාන්‍ය ක්‍රියාදාමයක්. හැබැයි මේ ආණ්ඩුව ඔය වෛරසය සම්බන්ධයෙන් සිදුකරපු වැඩකටයුතු ඉතාම සාර්ථක ලෙස මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තම පහුගිය කාලේ සහරාන්ගේ ප්‍රහාරය වෙලාවේ අසරණ වුණ ජනතාවට හරියට වන්දි මුදලවත් දෙන්න බැරිව ගියා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමයි ඒ ටිකටවත් කැපවුණේ. එහෙම නැතුව ඒ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන්ටවත් ගාණක් තිබ්බෙ නෑ. ආණ්ඩුවක් නිවැරදිව කළමනාකරණ කටයුතු සිදු කළොත් ඒ ආණ්ඩුව ඉදිරියටත් ජනප්‍රිය වෙනවා. හැබැයි යූ.එන්.පී ආණ්ඩුවට ඒකවත් කරගන්න බැරිවුණා. දැන් මේ ආණ්ඩුව හරියට කරනකොට ඒකටත් දොස් කියනවා.

හැබැයි විරුද්ධ පක්ෂයනම් කියන්නේ ආණ්ඩුව තොරතුරැ හංගලා අවදානම මායිම් නොකර ඡන්දෙ ගන්න සූදානම් වෙනවා කියලා?

පාරවල් දිගේ තොරතුරු හංගනවා කියලා කෑගහලා වැඩක් නෑනේ. මේ  රටේ තියෙනවා තොරතුරු දැනගැනීමේ පනතක්. ඒ හරහා තොරතුරැ ගන්න පුළුවන් ඕන කෙනකුට. පසුගිය දවසක අගමැතිතුමා සාකච්ඡාවක් තිබ්බා හැම ඇමැතිවරයාටම එන්න කියලා. ඒ වෙලාවේ ඒ අයට තිබ්බා ඇවිල්ලා කියන්න මේවා බොරු කතා හරි හංඟනවා හරි ඕන දෙයක්. නමුත් ඒ අය මගහැරියා. ඔබට පේනවා ඇති ආණ්ඩුව කරන වැඩපිළිවෙළ අනෙකුත් රටවල් එක්ක සංසන්දනය කළා. අපේ රෝගීන් වර්ධනය, රෝගීන් සුවවීම, මරණ සංඛ්‍යාව පවා අනෙකුත් රටවල් එක්ක බලද්දි ඉතා හොඳ මට්ටමක තියෙනවා. ඒ ජනාධිපතිතුමා ඇතුළු මේ වෙනුවෙන් මහන්සි වුණ සියලු දෙනාගේ එකමුතුව නිසා. හැබැයි එජාපයයි, සමගි ජනබලවේගයයි බලන් හිටියේ මේක වැරදිලා විනාශ වෙනවනම්. ආණ්ඩුව අනාගනියි කියලා තමයි හිතන් හිටියේ. එහෙම නොවුණ නිසයි මේ තොරතුරැ හංඟනවා කියන්නේ. 

තාම අවදානම ගිහිල්ලා නෑ. රට දුවන්නේ යම්කිසි ක්‍රමවේදයකට. එහෙම තියාගෙන පුළුවන් වෙයිද නිදහස් හා සාධාරණ මැතිවරණයක් කරන්න?

