2020 මැයි 02 වන සෙනසුරාදා

නිදහස් හා සාධාරණ නැති ඡන්දයකට අපි නෑ

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

කළුතර දිස්ත්‍රික් හිටපු එජාප මන්ත්‍රී -  අජිත් පී පෙරේරා

  • නාමයෝජනා ගන්නකම් රට විවෘතව තැබීමේ ප්‍රතිඵල අද විඳිනවා
  • ආණ්ඩුව ඡන්දෙට සූදානම් වුණාට ජනතාවගේ සූදානමක් නෑ
  • අපිව එජාපයෙන් අයින් කරන්න රනිල් වික්‍රමසිංහට බෑ
  • අංක දුන්නට පස්සේ මොන අපේක්ෂකයද ගෙදරට වෙලා ඉන්නේ?
  • රනිල් මහත්තයයි මහින්ද මහත්තයයි දේශපාලනයේ ගජමිත්‍රයෝ
  • අවදානමක් තිබෙද්දී ඡන්දය තියන්න කොමිසම කැමැති වෙන එකක් නෑ

මේ වෙනකොට කොරෝනා මැද මැතිවරණයක් සූදානම්වෙලා තියෙනවා. සමගි ජන බලවේගය හැටියට ඒ මැතිවරණයට කොහොමද සූදානම?

ප්‍රශ්නය තියෙන්නේ මැතිවරණයකට ජනතාව සූදානම් නෑ. විශාල පිරිසක් කියන්නේ මහ මැතිවරණය දැන්ම පවත්වන්න එපා කොරෝනා මර්දනයෙන් පස්සේ පවත්වන්න කියලයි ඉල්ලන්නේ. ජනතාව සහභාගීත්වයක් නැති, දේශපාලන ක්‍රියාකාරකම් කරන්න බැරි මොහොතක නිදහස් සාධාරණ මැතිවරණයක් තියන්න බෑ. ඒ නිසා පක්ෂයක් හැටියට ජනතාව නැති මැතිවරණයකට අපි සූදානම් නෑ.

ඔබලා පක්ෂයක් හැටියට ඉන්නේ කුමන ස්ථාවරයකද?

අපි කියන්නේ මැතිවරණය කොරෝනා මර්දනයෙන් පස්සේ තියන්න ඕන. මොකද වෙන දෙයක් වගේ නෙමෙයි. කාටද කොරෝනා තියෙන්නේ කියලා දන්නේ නෑ. එතකොට එහෙම අවදානමක් තියාගෙන මැතිවරණ කරන්න බෑ. නාවික හමුදාවේ විශාල පිරිසකට මේක බෝ වෙලා. ඒ වගේම ප්‍රමාණවත් තරම් පරීක්ෂණ සිදුකරලා නෑ. සමහර ප්‍රදේශ බලලවත් නෑ. ඒ තත්ත්වය මත කිසි කෙනෙක් ජනතාව ගැවසෙන තැන්වල ඉන්නේ නෑ. දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ නෑ. ඒ නිසා ආණ්ඩුව විසින් වෛද්‍යවරැන්ගේ උපදෙස් මත මෙය මර්දනය කළ බවට නිශ්චිත ප්‍රකාශයක් දෙනකල් මැතිවරණයක් තියන්න පුළුවන් තත්ත්වයක් රටේ නෑ.

ආණ්ඩුවෙන් කියනවා ජූනි මාසය පැනලත් ඡන්දය තියාගන්න බැරි වුණොත් ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය අර්ථ නිරෑපණයක් නෑ කියලා. එහෙම නම් අනාගතයේ දේශපාලන අර්බුදයක් පැන නැගෙන්න පුළුවන් නේද?

ආණ්ඩු පක්ෂයෙන් නෙමෙයි මේක මුලින්ම කිව්වේ මැතිවරණ කොමිසම. මැතිවරණ කොමිසම මුල තියාම මේ ගැන හිතලා ජනාධිපතිතුමාට දැනුම් දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න කියලා. ඒත් ජනාධිපතිතුමා ඒක ප්‍රතික්ෂේප කරලා මැතිවරණය පැවැත්වීම කොමිසමේ වගකීම බව ප්‍රකාශ කළා. ඒක වගකීම් විරහිත ක්‍රියාවක්. ජනාධිපතිවරයාට පුළුවන් අධිකරණයෙන් අර්ථ නිරූපණයක් ගන්න. ඒක කළා නම් මේ ප්‍රශ්නය ඉවරයි. එහෙනම් රෑපවාහිනීවල තර්ක කර කර ඉන්න ඕනේ නෑ. හැබැයි ඒක නොකර ඕන දෙයක් කරගන්න කිව්ව එක වගකීම් විරහිතයි. කොහොම වුණත් පාර්ලිමේන්තුවක් නැතිව මාස තුනකට වඩා රට පවත්වාගෙන යන්න බෑ. ජූනි මාසයේ 2 වෙනකොට අලුත් පාර්ලිමේන්තුවක් නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න වෙනවා.

