2020 මැයි 02 වන සෙනසුරාදා

යළිත් වරද්දා නොගනිමු

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 93

කොරෝනා වසංගතය පාලනය කර ගැනීම සම්බන්ධයෙන් අප රටට සතුටුවිය හැකි පසුබිමක් සති කිහිපයක් තිස්සේ පැවැතිණි. එය ආපසු හැරවුණේ සුදුවැල්ලේ කුඩු ලෙඩුන් කොටුකර ගැනීමේ මෙහෙයුම සමඟිනි. වැලිසර නාවික හමුදා භටයන් විසින් දියත් කෙරැණු එම මෙහෙයුම සාර්ථක විය. එහෙත් එහි අමිහිරි ප්‍රතිඵලය වූයේ මෙහෙයුමට දායකත්වය ලබාදුන් වැලිසර කඳවුරේ නාවික සෙබළුන්ට රෝගය වැළඳීමය. මේ සටහන තබන විට කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබූ භට පිරිස 226ක් දක්වා ඉහළ ගොස් තිබිණි. වැලිසර කඳවුරේ නාවික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වලට අයත් 4000ක් නිරෝධායනයට යොමුකරනු ලැබ සිටිති.

නාවික හමුදා භට පිරිස මේ අවදානම් සහගත මෙහෙයුමේ නිරත වූයේ මේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනි. ඔවුන් දායක වූයේ ජාතික ව්‍යසනයකට මුහුණ දී සිටින ජාතියක් බේරාගැනීමටය. ඒ හේතුවෙන් ඔවුන්ටද අනපේක්ෂිත ලෙස රෝගය වැළඳගැනීමට සිදුවීම මහත් අවාසනාවකි. එය නොසිදුවිය යුත්තකි. එහෙත් ඒ අමිහිරි යථාර්ථයට මුහුණදීමට සිදුව තිබේ. එය එසේ වී ඇත්තේ කොතැන හෝ සිදුව ඇති අතපසුවීමක් හේතුවෙන් විය හැකිය. මේ එවැනි අතපසුවීම් පිළිබඳව කතා කළ යුතු වේලාවක් නොවේ. නමුත් කොරෝනා මර්දන වැඩපිළිවෙළ තුළ කිසිම සුළු වැරැද්දකට හෝ අතපසුවීමකට හෝ ඉඩක් නොමැති බව මෙයින් අප සියලුදෙනා උගත යුතු පාඩමය.

එසේම කොරෝනා මැඩ පැවැත්වීම සෞඛ්‍ය සේවයේ හෝ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ හෝ වගකීමක් පමණක් ලෙස රටේ පොදු මහජනතාව විසින් නොසැලකිය යුතු බවද මෙහිදී පෙන්වාදීම අවශ්‍යය. නිවාඩු ලබා තම ගම් ප්‍රදේශවලට පැමිණෙන ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙබළුන් සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක විය යුත්තේ සෞඛ්‍ය සේවයේ බලධාරීන් විසින් මහජනතාව වෙත පනවා තිබෙන සියලු ආරක්ෂක විධිවිධාන බව අමතක කළයුතු නැත. ඔවුන් කොළඹ හෝ වෙනත් කඳවුරැවල සිට හෝ ගමට පැමිණෙන්නේ කොරෝනා මර්දන මෙහෙයුමේ ක්‍රියාකාරී සාමාජිකයන් වශයෙන් කටයුතු කිරීමෙන් පසුව බව සියලුදෙනා විසින් වටහාගත යුතු වෙයි. එම රාජකාරියේ නියුතුව සිටින නිලධාරීන් කොරෝනා වයිරසයට නිරාවරණය වන අවස්ථා බොහොමයක් තිබිය හැකි බව දැන සිටීම අවශ්‍යය. සුදුවැල්ලේ මෙහෙයුම පිළිබඳ විස්තර දැනගැනීමෙන් පසුවද ඇතැම් පිරිසක් එය අමතක කොට කටයුතු කර ඇති බව එම නිලධාරීන් ඇසුරැ කළ අයටද රෝගය බෝවීමෙන් පැහැදිලි වෙයි. ඒ අමතක වීම තවත් විශාල පිරිසකට රෝගය බෝවීමට දොරහැර දී තිබේ. සියලු ජනතාව තම වටාපිටාවේ සිදුවන සිද්ධීන් පිළිබඳව මීට වඩා විමසිලිමත්ව කටයුතු කළයුතු කාලයකි මේ.

ත්‍රිවිධ හමුදාවේ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේද සියලුදෙනා කටයුතු කරන්නේ වයිරසය වැළඳීමේ අවදානම තමන් අතේ තබාගෙන බව යථාර්ථයයි. එහිදී මුලින්ම තමන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් වැදගත්ය. තමන්ගේ ආරක්ෂාව තමන්ගේ සේවා ලබාගන්නා රෝගී සහ රෝගීන් බවට සැකකරන සියලුදෙනාගේද ඔවුන්ගේ සමීපතමයන්ගේද ආරක්ෂාවටද හේතුවන බව මේ අවදානම් සහගත රාජකාරියේ යෙදී සිටින සියලුදෙනාම දැන සිටිය යුතුය. වැරදීම් හෝ අතපසුවීම් හෝ වයිරසයට උත්තේජනය සැපයීමකි.

රටේ ජනතාවගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය බලධාරීන්ගේ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් විශාල කැපවීමක් සිදුකරන ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වයිරසයේ ගොදුරැ බවට පත්වීම රටේ සියලු පුරවැසියන් කළ කම්පනයක් ඇතිකර තිබේ. ඔවුන්ගේ සෞඛ්‍යයේ යහපත ජනතාවගේද ප්‍රාර්ථනයයි. ඔවුන් තවදුරටත් වයිරසයට ගොදුරැ වනබවක් අසන්නට නොලැබේවායි යන්න ජනතාවගේ සිතිවිල්ලයි.

මුළු ලොවම ගොදුරු කරගන්නා මාරාන්තික වසංගතයක් හමුවේ ශ්‍රී ලංකාවට පමණක් ගැලවී සිටිය නොහැකිය. එහෙත් එය පාලනය කරගැනීමට හැකි වෙර යොදා සටන් කළ යුතුය. එම සටන අපේ රට සති ගණනාවක් සාර්ථක කළ බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මේ රටේ කොරෝනා මරණ සිදුවී ඇත්තේ මේ වනවිට (30 වැනිදා) 07ක් පමණි. වැලිසර නාවික හමුදා භට පිරිස මේ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දෙනතුරු රෝගය වැළඳෙමින් තිබූ සංඛ්‍යාවද පාලනය වෙමින් තිබිණි. මේ සියල්ල සිදුවූයේ අහම්බයෙන් නොවේ. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මගින් සෞඛ්‍ය සේවයේ සහ ත්‍රිවිධ හමුදාවේද පොලීසියේද සහාය ඇතිව දියත් කළ වැඩපිළිවෙළ මනා සැලැස්මක් යටතේ සිදුවීම හේතුවෙනි. ඒ සඳහා මහජනතාවගේ සහායද ඉතාම වැදගත්ය. වඩාත්ම අවශ්‍යවන්නේ සියලුදෙනාගේ ඉවසීමයි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00