අපි සියලු දෙනාම පිළිගන්න දෙයක් තියෙනවා කරන්න අමාරුයි කියලා. මම කියන්නෙ නෑ මෝඩයෙක් වගේ හෙට උදේ ඇවිත් මිනිස්සු ඡන්දෙ දායි කියලා. හැබැයි පාලිත ක්‍රමයක් යටතේ මැතිවරණ තියන්නත් ඕනනේ. මැතිවරණය අප්‍රේල් 25 තියෙනවා කියලා තීන්දු කළා. ඊටපස්සේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඒක ජූනි 20ට කල් ගියා. දැන් මැතිවරණ කොමිසම තමයි තියෙන්නේ බලතල අනුව මැතිවරණ දිනේ තීන්දු කරන්න. ඒ කියන්නේ ඕනෙනම් තව කල්දාන්නත් පුළුවන්. ඒ සියල්ල මැද ජූනි පළවෙනිදට කලින් මැතිවරණය තිබ්බෙ නෑ කියලා පිරිසක් උසාවිත් ගිහිල්ලා. සැප්තැම්බර් වෙනකොට ආණ්ඩුවේ අවුරුදු 5ත් ඉවරයි. ඊටපස්සේ කොහොමත් යන්න බෑ. එතකොට අනිවාර්යයෙන් මැතිවරණ තියන්න ඕන. ඒ නිසා මැතිවරණය තියන එක දැන් අනිවාර්ය දෙයක් බවට පත්වෙලා. එහෙනම් සෞඛ්‍ය අංශවල උපදෙස් අරගෙන මැතිවරණ තියන්න ඕන.

කොහොමද මැතිවරණ ව්‍යාපාරයක් කරන්නේ මෙච්චර ප්‍රශ්න මැද්දේ?

අපිට කාලයක් ලබාදෙන්න ඕන. ගෙයින් ගෙට ගිහිල්ලා මැතිවරණ ප්‍රචාරය කරන්නත්, අංක ප්‍රදර්ශනය කරන්නත්, මාධ්‍ය හරහා ප්‍රචාර සිදුකරන්නත් ඒ සඳහා කාලයක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය පාලිත ක්‍රමවේද ටික අපි ඉදිරියේදී මැතිවරණ කොමිසමේදී ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. 

ජනතාවගේ ඡන්ද ප්‍රකාශ කිරීම මත හිතන්න පුළුවන්ද තුනෙන් දෙකක වගේ බහුතරයක් ගන්න?

බහුතර ඡන්ද සංඛ්‍යාවක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මොකද ජනාධිපතිතුමා සම්බන්ධව මිනිස්සු වැඩි විශ්වාසෙකින් ඉන්නේ. හිතන්න මේ ප්‍රශ්න වෙලාවේ පවුල් සහ අනු පවුල් විශාල ප්‍රමාණෙකට ආධාර සහ රැකබලාගැනීම් ආණ්ඩුව විසින් කළා. රස්සාව නැති අය පවා ආණ්ඩුව රුක්කා. ඒ නිසා ආණ්ඩුවට විශාල ජනප්‍රසාදයක් තියෙනවා. ඒ විශ්වාසය මත ආණ්ඩුවට බහුතර බලයක් සහ බහුතර කාලයක් ලබාදෙයි කියලා අපේ විශ්වාසයක් තියෙනවා. 

ඇත්තටම මේ ඡන්දෙ කවද්ද තියෙන්නේ?

මමනම් දන්නෙ නෑ ඇත්තටම දිනේ කවද්ද කියලා. ඒත් අද හෙටම තීන්දු කරයි. 

මේ ඡන්ද මැද්දේ හදිසියේම ශ්‍රීලනිපය විනය ක්‍රියාමාර්ග ගන්න පටන් අරන් තියෙනවා. ඇයි මේ?

මම මහ ලේකම් හැටියට පත්වුණ ගමන්ම කිව්ව දේ තමයි එදා මන්ත්‍රීවරැ පක්ෂෙට විරැද්ධව ක්‍රියාත්මක වෙද්දි ඒ අයට විරැද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න තිබ්බා කියලා. නමුත් ඒ දේවල් ඒ කාලේ කළේ නෑ. හැබැයි මම ලේකම්වරයා හැටියට පත්වෙච්ච ගමන් විනය කමිටුවක් පත්කරලා ඒ විනය කමිටුවට බලතල දීලා මම යම්කිසි ක්‍රමවේදයක් හැදුවා ඒ කියන්නේ පක්ෂෙට විරැද්ධව වැඩ කරන අයට විනය ක්‍රියාමාර්ග ගන්න අවසර ලබාදුන්නා. ඒ අනුව පසුගිය මාස පහ හයක කාලය තුළ අපි අදාළ වැඩකටයුතු සිදු කළා. ඒ අනුව තමයි ඔය ප්‍රාදේශීය සභා කට්ටියක් ඉවත් කරලා අලුත් කට්ටියක් පත් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීපදෙනෙක් අයින් කළා. අලුත් සංවිධායකවරැ පත්කළා. ඒ අනුව දැන් අපි විනයානුකූල පක්ෂයක් හැටියට මේක ගොඩනගාගෙන යනවා. අපි යම්කිසි පසුබෑමක ඉන්නවා. හැබැයි ඒ පසුබෑමෙන් ගොඩඑන්න විනයානුකූල පක්ෂයක් ගොඩනගන්න ඕන.