දැන් ඒකට ඒ විසඳුමක් හැටියටද පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියන්නේ?

දැනට තියෙන ව්‍යවස්ථාමය ස්වරෑපය අනුව පසුගිය පාර්ලිමේන්තුව විසුරැවා හැරියට තවත් මාස කීපයකට ජනවරම තියෙනවා. ඒ කියන්නේ සැප්තැම්බර් මාසය වෙනකල්. ඒ නිසා මේ තිබෙන තත්ත්වයට අනුව මැතිවරණය තියන්න බැරි නම් මාස තුනකට වඩා පාර්ලිමේන්තුවක් නැතිව යනවා නම් දැනට තියෙන එකම ව්‍යවස්ථාමය විසඳුම පැරණි පාර්ලිමේන්තුව කැඳවන එක.

හැබැයි ජනාධිපතිවරයා කියලා තියෙනවා මොනම හේතුවක් නිසාවත් පසුගිය පාර්ලිමේන්තුව කැඳවන්නේ නෑ කියලා?

මට ඒක කිව්වම මතක් වෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. එතුමා කිව්වා මුළු පාර්ලිමේන්තුවම කැමති වුණත් රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවත අගමැති කරන්නේ නෑ කියන කතාව. ව්‍යවස්ථාවට එකඟ නොවී තමන්ගේ පෞද්ගලික මතය ප්‍රකාශ කිරීමේ උද්ධච්ඡ ස්වරය තමයි මෙතැන පේන්නේ.

මෛත්‍රීපාල මහත්මයා පරාජය කරන්න අධිකරණයට ගියා ඔබලා. දැන් මේ ජනාධිපතිවත් පරාජය කරන්න අධිකරණයට යනවද?

පෞද්ගලිකව අධිකරණයට යනවද නැද්ද කියන එක නෙමෙයි මගේ අදහස. මම කියන්නේ ජනාධිපතිවරයාගේ ඒ ප්‍රකාශය වැරදියි කියලා. ජනාධිපතිවරයාට එහෙම හිතුවක්කාර විදිහට කටයුතු කරන්න බෑ. ඒ නිසා අධිකරණයට යන්න ඕන අය අධිකරණයට යාවි. මැතිවරණ කොමිෂමේ අභිමතාර්ථය මත වැඩ කරන්නත් පුළුවන් අධිකරණයට ගියත් නැතත්. හැබැයි ඒ ප්‍රකාශය වැරදියි. මොකද රටේ ව්‍යවස්ථාවටයි, නීතියටයි ජනාධිපති යටත්.

ඔබලා නැවත කැඳවන්න කියන්නේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප හදාගන්න කියලා ආණ්ඩුවෙන් චෝදනා තියෙනවා?

එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. ගිය සඳුදා විපක්ෂයේ මන්ත්‍රීවරැ ජනාධිපතිවරයට ලිපියක් දුන්නා. ඒකේ තිබුණේ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න, ඒ රැස්කරන මොහොතේදී වැටුප් හෝ අමතර දීමනා එපා කියලා. විශේෂයෙන් විශ්‍රාම වැටුප් ලබාගන්න පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා කිසිම මන්ත්‍රීවරයෙක් නායකත්ව‍යෙන් ඉල්ලීමක් කරලා නෑ. අනික ඔය ප්‍රශ්නය තියෙන්නේ පොහොට්ටු පක්ෂයේ බහුතරයක් නවක මන්ත්‍රීවරුන්ට. මේ යහපත් චේතනාවට වැරදි අර්ථකථනයක් දෙන්න තමයි මේ විශ්‍රාම වැටුප් කතාව ගොතලා තියෙන්නේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියලා තියෙනවා මැයි 15 වෙනකොට සෞඛ්‍ය අංශවලින් කොළ එළියක් දුන්නෙ නැත්තන් ඡන්දය තියන්න බැරි වෙනවා කියලා. ඊළඟට එන අභියෝගයට ඔබේ පක්ෂයේ සූදානම කොහොමද?