ඇයි පක්ෂය අත්හැරලා නොයන බවට සහතික කරලා ලියුමක් ගන්න තරම් ඒකාධිපතීත්වයක් පක්ෂය ඇතුළේ ගොඩනගලා තියෙන්නේ?

නෑ එහෙම කිසිම ඒකාධිපතිත්වයක් නෑ. අපි පොදුජන පක්ෂයක් කියලා ගිවිසුම්ගත වෙනකොට තීන්දු කළා පක්ෂයේ සාමාජිකයන් සම්බන්ධව තීන්දු විනය අදාළ පක්ෂය විසින් ගත යුතුයි කියලා. ඒ පක්ෂයේ අනන්‍යතාවය රැකගන්න. ඒ අනුව අපේක්ෂකත්වය ලබාදීමේදී අපි එදා දිවුරුම් ප්‍රකාශයක් ගත්තා පක්ෂය හැර නොයන බවට. ඒ නිසා අපිට පුළුවන් පක්ෂය ඉතාමත් විනයානුකූලව රැකගෙන ඉදිරියට යන්න. එහෙම නැතුව මේක ඒකාධිපතීත්වයක් නෙවෙයි. නැත්නම් ඔබ දන්නවා පක්ෂයේ අහිංසක මිනිස්සු  තමන්ගේ ඡන්දය දීලා නායකයෙක් පත්කරලා ඇරියම ඒ අය පක්ෂ මාරැ කළාම ඔවුන්ට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ගයක් තිබ්බෙ නෑ. ඒ නිසා අපි මෙතනින් පාක්ෂිකයත් අපේක්ෂකයත් ආරක්ෂා කරලා තියෙනවා.

එතකොට කීදෙනෙක් අත්සන් කළාද ඔය ලියුම?

මේ වෙනකොට තිලංග සුමතිපාල මන්ත්‍රීතුමා විතරයි අත්සන් කරන්න තියෙන්නේ. අනිත් හැමෝම අත්සන් කරලා තියෙන්නේ. 

ඒ කියන්නේ සුමතිපාල මහත්මයා පක්ෂය මාරැ කරනවා?

නෑ. මම නම් හිතන්නෙ නෑ එහෙම. එතුමා ඉදිරියේදී අත්සන් කරයි. 

මහින්ද සමරසිංහ මහත්මයා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළා. ඔහු කළුතර දිස්ත්‍රික් ශ්‍රිලනිප නායකයා. දැන් ඔහුගේ අපේක්ෂකකමත් ඉවත් වෙනවද?

නෑ. නෑ. එතුමා ශ්‍රිලනිප අපේක්ෂකයෙක් නෙවෙයි. එතුමා පොදුජන පක්ෂයේ සාමාජිකයෙක්. එතුමා නාම යෝජනා අත්සන් කරන්න කලින් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා. කළුතර දිස්ත්‍රික්කෙ අපිට අවස්ථා දෙකක් ලබාදීලා තිබ්බා. එහෙම යනකොට අපිට අත්සන් කරන්න බැරිවුණා. මොකද එතන හිටිය කෙනෙක් කියලා තිබ්බා ශ්‍රිලනිපයේ එක්කෙනෙක් ඉන්නවා කියලා. මම ඇහුවා කවුද කියලා. ඒ මහින්ද සමරසිංහ කිව්වා. එතුමා එතකොට ශ්‍රිලනිපයට වැඩ කළෙත් නෑ. පොහොට්ටුවට වැඩ කළේ. බැසිල් රාජපක්ෂ මහත්මයගෙන් සාමාජිකත්වයත් අරන් තිබ්බේ. හැබැයි මේ මැතිවරණ ප්‍රචාරණය තුළ එතුමා තැන් තැන්වල ගිහින් කියලා තිබුණා එතුමා ශ්‍රිලනිපයේ කියලා. එතුමා එක පැත්තකින් ශ්‍රිලනිපයේ අයට කියනවා ශ්‍රිලනිපයේ කියලා පොදු ජන අයට කියනවා පොදු ජන පෙරමුණේ කියලා. ඒ වගේ ඩබල් ගේම් ගහන කට්ටිය කිසිම පක්ෂෙක තියාගන්න හොඳ නෑ. ඒ නිසා අපි ඉවත් කළා ඔහුව.