එහෙම සූදානමක් නෙමෙයි, අපි ඒ ගැන හිතන්නවත් කැමති නෑ. මැයි 15 නෙමෙයි, මැයි 04 වෙනකොට අංක ලබාදෙන්න කලින් සෞඛ්‍ය අංශ තහවුරැ කරන්න ඕනේ රට සුරක්ෂිතයි කියලා. මොකද මැතිවරණ ප්‍රචාරණයට සීමිත කාලයයි තියෙන්නේ. ඒ තුළ ජනතාව සමීපයට ගිහින් තමන්ගේ ප්‍රතිපත්ති පැහැදිලි කරන්න ඕන. ඒ සඳහා අවම කාලයක් තියෙන්නේ මැයි 15 ඉඳලා ජූනි 20 වෙනකල්. ඒ නිසා මේ අභියෝග මැද නිදහස් සාධාරණ මැතිවරණයක් පවත්වන්න බෑ. එහෙනම් අංක දෙන දවසට කියන්න ඕන රටේ තත්ත්වය. මොකද අංක ලබාදීමෙන් පසුව සියලු අපේක්ෂකයෝ තමන්ගේ පෞද්ගලික ජයග්‍රහණ වෙනුවෙන් හැඟීම්බරව කටයුතු කරන්න ගන්නවා. එතකොට 15 වෙනකොට වෙන්න ඕන හානි රුසක් වෙලා ඉවරයි ඉක්මන් නොවුණොත්. ඒ නිසා 4 වැනිදා අංක ලබාදීලා 15 වෙනිදා තීරණයක් ගන්න එක ප්‍රඥාවන්ත දෙයක් නෙමෙයි.

මොනයම් ආකාරයකින් හෝ ඡන්දය පැවැත්වුවොත් ඔබලා ඒකට සූදානම්ද?

මොනයම් ආකාරයකින් කියලා ඡන්දය තියන්න බෑ. තියන්න ඕන නිදහස් හා සාධාරණ මැතිවරණයක්. නිදහස් සාධාරණ මැතිවරණයක් නැත්නම් අපි ඡන්ද කරන්නේ නෑ. බැලූ බැල්මට නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපිට අහිමිකරලා තියෙනවා නම් අපිට දැඩි තීරණයක් ගන්න වෙනවා මේ ක්‍රියාදාමයේ තවදුරටත් ඉන්නවද නැද්ද කියලා.

ඒ කියන්නේ ඔබලා ඡන්ද ව්‍යාපාරයෙන් අයින් වෙනවද මේ අවදානමේ ඡන්දය තිබ්බොත්?

මම හිතන්නේ නෑ අවදානමක ඡන්දය තියන්න මැතිවරණ කොමිසම තල්ලු වෙයි කියලා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරැ තැනකට තල්ලුවෙන තැනට කොමිසම වැඩකරයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා 4 වැනිදා ගතයුතු තීරණය 15 වැනිදා ගන්නවා නම් ඒ අතර කාලය තුළ ජීවිත කීයක් අවදානමට ලක්වෙන්න පුළුවන්ද කියලා. මොකද අංක දුන්නයින් පස්සේ බලාපොරොත්තු වෙන්න බෑ කිසිම අපේක්ෂයෙක් ගෙවල්වලට වෙලා ඉඳියි කියලා. ඒ නිසා ඇඳිරි නීතිය දාලා බලපත්‍ර යොදාගෙන හරි රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය දාලා දවල්ට ඡන්දය කරන්න කිව්වට හරි අපි අහන්නේ නෑ. ඒ නිසා ජනතාව කොටුකරලා නිදහස් සාධාරණ මැතිවරණ තියන්න බෑ.

දැන් ඔබලා කතාකළාට ඔබලගේ හිටපු නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා වචනයක් කතා කරන්නේ නෑනේ. එතුමා නිශ්ශබ්දයි?

රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩකරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක දේශපාලන එකඟතාවයකින් හා ලොකු අවබෝධයකින්. ඒ නිසා ඔවුන් දෙදෙනා සාකච්ඡා කරල ඔවුන් දෙදෙනාගේ දේශපාලන අනාගතය ගැන අවබෝධයකින් වැඩ කරන්නේ. ඒක ගැන තරහක් නෑ. ඒක එතුමාගේ දේශපාලන අයිතිය. එතුමත් එතුමාගේ වටේ කිහිප දෙනකුගේ පුද්ගලික අභිමතාර්ථය අනුවයි වැඩ කරන්නේ.

දැන් එතුමා එක්ක ඉන්නේ කවුද?