පක්ෂය අතහැරලා යයි කියන බයට අත්සන් ගත්තට තමන්ගේ අපේක්ෂකත්වය පක්ෂයෙන් නොලැබුණාම වෙනත් පක්ෂයකට ගිහින් ඡන්දය ඉල්ලන මිනිස්සුන්ටත් ඔබලා විනය ක්‍රියාමාර්ග ගන්න එක සාධාරණද?

පක්ෂය පැත්තෙන් ඔවුන්ට අසාධාරණයක් වුණා කියලා මමත් පිළිගන්නවා. අපි කොළඹ දිස්ත්‍රික්කෙට අපේක්ෂකයො අට දෙනෙක් ඉල්ලුවා. නමුත් අපිට දුන්නේ දෙන්නයි. ඒකට හේතුව වෙන විදිහකට ගිය කතාවක්. ඒක මම අනාගතේදී හෙළිකරන්නම්. ඔය කොළඹ නම යෝජනා පත්‍රය ගැන කතා කරන්න ඉඩක් තිබ්බෙම නෑ. මොකද ඒ ගැන කතා කරන්න එපාම කියලා මුල ඉඳලම කියලා තිබුණා. ඒ සාකච්ඡාවට මමත් මහින්ද අමරවීර ඇමතිතුමත් හිටපු ජනාධිපතිතුමත් සහභාගී වුණා. මුල ඉඳන්ම තිබ්බේ ඔය දෙකේ කතාව. කවුරැ එකඟ වුණාද කියලා මම දන්නෑ. අන්තිමට තිලංග සුමතිපාලයි ෆයිසර් මුස්තාපායි හිටියේ. ෆයිසර් මහත්මයා කිව්වා එයා ඉල්ලන්නෙ නෑ කියලා. පසුව ඔහුව ජාතික ලැයිස්තුවෙන් දැම්මා. ඊටපස්සේ වෙන කෙනෙක්ගේ නමක් යෝජනා කළා. ඒ සඳහා මම කුරැණෑගල යන්නෙ නැතුව හිටියා. මම තිලංග සුමතිපාල මහත්මයට දීලා ගියා ලියුමක් පක්ෂයේ අනිත් අපේක්ෂකයා තෝරනකොට පක්ෂයේ අනිත් සංවිධායකවරැන් සමඟත් සාකච්ඡා කරන්න කියලා. නමුත් ඒක වෙලා තිබුණේ නෑ. හැබැයි ලැයිස්තුවේ හිටියේ ජීවන් කුමාරතුංග, ගාමිණී තිලකසිරි, සෝලංගආරච්චි, ජනක රණවක වැනි අය.

හැබැයි ජීවන් කුමාරතුංග, ගාමිණී තිලකසිරි වෙනත් පක්ෂෙකින් ඉල්ලන්න ගියා නේද?

ඒ ප්‍රශ්නෙ අතුරතුරේ තමයි එතුමලා වෙනත් පක්ෂයක අපේක්ෂකයෝ වෙන්න ගියේ. මම එදා රූම කෝල් කරලා කිව්වා වහාම ඔය වැඩෙන් අයින් වෙන්න. එහෙම නොවුණොත් පක්ෂෙන් විනය ක්‍රියාමාර්ග ගන්න වෙනවා කියලා. පස්සේ ගාමිණී මැතිතුමත් ජීවන් මැතිතුමත් අයින් වුණා. සෝලංගආරච්චි මන්ත්‍රීතුමා ඉල්ලනවා.