ගියවර හිටිය පාර්ලිමේන්තුවේ 107 දෙනාගෙන් මෙවර මැතිවරණයට තරග කරන්නේ 95 දෙනයි. ඒකෙන් 80 දෙනෙක් සමගි ජනබලවේගය සමඟ ඉන්නේ. ඉතුරැ 15 තමා එතුමා එක්ක ඉන්නේ. එතුමලා රාජපක්ෂවරැ සමඟ සකසා ගන්නා ලද න්‍යාය පත්‍රයකට අනුව තමයි වැඩ කරන්නේ.

ඇත්තද ඔබලාගේ පිරිසක් එජාපයට යන්න හදනවා කියන්නේ?

ඒක අසත්‍ය පුවතක් පුවත්පතක පළවුණු. ඒක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නිව්ස් ප්ලාන්ට් කිරීමක්. දේශාපලන බුද්ධියක් තියෙන කිසිම කෙනෙක් එතුමා එක්ක යන්නේ නෑ. අද එතැන තියෙන්නේ ඥාති මිත්‍ර සංග්‍රහ ලබන පක්ෂයක්. ඒ කඳවුරට අපි කිසිවෙක් යන්නේ නෑ.

ඔබලා දැන් වෙනත් පක්ෂයක ඉන්නේ. යම් ආකාරයකින් තීරණයක් අරන් ඔබලව එජාපයෙන් නෙරපුවොත් මොකක්ද එදාට කරන්නේ?

එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපි. අපිව එජාපයෙන් අයින් කරන්න රනිල් වික්‍රමසිංහට පුළුවන් කමක් නෑ. සමගි ජන බලවේගය පිහිටුවන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් 2020 ජනවාරි 31 වැනිදා. එක නීත්‍යානුකූල පියවරක්. ඒකෙන් ඉවත් වුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයා සහයෝගිතා පක්ෂයක් හැටිය. ඒ නිසා අපිව ඉවත් කරන්න බෑ. දේශපාලනයේ අන්තිම තීරණය මේ මැතිවරණයෙන් පස්සේ ජනතාව ලබාදෙයි...

වර්තමාන ආණ්ඩුව කොවිඩ්-19 වෛරසයට සාර්ථකව මුහුණ දෙනවා කියලා ඇතැම් අය කියනවා. ඔබ විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් හැටියට ඒවා පිළිගන්නවද?

කිසිම සාර්ථකත්වයක් නෑ. ජනාධිපතිවරත් ඔහුගේ කණ්ඩායමත් සම්පූර්ණයෙන්ම ෆේල්.

ඔවුන් කියනවානේ නමවැනි ස්ථානයේ ඉන්නේ කියලා මර්දනය පැත්තෙන්?

අපි මේක හොයලා බැලුවා. මේ වාර්තාව ඇවිත් තියෙන්නේ අප්‍රේල් මාසයේ 14. ඔවුන් ලංකාවේ එක පදනම් කරගෙන තියෙන්නේ මාර්තු මාසයේ 19 වැනිදා පළමු වතාවට ආරම්භ කරන ලද වෙබ් අඩවියක ලිපියක් පදනම් කරගෙන. හෙල්ත් රිවිව් ග්ලෝබල් කියන වෙබ් අඩවියේ එකම ලිපිය ඒක. එම ප්‍රකාශය දුන්න ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ශ්‍රී ලාංකිකයෙක්. ඒකේ මෙරට සභාපති පොහොට්ටුව පක්ෂයේ අපේක්ෂකයෙක්. ලෝකයම පිළිගත්ත හෝප්ස් සඟරාව විස්තරාත්මක පරීක්ෂණයක් කරලා සඳහන් කරලා තිබ්බා ලෝකයේ අවදානම් තිබෙන රටවල් අතර ලංකාවත් ඉන්නවා කියලා. ඒ නිසා ඔය නවවැනි කතාව ව්‍යාජ මවාපෑමක්. එක පට්ටපල් බොරැවක්. අපිට ඇත්තටම මේ වෛරසය පාලනය කරගන්න තිබ්බා සති දෙකකට කලින් ගුවන් තොටුපළ වැසීම සහ නිරෝධායනය කටයුතු ආරම්භ කිරීම් මගින්. නාමයෝජනා ගන්නා තෙක් රට විවෘතව තැබීමේ ප්‍රතිපල තමයි මේ. ජනාධිපතිවරයා කිව්වා 28 දෙනෙකුට රට වහන්න පුළුවන්ද කියලා. ඒ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් අන්තිමට එතුමාට රට වහන්න සිද්ධ වුණා.

I ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00