ඔබ කිව්වා ඔබගෙන් තොරව තමයි කොළඹ ලැයිස්තුව දෙකකට සීමා කරන්න එකඟ වෙලා තියෙන්නේ කියලා. කවුද ඒ වැඩේ කළේ? ඔබටත් හොරෙන් වැඩ වෙනවද?

ඔව්. එහෙම වෙලා තිබ්බා. අපි අනාගතේදී ඒ ගැන කතා කරමු. මම කැමති නෑ ගැටුම් ඇතිකරගන්න. ඔබ අහපු නිසයි මම කිව්වේ.

මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පක්ෂයේ සභාපතීත්වයෙන් අයින් කරන්න කියලා යෝජනාවක් තියෙනවද?

එහෙම කිසිම ප්‍රශ්නයක්, විරෝධයක් නෑ. ඒක බොරැ කතාවක්. අපේ අභ්‍යන්තරයේ වියවුලක් ගොඩනගන්න තමයි ඒ කතාව ගොතලා තියෙන්නේ. පිටස්තර පක්ෂයකට සහය දෙන පක්ෂ අභ්‍යන්තරයේ ඉන්න පිරිසකගේ කතාවක් තමයි ඔය.

ඇත්තද ඔබ ඊළඟ සභාපති පුටුවට එන්න හදනවා කියන්නේ?

ඒක තමයි. ඒ කෙටවීම එහෙම ලේසියිනේ. මොකද සභාපතිතුමයි මමයි බොහෝම ළඟින් වැඩකටයුතු කළා. මොකද එතුමාව මම පක්ෂෙ නායකයා ලෙස දකිනවා. සමහර අයට ඕන එක්සත් ජාතික පක්ෂෙ වගේ පක්ෂ නායකකම ඉවත් කරන්න ගේම් ගහලා විනාශ කරන්න. ඒ සඳහා විවිධ පිල්ලි පක්ෂයට එවලා තියෙනවා. ඒ පිල්ලි තමයි ඔය ප්‍රකාශ අරන් යන්නේ.

පක්ෂයක් කරන් යන්න පුළුවන්ද ඔය පිල්ලි එක්ක?

හැම පක්ෂයකම පිල්ලි ඉන්නවා. එක අක අයගේ කොන්ත්‍රාත් කරන ජාත්‍යන්තර වශයෙන් හැසිරෙන අය ඉන්නවා පක්ෂය ඇතුළේ. එහෙම වෙන්නේ පක්ෂය දුර්වල වුණාම. එක එක දේශපාලන අර්බුද ඇතිවුණාම ඔය වගේ දේවල් සිද්ධ වෙනවා.

එක්සත් ජාතික පක්ෂය මේ වෙලාවේ දෙකට බෙදිලා තියෙනවා. ඔබ ඒ පක්ෂය ගැන දන්න කෙනෙක්. ඇත්තටම එක්සත් ජාතික පක්ෂය දැන් කොයි පැත්තෙද තියෙන්නේ?

එක්සත් ජාතික පක්ෂය නැතිවෙලා ගොඩක් කල්. දැන් එක්සත් ජාතික පක්ෂයක් නෑ. සජිත් මහත්මයත් පහුගිය කාලේ ජනාධිපතිවරණ වේදිකාවල කිව්ව දේවල් එක්ක ඔහු නායකයෙක් නෙවෙයි කියලා ඔප්පු කරලා ඉවරයි. ඒ නිසා එජාපය කිසිම ආණ්ඩුවකට අභියෝගයක් නෙවේ.

අවසාන වශයෙන් කුරුණෑගල ඡන්ද සටනේ කොහොමද මනාප තරගය?

අපේ කුරැණෑගල කිසිම මනාප තරගයක් නෑ. හැමෝම වැඩ කරන්නේ පක්ෂයේ ජයග්‍රහණය අරමුණු කරගෙන.

ගයාන් ගාල්ලගේ

 

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00